2019 ජුලි 06 වන සෙනසුරාදා

ජනපතිටත් උරචක්‍රයක් වූ පෝරකේ මාරකේ!

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

ශ්‍රී ලංකාවේ ඊළඟ ජනාධිපතිවරණය 2019 වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතය. මැතිවරණ උණුසුම බුබුළු දමමින් තිබෙන අතරේ කාලාන්තරයක් තිස්සේ වරින් වර ආන්දෝලනාත්මක ලෙස මතුව යටපත්ව යන ඉපැරැණි  විසංවාදයක් නැවත සමාජගතව ඇත. ඉකුත් ජුනි 26 වැනිදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී තමා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළි කිරීමත් සමඟය. දෙබරයකට ගල් ගැසුවාක් මෙන් මෙරට මතුනොව නොරට ද මානව හිමිකම් ක්‍රියාකාරීහු ප්‍රමුඛ විකල්පවාදීහු මේ ප්‍රකාශයත් සමඟ දැඩි විවේචනාත්මක මතවාදි ප්‍රහාර රැල්ලක් ඇරැඹූහ. සමහරු දඩුවම් නියම වූවන් ගැන කිඹුල් කඳුළු හෙළද්දි, තවත් පිරිසක් මෙය දුටුවේ සිරිසේන මහතාගේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් කට්ටසූර  ප්‍රචාරකවාදි උප්පරවැට්ටියක් හැටියටය. කෙසේ වුවද මේ අලකලංචිය සමඟ මරණ දඬුවම සහ ලෝකයේ එයට හිමි තැන ගැන ද දැන් බරසාර කතාබහක් ඇරුඹී හමාරය.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 114 වගන්තිය යටතේ රාජ්‍ය වැරදි සම්බන්ධයෙන් ද, 129 වගන්තිය යටතේ හමුදාව තුළ කැරැල්ලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ද, 191 යටතේ බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් ද, 296 යටතේ මිනීමැරීම සිදු කරන අයෙකු සම්බන්ධයෙන් ද, 299 යටතේ සිය දිවි හානිකර ගැනීමට අනුබල දීම ද එමෙන්ම, ස්ත්‍රී දූෂණය ද, මරණ දඬුවමින් දඬුවම් කිරීමට හැකි වැරදිය. මීට අමතරව අන්තරායකර ඹෟෂධ ආඥා පනත යටතේ මත්කුඩු ජාවාරමේ යෙදීම ද මරණ දණ්ඩනය ලැබීමට තරම් බරපතළ වරදකි. නමුත් ශ්‍රී ලංකාව අවසාන වරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළේ මීට වසර 43කට පෙරය. ඒ 1976 වසරේදිය. ඉන්පසු මරණ දඬුවම ක්‍රියාත්මක කෙරුණ් නැත. එල්ලුම් ගහ පුස් කන බවට වූ ප්‍රවෘත්තිය මාධ්‍යවල ප්‍රධාන තැනක් ලැබුණේය. එල්ලුම් ගහ හොඳද නරකද? කියා සමාජය තුළ නිමක් නැති කතාබහක් ද ඇරැඹිණි.

ලංකාවේ මරණ දඬුවමට සැලකිය යුතු අතීතයක් හිමිය. බ්‍රිතාන්‍ය යුගයේ එල්ලුම්ගහ ක්‍රියාත්මක වූ අවස්ථාවක් ලෙස වාර්තා වී ඇත්තේ වෘත්තියෙන් වතු අධිකාරීවරයකු වූ පුද්ගලයකුට එරෙහිවය. සිය වත්තේ ‍සේවකයකු මරා දැමීම සම්බන්ධයෙන් ඔහුට එලෙස මරණ දඬුවමද ලබා දී තිබේ. 1856 තරම් ඈතකදී කෑගල්ලේ කඩපිළකදී මරණීය දඬුවම ප්‍රසිද්ධියේ ලබාදුන් අවස්ථාවක් ගැන ද වාර්තා වේ. ඉන් පසුව මෑතකදී බණ්ඩාරනායක මිනීමැරුම් නඩුවේ එල්ලුම්ගහ නියම වූ මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, තල්දූවේ සෝමාරාම යන තිදෙනාගෙන් තල්දූවේ සෝමාරාමට මරණ දඬුවම නියම වූයේ ප්‍රිවි කවුන්සල තීන්දුවෙනි. සිරගෙට නියම වූ පසුව ක්‍රිස්තියානි ආගම වැළඳගත් ඔහු 1962 ජූලි 6 වැනි දින එල්ලා මරණ ලදී.

එල්ලුම්ගහට නියම වූ ප්‍රථම පොලිස් නිළධාරියා වූයේ සන්සෝනි පෙරේරා නම් අයෙකි. සුප්‍රකට ආටිගල මිනීමැරැම් නඩුවේ විත්තිකරුවකු වූ ඔහු ද සිය ජීවිතය නිමකර ගත්තේ එල්ලුම් ගසෙනි. මේ නඩුව විභාග වනවිටද ඔහු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වීම විශේෂත්වය විය. ජෝන් සිල්වා ඝාතනය හා හාරලක්ෂ මංකොල්ලය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ කොළොන්නාවේ මිනීපෙට්ටි ජේමිස් නොහොත් ජේමිස් සෙනෙවිරත්නත්, පිරිවෙන් ආයුර්වේද සිසුවකු වූ ප්‍රේමලාල් රාජපක්ෂත්, පොලිසියේ සේවය කළ මුණසිංහ සහ හමුදාවේ සේවය කළ පෙරේරා යන අය ද මරණ දඬුවමට යටත් වූහ.

එසේම බණ්ඩාරගම ලෑතරබාස් නම් පුද්ගලයා ඇතුළු තවත් තිදෙනකුට ද මරණ දඬුවම නියම වූයේ වයිට්හවුස් නම් වත්තේ අධිකාරවරයාගේ ඝාතනය සම්බන්ධයෙනි. තවද වතු යායක වැටුප් මුදල් රුගෙන ගිය පාසල් ගුරුවරයකු මරා දැමීම හේතුවෙන් වතු කම්කරුවකු වූ වේලායුධන් හට මරණ දඬුවම නියම විය. ලංකාවේ එල්ලුම්ගහ තහනම් කිරීමට පෙර අවසන් වශයෙන් එල්ලුම්ගහට නියම වූයේ චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවාය.

ලංකාවේ මරණ දඩුවම් ඉතිහාසයේ එල්ලුම්ගහට නියම වූ අය සම්බන්ධයෙන් අපූරු අමුතු කතාවන් ද ගොඩනැගී තිබේ. විශේෂයෙන් එක් පුද්ගලයකුට මරණ දඬුවමට පෙර කණ්ණාඩියකින් සිය මුහුණ බලන්නට දුන්විට "බාරෝ උඹේ කෙරුම් අදින් ඉවරයි" යනුවෙන් තමන්ටම කියාගන ඇත. තවකෙකු සිර මැදිරියේ බුද්ධ ප්‍රතිමාවක රූපයක් ඇඳ තිබෙනු දුටු පුවත්පත්කලාවේදියකු ඒගැන නැගූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රශ්න කර ඇත්තේ "මා නම් මගේ මරණය සිදුවන දිනය දන්නවා. නමුත් නුඹ නුඹේ මරණය සිදුවන දිනය දන්නවාද?" යනුවෙනි. කාලාන්තරයකට ඉහත සුප්‍රසිද්ධ වූ සපුවලාන මිනීමැරැම් නඩුවේ එල්ලුම්ගහට නියම වූයේ සිරිසේන නම් අයෙකි. ඔහු සිර මැදිරියේ සිට ලියූ කවි 1954 වර්ෂයේදී පමණ එවක පුවත්පත්වල පළකොට තිබුණි. සිරමැදිරියේ සිට ලියූ මේ කවි සමාජ ගත කළේ එවකට අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් මත සිරකරුවන් පිළිබඳව පරීක්ෂා කොට වාර්තා කිරීම සිදුකළ පසුකාලීනව ලංකාවේ ජනාධිපති බවට පත් වූ රණසිංහ ප්‍රේමදාස මහතාය. එරික් බචෝ නම් තැනැත්තා මරණ දඬුවමට ලක්ව සිරකුටිය තුළ සිටියදී පොතක් ලියූ බව ද සඳහන් වේ. සිරකරුවකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර දින පෝරකය අසල ඇති වෙනත් කාමරයක අවසාන දින රාත්‍රියේ ඔහු රඳවා තබනු ලැබේ. එහිදී සිරකරුවකුගේ අවසාන ඉල්ලීම ක්‍රියාත්මක කරනු ලැබේ. සිරකරු කෑමට කැමති ආහාරයක් පිළියෙල කර දෙන අතර අවශ්‍ය නම් විස්කි ස්වල්පයක් ද බීමට දෙනු ලැබේ. තවද තමා කැමති ආගමික පූජකවරයෙක් ගෙන්වා ධර්ම දේශනාවක් ද කරනු ලැබේ. එක්තරා අවස්ථාවකදී මරණ දඬුවම ලබා සිටි සිරකරුවකුගේ අවසාන ඉල්ලීම වී තිබුනේ සුප්‍රකට ගායක මිල්ටන් පෙරේරා ලවා ගීතයක් ගායනා කරවා ගැනීම සහ  මරදාන බුහාරි හෝටලයෙන් බුරියානි කෑම එකක් ගෙන්වාගන කෑමයි. ඒ අයුරින්ම කැමැත්ත ඉටුකරවා දුන් බවත්, පසුව එම සිරකරු පෝරකය වෙත ගියේද තමාම ඒ සින්දුව ගායනා කරමින් බවත් ප්‍රවාදගතය.

ලංකාවේ මරණ දඬුවම ඉවත් කළ යුතුයැයි කලින් කළ විවිධ අදහස් පළ වී තිබේ. විශේෂයෙන්ම ලංකාව බෞද්ධ රටක් වීමත් බෞද්ධ ධර්මයේ වන අවිහිංසාවාදී ප්‍රතිපත්තියත් මෙයට මූලික වන්නට ඇත. අපේ රටේ පැවති මරණ දඬුවම ඉවත් කළ යුතු බවට ඉතිහාසයේ මුලින්ම යෝජනාවක් ගෙන ආවේ එවක අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසිනි. 1928 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන ආ මෙම යෝජනාව ප්‍රතික්ෂේප වූයේ මෙයට විකල්ප දඬුවමක් නොවූ බැවිනි. 1936 දී පානදුර කොට්ඨාශය නියෝජනය කළ සුසන්තා ද ෆොන්සේකා මහතා විසින් නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට එල්ලුම්ගහ තහනම් කිරීමේ යෝජනා ගෙන ආ අතර දිවි ඇති තෙක් බන්ධනාගාර ගත වීම විකල්ප වශයෙන් එදවස ද යෝජනා වී ඇති නමුත් එය ද පසුව ප්‍රතික්ෂේප විය.

එතැන් සිට දිගටම නීති පොතේ තවදුරටත් මරණ දඬුවම ලියවී තිබුණ ද එය ක්‍රියාත්මක කිරීම එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් නවතා දමන ලදී. මේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද නමුත් සෙනෙට් සභාවෙන් සම්මත නොවූ නිසා දෙවන වර පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත කර ගැනීම තුළින් ක්‍රියාත්මක විය. මේ නිසා එවකටත් මරණ දඬුවම නියම වී සිටි මරදන්කඩවල යකඩයා, කපිතාන් ආතර් පෙරේරා, එරික් බචෝ යන අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් වීමට සිදු විය. එලෙස අගමැති බණ්ඩාරනායක මහතා එල්ලුම්ගස තහනම් කළ ද, ඊට පසුව ද එල්ලුම් ගස එක් වරක් ක්‍රියාත්මක විය. ඒ බණ්ඩාරනායක මහතා ඝාතනය කළ සෝමාරාම භික්ෂුව එල්ලා මැරීමටය. නමුත් එදා 1976-06-27 න් පසුව එල්ලා මරා දැමීම සඳහා මේ වනතෙක් එල්ලුම්ගස ක්‍රියාත්මක කර නැත.

මෑතකදී නැවත එල්ලුම්ගහ සම්බන්ධයෙන් තදින්ම කතාබහ ඇරැඹුණේ මහාධිකරණ විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයත් සමඟින්ය. විනිසුරු අඹේපිටිය ඝාතනය කළ නවුෆර් නැමැත්තා එල්ලා මැරිය යුතු බවට සමාජයේ බොහෝ දෙනා අදහස් දැක්වීම මෙයට හේතුව විය. නීතිඥ සංගමය මගින් ද මේ අදහස ස්ථිර විය. 2006 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයා කුඩු ජා‍වාරම්කරුවන්, කුඩු ව්‍යාපාරිකයන් හට මරණ දඬුවම ක්‍රියාත්මක කරවන බව ප්‍රකාශ කළද, එය එස් වූයේ නැත. ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා එබඳු විවාදාත්මක තත්ත්වයක් පැවති අතර මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීම සඳහා 2018 වසරේ ජූලි 10 වැනි දා කැබිනට් මණ්ඩලය එකඟතාවකට එළඹිණි. එලෙස, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණීය දණ්ඩනය පැනවුණු පුද්ගලයන් සඳහා එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් එකඟතාව පළ වූයේ ඒ සඳහා ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවකට අවධානය යොමු කිරීමෙන් අනතුරුවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනකුට මරණ දඬුවම ලබා දීම සඳහා වන නිර්දේශයට එලෙස අත්සන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් දා මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී අනාවරණය කළේ මේ අතරය.  

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 200,000 පමණ සිටින බව පැවසූ ජනාධිපතිවරයා සිරකරුවන්ගෙන් 60%ක් පමණ මත්ද්‍රව්‍ය වැරදි නිසා දඬුවම් විඳින අය බවද කියා තිබුණි.මේ ප්‍රකාශය නිසා ඇති වූ  අලකලංචිය සුළුපටු නොවේ.අන්තිමේ නැගී ආ දෙස් විදෙස් පෝරක විරෝධය ජනපතිවරයාට උරචක්‍ර මාලයක් වූයේය.                               

"අද ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය. මම මරණ දඬුවමට අත්සන් කරලා ඉවරයි 4 දෙනකුට. ළඟදීම ක්‍රියාත්මක වෙයි. දිනෙත් තීන්දු කරලා දන්වලාත් ඉවරයි.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී කියා තිබුණි.

මේ වනවිට මරණ දඬුවම හිමිවූවන් හා අභියාචනා ඉදිරිපත් කර සිටින මුළු සිරකරුවන් ගණන 1261ක් බව කියති. බන්ධනාගාර වාර්තා අනුව එයින් 297 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිති. මරණ දඬුවම හිමි වී ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති සංඛ්‍යාව 823 කි. ඉන් 36 දෙනකු කාන්තාවන්ය.

ක්ෂමා ආයතනය නිකුත් කළ වාර්තාවකට අනුව රටවල් 142ක් මරණ දඬුවම තහනම් කර ඇත. එක්සත් ජාතින්ගේ වාර්තාවන්ට අනුව ලෝකයේ රටවල්වලින් සියයට 70කට වැඩි ගණනක් මේ වනවිට මරණ දඬුවම තහනම් කර තිබේ. තවත් අය එය තාවකාලිකව කල් දමලාය. එනම් රටවල් 170ක් එම දඬුවම භාවිතා නොකරයි. නමුත් ඒ අනුව එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 අතරින් රටවල් 23ක් පසුගිය දශකයක කාලයේදී එක් වරක් හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇත.එසේම රවටල් 29ක් මරණ දඬුවම නීතිගතව තිබුණත් පසුගිය දස වසරක කාලයක් තුළ එය ක්‍රියාවට නංවා නැත. 2017 වාර්තාවන්ට අනුව ඒ මරණ දඬුවම් අතරින් සියයට 84ක්ම ක්‍රියාත්මක කර ඇත්තේ රටවල් හතරකි. ඉරානය, සවුදිඅරාබිය, ඉරාකය පකිස්ථානය එම රටවල්ය. චීනය ඇත්තේ මේ රටවල් හතරින් ද මුල්තැනය.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) නිකුත් කරන ලද සවිස්තර වාර්තාවකට අනුව 2017 වසරේ ලොව රටවල් 53ක මරණ දඬුවම් 2591ක් ක්‍රියාත්මකව ඇත. ඒ අතරින් ද වාර්තාගත නොවන වැඩිම මරණ දඬුවම් ප්‍රමාණයක් ක්‍රියාවට නගා ඇති රට චීනය ලෙස සැළකේ. දත්ත නිසි ලෙස ලබා ගැනීම අපොහොසත් වීමේ තත්ත්වයක් තුළ වුව ද එරට ක්‍රියාවට නංවන ලද මරණ දඬුවම් ප්‍රමාණය දහස් ගණනක් බව පෙන්වා දී ඇත.

ඉරානය එරට තුළ ක්‍රියාවට නගන ලද මරණ දඬුවම් සංඛ්‍යාව 567 ඉක්මවා ඇති අතර සෞදි අරාබිය 154ට වැඩි ප්‍රමාණයක් ද, ඉරාකය 88ට වැඩි ප්‍රමාණයක් ද ක්‍රියාත්මක කර ඇති බව ක්ෂමා ආයතනය සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාව අයත් දකුණු ආසියානු කලාපය තුළ වැඩිම මරණ දඬුවම් ප්‍රමාණය ක්‍රියාවට නගා ඇත්තේ පාකිස්ථානය බව ද එම වාර්තාවේ දැක්වේ. එම සංඛ්‍යාව 87 ඉක්මවා ගොස් ඇත. ඊට අමතරව බංග්ලාදේශය තුළ මරණ දඬුවම් 10ක් ක්‍රියාවට නංවා ඇත. මත්ජාවාරම බහුල මැලේසියාව් මේ වනවිට එල්ලුම් ගස් පෝලිමට 1200ක් එක්ව සිටිති.

වොෂිංටනය මරණ දඬුවම තහනම් කළ 20 වැනි ප්‍රාන්තය බවට පත්වූයේ පසුගිය ඔක්තෝබරයේදීය. නමුත් පසුගිය වසරේ 23 දෙනකු අමෙරිකාවේදී මරණ දඬුවමට ලක්කර ඇත. අප්‍රිකානු උප සහරානු රටවල් 20ක දැන් මෙය තහනම්ය.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය 2019 අප්‍රේල් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව නම් ලෝකය තුළ මේ වනවිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාව පහළ බැස තිබේ. 2017ට සාපේක්ෂව එයට සියයට 31ක පහළ බැසීමකි. කෙසේ වුවද 2018 වසර අවසන් වනවිට ලෝකය පුරාම එල්ලුම්ගස් පෝලිමේ පොරොත්තුව සිටි ගණන 19336ක් බව එම ආයතනය කියයි. දැන් ජනපති අණින් එල්ලන්නට සැරසෙනවා යැයි කියන අපේ රටේ මත් ජාවාරම්කරුවන් 4 දෙනා ද සමඟය.

සුගත් පී කුලතුංග ආරච්චි

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30