2019 ජුලි 13 වන සෙනසුරාදා

ලංකාවට ගොඩබෑ එංගලන්ත කුණු

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 182

විදේශවලින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය ඖෂධ හෝ වෙනත් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් කොතෙකුත් අසා ඇත්තෙමු. පරිභෝජනයට හා පරිහරණය සඳහා ගෙන්වන එවැනි දෑ මහජන අවශ්‍යතාව සඳහාය. එය පුදුමයට හේතුවක් නොවුණද විමතියට කාරණය වන්නේ එංගලන්තයේ භාවිතයෙන් පසුව ඉවත දැමූ අපද්‍රව්‍ය තොගයක් අඩංගු කන්ටේනර් 98ක් මෙරටට ගෙන්වා තිබියදී කොළඹ වරාය පරිශ්‍රයේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගැනීමය.

පසුගිය 8 වැනිදා කළ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකර ඇති සෝදිසියේදී ඉවත දැමූ රබර්, ප්ලාස්ටික්, පොලිතින්, විවිධ කෘමි සතුන්, මැරුණු පැලෑටි, කුරුලු පිහාටු සහ විවිධ දිලීර වර්ග එම කන්ටේනර් තුළ තිබී හමුවී ඇතැයි වාර්තා විය. මෙම කන්ටේනර් තොගය ගෙන්වා ඇත්තේ එංගලන්තයේ භාවිතයෙන් ඉවත් කළ රබර් මෙට්ට තොගයක් ගෙන්වන බවට පවසමින් බවද එසේ ගෙන්වීමට ක්‍රියාකර ඇත්තේ කටුනායක ප්‍රදේශයේ පිහිටි ආයතනයක් විසින් යැයිද අනාවරණය වී තිබේ. අදාළ ආයතනය විසින් මෙරට කන්ටේනර් සීයකට වැඩි ප්‍රමාණයක් ගෙන්වා ඇතැයි වාර්තාවල සඳහන්ව ඇතත් සඳුදා වන විටත් ඉන් සොයාගෙන තිබුණේ බහාලුම් 98කි. මේවා ශ්‍රී ලංකා රේගුවේ සවස ආරක්ෂක අංශයේ පාරිභෝගික ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එරට භාවිත කළ රබර් මෙට්ට ගෙන්වන බව අඟවමින් බහාලුම් ගෙන්වා ඇතත් ඒවා පරීක්ෂාවේදී එහි කසළ ගොඩක් පැවතීම ගැටලුවකි. ඒවායේ පැවති විවිධ අපද්‍රව්‍ය නිසා මෙරට පරිසරයට බලපෑම් එල්ලවිය හැකි අන්තරායකර ද්‍රව්‍ය කිසිවක් තිබෙන්නට හැකි යැයි සැකයක් පවතී. නීති විරෝධී ලෙස මෙරටට එවා ඇති කසළ තොගය එංගලන්තයේ සිට ගෙන්වා තිබෙන බවත් මෙරට ජනතාවට හා පරිසරයට ඒවායෙන් එල්ලවිය හැකි අවදානම සලකා නැවතත් බහාලුම් තොගය එරටට ප්‍රති අපනයනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය මගින් ශ්‍රී ලංකා රේගුව වෙත දන්වා ඇතැයිද වාර්තා වේ.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් වරාය පරිශ්‍රයට ගොස් සිදුකළ පරීක්ෂාවෙන් පසුව මෙම උපදෙස් ලබාදීමට එම අධිකාරියේ සහ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රරත්න මහතා පියවරගෙන තිබිණ. මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුව පාර්ශ්වයෙන් සිදුකළ විමසීමේදී රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා කියා සිටියේ කසළ කන්ටේනර් කතාව සත්‍ය බවය. හඳුනාගත් දින පටන් එහි විමර්ශන කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවත් එහි අඩංගු ද්‍රව්‍ය, ප්‍රමාණයෙන් හෝ වෙනත් යමක් ගැන නිශ්චිතව ප්‍රකාශ කිරීමට කරැණු නැති බවත් කීය. සිද්ධිය පිළිබඳ පැහැදිලිව කරුණු අනාවරණය කරගත් වහාම තොරතුරැ මාධ්‍යයට ලබාදෙන බවද ඔහු සඳහන් කළේය. එසේම මේ පිළිබඳව ඇතැම් මාධ්‍ය වාර්තා කරන තොරතුරැවල සත්‍යතාව පිළිබඳව සනාථ නොකරන බවද පැවසීය.

මේ ආකාරයෙන්ම පසුගියදා වාර්තා වූයේ ඕස්ට්‍රේලියාවේ සිට ඉන්දුනීසියාව වෙත අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් කිහිපයක් යවා ඇති බවත් ඒවා නැවත ඉන්දුනීසියා රජය මගින් හරවා යවා ඇති බවත්ය. ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකි කඩදාසි බව හඳුන්වා දී ඇති මෙම කසළ තොගය යවා තිබුණු අතර එහි තිබී ඇත්තේ එරට ජනතාව භාවිතකර ඉවත් කළ නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකි විදුලි උපකරණ කොටස්, ප්ලාස්ටික්, පරණ එන්ජින් ඔයිල්, සපත්තු ටින් කැබලි ඇතුළු කසළ තොගයකි.

මේ සියල්ල රටේ පරිසරයට හා ජනතාවට අහිතකර නිසා ඉන්දුනීසියාව වෙත යවා ඇති බවත් එම තොගයේ බර ටොන් 210කට අධික බවත් වාර්තා විය. එරට රේගු නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මාධ්‍යයට කරුණු දක්වා කසළ තොගය නැවත පිටත්කර තිබුණේ පසුගිය 9 වැනිදාය. මේ ආකාරයට ඕස්ට්‍රේලියාව සිට මැලේසියාවට ටොන් 100ක අපද්‍රව්‍ය තොගයක් යවා ඇති බවද එම කසළ තොගය ප්‍රතිඅපනයන කළ බවද වාර්තා විය. එමෙන්ම කැනඩාව සිට පිලිපීනයට කසළ කන්ටේනර් 69ක්ද ප්‍රංශයේ සිට ඉන්දුනීසියාවට කසළ කන්ටේනර් 49ක්ද යවා ඇති බවට තොරතුරැ හෙළිවී තිබේ.

2018 වර්ෂයේදී චීනය විදේශවලින් කසළ ගෙන්වීම අත්හිටුවා ඇත. මේ සමඟ සංවර්ධිත රටවල් අපද්‍රව්‍ය දකුණු ආසියානු රටවලට යැවීමේ ප්‍රවණතාවයක් පවතී. ලෝක වනසත්ත්ව අරමුදල නම් පරිසර සංවිධානය පවසන්නේ වසරකට ලෝකයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 300ක් එකතුවන බවය. සංවර්ධිත රටවල කසළ තොග අවසානයේ වෙනත් රටවල ගොඩගසන්නට ඔවුන් උනන්දු වන බව දකින්නට ඇත.

ලෝකයේ වැඩිම අපද්‍රව්‍ය ප්‍රමාණයක් රුස්වන රටවල් අතර චීනය ප්‍රමුඛස්ථානයේ සිටී. මෙසේ රුස්වන අපද්‍රව්‍ය තොග ලෝක සමුද්‍ර දූෂණයට බලපාන සාධකයක්ව පවතී.

අනවසරයෙන් ගෙන්වූ එකක්.අනාරක්ෂිත නිසාපරික්ෂා කිරීමත් අසීරුයි

මධ්‍යම පරිසර අධිකාරිය - ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි ඉන්ද්‍රජිත්

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් වරාය පරිශ්‍රයට ගොස් අදාළ බහාලුම් පරික්ෂාවට ලක්කළා. ඇත්තටම ඒවායේ තිබුණේ අපද්‍රව්‍ය. ලංකාවට ගෙන්වීමට හෝ එය පිළිගැනීමට හැකියාවක් නෑ. අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය තුළ ඊට ඉඩක් නෑ. ඒ නිසා මෙම අපද්‍රව්‍ය තොගය නැවත ප්‍රතිනැව්ගත කිරීමට උපදෙස් දුන්නා. ඒ පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබෙනවා. එය සිදු කිරීම රේගුවේ වගකීම. මේක අනවසරයෙන් ගෙන්වූ එකක්. මේ සඳහා පරිසර අධිකාරිය අනුමැතියක් දීලා නෑ. මූලිකවම මෙහි මෙට්ට, පාපිසි වගේ රබර් ආශ්‍රිත අපද්‍රව්‍ය තිබුණේ. අනාරක්ෂිත නිසා පරික්ෂා කිරීමත් අසීරුයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර