2019 ජුලි 13 වන සෙනසුරාදා

මංතීරු නීතිය අකුරට වැඩ!

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 108

“ප්‍රධාන නගරවල මංතීරු නීතිය ක්‍රියාත්මකයි” “සහන කාලය අවසන් - මංතීරු නීතිය අද සිට” “මංතීරු නීතිය අද සිට අකුරටම”

ප්‍රධාන නගරවල වාහන තදබදය අවම කිරීමේ හා රිය අනතුරු අඩුකර ගැනීමේ උපක්‍රමයක් ලෙස මංතීරු නීතිය ක්‍රියාත්මක කොට තිබේ. එය ක්‍රියාවට නැංවීමට මත්තෙන් පළකළ පුවත් සිරස්තල කීපයක් ඉහත පරිදිය. මෙය ක්‍රියාත්මක කර දින දෙකකට පසුව පුවතක් වාර්තාකොට තිබුණේ “මංතීරු නීතිය යටතේ රියදුරන් 5120 කට දඩ” වශයෙනි.

මෝටර් වාහන පනතේ 148 වැනි වගන්තිය යටතේ මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව පසුගිය ජූනි 10 වැනිදා සිට මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බවත් නීතිය කඩකරන රියැදුරන්ට රුපියල් 2000ක දඩයකට යටත් වීමට සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජූනි 10 වැනිදා සිට ජූලි 4 වැනිදා තෙක් මංතීරු නීතිය උල්ලංඝනය කළ වරදකරුවන් 5120 කට එරෙහිව රථවාහන පොලිසිය මගින් දඩ පමුණුවා ඇති බවය.

ප්‍රධාන නගර ආශ්‍රිතව ආරම්භ කළ මංතීරු නීතිය මේ වනවිට දිවයින පුරාම තදින් ක්‍රියාත්මක කරමින් පවතී. එබැවින් අනවශ්‍ය දඩ මුදල්වලට යටත් නොවී විනයගරුක හා නීතිගරුක ලෙස රිය පදවන්නැයි රථ වාහන පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි. අධික රථවාහන තදබදයක් පවතින කොළඹ ඇතුළු නගර රාශියක පෞද්ගලික බස් රථ, ත්‍රීරෝද රථ හා යතුරුපැදිකරුවන් මෙම නීතිය බහුලව උල්ලංඝණය කරන බවක් දකින්නට ලැබේ. ඒ නිසා සිදුවන අනවශ්‍ය වාහන තදබදයක් මෙන්ම රිය අනතුරුද වන බව පොලීසිය හඳුනාගෙන ඇත. එකී සියල්ල පාලනය සඳහා මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කොට ඇත.

දිවයින පුරා රිය අනතුරු අඩු කිරීමත් ප්‍රධාන නගර ආශ්‍රිතව වාහන තදබදය අවම කිරීමේ අරමුණත් ඇතිව ක්‍රියාත්මක කරන නීතියට අනුව රියැදුරන් විසින් අදාළ මංතීරැවේ ධාවනය, ඉස්සර කිරීමේදී සහ හැරවීමේදී නියමිත මංතීරු භාවිත කිරීම කළ යුතුය. මීට අමතරව කොළඹ නගරයේ ක්‍රියාත්මක විශේෂ බස් මංතීරු නීතිය ක්‍රියාත්මකය.

මංතීරු නීතිය ප්‍රකාරව වලංගු නීතිය යටතේ ඕනෑම වාහනයක් මංතීරු දෙකක් සහිත මාර්ගයකදී වමෙන් ධාවනය කළ යුතුය. දකුණට හැරවීමේදී ඊට පෙර දකුණු පස මංතීරුවට මාරු වී ඒ ඔස්සේ මඳ දුරක් ගමන් කොට අදාළ ස්ථානයේදී දකුණු පසට හැරවිය යුතුය. වාහනයක් ඉස්සර කිරීමේදී දකුණු පසින් ඉස්සර කළ යුතුය. එසේ ඉස්සර කරන වාහනයක් නැවතත් හැකි පමණ ඉක්මනින් වම්පස මංතීරුවට ගෙන ධාවනය කළ යුතුය. බස් මංතීරු නීතිය ක්‍රියාත්මක මාර්ගවල අදාළ කාලය තුළ බස්රථ වම්පස මංතීරුවේ පමණක් ධාවනය කළ යුතුය. බස් මංතීරුව ක්‍රියාත්මක වන කාලය තුළ වෙනත් රථවාහන එම මංතීරුවේ ධාවනය නොකළ යුතුය වශයෙන් සඳහන් වේ.

දැඩි රථවාහන තදබදයක් සහිත මාර්ග වශයෙන් කඩුවෙල-බොරැල්ල, හයිලෙවල් මාර්ගය, ගාලුපාර සහ බේස්ලයින් ප්‍රසිද්ධය. මේවායේ තෝරාගත් ප්‍රදේශවල බස්රථ මංතීරු ක්‍රියාත්මක වේ. කොළඹ ආශ්‍රිතව කොපමණ රථවාහන තද බදයක් පැවතියද අවශ්‍ය සියලුම රථ වාහන පාලන රාජකාරි අදාළ ප්‍රදේශවල පොලිස්ථානවලට අමතරව නාගරික රථවාහන පොලිස් ඒකකය සහ බස්නාහිර උතුර රථවාහන පොලිස් ඒකකය යටතේ පාලනය කෙරිණි. මෙහි නාගරික රථවාහන පොලිස් ඒකකය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ පිහිටුවා ඇති අතර බස්නාහිර උතුර රථවාහන කොට්ඨාසය පිහිටුවා අත්තේ පෑලියගොඩය.

කොළඹ නගරයේ පාර්ලිමේන්තු පාර, හයිලෙවල් මාර්ගය සහ ගාලුපාර අධික රථවාහන තදබදයක් පැවතියද ඒවා පාලනය කෙරුණේ ප්‍රදේශයේ රථවාහන පොලීසි මගිනි.

පවතින අධික තදබදය හා අනතුරු අවම කිරීම සඳහා එකී ප්‍රදේශ පාලනයට නව බස්නාහිර පළාත දකුණ රථවාහන පොලිස් ඒකකය පසුගියදා ආරම්භ කෙරිණි. මේ සඳහා ගුවන් විදුලි කාර් රථ 8ක් යතුරුපැදි 50ක් සමග නිලධාරීන් 200 දෙනෙක් යොදවනු ලැබ සිටිති. ඒ අතර පොලිස් අධිකාරිවරයෙක් හා සහකාර පොලිස් අධිකාරිවරු තිදෙනෙක් සිටිති. ඔවුන් තිදෙනා බත්තරමුල්ල, නුගේගොඩ හා ගල්කිස්ස ප්‍රදේශවල ස්ථානගතවී අධීක්ෂණය කරති. මේ කණ්ඩායම හෝමාගම සිට කිරුළපන දක්වාත් හෝමාගම සිට මාලබේ දක්වාත් කඩුවෙල සිට ඔරුගොඩවත්ත තෙක්ද කොට්ටාව සිට ආයුර්වේද වටරවුම තෙක් හා මාලබේ සිට පොල්දූව පාලම දක්වා රථ වාහන රාජකාරි සිදුකිරීමට නියමිතය.

 විල්තෙර