2019 ජුලි 20 වන සෙනසුරාදා

එංගලන්තයේ 36000කට විකුණන ලංකා තේ කෝප්පය

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 209

නමුත් එංගලන්තයේ මිල අධිකම මේ කහට කෝප්පය අපේ රටට ඉතාමත් වැදගත් තැනක් ලබා දෙන්නකි. සුද්දාගේ රටේ සුපිරි මිලකට අලෙවි වන මෙහි අඩංගු සුපිරි තේ ලබාගෙන ඇත්තේ අපේ රටෙන් නිසාය. එය නිෂ්පාදනය කර බෙදාහැර ඇත්තේ එංගලන්තයේ බර්ක්ෂයරයේ පිහිටා ඇති පී.එම්. ඩේවිඩ් සිල්වා සහ පුත්‍රයෝ සමාගම මගින් නිසාය. රුපියල් 1000ක සොච්චමකින් පඩි වැඩි කරගන්නට මාර සටනක යෙදුණ අපේ තේ වතුකරයේ මිනිසුන්ගේ දහදිය මහන්සිය මගින් නිපදවන මේ විස්මිත තේ එක කෝප්පයක් පමණක් සුද්දාගේ රටේ මේ හෝටලයේ අලෙවි වන්නේ රුපියල් 35000කට වැඩි මිලකටය. තේ නිපදවන කම්කරුවෙක් මේ තෝ කෝප්පයක් බොන්නට නම් ඔහුට බැංකු ණයක් ගන්නට වෙනවා නියතය. ලෝකයේ අසමාන ආර්ථික අලකලංචිය හොඳින්ම විස්තර කරන සජීවී නිදසුන හැටියට මේ අරුම පුදුම මිලාධික ශ්‍රී ලංකා තේ කෝප්පය දැන් ඉදිරිපත් කළ හැකිය.

ලන්ඩනයේ බකිංහැම් මාළිගයට මුහුණලා පාරෙන් එහා පැත්තේ පිහිටා ඇත්තේ මහා හෝටලයකි. එය තරු පහේ හෝටලයකි. The Rubens at The Palace නමැති මෙහි ජූලි මස අමුත්තන් සඳහා පිරිනැමෙන අමුතු ආන්න පාන්න වට්ටෝරු අතරට “ශ්‍රී ලංකා රන් දළු තේ” සත්කාරයද ඇතුළත්ය. සතියේ දිනවල සවස් වරුවේ පිරිනැමෙන මේ ගිනිකන  රාජකීය තේ  සත්කාරයට භාවිත වන්නේ ලංකා භූමියේ මිනිස් ශ්‍රමයෙන් තැනූ “ගොල්ඩන් ටිප්” හෙවත් රන් තේ දළුය. මේ තේ පෝච්චියක් ඩොලර් 620ක් හෙවත් ලංකාවේ මුදලින් 108,837.90ක් මිල වෙයි. ඉන් එක් කෝප්පයකට කලින් කීවාක් මෙන් තේ නෙළන කම්කරුවාගේ මුළු පවුලේම මාසික ඉපැයීමත් පරදන මිලක් වන ඩොලර් 200ක් හෙවත් රුපියල් 35109.00ක් ගෙවිය යුතුය. 

ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛනවලට අනුව තේ නෙළන  පවුලක සාමූහික සාමාන්‍ය මාසික ආදායම රුපියල් 34,000ක් වුවද පවුලක මාසික වියදම සියයට 100කටත් වඩා අධිකය. එංගලන්තයේ මේ ලංකා තේ පෝච්චිය විකුණා ගන්නට හෝටලය ලොකු පම්පෝරියක්ද ඉදිරිපත් කරයි. එය ඇසූවිට මතක් වන්නේ (උඩට සුදු වියන් බැඳ, වටේට සුදු තිර ඇද, සුදු හඳුන් දර යොදා හකුරු හදනවා’යැයි කී පැරැණි කතාවය. හෝටලය තේ විකුණන්නට කියන්නේද එබඳුම කතාවකි. එනම් ඔවුන් එය හඳුන්වා දී ඇත්තේ “සිරිලක කඳුකරයේ ප්‍රවීණ තේ නෙළන්නන් අතින්ම නෙළා, රිදී පැහැ තේ දළුව රන් පැහැවන තුරු වීල්ලුද පලසක අතුරා ස්වභාවික හිරු එළියේ වියළවා නිපදවන ලද රන් දළු තේ.”  හැටියටය.

නමුත් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කීවාක් මෙන් ලංකාවේ මේ තේ දළුව නිපදවන්නට කඹුරණ කම්කරැ පිරිස විඳින්නෙ අපා දුකකි. වතු කම්කරුවන් වනාහි ඉහළම මන්දපෝෂණය සහිත වඩාත්ම දුගී ප්‍රජාවන්ගෙන් එකක් බව වාර්තාගතය. වතුවල ළමුන්ගෙන් සියයට 9ක් අතිශයින් මන්දපෝෂිත බව ආණ්ඩුවේම සංඛ්‍යා ලේඛන තහවුරු කරන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ දරුවන් සියයට 29.5ක් අඩු බර සහිතය. සියයට 13ක් වන වතුවල ළදරු මරණ අනුපාතිකය ශ්‍රී ලංකාවේ ඉහළම සංඛ්‍යාවයි. වයස 18 සිට 60 දක්වා කම්කරුවන්ට වසරකට අනිවාර්ය වැඩ දවස් 300ක් සහිත “සහතික කළ” ජීවිතකාලීන රැකියා, සම්පූර්ණ ගෙවීම් සහිත නිවාඩු 20ක් හා දින 14ක වෛද්‍ය නිවාඩු සහිතව ලැබෙන බව කතාවට කීවත්, යථා ලෝකයේදී කම්කරුවන්ට ලැබෙන පූර්ණ වැටුප් සහිත නිවාඩු දින ගණන තුනක් පමණි. දිනකට දළු කිලෝ 18ක කොඳු කැඩෙන  දෛනික ඉලක්කය සැපිරීමට අපොහොසත් වුවහොත් කළමනාකාරීත්වය වැටුප් කපන බව කම්කරුවන් නිබඳ නඟන දෝෂාරෝපණයකි. මෑතදී අස්සන් කළ සාමූහික ගිවිසුම කම්කරුවන්ට “ආකර්ෂණීය වැටුපක්” ලබාදෙමින් “කම්කරුවන් අපේක්ෂා කළ පරිදි දිනකට රුපියල් 1,000ක් ඉපයීමේ හැකියාව” දුන් බව කීවත්, ගිවිසුම යටතේ සියලු දීමනා ඇතුළත්ව කම්කරුවන්ට ඇත්තටම ලැබෙන්නේ රුපියල් 730කි.

වතු කම්කරුවන් මුහුණදී ඇති සමාජ කාලකන්නි භාවයට ප්‍රධාන සාධකයන් වන්නේ වැටුපෙන් නීති විරෝධී අඩුකිරීම් හා ඉහළ වැඩ ප්‍රමාණයයි. කැමැත්තෙන් තොරව කරන ගාස්තු හා අඩුකර ගැනීම් වලින් පසු ඇත්තටම තේ වතුවල සමහර කම්කරුවන් නිවසට දිනකට ගෙන යන්නේ ශ්‍රී ලංකා රුපියල් 26ක් තරමේ සොච්චමක්ය යන්න රුපියල් 35,000ක රන් තේ දළු රසය පසුපස ඇති ඇත්ත, තිත්ත කතාවයි.

ඒ අන්දමට දුක් මහන්සියෙන් ලංකාවේ නිපදවන මේ තේ “ද රූබන්” හෝටලය සිය පාරිභෝගිකයන්ට පිළිගන්වන ආකාරයද බලන්නට වටින වික්ටෝරියානු ආටෝපය පිරි  අලංකාර වතාවකි.

තරැ පහේ හෝටලයකට ඔබින තේ පිළිගැන්වීමේ රාජකීය සම්ප්‍රදායක් මේ ලංකා රන් දළු තේ කෝප්පය ප්‍රධානයේදී රෑබන් හෝටලය අනුගමනය කරයි. බකිංහැම් මාළිගයේ ඉස්තාලය දිස්වෙන මානයක රාජකීය සාටෝපවත් බවින් යුතුව සැකසූ මේසය වෙත තේ කට්ටලය රැගෙන එන්නේ සුදු අත් මේස් පැළඳ ටයි කබාවලින් සම්පූර්ණ ලෙස සැරසුණු සේවකයෙකි. තේ පෝච්චිය ඇතුළු කට්ටලය මුළුමනින්ම රිදීය. රත්රන් ඩැහි අඬුවකින් අල්ලා සේවකයා සත්කාරය ලබන්නාගේ ඇස් පනාපිට රන් තරාදියක දමා කිරූ මේ රන්දළු තේ, පෝච්චියට දමයි. පී.එම්. ඩේවිඩ් සිල්වා සහ පුත්‍රයෝ සමාගම තේ දළු රඳවා ඇත්තේ හුරැබුහුටි මහෝගනී පෙට්ටියක විල්ලුද රෙදිකඩක් මතය. මේ රන්දළු තේ මතට එක් කරන්නේ ආසවනය මගින් පෙරා පිරිසුදු කළ ජලයයි. පදමට රත් වී බුබු දමන පළතුරු සුවඳ හමන සුමුදු පැහැයකින් යුතු රන් දළු තේ පිරි කෝප්පයද රනින් කළ එකකි. ආවතේවකරු මේ රාජකීය තේ කෝප්පය සමග කටගැස්ම සඳහා කෙටි ආහාර සහ සැන්ඩ්විච් ආදිය පිරිනැමුවද පාරිභෝගිකයාට උපදෙස් ලබාදෙන්නේ කිසිවක් කෑමට බීමට පෙර පළමුව තේ පානය කරන ලෙසටය. රන් දළු නියම තේ රසය විඳගන්නට හැකි එවිටය. වාර තුනකට බොන විට තේවල රස තුනක් දැනෙන බව නිෂ්පාදන සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධනංජය සිල්වා කියයි. ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර්හි බකිංහෑම් පාරේ අංක 90 පිහිටි The Rubens වෙත ශ්‍රී ලංකා රන්දළු රස සොයායන පාරිභෝගිකයෙකු හට බරසාර මිලක් ගෙවා තමන් ලබාගන්නා මේ තේ පෝච්චියට එක්වරකට දමනා දළුවලින් සාදා දෙන්නේ තේ කෝප්ප තුනක් පමණි. එසේම තේ සමග ලැබෙන සැන්ඩ්විච් පේස්ට්‍රි වැනි අතුරු කෑම සඳහා තවත් පවුල් 45ක මුදලක් ඔවුන් ගෙවිය යුතුය. සාමාන්‍යයෙන් රන් දළු තේ නිෂ්පාදන වියදම අධික එහෙයින්ම දුර්ලභ ඉහළ වටිනාකමක් දරන්නකි. 1891 වැනි ඈත කාලයකදී පවා එහි රාත්තලක මිල පවුල් 1500ක් හෙවත් රුපියල් 327540.64ක් තරම් ඉහළ අගයකි.

- සුගත් පී. කුලතුංගආරච්චි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00