2019 ජුලි 27 වන සෙනසුරාදා

රවුමේ කැරකෙන දොස්තර සාෆිගේ නඩුව

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

කුරුණෑගල ශීක්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී මව්වරුන් වඳභාවයට පත්කළා යැයි චෝදනා එල්ල වූ වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි පිළිබඳ සිදු කළ පරීක්ෂණ සම්බන්ධයෙන් සොයාබලා විමර්ශනය කිරීමට අලුතින් පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බවට රාවයක් පැවතිණි. එවැනි කාරණයක් වාර්තා වී තිබුණේ ජාතික පොලිස් කොමිසම වැඩ බලන පොලිස්පතිවරයා සිදුකළ ලිඛිත දැනුම්දීමක් හේතුවෙනි.

වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හැර පොලිස් විශේෂ විමර්ශන ඒකකය හෝ පොලිස් කණ්ඩායම් කීපයක මණ්ඩලයක් විසින් සිදුකළ නොහැකි බව වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට ලිඛිත වාර්තාවක් මගින් දැනුම් දී තිබුණි. එය පසුගිය 19 වැනිදා සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරමින් පවතින විමර්ශන වෙනත් පාර්ශවයකට පැවරීම නෛතික හා ප්‍රායෝගික වශයෙන් ගැටලු රැසක් මතු කරන බවත් එසේ සිදු කරන්නේනම් එය සිදු කරන විමර්ශනවලට අගතියක් බවද වැඩ බලන පොලිස්පතිවරවා පෙන්වා දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින විමර්ශන අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව සිදුකරන බවත් අදාළ පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයෙක් අධිකරණය හමුවේ පෙනී සිටින බවත්, එබැවින් පරීක්ෂණ සඳහා වෙනත් පාර්ශවයක් අවශ්‍ය නොවන බවත් වැඩ බලන පොලිස්පතිවරයාගේ ලිපියෙන් දන්වා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වෛද්‍ය මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කොට කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්ත මර්දන කොට්ඨාසය, කුරුණෑගල පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමන්විත වන විශේෂ මණ්ඩලයක් යටතට පත්කරන ලෙස අගතියට පත් වෛද්‍ය සාෆි පාර්ශවයේ නීතීඥවරයකු ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අධ්‍යක්ෂකවරයාට ලිඛිතව දන්වා ඇතැයි ද ඒ අනුව එම අධ්‍යක්ෂකවරයා වැඩ බලන පොලිස්පතිවරයාට අදාළ ඉල්ලීම දන්වා ඇතැයි ද වාර්තා එළි වී ඇත.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය සාෆි මහතාගේ බිරිඳ වන වෛද්‍ය ෆාතිමා ඉමාරා මහත්මිය පැවසුවේ මේ පිළිබඳ පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව තමා නොදන්නා බවය. සිය පාර්ශවයේ නීතීඥවරයකු මාර්ගයෙන් ජාතික පොලිස් කොමිසමට ලිපියක් ඉදිරිපත් කළ බවද එමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳ සැකයක් ඇතැයි කිසි ලෙසකින්වත් ප්‍රකාශ කර නැති බවද ඇය පවසන්නීය. වැඩිදුරටත් ඇය පවසන්නේ වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය පිළිබඳව සැකයක් පවතින බවත් එම ක්‍රියා කලාපය පිළිබඳව පැහැදීමක් නැති බවය. ඊට හේතු කියන ඇය පවසන්නේ වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීම සඳහා චෝදනාවක් නොවූ බවය. පසුගිය මැයි 26 වැනිදා සාෆි අත්අඩංගුවට ගත් බවත් ඒ සඳහා හේතුවක් නොකී බවත් පසුව සැක සහිත ලෙස වත්කම් ඉපයීම නැමැති චෝදනාවට අත්අඩංගුවට ගත් බව කියමින් මැයි 24 දිනැතිව පැමිණිල්ලක් සටහන් තැබීම පිළිබඳව කුරුණෑගල පොලීසිය ගැන සැකයක් පැවති බව ඇය කියන්නීය. මේ කාරණය මුල්කර ගනිමින් නීතීඥවරුන් මාර්ගයෙන් ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශයට දැන්වූ බව ඇය පැවසීය.

වෛද්‍ය සාෆි පාර්ශවයෙන් ලැබුණු පැමිණිල්ල පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයාට දන්වා තිබුණේ ඉන් අනතුරුවය. එමගින් එහි අධ්‍යක්ෂවරයා වැඩ බලන පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතේ විශේෂ විමර්ශන මණ්ඩලයක් පත්කර අදාළ පරීක්ෂණ ඉදිරියට සිදුකළ හැකිද යන්න පිළිබඳ නෛතිකභාවය සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජාතික පොලිස් කොමිසමේ ප්‍රකාශකයකු පැවසුවේ වෛද්‍ය සාෆි පාර්ශවයේ නීතීඥවරුන් මාර්ගයෙන් ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි අංශය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවය. ඊට පියවර ගතහැකිදැයි යන්න ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විමර්ශන අධ්‍යක්ෂවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ලිඛිතව විමසූ බවත් එයට කිසිදු බලපෑමක් නොවන බවත් ද කීය. එමෙන්ම මෙම සිදුවීම ඇතැම් මාධ්‍ය මගින් පොලිස් කොමිසම විසින් බලපෑමක් සිදුකළ ඇති පරිදි කරුණු වාර්තා කොට ඇති බවද ඔහු පැවසීය.

වෛද්‍ය සාෆිගේ සිදුවීමට සම්බන්ධ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 27 දා අධිකරණයට කරුණු වාර්තා කරමින් නඩුවේ පාර්ශවකරුවකු නොවන හා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු නොවන කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් කරැණු විමසා පැලෝපීය නාල පරික්ෂාව නොහොත් (HSG) පරීක්ෂණය නවත්වා දැමීමට නියෝග කිරීම පිළිබඳවත් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා තිබුණි.

මේ අතර හේතු රහිතව අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවාගෙන තබා ගැනීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ද තමන් වහාම මුදාහරිනැයි ද ඉල්ලා වෛද්‍ය සාෆි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නැවත සලකා බැලීමට ලබන අගෝස්තු 6 වැනිදාට නියමිතය.

වෛද්‍යවරයා නිදහස් කරන ලෙස ඇප ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වී තිබුණු අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සාෆි මහතා රුපියල් 250,000ක මුදල් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා පසුගිය 25 වැනිදා නියෝග කළේය.

 සමන්ත විල්තෙර