2019 ජුලි 06 වන සෙනසුරාදා

වෛද්‍ය සාෆිගේ හැඩතල වෙනස්වන චෝදනා පත්‍රය

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 13

රටක් උණුසුම් කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් විසින් සිංහල මව්වරුන් සිසේරියන් සැත්කම් හරහා වන්ද්‍යාකරණ කිරීමේ කතාව පසුගිය සතියේදී එක්තරා තීරණාත්මක සංධිස්ථානයට පැමිණියේය. එය සිදුවූයේ ජූනි 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරැණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට මෙතෙක් සිදුකළ පරීක්ෂණ අනුව වෛද්‍ය සාෆිට එරෙහි චෝදනා සත්‍යයැයි අණාවරණය නොවන බව දැනුම් දීමත් සමඟිනි.

ඊට අනුව ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ බවක් හෝ අයථා වත්කම් ඉපැයූ බවක් හෝ මව්වරැන්ගේ පැලෝපීය නාලවලට හානිකර බවක් හෝ මෙතෙක් අනාවරණය වී නොමැති බව ප්‍රකාශ වී යැයි මාධ්‍ය අනාවරණය කළේය. තවද වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා අත්අඩංගුවට ගැනීමේ දී අක්‍රමිකතා සිදුවී ඇති බව ද තොරතුරු හෙළිකර ඇතයි ද  කියවිණි. මෙම සිදුවීමත් සමඟ සාෆී කතාවේ නව පරිච්ඡේදයක් දැන් ඇරඹී තිබේ. අපගේ විමසුම ඒ පිළිබඳවය.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. ඊට අනුව වෛද්‍ය සාෆි ශිහබ්දීන් විසින් සිංහල මව්වරැන් 3479 ක්, මුස්ලිම් මව්වරුන් 860 ක් සහ ද්‍රවිඩ මව්වරුන් 33ක්  සිසේරියන් සැත්කම්වලට භාජනය කර ඇතැයි කියවේ. කෙසේ වෙතත් සැත්කම්වලින් පසු ආසාත්මිකතා ඇති වූ බව කියමින් රහස් පොලිසියට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 615ක් බව දැන ගන්න ඇත. අතුරෙන් පැමිණිලි 468ක් ගැන අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එම පැමිණිලි අතරින් විමර්ශන මට්ටමේ ඇති පැමිණිලි සංඛ්‍යාව බවත් 147ක් බව පසුගිය ජූනි 27 දා වාර්තා උපුටා දක්වයි. දැනට ඇති තොරතුරු අනුව එම පැමිණිලි 147 අතුරෙන් මව්වරැන් 13 දෙනකු විශේෂඥ කමිටුවට යොමු කර තිබේ. එයින් පරීක්ෂණයට භාජනය කළ යුතු තත්ත්වයේ සිටින්නේ දෙදෙනකු පමණක් බවත් ඉතිරි පැමිණිලි 11 අසත්‍ය බවත් රහස් පොලිසිය දැනුම් අධිකරණ දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මෙම අංක ගණිතය විශ්මය දනවන්නක් බවට බොහෝ පාර්ශව පසුගිය සතිය පුරා හඬ නගන්නට විය. එහිදී සිද්ධියට අදාළ මව්වරැන් ලබන ජූලි 30 වැනිදා එම පරීක්ෂණයට යොමුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ට උපයෝගී වී තිබේ. තවද වෛද්‍ය සාෆිගේ සිදුවීම සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට පරීක්ෂණය සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව වාර්තාවක් අධිකරණයට වාර්තා කරන ලෙස දන්වා ඇතැයි කියවේ. එය ද වෛද්‍ය සාෆි කතාව තවත් දුර ඇදෙන බවට වන ඉඟියකි.

රහස් පොලීසියට වෛද්‍ය සාෆි සමඟ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. නැගෙන චෝදනාවලට අදාළ වරදක් වෛද්‍ය සාෆි කර නැතැයි ඔවුන්ගේ ප්‍රකාශ අනුව තහවුරු වූ බව රහස් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ යැයි පසුගිය සතියේ මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එසේම බරපතළම කරැණ වූයේ සාෆි වෛද්‍යවරයා සම්බන්ධ චෝදනා අනාවරණය නොවන නිසා ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම ගැන ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගතයුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබීමයි.

මේ සියල්ල මෙසේ සිදුවන විට වෛද්‍ය සාෆිට එරෙහිව දියත් වී තිබූ දේශපාලන සමාජ සහා ආගමික ව්‍යාපාරවලට ඉහත සිදුවීම ප්‍රබල පහරක් වී තිබුණි. එමෙන්ම කුරුණෑගල රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය  සාෆිට එරෙහිව දියත් වී තිබූ ව්‍යාපාරය දේශපාලනික සහ පෞද්ගලික පළිගැනීම් මත සිදුවන්නක් බවට මත දැරූ පිරිසට මෙය සතුටුදායක තත්ත්වයක් විය. ඔවුහු වෛද්‍ය සාෆිගේ නිදොස් බව වෙනුවෙන් පෙනී සිටීමට දැක්වූ චකිතය අතහැර ප්‍රසිද්ධියේ අදහස් දක්වන්නට වූහ. මුල සිටම මෙම අර්බුදයේ සෘජු පාර්ශවකරුවෙක් වී සිටි අතුරලියේ රතන හිමියෝ ජූනි 28 වැනිදා මේ සඳහා නැවත විශේෂ මැදිහත් වීමක් සිදුකළහ.

ඒ අනුව උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන නිසි පරිදි සිදුනොවන බව දක්වමින් වැඩ බලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. ඒ සම්බන්ධව පොලිස්පතිවරයාගේ අවධානය යොමු කළ අතර පැමිණිල්ල පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට වැඩ බලන පොලිස්පතිවරයා තීරණය කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද පසුගිය දා වෛද්‍ය සාෆි පිළිබඳව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ගොනු කළේය. එහිදී ගම්මන්පිල මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සාෆි ෂිහාබ්ඩීන් විසින් සිදුකරනු ලැබූ මේ සමූල ඝාතන වෑයම සම්බන්ධයෙන් නිහඬතාවක් පෙන්නුම් කරන බවයි. ඒ නිසාම තමා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණියේ දොරට තට්ටු කර නිදා සිටින ඔවුන් ඇහැරවා නීතියෙන් පැවරී ඇති වගකීම ඉටුකරන්න යැයි සිහිපත් කිරීමට බව ද ඔහු පැවසීය. 

මහාචාර්ය චන්න ජයසුමන ද සාෆි සිදුවීමේ දී කරළියට පැමිණි සිටි ප්‍රධන චරිතයකි. ජූලි 3 වැනි දා පැවති මාධ්‍ය හමුවක දී නැවත උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධව ඔහු අදහස් දක්වා තිබිණි. ඊට අනුව කියවුණේ වර්තමානයේදී පරීක්ෂණ කරනු ලබන්නේ පැලෝපීය නාළ පිළිබඳ අවබෝධක් නැති සමූහ අපරාධ විමර්ශන අංශය බවයි. තවද මෙම පරීක්ෂණ නිසි ආකාරයෙන් කිරීමට පහසුකම් නොමැති බව ද ඔහු පවසා තිබුණි. ඇමරිකාවට යවා පරීක්ෂණ කරන කතාවක් මතුවූයේ මේ සමඟය. කෙසේ නමුත් එම ප්‍රකාශන සම්බන්ධව දේශපාලන කරළියේ මෙන්නම සමාජ මාධ්‍ය‍යේ ද පසුගිය සතිය පුරා විවිධ වාද විවාද ලක්විය. සාෆි පාර්ශවික මත එන්න එන්නටම ප්‍රබල වන අතරේ මුලදී ගොඩ නැගී තිබුණු දැඩි විරෝධාකල්පය ක්‍රමයෙන් දියවෙන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් පෙරළා විශාල පීඩනයක් එල්ල කිරීමට සිංහල බෞද්ධ ව්‍යාපාර ප්‍රමුඛ ඇතැම් දේශපාලන කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

මේ අතර පෙරටුගාමී පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකදී  එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසා තිබුණේ දොස්තර සාෆි වඳ සැත්කම් කළේ නැති බවට දැනටමත් කරැණු අනාවරණය වී ඇති බව‍යි.  රතන හාමුදුරැවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ විශ්වාස නොකර බව කියා සිටීම වඳ සැත්කම් පිළිබඳ ඇදහිල්ලට සමාන බව එහි දී ප්‍රකාශ විය. මෙය පිටුපස දේශපාලන හස්තයක් ඇති බවත් කුරැණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා විමල් වීරවංශගේ ආධාරකරැවෙක් බවත් මෙහිදී ඔහු හෙළිදරව් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පුවත්පත් සාකච්ඡාවකදී සාෆි ප්‍රශ්නයේ අලුත් තත්ත්වය පිළිබඳ අදහස් දක්වා තිබිණි. සියලු වාර්තා ප්‍රතික්ෂේප කරමින් සාෆි විරෝධීය මත දරණ පිරිස් ඉල්ලා සිටින්නේ ඔවුන්ට අවශ්‍ය වාර්තාව බව එහිදී ඔහු පවසා ඇත. මේ සම්බන්ධ ජනාධිපති කොමිසමක් දැමීමට ජනාධිපතිවරයා බෑ කියා ඇති බවත් කොමිසමක් දැමූවද විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ පවත්වනු ඇති බවත් ඇමැතිවරයා එහි දී පෙන්වා දී තිබේ. සිදුවීමට අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා බොරැ ගොතා ඇති බවත් ඔහුගේ භාර්යාව කුරැණෑගල රෝහලේ සේවය කරන බවත් මෙහිදී අමාත්‍යවරයා  තවදුරටත් ප්‍රකාශ කර තිබිණි.

සාෆි කතාවේ අලුත්ම හැඩය මෙයයි. තවත් ප්‍රකාශ සහ සිදුවීම් මීට අදාළ මේ මොහොතේ පවා සිදුවෙමින් තිබේ. වරද කාගේ වුවත් යුක්තිය ඉටු වී අගතිය වූ පාර්ශව සාධාරණීකරනය මෙම ප්‍රශ්නය කඩිනමින් විසදීම පාලකයන්ගේ වගකීම බව අවසානයේ දී සඳහන් කළ යුතුය. නැතිනම් වෛරය ජනගත වීම හරහා සිදුවන්නේ පැලෝපීය නහර පමණක් නොව ජන සමාජයේ බල නහරය ද පුපුරා යාමයි.

 චමිඳු නිසල් ද සිල්වා 

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30