2019 ජුලි 27 වන සෙනසුරාදා

බැටික්ලෝ කැම්පස් එක යට කෝටි 1750 ගනුදෙනුව

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 114

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය පාස්කු ප්‍රහාරයෙන් පසු රටෙහි ආන්දෝලනයක් ඇති කළ අර්බුදයකි. සැලකිය යුතු චෝදනා රැසක් බැටික්ලෝ කැම්පස් පෞද්ගලික සමාගමේ මැදිහත් වීමෙන් ඉදිකරගෙන යමින් තිබූ මෙම විශ්වවිද්‍යාලයට එල්ල විය. පාර්ලිමේන්තු‍වේද තේරීම් කාරක සභාවේද මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. ආසන්න වශයෙන් මෙම අර්බුදයට නැවතත් ජනතා අවධානය යොමු විය. ඒ හිස්බුල්ලාගේ සරසවියට සෞදි තහනම් සංවිධානයකින් කෝටි 1757ක් ලැබී ඇතැයි එල්ල වූ චෝදනාව හරහාය. ආරම්භයේ පටන්ම මෙම ව්‍යාපෘතියේ මූල්‍ය හැසිරීම ප්‍රබල ගැටලුවක් වූ අතර සෞදි ආධාර ලැබීමේ පදනමද ගැටලුකාරී විය. අලුතින් ඇතිවූ ආන්දෝලනය ද මෙම මූල්‍ය ගැටලුවේම දිගුවකි.

මේ වන විටත් සෞදි අරාබියේ සංවිධානයකින් රුපියල් කෝටි 1757ක මුදලක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට එවා තිබීම ගැන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම සංවිධානය තහනම් සංවිධානයක් බව ද දක්වමින් මේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මඩකලපුව පොලිස් අධිකාරී කාර්යාලයට ඉකුත් ජූනි මස 12 වැනිදා සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදුවේ. එම සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කළ බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට ඉකුත් ජූලි 18 වැනිදා දැනුම් දෙනු ලැබීය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇති කරුණුවලට අනුව එම මුදල් එම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදා ගත්තාද නොඑසේ නම් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා යොදවා ගත්තේද යන්න සම්බන්ධයෙන් ද විමර්ශන සිදුවේ. කෙසේ නමුත් මෙම මුදල් ගනුදෙනු සිදුවී ඇත්තේ රාජ්‍ය බැංකුවක් හරහාය. එම මුදල් ආපසු ගෙවීමේ පදනම මත ලබාගත් බව හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ඔහුගේ අනුග්‍රහයෙන් බිහිවූ ශ්‍රී ලංකා හීරා පදනම සහ බැටික්ලෝ කැම්පස් කොලේජ් පෞද්ගලික සමාගම පවසා ඇත. එහෙත් රජයේ මූල්‍ය රෙගුලාසි අනුව ආපසු ගෙවීමේ පදනම මත විදෙස් ණයක් ලබාගන්නා ආකාරයට මෙම මුදල් ලබාගෙන නොමැති බව රාජ්‍ය බැංකු නිලධාරීහු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී පැවසූහ. මේ හරහා ද මෙම ගනුදෙනු පිළිබඳව සැකය ඉහළ යයි. තවත් පසෙකින් ඉස්ලාම් ආගමික නීතිය අනුව සෞදි ආගමික සමාගම් ආපසු ගෙවීමේ පදනම මත ණය ලබා නොදෙන බවද පිරිසක් පෙන්වා දෙති.

රතන හිමියන්ගේ පැමිණිල්ලේ පාස්කු ප්‍රහාරයට පෙර ආණ්ඩුකාර වන හිස්බුල්ලා මහතා අරාබි ජාතිකයන් මුණගැසීම සහ ෂරියා විශ්වවිද්‍යාලයට ඉඩම් පවරා ගැනීම පිළිබඳව ද දක්වා තිබේ. ඒ අනුව මෙම සිද්ධියට අදාළ පරීක්ෂණවලදී අන්ජිනේයපුරම්, කරුවක්කානි, වාලච්චේන ලිපිනයේ පදිංචි නාගරාජා විෂ්ණුකාන්තන් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම විමර්ශනයේ දී  බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට සෞදි අරාබියේ ‘ඉන්හෙරිටන්ස් අලි අබ්දුල්ලා’ අලිෆාලි, ජෙඩා නමැති ආයතනයකින් ඉකුත් 2018 වසරේ ජනවාරියේ සිට වරින් වර මුදල් බැර කර ඇති බව හෙළි වී ඇත. කොල්ලුපිටියේ පිහිටි රාජ්‍ය බැංකුවක් හරහා මෙම මුදල් බැර කිරීම සිදුව තිබේ. එහි පළමු අදියරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 40ක් (40,256,031.70)ක මුදලක්ද, ඉන්පසුව අවස්ථා දෙකක් දී අමෙරිකානු ඩොලර් මිලියන 2.9ක් (2,984,446.80) ක මුදලක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 4.8 (4,815,392.20)ක් බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ලැබී ඇත. මේ අතර මෙම සමාගම නමින් රුපියල් කෝටි තුන්සිය හැට හතරකට අධික මුදලක් ඉකුත් 2016 මාර්තු මස 3 වැනිදා සිට ඉකුත් 2018 වර්ෂයේ ජනවාරි මස 8 වැනිදා අතර කාලයේ දී සෞදිය හරහා ලැබී ඇතැයිද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉහත සියලු චෝදනාවලට සම්බන්ධ පුද්ගලයාය. මූල්‍ය ගනුදෙනුවට අමතරව ඔහු වෙත එල්ල වී ඇති අනෙක් ප්‍රබලම චෝදනාව නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනට පසුදා අරාබි ජාතිකයන් පිරිසක් සමඟ කළ සාකච්ඡාවයි. පාසිකුඩා ප‍්‍රදේශයේ හෝටලයකට වීසා නොමැතිව මෙරට රැදී සිටින බව පැවැසෙන අරාබි ජාතිකයන් පස් දෙනකු හමුවීම ඔහු කළ සාකච්ඡා සැකයට තුඩුදෙන බව රතන හිමිගේ පැමිණිල්ලේ දක්වා ඇත. ඒ අනුව ඊට අදාළව මේ වන විට විමර්ශන අරඹා තිබේ. තවද මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන අතරට මහවැලි සංවර්ධන අධිකාරියට අයත් අක්කර 35ක ඉඩමක් හීරා පදනම නමැති සංවිධානය වෙත ග්‍රාමීය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ පදනමින් ලබාගැනීම එකතු වී තිබේ. මෙම ඉඩම් ගනුදෙනු ද පුළුල් ලෙස විමසා බැලිය යුත්තක් බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ප්‍රශ්න කිරීම්වලදී අවබෝධ විය. ඉඩම් ලබාදීම මෙන්ම අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධවද ප්‍රබල චෝදනා මේ වන විට මතුව තිබේ.

අරඹා ඇති පරීක්ෂණ හමුවේ ප්‍රශ්නගතව ඇති තවත් කරුණක් නම් මෙම සරසවිය ආරම්භ කිරීමට මූලිකත්වය ගත් සංවිධානය හා ආයතනයේ ක්‍රියාකාරකම්ය. හීරා ෆවුන්ඩේෂන් නමැති සංවිධානය සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ ලාභ නොලබන සංවිධානයක් ලෙසය. ඒ අනුව 2014 වර්ෂයේ දෙසැම්බර් මස 10 දින ලියාපදිංචි අංක ජී.ඒ. 2991 යටතේ මෙම පදනම ලියාපදිංචි කර තිබේ. එහෙත් මූල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කර ඇති පරිදි එක් කොටසක් රැපියල් 10 බැගින් කොටස් ලක්ෂයක් ඔවුන් නිකුත් කර ඇත. ඒ අනුව හීරා ෆවුන්ඩේෂන් නමින් කොටස් සියයට අනූවක් ද, මොහොමඩ් හිස්බුල්ලා අහමඩ් හිරාස් නමින් කොටස් සියයට 10ක්ද බෙදී ගොස් තිබේ.

බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් පිළිබඳව ඇත්තේ මෙවන් අපැහැදිලි තත්ත්වයකි. සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ 2015 වර්ෂයේ දී බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් මෙම ආයතනය ලියාපදිංචි කර තිබේ. පසුව 2016 වර්ෂයේ දී බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ලෙස ඔවුන් සමාගම් නාමය වෙනස් කර තිබේ. මේ බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙළිදරව් කර ඇත. කෙසේ නමුත් සෞදි ගනුදෙනුව සිදුව ඇත්තේ මෙම සමාගම හරහාය. මේ වන විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් අනතුරුව අදාළ තවත් තොරතුරු හෙළිකර ගැනීමට අවශ්‍යය නියෝග මේ වන විටත් ලබා දී තිබේ.

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලයේ අර්බුදය සම්බන්ධව අධිකරණය හමුවට යාම සාධනීය බව අවසානයේ දැක්විය යුතුය. අප ඉහත දැක්වූ කරුණු බොහෝමයක් පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවෙන් හෙළිව තිබේ. අධිකරණ නීති ඉදිරියේ මෙම ගැටලුව තැබීමෙන් යුක්තිය වෙනුවෙන් අපේක්ෂාවක් අද වන විට මහජනයා තුළ අදහසක් නිර්මාණය වී තිබේ. එය වෙසෙසින්ම අගය කළ යුත්තකි. 

 චමිඳු නිසල්