2019 ජුලි 06 වන සෙනසුරාදා

ලෝකෙන්ම කප් ගැසූ කුරුඳු - ගම්මිරිස් වගාවට ගිය කල

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 156

ශ්‍රී ලංකාව කුරුඳු හා ගම්මිරිස් වගාවන්ට ඒ කාලයේ සිටම ප්‍රසිද්ධියක් ඉසිලූ රටකි. පෘතුගීසින් ලංකාවට පැමිණෙන විටදී ද ලංකාව කුරුඳු කර්මාන්තය සඳහා ඉතා ඉහළ තලයක සිටියේය. මේ නිසාම වගාකරුවන් අතින් කුරුඳු හා ගම්මිරිස් දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල ප්‍රධාන බෝගයක් ලෙස වගා කෙරුණි. 

කුරුඳු හා ගම්මිරිස් වගාකරුවන් දිනෙන් දිනම ඉහළ යද්දී විදෙස් රටවලට මෙම බෝග අපනයන කිරීම හේතුවෙන් බෝග වගාකරුවන්ගේ අතමිට සරුසාර විය. නමුත් මේ වනවිට ගම්මිරිස් සහ කුරුඳුවල මිල ඉතා සීඝ්‍ර ලෙස පහළ බැසීම හේතුවෙන් මෙම වගාකරුවෝ කබලෙන් ලිපට වැටී සිටිති. ණය වෙමින්, පොලීසියට මුදල් ගනිමින් බෝග වගා කළ වගාකරුවන්ට වර්තමානයේදී එදා වේල ජීවත් විය නොහැකි තත්ත්වයක් උදා වී තිබේ.

කුරුඳු වගා කිරීම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවේ. කුරුඳු තැලීම වෙනුවෙන් වර්තමානයේදී කුලීකරුවකු සොයා ගැනීමට නොහැකි තත්ත්වයන් රට තුළ උද්ගත වී ඇත. ගම්වල සිටිනා බොහෝ තරුණ තරුණියන් රැකියාවක් සොයා නගරවලට සංක්‍රමණය වීමත් සමඟ ඇතැම් තරුණයන් ත්‍රීරෝද රථයක් ගෙන හයර් කිරීම නිසාත් කුරුඳු තැලීම සඳහා තරුණයකු සොයා ගැනීම එතරම් පහසු නැත.

“අද වනවිට කුරුඳු මිල ඉතා පහළ බැස තියෙනවා. දෙදහසටත් - දෙදහස් දෙසිය පනහටත් තිබූ කිලෝව අද වෙද්දී කිලෝවක මිල එක්දාස් පන්සීයත් හෝ එක්දාස් හයසීයත් අතර මිලකට තමයි තීරණය වෙන්නේ. කුරුඳු වගාවත් එච්චර ලේසි දෙයක් නෙවේ. කුරුඳු තලන්න ඕනේ. ඒකත් හරි ක්‍රමයකට තමයි තලන්න ඕන. බොහෝ දෙනා ඒක තලන්න දන්නෙ නෑ. ඒ වෙනුවෙන් දවසේ කුලියට තමයි කට්ටිය වැඩ කරන්නේ. මේ දේවල්වලින් කුරුඳු වගාකරුවන්ට කුරුඳුවලින් ලොකු වාසියක් ලැබුණේ නෑ. කුරුඳුවලට විතරක් නෙවෙයි අද වනවිට ගම්මිරිස් වගාකරුවන්ටත් අත්වුණ ඉරණම ඒකමයි. ගම්මිරිස් මිලත් අද වනවිට ඉතා සීඝ්‍රයෙන් බැහැලා. අපි ගොවි සංවිධාන හරහා පැළ සියය බැගින් ගෙවතු වගා වැඩසටහන් පැවැත්වුවා. නමුත් අද වනවිට ගම්මිරිස් මිලත් පහළ බැහැලා. අද වනවිට මේ පැතිවල ගම්මිරිස් මිල කිලෝවක් හයසිය ගණනකට තමයි අලෙවි වන්නේ. පසුගිය කාලේදී ගම්මිරිස් කිලෝවක් එක්දාස් ගණනකට අලෙවි වුණත් අද අත්වෙලා තියෙන ඉරණම තමයි මේ”

යැයි කළුතර දිස්ත්‍රික් ගොවිජන බල මණ්ඩලයේ සභාපති ඒ. ජී. ඒ. අමරදාස මහතා දේශයට පැවසීය.

බොහෝ බෝග වගාකරුවන් පවසන්නේ තමන් කොයිතරම් මහන්සි වී වගා කළ ද එහි වැඩි ලාභය ගනු ලබන්නේ අතරමැදි ව්‍යාපාරිකයන් බවය. ගම්මිරිස් වගාකරුවන්ගේ නිවෙස්වල ගම්මිරිස් විකුණාගැනීමට නොහැකිව ගොඩ ගැස්සෙද්දි සුපිරි වෙළෙඳසල් ඇතුළු බොහෝ වෙළෙඳසල්වල ගම්මිරිස්වල සාමාන්‍ය මිල ගණන් යටතේ පැවැත්වේ. ඇතැම් සුපිරි වෙළෙඳසල්වලින් ග්‍රෑම් සියයේ ගම්මිරිස් පැකට්ටුව රුපියල් හැත්තෑපහත් සීයත් අතර මිල ගණන් යටතේ විකිණෙයි.

මෙයින් වාසි ගන්නේ අතරමැදියන්. මේක ගොවීන්ට අසාධාරණයක්. මේ සම්බන්ධව රජය මැදිහත් විය යුතුයි. කුරුඳුවලට වගේම ගම්මිරිස් බෝගවලටත් මේ අතරමැදිකරුවන් නිසා ලොකු පාඩුවක් සිදුවෙනවා. සුළු අපනයනය බෝග ගැනීමේ මධ්‍යස්ථාන රජය මගින් ඇති කරනවානම් ඒක මේ රටේ ගොවියන්ට ලොකු සහනයක්. කුරුඳු වගා කිරීම ලේසි දෙයක් නෙවෙයි. මුලින්ම කුරුඳු කුඩා පැකට්වල පැළ කරලා එය කාලයක් නඩත්තු කරන්න ඕනේ. ගල්වැටි බැඳ කාණු සකසා බිම සකස් කිරීම ද කළ යුතු වෙනවා. මේ සකස් කළ බිමෙහි ඉන්දවූ කුරඳු පැළ අඩි තුන හතරක පරතරයකින් තමයි සිටුවිය යුත්තේ. මේ වෙනුවෙන් ගොවීන්ට සෑහෙන්න මහන්සියක් දරන්නට සිදුවෙනවා. හොඳින් වගාකළහොත් වසරකට දෙසැරයක් ද නැතිනම් අවුරුද්දට එක සැරයක් ද බෝග අස්වැන්න ලබාගත හැකියි. ඒ බෝග අස්වැන්න සොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමට ගොවීන් මහත් වෙහෙසක් ගත යුතුය.

යැයි ද ඒ. ජී. ඒ. අමරදාස මහතා පැවසීය.

මෙලෙස වෙහෙස මහන්සි වී වගා කරගත් කුරුඳු වගාවටත්, ගම්මිරිස් වගාවටත් අද අත්වී ඇති ඉරණය ගොවීන්ට අපලයක් වී තිබේ. ආදායමක් නොලැබී යාමෙන් ඉතා ඉක්මනින් තමන් මේ වගාවන්වලින් ඈත්ව යන බව ගොවීන්ගේ මතය වෙයි.

“රජය මගින් වැඩි කළ බද්දත් ගොවියා සුළු අපනයන බෝගවලින් ඈත් වීමට  ප්‍රධාන හේතුවක් වෙනවා” යැයි කළුතර දිස්ත්‍රික් ගොවිජන බල මණ්ඩලයේ සභාපති ඒ. පී. ඒ. අමරදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව විදෙස් රටවල්වලින් අඩුවට ගෙන්වූ බාල ගම්මිරිස් රපේ අටේ ඉතා උසස් ගම්මිරිස් හා මිශ්‍රකොට ප්‍රතිඅපනයනය කිරීමෙන් අපේ රටේ ප්‍රමිතියෙන් යුත් ගම්මිරිස්වල තත්ත්වය බාල්දු විය. මේ තුළින් ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වලට තිබූ ජාත්‍යන්තර ප්‍රමිතිය පහළ බැස ඇති බවට ද ගොවීහු චෝදනා කරති. ඇතැම් දේශපාලනඥයන්ගේ සහාය ඇතිව මෙවැනි කූඨ ලෙස සිදුකරනු ලබන ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීම හේතුවෙන් දේශීය ගම්මිරිස් වගාකරැවන් බෝග වගාවන් තුළින් ඈත්ව සිටින බව ඔවුහු වැඩිදුරටත් පවසති.

“මම 2015 වසරේදී රජයේ ලියාපදිංචි කර අක්කර එකහමාරක ගම්මිරිස් වැව්වා. මෙම ඉඩමේ තිබූ ගස් ඉවත්කොට වගාවට සුදුසු බිමක් හදන්නට මට ලක්ෂ තුනහමාරක් විතර මුදල් වැය වුණා. මට සහනාධාර ලබාදෙන්නම් කිව්වට කිසිම ආධාරයක් ලැබුණේ නැහැ. මම ඒ අක්කර එකහමාරේ ගම්මිරිස් පැළ එක්දාස් හාරසිය තිහක් හිටෙව්වා. අද වනවිට මේ ප්‍රදේශයේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් හයසීයයි. අවුරුදු එකහමාරක ගම්මිරිස් තවමත් අපේ ගෙදර ගොඩ ගහලා. විකුණලා වැඩක් නැහැ. ගම්මිරිස් ගොවියෝ අද පුදුම විදිහට අසරණ වෙලා.” යැයි කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවිබල මණ්ඩලයේ ලේකම්, පී.ඩබ්. පියරත්න මහතා දේශයට පැවසීය. 

පියරතන සතු තවත් අක්කර කිහිපයක ඉඩමක්ද ඇත. ඔහුගේ බලාපොරොත්තුව වූයේ මෙම ඉඩමෙහි ද ගම්මිරිස් වගා කිරීමටය. නමුත් අද ඔහුගේ එම බලාපොරොත්තුව ඉටු කරගැනීමට නොහැකිය.

“මීට කලින් කිලෝ එකක ගම්මිරිස් අපි රුපියල් නවසීයත් නවසිය හැත්තෑවත් අතර මුදලකට විකුණලා තියෙනවා. මෙහෙම මිල අඩු වීමට මූලික හේතුව වෙන්නේ ප්‍රති අපනයනය කරන නිසයි. ඒ නිසා දේශීය වගාකරැවන්ට අත්වුණේ කනගාටුදායක තත්ත්වයක්.” කෑගලු දිස්ත්‍රික්කයේ වැඩිහරියක්ම ඉන්නේ ගම්මිරිස් වගා කරන අයයි. රබර්වලට මිලක් නොමැති වුණු නිසා බොහෝ දෙනා රබර් ගස් ගලවලා ගම්මිරිස් පැළ කළා. අද ඒකත් අපිට නැතිවුණා. ගම්මිරිස්වලට සුදුසු පසක් කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා. ඒත් සුදුසු මිලකට ගොවීන්ගෙන් නොගැනීමෙන් අද බොහෝ දෙනා අසරණ වෙලා.”

යැයි කෑගල්ල දිස්ත්‍රික් ගොවි බල මණ්ඩලයේ ලේකම් පී. ඩබ්. පියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

ඔවුන් පවසන පරිදි ලබාගත් අස්වැන්න අද නියමිත මිලකට විකුණාගැනීමට නොහැකිව ගොවීහු අසරණ වී සිටිති. ගොවීන්ගේ මෙවැනි කලකිරීම් හා ගැටලු හේතුවෙන් ඉතා ඉක්මනින් සුළු බෝග වගාකරුවන් ද මෙම වගාවන් තුළින් ඈත්වනු නොඅනුමානය. එසේ වන්නේ නම් අනාගතයේදී මෙවැනි බෝගවලට අත්වන ඉරණම කෙබඳුවේද?

 දිශානි ජයමාලි කරුණාරත්න