2019 ජුලි 13 වන සෙනසුරාදා

කොළඹ ජාතික රෝහලේ හිටපු විනිසුරුගේ මරණය: වාට්ටුවේ ලොකු මිස් කිව්වා ලෙඩා නෑ කියලා

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

මහාධිකරණයේ හිටපු විනිසුරුවරයකු වූ සිරිසේන කඩවතආරච්චි මහතා වසර කිහිපයක සිට විශ්‍රාම සුවයෙන් සිටියේය. වයසත් සමඟ වැළඳුණු රෝගාබාධ දෙක තුනක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා නේවාසික ප්‍රතිකාරවලට කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවට ඇතුළත්ව සිටියේය. විනිසුරුවරයාගේ සාත්තු සේවය සඳහා කෙනකු යොදවා සිටි අතර වාට්ටුව බාරව හෙද නිලධාරිනියක් ද සිටියාය. විශ්‍රාමික විනිසුරුවරයාගේ අවසන් මිනිත්තු කිහිපය කිසිවකුගේත් ඇස නොගැටෙන්නට ඇත. අවසානයේ විනිසුරුවරයාගේ තුවාල සහිතව මියගිය සිරුර හමුවී තිබුණේ මහල් ගොඩනැගිල්ලක් වූ වාට්ටුවෙන් පිටත බිම වැටී තිබියදීය.

“සර් එක්ක මම කාමරේ ඉද්දී සර්ට කෝල් එකක් ගන්න ඕනෑ කීවා. මගේ ෆෝන් එකේ සල්ලි තිබුණෙත් නෑ. මට රුපියල් 200ක් දීලා. “ඉක්මනට කාඩ් එකක් අරගෙන එන්න මට වැදගත් දෙයක් නෝනාට කියන්න තියෙනවා.* කියලා සර් කීවා. මම දොර ලොක් කරලා කඩේට ගිහින් එද්දී වාට්ටුවේ ලොකු මිස් කීවා ලෙඩා නෑ කියලා. මම කාමරයට යද්දී දොර ඇරලා. බැල්කනියත් ඇරලා. බැල්කනියෙන් බිම බැලුවාම සුදු සරමක් වගේ දෙයක් පහළ දෙකේ වාට්ටුවේ බැල්කනියේ තියෙනවා දැක්කා.” යැයි විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයාගේ මරණය සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයේදී සිරිසේන කඩවතආරච්චි මහතාගේ සාත්තු සේවක ලෙස කටයුතු කළ කපිල කුමාර නැමැත්තා පැවසීය.

නාරාහේන්පිට, ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සිරිසේන කඩවතආරච්චි මහතා 88 හැවිරිදි බිරිඳ හිටපු විදුහල්පතිනියකි. ඔහුට එක් දරුවෙකි. ඔහු කොළඹ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි. පුතුගේ මඟපෙන්වීම මත පියාට ඇවැසි සියලු ප්‍රතිකාර හා සත්කාර කෙරෙමින් තිබී ඇත. ඒ හෘද රෝගය, දියවැඩියාව හා වකුගඩු ආශ්‍රිත රෝග කීපයකින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා පෙළුණු නිසාය.

දින කිහිපයකට ඉහතදී පැවති රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලැබීමට කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළු කර සිටි විශ්‍රාමික විනිසුරුවරයා එහිදී දින එකහමාරක් ප්‍රතිකාර ලබා තිබිණ. එම පෞද්ගලික රෝහලේ අයකිරීම් ඉතා ඉහළය. දරන්නට බැරි මිල ගණනක් නිසා වෛද්‍ය පුත්‍රයා පියා රැගෙන ගොස් තමා සේවය කරන කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවල පිහිටි අංක 41 වාට්ටුවට ඇතුළත් කර තිබිණි. එහිදී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව තයිරොක්සින් නැමැති හෝර්මෝන අඩංගු ඖෂධය ලබාදීමට නිර්දේශ කර ඇත. රෝහලේ අවශ්‍ය ඖෂධ නොවූයෙන් පිටතින් ගෙන්වා ලබාදීමට වෛද්‍ය පුත්‍රයා කටයුතු කර තිබෙන අතර එය නිසි පරිදි ලබා දුන්නේද පිළිබඳව අදහසක් නැත. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලයෙන් යම් අතපසුවීමක් සිදුවූයේද ගැටලුවකි.

කඩවතආරච්චි මහතාට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව සුළු සැත්කමකට භාජනය කර තිබුණි. සිරුරට තරමක බටයක් සවිකර තිබුණේ ඉන් පසුවය. අවශ්‍යතාවයක් වෙතොත් සහාය සඳහා මුදල් ගෙවා සාත්තු සේවකයකු යෙදවූයේ පුතාගේ අදහසටය. එහෙත් ඔහුගෙන් හෝ රෝහල් කාර්ය මණ්ඩලයෙන් හෝ සහායක් නොලැබීම නිසා ඇතැම් පෞද්ගලික අවශ්‍යතාවන් පවා ප්‍රසිද්ධියේ සිදුකර ගැනීමට රෝගී තත්ත්වයේ පසුවූ කඩවතආරච්චි මහතාට තිබූ බවද වාර්තා විය. මේ නිසා වැඩි පහසුකම් සහිත පළමු ශ්‍රේණියේ ගෙවන කාමරයක් ලබාගැනීමට වෛද්‍ය පුත්‍රයා පියවර ගෙන තිබූ අතර ඒ සඳහා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය ලබාගෙන තිබුණි.

එසේ පළමු පන්තියේ කාමරයක් ලබාගත් පසුවද එම වාට්ටුවේ කාර්ය මණ්ඩලය කියා තිබුණේ රෝගීන් බැලීම සඳහා දිනකට එක් වතාවක් පමණක් අවසර දෙන බවය. මේ අතර රෝගීව සිටි විශ්‍රාමික විනිසුරුවරයාට මුත්‍රා පිටවීමේ අඩුවක් සිදුව ඇති අතර ඊට පිළියම් ලෙස වැඩියෙන් ජලය පානය කරන ලෙස උපදෙස් දී ඇත. ඊට අමතරව අවශ්‍ය ප්‍රතිජීවික ඖෂධ කීපයක් ලබාදීමට නිර්දේශ කර ඇත. ඒවා රෝහලේ නොවූයෙන් පෞද්ගලිකව ගෙන්වාගෙන තිබුණ ද සාත්තු සේවක හෝ රෝහලේ වාට්ටු කාර්ය මණ්ඩලය විසින් එම ඖෂධ නිසිලෙස ලබා නොදුන් බවද පැවසේ. මේ අතර දිනෙක බිරිය ස්වාමියා බැලීමට පැමිණ සිටියදී සිය පුත්‍රයා ගෙනවිත් දුන් ඖෂධ ස්වාමියාට ලබාදී නැතැයි ආරංචි වී ඇතැයි කියැවිණි. සෙනෙහසින් යුතුකම් ඉටුකළ වෛද්‍ය පුත්‍රයාට ද එය වේදනාවක් ගෙන දුන් කාරණයක් වී තිබුණි. කෙසේ වෙතත් පියාගේ ද සියලු අවශ්‍යතා සොයාබලන පුත්‍රයා රාජකාරි නිමවා යළි නිවසට යන්නේ රාත්‍රියටය.

මේ අතර ඉකුත් 5 වැනිදා රාත්‍රියේ 9ට පමණ වෛද්‍ය පුත්‍රයාට දුරකතන ඇමතුමකින් දන්වා ඇත්තේ පියා රෝහලේ 5 වැනි මහලින් වැටී තුවාල සහිතව මියගොස් සිටින බවකි. මානසික වශයෙන් කිසිදු රෝගී තත්ත්වයක් හෝ අපහසුවක් නොතිබූ සිය පියාගේ මරණයට හේතුව වාට්ටුවේ හෙද නිලධාරින් හා සාත්තු සේවක ඇතුළු පිරිසගේ වගකීම් විරහිත බව යැයි වෛද්‍ය පුතු සිතයි. වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය නොසලකා හැරීම, ආදේශක ඖෂධ නොදීම, සැත්කමින් පසුව සවිකළ බට ඉවත් කිරීමට උපදෙස් දුන්නත් ඒවා ඉවත් නොකිරීම, හා පළමු පන්තියේ කාමරයක් ලබානොදීම යන කාරණා ඊට හේතුය. සාත්තු සේවකයා කාමරයෙන් පිටව යද්දී කඩවතආරච්චි මහතා සුහදව කතාකරමින් සිට ඇති බව කියති. එහෙත් මිනිත්තු කිහිපයකට පසුව විශ්‍රාමික විනිසුරුවරයා උඩුමහලින් පැන දිවිනසාගෙන ඇතැයි අසන්නට ලැබී ඇත. පස්වැනි මහලින් බිමට පැන හෝ වැටී තිබූ කඩවතආරච්චි මහතාගේ නහයෙන් හා කටින් ලේ වහනය වෙමින් තිබී ඇත. වම් කකුල දණහිසෙන් බිඳීගොස් තිබූ අතර හිස වම්පස තැලී තුවාල සිදුව තිබිණි.

මේ මරණය පිළිබඳව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හදිසි මරණ පරීක්ෂණය සිදුකළාය. ඇය පොලිසියට නියමකොට තිබුණේ විනිසුරැවරයා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ ප්‍රධාන හෙද නිලධාරිනිය ලබන 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. ඒ අනුව මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදී තිබෙන බව මරදාන පොලිසියේ සඳහන් කළේය.

 සමන්ත විල්තෙර
 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00