2019 ජුලි 06 වන සෙනසුරාදා

යළි පත්තු වුණු දුම්රිය වර්ජන ගිනි පුපුර

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර සතියක් යන්නට මත්තෙන් නැවත දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ. දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන වෘත්තීය සමිති 85කට වැඩි ගණනක් මෙයට එක්වී සිටින අතර, දුම්රිය සේවකයන් පවසන්නේ බීමතින් රාජකාරි කළ වෘත්තීය සමිති ලේකම්වරයකු වැඩ තහනමකට ලක්කළ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට විරුද්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් විවිධ බලපෑම් කිරීම හේතුවෙන් මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කළ බවයි.

ප්‍රධාන පෙළේ දුම්රිය වෘත්තීය සමිතියක නායකයකු වන මෙම තැනැත්තා වෘත්තියෙන් දුම්රිය රියැදුරු සහයකයකු වන අතර මීට මාස එක හමාරකට පමණ පෙර බීමත්ව රාජකාරියට පැමිණීම හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අදාළ සේවකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගෙන ඒ පිළිබඳ අමාත්‍යාංශය වෙත කරුණු දක්වා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග මගින් පැවසිණි.

චෝදනාවට ලක්වූ මෙම සේවකයාට එරෙහිව අමාත්‍යාංශය දැනුවත් නොකොට විනය ක්‍රියාමාර්ග ගැනීමට එරෙහිව අමාත්‍යාංශයේ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට විවිධ බලපෑම් එල්ල කළ බවත්, මේ හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවයා විසින් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සිය ඉල්ලා අස්වීම පසුගිය 02 වැනිදා යොමුකර ඇති බවත් සඳහන්ය.

කෙසේ වෙතත් මේ වන තෙක් සාමාන්‍යාධිකාරිවරයාගේ ඉල්ලා අස්වීම අමාත්‍යාංශය විසින් පිළිගෙන නැති බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. සාමාන්‍යාධිකාරිවරයා විසින් දෙනු ලැබූ මෙම ඉල්ලා අස්වීමේ ලිපිය අනුව කටයුතු කළ හැක්කේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බවද එම ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

දිනපතා මගීන් ලක්ෂ 4-5ක් අතර ගමන් ගන්නා දුම්රිය මෙසේ නොදන්වා වර්ජනයක් දියත් කිරීම මගින් දුම්රියේ ගමන් ගන්නා මගීන් අපහසුතාවට පත්වීම මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිපුර පාඩු ලබන බව දුම්රිය වර්ජකයන් පවා දන්නා කරුණකි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් මෙසේ පැවසුවේය

දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් රාජිත

බීමත්ව පැමිණි වෘත්තීය සමිති නායකයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමට අමාත්‍යංශ බලධාරීන් විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට විවිධ බලපෑම් එල්ල කර තිබෙනවා. ඒ හේතු මත දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඉල්ල අස්වීම භාරදුන්න බව කියන නිසා තමයි අපි මේ දීපව්‍යාප්ත වැඩවර්ජනය සිදු කළේ. මීට මාස 1 ½කට විතර කලින් බීමත්ව පැමිණි සේවකයකුට එරෙහිව පියවර ගන්නා බවට අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කරලා තිබුණත් බලධාරීන් එය නීත්‍යානුකූල නොවන බව පෙන්වා දී තිබුණා. මේ විදියට බීමත්ව රාජකාරි වෙලාව තුළ සේවයට පැමිණීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බැරි නම් එතුමාගේ තනතුරෙන් වැඩක් වෙන්නෙ නැහැ. යම් පුද්ගලයකුගේ වැරුද්දක් සිදුවී ඇතිනම් සැබැවින්ම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ අමාත්‍යාංශයේ නිලධාරීන් මේ විදිහට සාමාන්‍යාධිකාරිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහි වීමට අපි සම්පූර්ණ විරුද්ධයි. මේකට එරෙහිව පියවර ගත යුතුයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ

රාජකාරි වෙලාව තුළ බීමතින් පැමිණි දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයකුගේ වැඩ තහනම් කරන්න කියලා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට නිර්දේශ කරලා තිබියදීත් අදාළ වෘත්තීය සමිති සාමාජිකයාට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නා ලෙසට බලපෑම් කර තිබෙනවා. මේ හේතුව නිසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සිය ඉල්ලා අස්වීම භාරදීලා තියෙනවා. මේකට විරෝධය පළ කිරීමක් ලෙස තමයි මේ වර්ජනය අපි ආරම්භ කළේ. මීට පෙරත් මෙවැනි ක්‍රියාවල නිරතවූවන්ට සාමාන්‍යාධිකාරී තනතුර හෙබවූ අය දඬුවම් ලබාදීලා තියෙනවා. ආයතනයක ප්‍රධානියෙක් විදිහට යම් සේවකයකු වරදක් සිදුකළ පසුව දඬුවම් දීමක් සිදුකළ යුතුයි. අමාත්‍යංශ නිලධාරීන් මොවුන් මේ විදිහට රකින්නේ කාගේ වුවමනාවටද කියන එක අපිට පැහැදිලි නැහැ. මේකෙ යම් දේශපාලන අරමුණක් තියෙන්න පුළුවන්.

නිරෝෂන් හේරත් - දුම්රිය නියාමකයන්ගේ සංගමයේ උප ලේකම්

මීට පෙරත් මේ විදියේ සිදුවීම් වෙලා තියෙනවා. ඒ සිදුවීම්වලට හිටපු සාමාන්‍යාධිකාරිවරුන් විසින් දඬුවමක් ලබාදීමක් සිදුකරලා තියෙනවා. මේ සිදුවීමට විතරක් ක්‍රියාමාර්ග ගන්න බැරි ඇයි යන ප්‍රශ්නය අපි හමුවේ තියෙනවා. මේ සිදුවීමට අමාත්‍යංශ බලධාරීන් විසින් විනය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්නම් පෙර සිදුවීම්වලට ගත් විනය ක්‍රියාමාර්ග සඳහා මොකද කරන්නෙ? සමහරවිට මේ සාමාන්‍යාධිකාරීතුමා රාජකාරියෙන් ඉල්ලා අස්වුණාට පස්සෙ මොවුන්ට හිතවත් කෙනෙක් පත්කර ගන්න වුවමනාවක් තියෙනවද දන්නෙ නැහැ. කොහොම වුණත් මේකට විසඳුමක් හැකි ඉක්මනින් ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ

දුම්රිය වෘත්තීය සමිතියක ලේකම්වරයකු බීමතින් රාජකාරියට පැමිණි පසු ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කිරීම හේතුවෙන් තමයි මේ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළේ. අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් තියෙනවා. සාමාන්‍යාධිකාරිවරයාට බලයක් නැහැ. නමුත් සාමාන්‍යාධිකාරිවරයා විසින් දැනුවත් කළාට පස්සෙත් මෙවැනි දේකට අමාත්‍යංශ ලේකම්වරයා ක්‍රියා නොකිරීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. විනය කඩ කිරීමක් කරලා තියෙනවා නම් කාට එරෙහි වුණත් ක්‍රියාමාර්ග ගන්න ඕන.

මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් තොරතුරු විමසා බැලීමට උත්සාහ කළද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

 සටහන :- හසිත් අංජන