2019 ජුලි 13 වන සෙනසුරාදා

යළි ඇදුණු ඇවන්ගාඩ් - පාවෙන අවි ගබඩා නඩුව

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 177

ලංකා මුහුදු සීමාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගිය සිදුවීමට අදාළව ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු අට දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියමකොට තිබුණි. පසුගිය 5 වැනිදා මෙම නියෝගය කරමින් නීතිපතිවරයා දන්වා තිබුණේ පිරිස අධිකරණයට ඉදිරිපත් කර ඒ පිළිබඳව 8 වැනිදාට පෙර කරුණු දක්වන ලෙසය. 

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිදුවීමට අදාළව තමා ඇතුළු පිරිස අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරඇති බව අවධානයට යොමුකරමින් වැඩබලන පොලිස්පතිවරයාට මෙම නියෝගය නිකුත් කොට තිබුණි.

නිශ්ශංක සේනාධිපති මහතා සමඟ විශ්‍රාමික මේජ්ර් ජෙනරාල් පාලිත ජයසිරි ප්‍රනාන්දු, විශ්‍රාමික මේජර් ජෙනරාල් කරැණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙල, විශ්‍රාමික කොමදෝරැ විශ්වජිත් නන්දන දියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ ලේකම් හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ජී.බී. ප්‍රේමචන්ද්‍ර, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු සහකාර ලේකම් දමයන්ති ජයරත්න හා රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර යන අය මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට තිබිණ. 

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ රහස් පොලිසියේ පිරිස පිළිබඳව අධ්‍යයනය කරමින් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාට වාර්තා කර තිබුණේ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික කොමදෝරැ විශ්වජිත් නන්දන දියබලනගේ යන අය ඒ වනවිටත් විදෙස් ගතව ඇති බවකි. පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගය නිකුත් කරන්නට පෙර දිනයේ ජූලි (4) ඔවුන් රටින් පිටවගොස් ඇති බවද දක්වා තිබිණ. 

මෙරට නීතිය අනුව 2011 වසරේ දී ආරම්භ කර ඇති ඇවන්ගාර්ඩ් සමාගම විශ්‍රාමික හමුදා සෙබළුන් බහුතරයකගේ සැදුම්ලත් එකක් විය. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින රක්නා ලංකා සමාගම මගින් අවි ආයුධ හා සේවාවන් ලබාගෙන පවත්වාගෙන ගිය ඇවන්ගාර්ඩ් සමාගම ඉන්දි ඇබන්ට්ලාර්ඩ් නම් නෞකාව පාවෙන අවි ගබඩාවක් වශයෙන් භාවිතා කර ඇතැයි කියති. මෙය ලංකාව අවට මුහුදු තීරයේ පවත්වාගෙන ගොස් ඇති අතර එම නැවේ තිබූ විවිධ වර්ගවල ස්වයංක්‍රීය ගිනි අවි 813ක් හා ජීව උණ්ඩ 2,00,945ක් අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 වසරේදීය.

ඉන් අනතුරැව ගිනිඅවි ආඥාපනත යටතේ හා පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත යටතේ වැරදි සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම හා ඒ සඳහා ආධාර අනුබලදීම යටතේ නඩු පැවරීමට ප්‍රමාණවත් කරුණු ඇති බව නීතිපතිවරයා පොලිස්පතිවරයාගේ අවධානයට යොමුකර ඇතැයි ද වාර්තා විය.

අදාළ නියෝගය අනුව රක්නා ලංකා ආයතනයේ සභාපති වික්ටර් සමරවීර මහතා පසුගිය 8 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. මේ අතර නිශ්ශංක සේනාධිපති මහතා අදාළ නියෝගයට පෙර රටින් පිටවගොස් ඇතැයි කියන කතාව මාධ්‍ය හරහා වාර්තා කෙරිණි. මේ සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති සිට අදහස් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් තබා තිබුණි. 

එහි සඳහන් කර ඇත්තේ ඔහු පන්නරය ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ සෙබළකු ලෙස ලැබූ පුහුණුව මගින් බවය. තමාට සිදුකළ ශෙල්‍යකර්මයක් නිසා වසර 3 ½ක සිට මෙරට විශේෂඥ වෛද්‍යවරැන්ගේ උපදෙස් මත ජර්මනියෙන් හා සිංගප්පූරැවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබන බව ද ඒ අනුව පසුගියදා සිංගප්පූරැවට පැමිණි බවද ඊට පෙර රටින් පිටත්වීම පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර පැමිණි බවද දක්වා ඇත. එසේම “මා කිසි දිනක නීතිය මඟහැරීමට හෝ නීතියෙන් පැනයාමට හෝ නීතිය නැංවීමට කටයුතු නොකළ අතර ඉදිරියට ද එසේ නොකරන බව ශ්‍රී ලංකීය ජනතාවට දැනුම් දෙමි.* යනුවෙන් සටහන් තබා තිබුණි. 

ඇවන්ගාඩ් නෞකාවේ තිබූ සියලුම අවි ආයුධ ශ්‍රී ලංකා රජයේ මධ්‍යම අවි ගබඩාවෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් මිලදී ගත් අවි ආයුධ බවට රක්නා ආරක්ෂක ලංකා සමාගම ලිඛිතව අධිකරණය වෙත දැනුම්දී තිබියදීත් (අදාළ මිලදී ගැනීම් වෙනුවෙන් රජයේ මධ්‍යම අවි ගබඩාවෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත නිකුත් කරන ලද කුවිතාන්සි පවා ඉදිරිපත් කර තිබියදීත්) යහපාලන රජයේ දෙවැනි ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම සියලු අවි රතු මුහුදේ සිට ගාලු වරාය වෙත නීත්‍යානුකූලව ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී තිබියදීත්, මෙම සියලු සත්‍යය යට ගසමින් වෙනත් හස්තයක් විසින් මෙම ව්‍යාපාරය සහ මෙම ආයුධ නිත්‍යනුකූල නොවන බව ප්‍රකාශ කරමින් මා අත්අඩංගුවට ගැනීමට කටයුතු සංවිධානය කර ඇතැයි ද සඳහන් කර ඇත.

මෙම නෞකාව 2015 වසරේදී ගාලු මුහුදේ නැංගුරම් ලා තිබියදී අත්අඩංගුවට ගනු ලැබීය. ඉන් පසුව රක්නා ලංකා සමාගමට අයත් යැයි කී අවි ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී සොයා ගැණින.

2012 – 2015 කාල සීමාවේ පාවෙන අවි ගබඩාව පවත්වාගෙනයාම සඳහා ඇවැන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පමණ පාඩුවක් සිදුකළ බවටත් එබැවින් යහපාලන ආණ්ඩුව එම සමාගමේ සියලු වගකීම් නාවික හමුදාවට පැවරූ බවත් වාර්තා කෙරිණ. මේ සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණ කටයුතු සිදුකෙරෙමින් පවතී. 

 සමන්ත විල්තෙර