2019 ජුලි 12 වන සිකුරාදා

ඉරාජ් ධනුෂ්ක ගැටෙන ෆේස්බුක් පිටුගැලවීම

 2019 ජුලි 12 වන සිකුරාදා, ප.ව. 06:53 84

ගීත නිෂ්පාදකවරයෙක්, ගායන ශිල්පියෙක් වන ඉරාජ් පසුගියදා නොසීතු විරූ සිදුවීමකට මුහුණ පෑවේය. ඒ ලක්ෂ 11ක රසිකයන් පිරිසක් සිටි සිය ෆේස්බුක් පිටුව හදිසියේ ෆේස් බුක් සමාගම හරහා බ්ලොක් කිරීමත් සමඟය. මෙය ඇතැම් අයට නොතේරෙන දෙයක් වුවත් ලක්ෂ 11ක ෆේස් බුක් පිටුවක වටිනාකම ඒ ගැන දන්නා ඕනෑම අයකුට මැනවින් වටහා ගතහැකිය. සමාන්‍යයෙන් ලක්ෂ එකොළහ ෆේස්බුක් පිටුවක් ඇති අයකුට යම් නිල නොළත් සිවිල් බලයක්ද ඇත. ඒ ඕනෑම දෙයක් ඉක්මනින් සමාජගත කළහැකි නිසාය. කෙසේ වෙතත් ඉරාජ් සතු ෆේස්බුක් පිටුවට  පසුගිය සිකුරාදා රාත්‍රියේ වාරණයක් දමනු ලැබීය.

කෙසේ වෙතත් එම සිදුවීම වී සෙනසුරාදා උදෑසන එළඹුණේවත් නැත. සමස්ත මුහුණු පොත පුරාම ෆේස් බුක්හි කෙටි පණිවිඩ හුවමාරුවක් එහාමෙහා විය. එම කෙටි පණිවිඩ හුවමාරුව අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් මෙන්ම මහරගම නගර සභාවේ මන්ත්‍රීවරයකු වන ධනුෂ්ක රාමනායක සහ තවත් තරැණයකු අතර සිදුවූ සංවාදයකි. අදාළ තරුණයා වැඩේ සිදුකළ බවත් එයට මුදල් අවශ්‍ය බවත් විමසන අතර ධනුෂ්ක රාමනායක ඊට පිළිතුරු වශයෙන් කියන්නේ අදාළ මුදල ලබාදෙන බවත් එය විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දී සිදුකළ ක්‍රියාවක් බවත් එය ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙත කරකවන ලෙසත්ය. කෙසේ වෙතත් එම සංවාදය යම් ආකාරයක ව්‍යාජ එකක් හැටියටද දැකගැනීමේ හැකියාව තිබිණි. කෙසේ වුවත් සෙනසුරාදා උදෑසන වනවිට මෙය චම්පිකගේ වැඩක් යැයි සමාජ ගත විය.

එසේ වීමට හේතු කාරණා ගණනාවක් බලපෑවේය. එනම් පසුගියදා චම්පික රණවක මහතා විසින් ආරම්භ කළ ඉන්න හිතෙන වැඩසටහනට අදාළව පෝසටර් කිහිපයක් තාප්පයක අලවා ඇති ඡායාරූපයක් ප්‍රචාරය වීමය. එම ඡායාරූපය ඉරාජ් විසින් රුගෙන එම පෝස්ටර් ගැලවීමේ ව්‍යාපාරයක් බුකිය පුරා රැගෙන ගිය අතර ඒ සඳහා පෝස්‍ටර් විරෝධී විශාල පිරිසක් එක්වූහ.

එම සමාජජාලා ව්‍යාපාරය කරගෙන ගොස් වැඩි දවස් නැත. දින කිහිපයකට පසුව ඉරාජ් ගේ පිටුව ගැලවී ගියේය.

මේ සම්බන්ධයෙන් ඉරාජ්ගෙන් සිදුකෙරුණු වීමසීම්වලදී ඔහු කීවේ බදාදා දින මාධ්‍ය සාකච්ඡාවක් තබා සියල්ල හෙළිකරන බවය.

ඒ අනුව ඉරාජ් බදාදා දින නීතිඥයන් කිහිප දෙනෙකුගේ සහයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය. ඔහු එහිදී ඍජුව චෝදනා කළේ ආණ්ඩුවටය. කතා කිරීමේ නිදහස ලබාදී එය වාරණයට ලක්කිරීම අසාධාරණ බව ඔහු කීවේය. එසේම ෆේස්බුක් සමාගම විසින් මෙරට පළකරන විවිධ ෆේස්බුක් පණිවිඩ සම්බන්ධයෙන් සොයාබැලීමට කණ්ඩායමක් පත්කර ඇති බවත් ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බවත් චෝදනා කළේය. ඒ සාමාජිකයන්ගේ ෆේස්බුක් ගිණුම්වලට ගිය පසු ඔවුන් එ.ජා.ප.යට වැඩකර ඇති ආකාරය දැකගැනීමට හැකි බවත් ඔහු චෝදනා කළේය.

මේ නිසා යම් ආකාරයක ආණ්ඩු විරෝධී ප්‍රකාශයක් ප්‍රචාරය කළ පසු එය ජාතිවාදි, ප්‍රශ්න ඇතිකරන ප්‍රකාශයක් ලෙස හුවා දක්වා එම ෆේස් බුක් පිටු වාරණය කරන බව ඉරාජ් එහිදී පෙන්වා දුන්නේය. මේ ආකාරයෙන් ෆේස් බුක් පිටු 1500ක් වාරණය කර ඇති බවද ඔහු මෙහිදී හෙළිදරව් කළේය. මේ සියල්ල එකී පිරිස, විසින් අසත්‍ය පුවත් ෆේස් බුක් සමාගමට ලබාදී සිදුකළ ඒවා බව ඉරාජ් මෙහිදී චෝදනා කළේය.

 විශේෂයෙන් තමන් පසුගියදා කූරගල පන්සලට විදුලිය ලබාගැනීමට කටයුතු සිදුකළ අවස්ථාවේ ඊට දේශපාලන අතපෙවීම් මත සිදුවූ ගැටුමත් එසේම බෞද්ධ ස්ථාන කේන්ද්‍ර කරගෙන සිදුකළ ප්‍රචාරයත් මේ ගැටුමට හේතුවී ඇති බව ඔහු එහිදී කීය. කෙසේ වෙතත් තමන්ගේ අරමුණ වන්නේ ජාතිවාදී ප්‍රකාශ මර්දනය කරන බව ප්‍රකාශ කරමින් ආණ්ඩු විරෝධී මතවාද මර්දනය කිරීමේ ආණ්ඩුවේ සැලසුම ෆේස් බුක් සමාගම තෙක් රුගෙන යාම බව ද ඔහු එහිදී කීය.

ඉරාජ් එලෙස මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන විට චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එනම් ව්‍යාජව සකසන සංවාදයක් මුහුණු පොත පුරා ප්‍රචාරය වීම ගැනය. ඒ සම්බන්ධයෙන් සැක පුද්ගලයන් තිදනෙකුගේ නම් ගම්ද ඔහු විසින් රහස් පොලිසියට ලබාදුන් පැමිණිල්ලේ සටහන් කළ බව ඔහු ද මාධ්‍ය ඉදිරියේ කීවේය. එසේ නම් කළ අය අතර ජනාධිපති කාර්යාලයේ පිරිසක්ද වන බව, ඔහු කීවේය. ඔවුන් විසින් තමන්ට මඩ ගැසීමේ අරමුණින් මේ මඩ පෝස්ටුව එහාමෙහා කළ බව ඔහු මාධ්‍යයට කීවේය.

කෙසේ වෙතත් මේ සිද්ධියේදී බැලූ බැල්මට අවුල් සහගත කාරණා කිහිපයක් ඇත. පළමු කරුණ නම් ධනුෂ්ක රාමනායක වැනි මාධ්‍ය ලේකම්වරකුට ජනාධිපතිවරයා සහ ඔහුගේ ලේකම්වරයා යටතේ වූ විදුලි සංදේශ කොමිෂම අමතා ලක්ෂ 11ක සාමාජිකයන් පිරිසක් ඇති ජනප්‍රිය ගායකයකුගේ ෆේස් බුක් පිටුවක් ගැලවිය හැකිද? යන්නයි. එසේ ගැලවිය හැකි නම් ජනාධිපතිවරයාට අවනත නැති ආයතන මේ රටේ පවතින බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇත.

තුන් වැනි කරුණ යම් ආකාරයක එවැනි දෙයක් මුදල් මත සිදුකළා නම් ඒවා මේ ආකරයෙන් මැසේජ් කරමින් කතා බස් කරගනීද? යන්නය. හතර වැනි කාරණය නම් ඉරාජ්ගේ ගිණුම ආණ්ඩුව විසින් කපා දැමුවා නම් ඒ කුමන හේතුවක් සඳහාද? පස්වන කරුණ නම් කිසිදු දැනුම්දීමකින් තොරව එය සිදුකළ බවට ඉරාජ් ෆේස් බුක් සමාගමට චෝදනා කරන්නේ නම් මෙතරම් පිරිසක් සිටින ෆේස්බුක් සමාගම මේ ආකාරයෙන් ලක්ෂ 11 සිටින පිටුවක් කපා දැමීමේදී හේතුවක් නොකියා සිටීද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සිතාගත නොහැකිය.

කෙසේ වෙතත් ඉරාජ් වීරරත්න පැහැදිලි දේශපාලන මාවතක ගමන් කරන කලාකරුවෙකි. එය ඔහුට ප්‍රතික්ෂේප කළ නොහැක. එසේ ඔහු දේශපාලන මතවාදයක් දරන්නේ නම් ඊට විරැද්ධ පිරිසක් මෙය සිදුකළා විය නොහැකිද? එහෙත් එක දෙයක් පැවසිය යුතුය. කතා කිරීමේ නිදහස තමන් කැමති දේශපාලන දර්ශනයක් ඇදහීමේ නිදහස ඕනෑම පුරවැසියකු සතු අයිතිවාසිකමකි. එය ආණ්ඩුවකට ඉවසිය නොහැකි නම් තෝරා බේරාගෙන එක් එක් පුද්ගලයාගේ ප්‍රකාශන මාධ්‍ය හෝ ප්‍රකාශකයා විනාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන බලවත් අතුල් පහරක් වනබවය. කතා කිරීමේ නිදහස ගෙනා මේ ආණ්ඩුවම එය සිදුකරනවා නම් තවත් කුමන කතාදැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය.

► ගයාන් ගාල්ලගේ