2019 ජුලි 13 වන සෙනසුරාදා

ආයෙමත් ඇදුණු බාල පෙට්‍රල් හුටපටය

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 108

සෑහෙන කාලයකට පසු පසුගිය 10 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මිල සූත්‍රය අනුව ඉන්ධන මිල මඳ වශයෙන් පහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූ දින සිට දිගින් දිගටම සිදුවූයේ මාසයේ 10 වැනිදා රාත්‍රියට ඉන්ධන මිල ටිකෙන් ටික ඉහළ දැමීමය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමට සමානුපාතිකව නොවූවද පැට්‍රල් මිල රැපියල් 2 හා 5 වශයෙන් හා සුපර් ඩීසල් ලීටරය රුපියල් 5කින් මිල පහළ දැමීම නිසා යම් පමණකට හෝ පාරිභෝගිකයාට සහනයක් සැලසෙන බව කිව යුතුය.

මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමේ ආරංචිය යටපත් කරමින් ඒ සමඟම ප්‍රචාරය වූ තවත් පුවතක් වූයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඉන්දියානු තෙල් සමාගමේ පිරවුම් හල්වලින් නිකුත් කරන පැට්‍රල්වල ප්‍රමිතිය පහළ වැටී ඇති බවයි. මෙම පුවත මුලින්ම මාධ්‍යවලට අනාවරණය කළේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේය. ඔහු පවසන්නේ තමා බම්බලපිටිය ඉන්දියානු තෙල් සමාගමේ පිරවුම්හලකින් වාහනයට ගසාගත් ඔක්ටේන් 92 වර්ගයේ පැට්‍රල්වල ප්‍රමිතිය පිළිබඳ තමාට යම් සැකයක් ඇති වී ඒ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළ බවය.

එම පැමිණිල්ල අනුව අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අදාළ පිරවුම් හලෙන් ඔක්ටේන් 92 හා 95 යන දෙවර්ගයේම පැට්‍රල් සාම්පල් ලබාගෙන සිපෙට්කෝ ආයතනයේ රසායනාගාරයෙන් පරික්ෂා කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මෙම දෙවර්ගයේම පැට්‍රල්වල නියමිත ප්‍රමිතිය නොමැති බවයැයි ඔහු කියයි. සභාපතිවරයා පවසන්නේ එම වාර්තාවල සඳහන් වන්නේ ඔක්ටේන් 92හි නියම සංයුතිය 90.5 හා 95 පැට්‍රල්වල සංයුතිය 88.5 බවය. මේ පිළිබඳ පරීක්ෂණ වාර්තා තමා ළඟ ඇතැයි ඔහු කියයි. ඉන්දියානු තෙල් පිරවුම් හල් සඳහා පැට්‍රල් සපයන්නේ සංස්ථාව මගින් නිසා සංස්ථාව ගෙන්වන පැට්‍රල් බාල බව සනාථ වන බව ඔහුගේ අදහසය.

කෙසේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ පාරිභෝගික සේවා අධිකාරිය තවමත් මෙම තත්ත්වය පිළිගෙන නැත. ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ රංජිත් විතානගේ කරන පැමිණිල්ල ව්‍යාජ අතර සංස්ථාවේ පැට්‍රල් නියම පිරිවිතරවලට අනුකූල බවය. පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ සිපෙට්කෝ වාර්තාවලින් සෑහීමකට පත්විය නොහැකි නිසා පැට්‍රල් සාම්පල් විදේශ රසායනාගාරයකට යවා වැඩිදුරටත් පරික්ෂා කිරීමට කටයුතු කරන බවය.

කෙසේ වුවද අදාළ පරීක්ෂණ ඉක්මනින් සිදුකර නිසි පැහැදිලි කිරීමක් වහාම කළයුතු බව අපි පෙන්වා දෙමු. එයට හේතුව මෙය වාහන හිමියන්ට පමණක් සිදුවන සරල හානියකටත් වඩා සංස්ථාවේ කීර්ති නාමයට මෙන්ම පරිසර හානියට විශාල බලපෑමක් සිදුවන බැවිනි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ

“අපේ පැමිණිල්ල අනුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් තමා මාර්තු මාසයේ 23 දින ගොස් පැට්‍රල් සාම්පල ලබාගෙන පරික්ෂා කළේ. අපි ඇල්ලුවෙවත් නැහැ. ලංකාවේ මෙවැනි පරීක්ෂණයකට තියෙන එකම නීත්‍යානුකූල ආයතනය තමා සිපෙට්කෝ ආයතනය. එම ආයතනයේ තමා පරීක්ෂණය කළේ. එහි ප්‍රතිඵල අනුව තමා පැට්‍රල්වල සංයුතියේ බාල හෝ හොඳ බව තීරණය වෙන්නේ.

මේ අනුව පැට්‍රල්වල ප්‍රමිතිය නරක නම් මුළු ලංකාවේම ෂෙඩ්වල පැට්‍රල් පහළ ප්‍රමිතියෙන් යුක්ත විය යුතුයි. ඉන්දියානු තෙල් සමාගමේ ටැංකි තියෙන්නේ ත්‍රිකුණාමලයේ. සංස්ථා ටැංකි ඇත්තේ කොළොන්නාවේ. ත්‍රිකුණාමලේ ටැංකිවලට සංස්ථා ටැංකිවලින් කෙළින්ම පැට්‍රල් බෙදනවා. ඒ අනුව ඉන්දියන් තෙල් සමාගමේ පැට්‍රල් ද ප්‍රමිතියෙන් බාල විය යුතුයි.

බම්බලපිටියේ අයි.ඕ.සී. ෂෙඩ් එකෙන් මගේ වාහනයට ගහපු පැට්‍රල් පිළිබඳ මට යම් සැකයක් ඇති වුණා. ඒ නිසයි ඒ බිල්පත්‍ර සමඟ පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි ක‍ළේ. අධිකාරියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් බම්බලපිටිය තෙල් පිරවුම් මධ්‍යස්ථානයෙන් පිළිගත් ක්‍රමවේදය අනුව පැට්‍රල් සාම්පල් අරගෙන සංස්ථා රසායනාගාරයේ පරික්ෂා කිරීමෙන් තමයි මෙම බාල බව සනාථ වී ඇත්තේ. ඒවා මාර්තු 23 දින තමා පරික්ෂා කළේ. එතැනදී ඔක්ටේන් 92 කියලා අලෙවිකරණ පැට්‍රල්වල නියම ඔක්ටේන් අගය 90.5 බව සනාථ වුණා.

ඒ පිළිබඳව පරීක්ෂණ වාර්තාවක් තියෙනවා. අයි.ඕ.සී. ෂෙඩ් එකට තෙල් දෙන්නේ සංස්ථාවෙන් නිසා සංස්ථාව ලංකාව පුරාම අලෙවි කරන පැට්‍රල්වල ප්‍රමිතිය බාල බවට වගකිවයුතු වන්නේ.

පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් ඔක්ටේන් 95 පැට්‍රල් එම පරීක්ෂණයට ලක්කළ අතර එහිදී සනාථ වී ඇත්තේ ඒවායේ ප්‍රමිතිය 92ටත් වඩා පහළ බවයි. එය 88.5ක් බව වාර්තාවේ සඳහන් වෙනවා. ඒ අනුව පාරිභෝගිකයා වැඩි මිලක් ගෙවා මිලට ගන්නා පැට්‍රල් මිල අඩු එකටත් වඩා පහළ ප්‍රමිති අගයක් ගන්නවා නම් එය විශාල අසාධාරණයක්. පාරිභෝගිකයා වැඩිපුර මුදල් ගෙවන්නේ තම වාහනයට හොඳ පැට්‍රල් ලබා ගැනීමටයි. එහෙත් එය වඩාත් බාලනම් ඔහු තව තවත් අමාරුවේ දැමීමක්.

දැන් සංස්ථාව නිවේදනය කරනවා මේ කළ පරීක්ෂණය වැරදි බවට. එහෙම නම් පැමිණිල්ල කළ අපත් සමඟ සාකච්ඡා කළ යුතුයි. එසේ නොමැතිව ඒක පාර්ෂිකව කටයුතු කරලා වැරදි බවට නිවේදන නිකුත් කිරීම අසාධාරණයක්. අපි කතා කරන්නේ පාරිභෝගිකයාගේ පැත්තේ සිටයි. තමන් නිදොස් වීම නොව පාරිභෝගිකයාට සහනයක් සැලසීම අධිකාරියේ වගකීමක්.

අපි එකවරම මෙය මාධ්‍යයට නිකුත් කළේ නැහැ. සංස්ථාවට පැමිණිලි කළා. පාරිභෝගික සේවා අධිකාරියට කිව්වා. එහෙත් වැඩක් වුණේ නැහැ. ඒ නිසයි අන්තිමට මාධ්‍ය තුළින් පැවසුවේ. ඊටපස්සේ තමා කලබල වෙලා සියල්ල සිදු වුණේ. අපි නිහඬව සිටියා නම් අදටත් කිසිවක් වෙන්නේ නැහැ.

කුඩා වෙළෙන්දා වැඩි මිලට විකුණුවායි අධිකරණයට යන, එසේම භාණ්ඩ බාලයැයි නඩු දමන පාරිභෝගික සේවා අධිකාරිය මෙවැනි මහා පරිමාණ ජාවාරම්වලට නිහඬව ඉන්නේ අයිද? අප කියන්නේ මේ පිළිබඳ වගකිව යුතු ආයතන වහා ක්‍රියාත්මක වියයුතු බවයි.

මෙම බාල ඉන්ධන නිසා සිදුවන පරිසර හානිය ද විශාලයි. පාරිභෝගිකයා වාහනවලට දුම් බද්දක්, කාබන් බද්දක් ගෙවනවා. ඉතින් බාල ඉන්ධන නිසා මෙම වාර්තාවලින් ද නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සියල්ලටම දඬුවම හිමි වන්නේ පාරිභෝගිකයාටයි.”

ලංකා ඛනිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ හිටපු සභාපති, ජාතික සේවක සංගමයේ සංවිධායක සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ආනන්ද පාලිත

“ඔක්ටේන් 92 වර්ගයේ පැට්‍රල්වල පැට්‍රල් සංයුතිය 90.5ක් බවට චෝදනාව වෙන්නේ. මෙය තිබිය යුතු ප්‍රමිතියෙන් 1.5ක අඩුවීමක් ලෙසයි දක්වා ඇත්තේ. එහෙත් මෙය සංස්ථාව සම්බන්ධ වෙලා සිදු කරන දෙයක් නොවන බවයි කිවයුතු වන්නේ. මෙය සම්පූර්ණයෙන්ම ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් සිදුකරන මාෆියාවක් බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කළ හැකියි.

අප ගෙන්වන ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල බව එකහෙලා ප්‍රකාශ කළ හැකියි. වාහනවල එන්ජින්වලට අනුරූප වන සේ යොදන ඉන්ධන ප්‍රමිතිගත කර තියෙනවා. සංස්ථාව ගෙන්වන ඉන්ධන අවස්ථා හතරකදී පරික්ෂා කරනවා. මුලින්ම ඒ ගෙන්වන රටේදී පරික්ෂා කරනවා. ඊළඟට රට තුළදී ස්ථාන තුනක පරික්ෂා කරනවා. රටට සපයන ඉන්ධන ප්‍රමිතියෙන් යුතුව ලබාදීම තමා තෙල් සංස්ථාවේ ප්‍රධානතම වගකීම. එය පනතේම සඳහන් වෙනවා. ඒ නිසා සංස්ථාව සපයන ඉන්ධන ප්‍රමිතියෙන් තොරයි කියලා කාටවත් කියන්න බැහැ.

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන සැපයීමේදී මුලින්ම ඉන්ධන සාම්පලයක් බෝතලයකට ගන්නවා. එහෙම කරන්නේ යම් ගැටලුවක් ඇති වුණොත් සාම්පලය පරික්ෂා කළ හැකි වන්නටයි.

මෙම ගැටලුව ඇති වූ පසු ඊයේ (8) ද සංස්ථාව ඉන්ධන පරික්ෂා කළා. එහිදී සනාථ වූයේ අගය 92.3ක් තිබෙන බවයි. එයින් අදහස් වන්නේ සම්මතයටත් වඩා ඉහළ ප්‍රමිතියකින් යුක්ත බවයි. ඒ නිසා මෙය සංස්ථාව පැත්තෙන් සිදුවන දෙයක් නොව ඇතැම් ඉන්ධන පිරවුම් හල් සම්බන්ධ වෙලා කරන ජාවාරමක් බවට සැකයක් නැහැ. පාරිභෝගික සේවා අධිකාරියට යම් වගකීමක් තිබෙනවා මෙයට මැදිහත් වෙලා කටයුතු කරන්න. ඒ අයට ඉන්ධන නිකුත් කිරීම් පරික්ෂා කර ඇත්තටම වාහනවලට යන්නේ නියම ඉන්ධනද කියලා සොයා බැලිය හැකියි.

2010 වසරේදී මෙලෙස ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණා අපට මතකයි. එහිදී බාල ඉන්ධන නිසා වාහන එන්ජින්වලට සිදු වූ හානියට වන්දි ගෙවන්නත් වුණා. එය ද එක්තරා විදියක දේශපාලන මැදිහත්වීමෙන් සිදු වූ ජාවාරමක් බව සනාථ වුණා. අද ඇතිව තියෙන තත්ත්වයට ද මේ දූෂිත දේශපාලනය සම්බන්ධයි. මෙහිදී කිහිප පැත්තකින් හානි සිදුවෙනවා. බාල ඉන්ධන නිසා එන්ජින් විනාශ වෙනවා. පරිසරය අපවිත්‍ර වීමෙන් රෝගීන් ඇතිවෙනවා. විශේෂයෙන්ම ගැබිනි මවුවරුන්ට මේ ඉන්ධන දුම විෂ සහගතයි. කුස තුළ සිටින දරුවාට ද බලපානවා. විනාශ වන එන්ජින්වලට වෙනත් එන්ජින් ගෙන ඒමට ද රෝගීන්ට ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමට ද විශාල වශයෙන් විදේශ විනිමය වැය වෙනවා. වාහන අලෙවියට ද මෙය අහිතකරව බලපානවා. ඒ නිසා මේ මාෆියාව නැති කිරීමට ක්‍රියා කළ යුතුයි. හෝටල්වලට පවා ඉන්ධන විකුණනවා.

දැනටමත් පැට්‍රල් වෙනුවට භූමි තෙල් යොදා වාහන ධාවනය කිරීමේ ජාවාරමක් අනවරණය කරගෙන තිබෙනවා. විශේෂයෙන් ලංගම බස් රථවලට භූමි තෙල් යොදන බව කියනවා. එහිදී එම වාහන වලින් පරිසරයට විශාල විනාශයක් සිදුවෙනවා. මෙවැනි ජාවාරම් නැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි. බාල ඉන්ධන අලෙවි කරනවා යැයි ප්‍රචාරය වීම සංස්ථාවේ කීර්ති නාමයට කැලලක්. ඒ නිසා මෙම තත්ත්වය නැති කිරීම ඉක්මනින් කළ යුතුයි.

තෙල් සංස්ථාව අතින් පාඩු විඳගෙන තමා ආණ්ඩුව කියන හැටියට ඉන්ධන අලෙවි කරන්නේ. ණයට ඉන්ධන විකිණීම නිසා සංස්ථාව කඩා වැටිලා. මෙය ලාභ ඉපයිය හැකි ව්‍යාපාරයක් වුණාට විශාල ලෙස ණයට දීම නිසා විශාල විනාශයක් සිදුවෙනවා. විදුලි බල මණ්ඩලයට, එයාර් ලංකා සමාගමට විශාල ලෙස ණයට දීලා. ආණ්ඩුවේ කොන්දේසි නිසා සංස්ථාව අලෙවි කරන්නේ පාඩුවටයි. අන්තිමට සංස්ථාවට සිදුව ඇත්තේ ණයට මුදල් ගෙන තම අවශ්‍යතා පියවා ගැනීමටයි. අපට ලැබිය යුතු ණය කොටස් වශයෙන් හෝ අඛණ්ඩව ලැබෙනවා නම් මේ විදිහට ණය ගන්න අවශ්‍ය නැහැ.”

මේ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු පැවසුවේ අධිකාරිය මෙම පැට්‍රල් සාම්පල් පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති අතර නියැදි පරීක්ෂණයකදී යම් පමණක ගැටලුවක් ඇති බව අනාවරණය වී ඇති බවය. එහෙත් එය අවසාන නිගමනය නොවන අතර තවදුරටත් විදේශයකට යවා පරික්ෂා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කීවේය. කෙසේ වුවද මෙය සෑහෙන වියදමක් දැරීමට හා කාලයක් මිඩංගු කිරීමට  සිදුවන ක්‍රියාවලියක් වන අතර එහි ප්‍රතිඵල ලැබීමෙන් පසු ස්ථිරව යම් ප්‍රකාශයක් කළ හැකි බවද ඔහු කීවේය. එසේ හරිහැටි තත්ත්වය සනාථ කර නොගෙන මාධ්‍යට පැවසීම නුසුදුසු බව ඔහුගේ අදහස විය. කෙසේ වුවද පාරිභෝගික සේවා අධිකාරිය මේ පිළිබඳ මැදිහත් වී කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය. නියමිත ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීමට මැදිහත්වීමට අධිකාරියේ පරමාර්ථය බව පිළිගන්නා බවද ඔහු කීය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පැට්‍රල් පිළිබඳ කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය හා පදනම් විරහිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ එන්. ආර්. ජයසේකර පවසයි.

ඔහු පවසන්නේ සංස්ථාව ඔක්ටේන් 90 පැට්‍රල් 92 ලෙසට වෙළෙඳපොළට නොවිකුණන බවකි. මහජනතාවට වගකියන රාජ්‍ය ආයතනයක් ලෙස සංස්ථාව නියම ප්‍රමිතියෙන් යුතු ඉන්ධන පමණක් අලෙවි කරන බව ඔහු අවධාරණය කර සිටී. සංස්ථාව ආනයනය කරන සහ නිෂ්පාදනය කරන පැට්‍රල් ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ නිවැරදි පිරිවිතරවලට හා ප්‍රමිතියට අනුකූලව බවට ඔහු සහතික වෙයි.

සංස්ථාව බෙදාහරින සියලු ඉන්ධන CPSTL රසායනාගාරවල පරික්ෂාවට ලක්කර එහි තත්ත්ව සහතික ලබාගන්නා බව ඔහු කියයි. ඒ නිසා ඒවා අඩු ප්‍රමිතියෙන් යුතුවීමට කිසිදු හේතුවක් නොමැතිය යන්න ඔහුගේ අදහසය. කෙසේ වුවද අවශ්‍ය පරීක්ෂණ සිදුකර ඉදිරියේදී තම මතය සනාථ කළ හැකි බවද ඔහු කියයි.

යසවර්ධන රුද්‍රිගු