2019 ජුලි 06 වන සෙනසුරාදා

දහස් ගණනින් ලැබෙන ඉතිහාසයේ ලොකුම විශ්‍රාම වැටුප් වැඩිවීම

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 267

ඉතිහාසයේ විශාලම විශ්‍රාම වැටුප් වැඩිවීම පසුගියදා 1දා සිට ක්‍රියාත්මක වනබව රජය දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරමින් නිවේදනය කළේය. ඒ අතර සමහරැ පැවසුවේ මෙය තවත් ඡන්ද ගුණ්ඩුවක් බවය. නොඑසේනම් ඡන්දය කටළඟට ඒමට පෙර ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුව තිබුණු සහනයක් බවය.

විවේචන එල්ල වූවත් රටට සේවයක් කළ විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට විසඳුමක් ලැබේ නම් එය යහපත්ය. එම සහනය විශ්‍රාමික රාජ්‍ය සේවකයන් 585000කට ලැබීමට නියමිතය.

“වත්මන් රජය වැටුප් සහ විශ්‍රාම වැටුප් සියයට එකසිය හතකින් වැඩිකර තිබෙනවා. මේ මාසයේ සිට විශ්‍රාමිකයන්ට අමතරව රාජ්‍ය සේවකයන්ගේ වැටුප රැ. 2500කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. වැටුප් වැඩි කිරීම්වලට අමතරව අග්‍රභාර රක්ෂණය, නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර ප්‍රමාණය  ඉහළ නංවා තිබෙනවා. 2016 වසරේ ජනවාරි 1දා තෙක් රාජ්‍ය සේවයට එක්වූ සියලු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට කටයුතු කරනවා.* එලෙස සඳහන් කළේ රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරය. 

විශ්‍රාම වැටුප් වැඩිකිරීම යටතේ අවම රැ. 2800 සිට උපරිම රැ. 20,000ක් දක්වා වැටුප් වැඩිවීමට නියමිතය. 2019 මාර්තු 5 දින ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් රජය විසින් මෙසේ විශ්‍රාම වැටුප් වැඩිකිරීම සඳහා වෙන්කර ඇති මුදල රැපියල් මිලියන 12000කි. 2017 ජනවාරි 1 දිනට පෙර විශ්‍රාම ගත් රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මෙම සිත් සනහන වැටුප් වර්ධකය හිමිව ඇත.

විශ්‍රාම වැටුප් විෂමතාව දිගුකාලයක් තිස්සේ විශ්‍රාමිකයන් පෙලූ හිසරදයකි. විවිධ චක්‍රලේඛ නිකුත් කිරීමේදී සිදුවු දුර්වලතා නිසා විශ්‍රාමලත් බොහෝ සේවකයන්ට ලැබෙන්නේ විෂමතා වෙනස්කම් සහිත වැටුපකි. උදාහරණ ලෙස 1990 දී විශ්‍රාම ගිය උප ගුරැවරයකුගේ විශ්‍රම වැටුප 2007 දී විශ්‍රාම ගිය උප ගුරැවරයකුගේ වැටුපට වඩා ඉතාමත් පහළ මට්ටමක පවතී. මේ නිසා කලින් විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට තම විශ්‍රාම වැටුපෙන් ජීවත්වීමට අපහසු වී තිබුණි. වාර්ෂික වැටුප් වර්ධකය නිසි පරිදි හිමිවූයේද නැත.

මෙම ගැටලුව පිළිබඳ අප සමඟ අදහස් දැක්වූ රාජ්‍ය සහ පළාත් පාලන විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ සභාපති නීතිවේදී සිරි සිංගප්පුලි
“රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප පිළිබඳ විෂමතා දීර්ඝ කාලයක සිට එන එකක්. අප පසුගිය රජය සමයේ සිට මෙම විෂමතාව දුරුකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළා. මේ නිසා විශ්‍රාමිකයන්ට විශාල අසාධාරණයක් සිදුව තිබුණා. රාජ්‍ය සේවකයන්ට විටින් විට වැටුප් වැඩි වුණත් එම වැඩිවීම විශ්‍රාමිකයන්ට ලැබුණේ නැහැ. මේ පිළිබඳ කළ බලවත් ඉල්ලීම් නිසා රුපියල් 3500ක් වැනි සුළු මුදලක් වැඩි කළත් විෂමතාවය සම්පූර්ණයෙන් නැතිවූයේ නැහැ. 2006 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන්ට ලැබුණේ ඉතාම සුළු විශ්‍රාම වැටුපක්. අද රටේ පවතින අධික ජීවන වියදම වගේම ඖෂධ මෙන්ම වෛද්‍ය ප්‍රතිකාරවලට ද විශාල මුදලක් වැය කිරීමට විශ්‍රාමිකයන්ට සිදුවුණ නිසා ඔවුන් දැඩි අසහනයකට ලක්වුණා.

අප මේ පිළිබඳ මෙයට පෙර මහින්ද රාජපක්ෂ රජයෙන් ඉල්ලීම් ඉදිරිපත් කළත් ඒ පිළිබඳ පිළිගෙන තිබුණත් ක්‍රියාත්මක කරන්නට හැකිව තිබුණේ නැහැ. අද කරන්නම් හෙට කරන්නම්, මේ අයවැයෙන් දෙනවා ආදී වශයෙන් අපට පොරොන්දු වුණත් එම පොරොන්දු ඉටුවූවේ නැහැ. සමහර දේශපාලනඥයන් දේශපාලන වාසි ලබාගැනීමට ද විශ්‍රාමිකයන්ගේ ගැටලුව පාවිච්චි කළා. මේ පිළිබඳ විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය වගේම වෙනත් විශ්‍රාමික සමිති ද උද්ඝෝෂණ, පෙළපාළි පාගමන් අත්පත්‍රිකා බෙදාහැරීම් වගේ විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග ගත්තා.”

නව වැටුප් වැඩිකිරීම අනුව 2017 ජනවාරි 1 දිනට පෙර ගුරු සේවයෙන් විශ්‍රාම ලත් 1වන ශ්‍රේණියේ ගුරුවරයකුට රු. 9200ක වැටුප් වැඩිවීමක් හිමිවීමට නියමිතය. එලෙසට හෙද සේවයේ විශ්‍රාම වැටුප් වැඩිවීම එහි පළමු ශ්‍රේණිය සඳහා රු. 7100ක් වේ. පොලිස් සේවයේ විශ්‍රාමික සැරයන්වරයකුට ලැබෙන වැටුප් වර්ධකය රු. 4200කි. කළමනාකරණ සහකාර සේවයේ විශ්‍රාමිකයකුට රු. 5215කින්ද කාර්යාල කාර්ය සහායකයකුට රු. 2800කින්ද වැටුප් ඉහළ නැංවෙනු ඇත.

මේ පිළිබඳව රාජ්‍ය සේවයේ සියලු තනතුරු සහ ශ්‍රේණිවලට අයත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවන ආකාරය දක්වා සවිස්තරාත්මක චක්‍රලේඛයක් 2019 මැයි මාසයේ නිකුත් කෙරිණි.

ජීවන වියදම එන්න එන්නම ඉහළ නගී. එදා ගත් වැටුපේ මූර්ත අගය අද බිංදුවට බැස තිබේ. සොච්චම් විශ්‍රාම වැටුපෙන් එදාවේල ගතකිරීමේ අවුලට ලක්ව සිටි විශ්‍රාමිකයන්ට රජයේ නව ක්‍රියාමාර්ගය නිසා ලැබුණු සහනය ගැන නීතිවේදී සිරි සිංගප්පුලි තවදුරටත් මෙසේ පැවසුවේය. “අවසානයේ කල්ගතවී හෝ වත්මන් රජය මේ ගැටලුවට විසදුමක් දීමට ඉදිරිපත්වීම ගැන අප සතුටු වෙනවා. මෙය විශ්‍රාමිකයන් ලැබූ ජයග්‍රහණයක් වගේම විශ්‍රාමිකයන්ට සිදුව තිබූ අසාධාරණය පිළිබඳ කරුණු අවබෝධ කරගෙන එදා සිට පැවැති ගැටලුව සහමුලින්ම තුරන් කිරීමක් ලෙසයි අප සලකන්නේ. අප බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ද මෙවැනි විෂමතාවක් ඇති නොවීම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන සෑම අවස්ථාවකදීම විශ්‍රාමිකයන් පිළිබඳව ද සාධාරණයක් ඉටුකිරීමේ ක්‍රමවේදයකට රජය යොමුවෙයි කියලා. නැතිනම් අනාගතයේ යළි විෂමතා ඇතිවේවී.

සියල්ල මෙසේ සිදුවුවත් මේ මාසයේ සිට විශ්‍රාමිකයන්ගේ වැටුප වැඩිවන බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්වුවද මේ මාසයේ සිට වැඩිකළ විශ්‍රාම වැටුප අපට නොලැබෙන බවයි දැන් පෙනීයන්නේ. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලබාදී ඇති උපදෙස් පරිදි මෙම වැටුප් වැඩි කිරීමට වැටුපට එකතු කිරීමට පෙර දැනට ලබන වැටුපේ නිරවද්‍යතාව සනාථ කර ගැනීමට අදාළ නිලධාරීන්ට සිදුවෙනවා. ඒ නිසා මෙය ව්‍යාකූල ක්‍රියාමාර්ගයක් බවට පත්වෙලා. මේ විදිහට ක්‍රියාකළහොත් තවත් සෑහෙන කාලයකට අපට වැඩිකළ විශ්‍රාම වැටුප ලබාගන්න ලැබෙන එකක් නැහැ.

අපි පසුගිය සතියේ මේ පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ සහ විශ්‍රාමික සමිතිවල ප්‍රධාන නිලධාරින් එකට එක්ව සාකච්ඡාවක් පැවැත්වූවා. මෙම ප්‍රමාදය නැතිකර හැකි ඉක්මනින් විශ්‍රාම වැටුප් ගෙවන බවට ඉටුවේයැයි අප බලාපොරොත්තු වෙනවා. එසේ නැතුව කුමන බලවේගයක් නිසා හෝ මෙය යළිත් පසුපසට ඇද්දොත් යළිත් වෘත්තිය ක්‍රියා මාර්ගවලට අවතීර්ණවීමට අපට සිදුවීම වළක්වන්න බැහැ.”

කෙසේ වුවත් විශ්‍රාමික සංගම් පවසන පරිදි ආණ්ඩුව අණබෙර ගසමින් විශ්‍රාම වැටුප් වැඩිකළ බව පැවසුව ද එය අතට ගැනීම තවමත් නිශ්චිත නැත. දැන් කළ යුත්තේ පොරොන්දු වූ පරිදි මේ මාසයේ විශ්‍රාම වැටුප ඔවුන්ට ලබාගැනීමට අවශ්‍ය ව්‍යුහය සැකසීමය. නැතහොත් වැඩිකළ වැටුප ලබාගැනීමටත් ලබන මාසේ යළිත් ගිනිමද්දහනේ පිකටින් යෑමට විශ්‍රාමිකයන්ට සිදුවනු ඇත.
► කුසුම්සිරි

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00