2019 ජුලි 13 වන සෙනසුරාදා

හැදුවත් පෙන්වන්න බැරි චිත්‍රපට රුසක්

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 530

සිංහල සිනමාව ස්වර්ණමය යුගයක් පසුකළ ද අද වනවිට ප්‍රදර්ශනය වන ඇතැම් සිනමාපට හේතුවෙන් සිනමා කර්මාන්තය යම් බිඳ වැටීමකට ලක්ව තිබේ. ලංකාවේ තිරගත වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සිට අදටත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳුණු සිංහල සිනමා පට බොහෝමයක් එකල බිහිවුණි. අද තරම් තාක්ෂණික අතින් ඉහළ නොවූ මෙම සිනමා පට අතරින් හැටේ දශකයේ ආරම්භයේදීම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ සත් සමුදුර ඉන් ප්‍රධාන තැනක් ගනී. එපමණක් නොව හන්තානේ කතාව, ගොළු හදවත, පරසතු මල්, නිධානය, දෙලොවතක් අතර, ගැටවරයෝ, බක්මහ දීගේ වැනි චිත්‍රපට ද අසූව දශකයේදී බිහි වූ හංස විලක්, කැඩපතක ඡායා, රිදී නිම්නය, සිරි මැඳුර, සිරිබෝ අයියා, පාර දිගේ, දඩයම වැනි නිර්මාණයන් ද ඉතා ඉහළ නිර්මාණ ලෙසද ඒවා ප්‍රේක්ෂකයන් ඉතා කැමැත්තෙන් වැළඳගත් බවද සඳහන් කළ හැක.

මීට අමතරව තවත් බොහෝ නිර්මාණයන් තුළින් මිනිසුන්ගේ සිත් සතන් වැළඳ ගත්තද මෑත කාලයේදී සිනමා ශාලා වෙත පැමිණෙන ප්‍රේක්ෂකයන්ගේ බොහෝ අඩුවීමක් දක්නට ලැබුණි. මේ අඩුවීමට සිනමා ශාලාවල පෙන්වන සිනමා පටයේ දුර්වලකම මෙන්ම සිනමා ශාලාවල ඇති දුර්වලකම් ද ප්‍රබල ලෙස බලපා ඇත. විශාල පිරිවැයක් වැයකොට විශාල කාලයක් ගණනාවක්ම මහන්සි වී අවසන් වූ චිත්‍රපට බොහොමයක් අද වනවිට ප්‍රදර්ශන පෝලිමේ රුඳී තිබෙන අතර තවත් චිත්‍රපට කිහිපයක්ම කිසිවකුට පෙන්වීමට නොහැකි තත්ත්වයේද පසුවිය.

කාලයක් තිස්සේ එකතු වුණු චිත්‍රපට එකසිය හතක් පමණ ප්‍රදර්ශනය වීමට තියෙනවා. මුලින් චිත්‍රපට අනූනවයක් තිබුණා. පසුව එය එකසිය හතක් බවට පත්වුණා. අපි ඇගයීම් මණ්ඩලයක් මගින් නැවත මෙම චිත්‍රපට නරඹා එයින් මිනිසුන් ආකර්ෂණ්‍ය වෙන, ප්‍රදර්ශනය කළ හැකි, ප්‍රමිතියෙන් යුතු චිත්‍රපට දැන් මේ වනවිට තෝරගෙන තියෙනවා. මේ එකසිය හත අතරින් සමහර චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නට ඇත්තටම අමාරැයි. සිනමා ශාලා හිමියන් මේ චිත්‍රපට තම සිනමාහල්වල ප්‍රදර්ශනය කරන්නට එකඟ වෙන්නෙත් නැහැ. එවැනි චිත්‍රපට සිනමාශාලාවල ප්‍රදර්ශනය කළත් ඒවා නැරඹීමට ප්‍රේක්ෂකයන් පැමිණෙන්නේ නැහැ

යැයි ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුල ප්‍රනාන්දු දේශයට පැවසුවාය.

එවැනි චිත්‍රපට පෙන්විය නොහැකි වන ප්‍රධානම හේතුව වන්නේ එම චිත්‍රපට නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීමය. ඇතැම් ටෙලි නාට්‍යයන් ද චිත්‍රපට ලෙස නිර්මාණය කර ඇති බවද සභාපතිනිය චෝදනා කරයි. මුදල් වැය කොට ප්‍රමිතියෙන් තොර චිත්‍රපටයක් බැලීමට කිසිදු සිනමා ලෝලියකු කැමති වන්නේ නැත. මෙවැනි බාල වැඩ කර්මාන්තයේ බිඳ වැටීමට හේතු වී තිබේ. මෙවැනි වර්ගයේ චිත්‍රපට කිහිපයක්ම පසුගිය කාලයේදී ප්‍රදර්ශනය වී ඇති අතර ඒවා ප්‍රේක්ෂකයන් නොබැලීම හේතුවෙන් සිනමාහල් පාළුවට ගොස් සිනමා ශාලා හිමියන් දැඩි අසරණ තත්ත්වයට පත්වූ අවස්ථා ද එමටය. මෙවැනි බාල ගණයේ සිනමා පට ප්‍රදර්ශනය වීමෙන් බොහෝ සිනමා ලෝලීහු චිත්‍රපට බැලීමෙන් ඈත්ව යති.

එකම චිත්‍රපටය හත් අට වතාවක් බැලූ සිනමා ලෝලීහු අතීතයේදී සිටියහ. අද ඇතැම් චිත්‍රපටය අවසාන තෙක් අමාරැවෙන් නැරඹූ සිනමා ලෝලීන් සිනමා ශාලාවෙන් පිටව යන්නේ ද අපරාදෙ අපේ සල්ලි කියමිනි. ඇතැම් චිත්‍රපට නරඹන අතරවාරයේදී සිනමාශාලාවලින් නැගිට යන තැනකට ද වර්තමානයේදී සිනමා කර්මාන්තය බිඳ වැටීමට ප්‍රබල හේතුවක් විය. ප්‍රේක්ෂකාගාරය හිස්වීමට ප්‍රධානම හේතුවක් ලෙසින් අනූෂා ගෝකුල සභාපතිනිය පෙන්වා දෙන්නේ ද ප්‍රමිතියෙන් තොර චිත්‍රපට නිෂ්පාදනය වීමය. වර්තමානයේදී ද ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇතැම් චිත්‍රපට වටා චිත්‍රපට ලෝලීහු ද එකතු වූහ. පසුගිය කාලයේදීද එවැනි සාර්ථක චිත්‍රපට කිහිපයක්ම ප්‍රදර්ශනය විය.

චිත්‍රපටයක් තිරගත කිරීමට පෙර සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂිත සෑම දේශීය චිත්‍රපටයක්ම සංස්ථාවේ විධිමත්ව ලියාපදිංචි කළයුතු වුවද මීට පෙර එවැනි ක්‍රමවත් ක්‍රමවේදයක් නොතිබී ඇති බවද අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දෙයි.

සමහර චිත්‍රපට සඳහා එහෙම අනුමැතියක් අරගෙන නැහැ. තමන්ගේ හිතුමතේට චිත්‍රපට කරලා. එහෙම ක්‍රමවේදයක් තිබිලා නැහැ. තිර පිටපත අනුමැතියකින් තමයි චිත්‍රපටය නිෂ්පාදනය කළයුතු වන්නේ. නමුත් ඇතැමුන් නිෂ්පාදකයෙක් සොයාගෙන හිතුමතේට චිත්‍රපට හදලා. අද ඇතැම් නිෂ්පාදකවරු ආයෝජකයෝ වෙලා. ඔවුන්ගෙන් බහුතරයකට චිත්‍රපට පිළිබඳව කිසිම දැනුමක් නැහැ. නිෂ්පාදකයන්ට සිනමාව පිළිබඳව නොදැනුවත්කම නිසාම ඇතැම් අධ්‍යක්ෂකවරු නිෂ්පාදකවරු රවටා කෙසේ හෝ චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒවා මිනිස්සු බලන්නේ නැති වුණාම සිනමා ශාලාකරැවන් ලොකු අර්බුදයකයට ලක්වෙනවා. චිත්‍රපට ලෝලීන් සිනමාශාලාවලට එන්නේ නැහැ. මේක ඇත්තටම විශාල අර්බුදයක්. යැයි ද ඇය සඳහන් කළාය.
මෙපමණ කලක් චිත්‍රපට ප්‍රමිතිය මැනිය හැකි ක්‍රමවේදයක් නොතිබුණු අතර මෑතකදී දේශීය චිත්‍රපට ඇගයීම් මණ්ඩලය මඟින් චිත්‍රපට වර්ගීකරණයට පාදක කරගන්නා නිර්ණායක දහයක් සකස් කර ඇති බවද ගෝකුල මහත්මිය කියයි.
ඒ අනුව එම ඇගයීම් මණ්ඩලය විසින් අදාළ චිත්‍රපට නරඹා කලාත්මක ආකර්ෂණීය ලක්ෂණ සහිත චිත්‍රපට, වාණිජමය - ආකර්ෂණීය ලක්ෂණ සහිත චිත්‍රපට, කලාත්මක ආකර්ෂණීය සහ වාණිජමය- අකර්ෂණීය ලක්ෂණ සම්මිශ්‍රිත චිත්‍රපට වශයෙන් චිත්‍රපට වර්ගීකරණය සිදුකරනු ලැබේ.

චිත්‍රපටයේ සිනමාත්මකභාවය (cinematography) චිත්‍රපටයේ කලාත්මක සහ සෞන්දර්යාත්මක වටිනාකම (commercial value) තිර රචනය (screenplay) ශිල්පීය වටිනාකම (cast value) වර්ණ ගුණාත්මකභාවය (color quality) ශ්‍රව්‍ය ගුණාත්මකභාවය (audio quality) දෘශ්‍ය ගුණාත්මකභාවය (visual quality) අධ්‍යක්ෂණය (directing) තාක්ෂණිකභාවය (technology) යන නිර්ණායක මත පදනම්ව චිත්‍රපට වර්ගීකරණය සිදුකිරීම සිදුවේ.

චිත්‍රපටයක් අසාර්ථක වීමෙන් මෙන්ම ප්‍රදර්ශනය කිරීමට නොහැකි බොහෝ සිනමා නිර්මාණ ප්‍රදර්ශනය නොවීමට තවත් ප්‍රබල හේතුවන්නේ තිර රචන‍යේ දුර්වලකමයි. මුදල් දී චිත්‍රපටයක් නරඹන ප්‍රේක්ෂකයන්ට දැනෙන කතා පුවතක් සිනමා නිර්මාණය තුළින් එළිදක්වන්නේ නැත්නම් ප්‍රේක්ෂකයන් විසින් එම සිනමාපටය ප්‍රතික්ෂේප කිරීමක් සිදුවේ. තාක්ෂණික දුර්වලකම් හේතුවෙන්ද අද වනවිට සිනමාපට පෙන්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

වර්තමානයේදී බොහෝ සිනමාශාලා හිමියන්ට සිනමාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇත. එය ඔවුන් පොතපත කියවීමෙන් ලත් දැනුමක් නොව වසර ගණනාවක්ම චිත්‍රපට සමඟ චිත්‍රපට ලෝලීන් සමඟ කළ ගනුදෙනුවල ප්‍රතිඵලයකිනි. වසර ගණනාවක් පුරා ඔවුන්ට හොඳ අත්දැකීම් ගොන්නක් ඇත. මේ නිසා චිත්‍රපටයක් බැලූ සැණින් එය තම ශාලාවල සාර්ථක ලෙස තිරගත වේවිද නොවේවිද යන අවබෝධය ඔවුන් සතුව පවතී. සිනමා ශාලාවක් සේවකයන්ට වැටුප් ලබාදෙමින් නඩත්තු කිරීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මේ නිසා සාර්ථක නොවන චිත්‍රපට ඔවුන්ගේ සිනමාශාලාවල පෙන්වීමට බාර නොගැනීම සාමානය දෙයකි. තවමත් පැරණි ක්‍රමයට චිත්‍රපට පෙන්වන සිනමාහල් දහඅටක් ඇත.

අද වනවිට අඩු පොලී අනුපාතයට සිනමා ශාලා අලුතින් හදන්නත්, අලුත්වැඩියා කරන්නත් රජයෙන් ණය මුදලක් ලබාදෙනවා. මේ වනවිට ලංකාවේ පවතින සිනමාශාලා එකසිය අනූඑකම කණ්ඩායම් හයක් යොදා මට්ටම පරික්ෂා කොට ඔවුන්ව ඇගයීමට ලක්කරලා තියෙනවා. 35mm තිබෙන සිනමා ශාලාවලට ජනතාව ඉල්ලන 35mm පැරණි චිත්‍රපට ලබලා දීලා ප්‍රවර්ධන කටයුත්තක් සිදුකරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එයින් එන ආදායමෙන් මෙම සිනමාශාලාවල්වල ද තාක්ෂණික මට්ටම වැඩි කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

අනූෂා ගෝකුල සිනමා ශාලාවල අනාගතය පිළිබඳව ද එසේ අදහස් දැක්වීය. 

අනාගතයේදී පෙන්විය නොහැකි චිත්‍රපට වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාවට ගනු ලබන ක්‍රමවේදය කුමක්දැයි අප කළ විමසුමකදී ඇය මෙසේ සඳහන් කළාය.

කිසිවකුට පෙන්විය නොහැකි එවැනි චිත්‍රපට බිම් මට්ටමෙන්, ගම් මට්ටමෙන් පෙන්වන වැඩපිළිවෙළක් අපිට හදන්න පුළුවන්. නමුත් තවමත් ඒ ගැන තීරණය කරලා නැහැ. මේ මොහොතේදී මේ ගැටලුව විධිමත් කරගන්නට ගැටලු කිහිපයක් තිබෙනවා. සංස්ථාවෙන් ණය දුන්නු චිත්‍රපට කිහිපයක්ම මේ ප්‍රතික්ෂේප වුණු චිත්‍රපට අතරේ තියෙනවා. ලක්ෂ විසිපහ, තිහ ප්‍රමිතියෙන් තොර චිත්‍රපටවලට ණය ලබාදීලා තියෙනවා. ඒ ණය අය කරගන්නට අපිට මොනවද කරන්න වෙන්නේ. ඒ වෙනුවෙන් මිනිසුන් ප්‍රතික්ෂේප කරන චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නට අපිට බැහැ. ඇය පවසන්නීය.

ඉහත වර්ගීකරණයට ඇතුළත් නොවන චිත්‍රපට සිනමාශාලාවන්හි ප්‍රදර්ශනය සඳහා අනුපෙළ ගන්වනු නොලැබෙන අතර එවැනි අවස්ථාවන්හි චිත්‍රපටයේ නිෂ්පාදක හට අභියාචනා මණ්ඩලය හට අභියාචනයක් ඉදිරිපත් කළ හැක. ඇතැම් චිත්‍රපටවසර දාහතක්, වසර පහළොවක් පමණ කාලයක් ගතවුවද තවමත් ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකි වී තිබේ. මේ ප්‍රමිතියෙන් තොර නිසාවෙනි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00