2019 ජුලි 06 වන සෙනසුරාදා

සහරාන්ගේ මුල් සැලැස්ම එළියට

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 57

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවකු අපේක්ෂා නොකළ සිදුවීමක් පසුගිය සතියේ සිදුවුණේය. ඒ අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමය. නීතිපතිවරයා විසින් රහස් පොලීසියට දුන් නියෝගයකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. මෙය ඉතිහාසයේ පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව විය.

ඔවුන් දෙදෙනාට එල්ල වී තිබූ චෝදනා වන්නේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැනය. කෙසේ වෙතත් දෙදෙනා අත්අඩංගුවට ගන්නා විට පොලිස්පතිවරයා පොලිස් රෝහලටත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ජාතික රෝහලේ හෘද රෝග ඒකකයටත් ඇතුළු වී සිටියහ. කෙසේ වෙතත් අවසානයේ ඔවුන්ට පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් ලෙස බන්ධනාගාර ගතවන්නට සිදුවිය.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රටේ විවිධ මතවාද ගොඩනැගී ඇත. පිරිසක් මෙය අගය කරන අතර තවත් පිරිසක් ඊට විරැද්ධ වෙති. ඒ මේ සිද්ධියට වගකිවයුත්තෝ ඔවුන් පමණක් නොව තවත් අය සිටින බව කියමිනි. ඔවුන් අත්අඩංගුවට නොගෙන මොවුන් දෙදෙනා පමණක් අත්අඩංගුවට ගැනීම මේ පරීක්ෂණය යම් ආකාරයක අවුල් කිරීමක් බව ඔවුහු පෙන්වා දෙති. ඒ නිසා ඊට සම්බන්ධ සෙසු පුද්ගලයනුත් අත්අඩංගුවට ගතයුතු බව බොහෝ දෙනාගේ මතය වී ඇත.
මේ අතර පසුගියදා තවත් කතාවක් කරළියට ආවේය. ඒ පාස්කු ප්‍රහාරකයන් සූදානම්ව තිබූ තවත් ප්‍රහාරයක් ගැනය. එනම් මේ පිරිස ප්‍රහාරයක් සඳහා සූදානම්ව ඒ ප්‍රහාරය එල්ල කළ යුත්තේ කුමන ස්ථානයකටද යන්න ගැන සාකච්ඡාවක් බෝම්බකරුවන් විසින් කුලියට ගෙන තිබූ එඬේරමුල්ලේ පිහිටි නිවසේ පවත්වා තිබේ. එහිදී සහරාන් යෝජනා කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරැවන් රුසක් එක්ව එකවර නුවර ඇසළ පෙරහරට කඩා වැදී පුපුරවා හැරීමටය.

එහෙත් මාවනැල්ලේ බුදු පිළිම කැඩූ පිරිස ඊට විරුද්ධ වී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එසේ කිරීමෙන් නුවර පදිංචි මුස්ලිම්වරුන් බොහෝ දෙනෙකුට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවන බවය. එවිට සහරාන්ගේ යෝජනාවට පිරිස අතර ඇතිවූ මතවාදය නිසා දෙපිරිස කණ්ඩායම් දෙකකට වෙන්ව තිබේ. එහෙත් සහරාන් නායකත්වය ගෙන ක්‍රියාකර ඇති අතර ඔහු බෝම්බකරැවන් නවදෙනා රැගෙන කොළඹ මෙහෙයුමට පැමිණ ඇත. අනෙක් පිරිස වෙන්ව ගොස් ඇති අතර ප්‍රහාරය සිදුවු දිනට පසුදින දඹුල්ලෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා එම දෙවැනි කණ්ඩායමේ නායකයා විය. කෙසේ වෙතත් එම ප්‍රහාර සැලසුම පිරිසගේ විරෝධය මත එලෙස වෙනස් වී ඇත.

මේ අතර පසුගිය බදාදා ජාතික තව්හීත් ජමාද් සංවිධානයේ තවත් ත්‍රස්තවාදී සැකකරුවකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු සහරාන්ට අයත් නුවරඑළිය කඳවුරේ පුහුණුකරැවකු ලෙස කටයුතු කර ඇති අතර රහස් පොලීසියෙන් සොයන අවස්ථාවේ ප්‍රදේශයෙන් පළාගොස් සිටියෙකි. පසුව ඔහු බදාදා ජපානය බලා පැනයාමට පැමිණි අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් එල්ලකරන චෝදනා වෙනස් වෙමින් ඇත. මෙතෙක් මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිස සඳහන් කර සිටියේ වෛද්‍ය සාෆි නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ශල්‍යකර්ම සිදුකර ඇති බවය. එහෙත් පසුගියදා අධිකරණයේ කරුණු වාර්තා කිරීමත් සමඟ එම අනාවරණය වෙනස් විය. දැන් පවසන්නේ සාෆි නියමිත ක්‍රමවේදයට අනුව ශල්‍යකර්ම සිදුකර මව්වරු වන්ද්‍යාකරණයට ලක්කර ඇති බවය. එය අලුත්ම කතාවක් බවට පත්ව ඇත. රතන හාමුදුරැවන් ඇතුළු පිරිස ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසය. එහෙත් ජනාධිපතිවරයා තවමත් ඒ ගැන සිය අදහස ප්‍රකාශ කර නැත.

මේ අතර පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂ නියෝගයක් කෙරිණි. ඒ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට යන මරණ දඬුවම වාරණය කරමිනි. ඒ අනුව ඔක්තෝබර් 31 වනදා තෙක් එම වාරණය පනවා තිබේ. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මරණ දඬුවම ලබාදෙන බව ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කර තිබුණත් විදෙස් තානාපතින් හමුවේ පවසා ඇත්තේ එය තමන් වචනයට කිවූ දෙයක් පමණක් බවය. එය ක්‍රියාත්මක නොකරන බව දැනුම් දී ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

පසුගිය සිකුරදා තවත් නියෝගයක් නීතිපතිවරයා විසින් රහස් පොලීසියට ලබා දී තිබිණි. ඒ ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවය. ඒ අනුව ඊට සම්බන්ධ අට දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස එම නියෝගයෙන් දැනුම් දී ඇත. 

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, යුධ හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරැන් වන පාලිත ප්‍රනාන්දු සහ කරැණාරත්න එගොඩවිල, නාවික හමුදා විශ්‍රාමික කොමදෝරැ විශ්වජිත් නන්දන දියබලනගේ, ජාතික පොලිස් කොමිසමේ ලේකම් සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් පී.ඩී. ප්‍රේමචන්ද්‍ර, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න සහ රක්නා ලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර යන අය අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ අනුව ඒ අය අද හෙට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

මේ ආකාරයෙන් පසුගිය සතියේ ආරක්ෂක තත්ත්වය තරමක් උණුසුම් වූ අතර එළඹෙන සතිය කුමකින් කුමක් වේදැයි ඇත්තේ දෙගිඩියාවකි.

 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00