2019 ජුලි 06 වන සෙනසුරාදා

එල්ලුම්ගස් යන සිව්දෙනා කවුද?

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 211

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ වරදට මරණීය දණ්ඩනය හිමි වූ සිව්දෙනකුගේ එම තීන්දුව ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇත. පහුගිය කාලය පුරාම එල්ලා මරණ බවට නොයෙකුත් කතා පැතිරුණත් ජනාධිපතිවරයා සිය අත්සන යොදා ඊට අනුමැතිය ලබාදුන් බව මේ වනවිට සහතික වී තිබේ.

දැනට එල්ලා මැරීම සඳහා ජනාධිපතිවරයා වෙත නීතිපතිවරයා විසින් යවන ලද ලැයිස්තුවේ පුද්ගලයන් 20  දෙනකුගේ නම් ඇතුළත්ව ඇත. එම 20 දෙනා අතර එක් කාන්තාවක් ද සිටී. අනෙක් පිරිස පිරිමින්ය. එසේම ඒ අය අතර සිංහල අය 06 දෙනෙක් ද, දෙමළ 08 දෙනෙක් ද, මුස්ලිම් 06 දෙනෙක් ද සිටින බව සඳහන් වේ.

එකී ලැයිස්තුවේ විසිදෙනා මෙසේය.

01. හමීඩ් හජමුල් (52) (කාන්තාව)

02. කැමිලස් පිල්ලෙයි (55)

03. එම්.එස්.එම්. මිස්වර් (51)

04. මොහොමඩ් උවයිස් (40)

05. සුනිල් කරුණාරත්න (56)

06. පෙරැමාල් කනේෂන් (44)

07. මුහම්මද් ජාත් (44)

08. රංග ෆොන්සේකා (34)

09. එස්. මසාර් (44)

10. එම්. කුමාර් (43)

11. සුරේෂ් කුමාර (36)

12. ඩබ්. විනයාගමූර්ති (45)

13. එස්. ගනේෂන් (38)

14. කේ.එම්. චමින්ද (42)

15. එස්.පූණ්‍යමූර්ති (63)

16. බී.පී. බොල්සිං (52)

17. ජේ.ඒ. බුට් (43)

18. එච්.එස්.එම්. මස්තාර් (41)

19. එම්. ධර්මකරන් (63)

20. එම්.කේ. පියතිලක (69)

මේ පිරිස අතරින් 13 දෙනකුට මරණ දඬුවම නියම කර ඇත්තේ කොළඹ මහාධිකරණය මගිනි. 06 දෙනකුට මීගමුව මහාධිකරණය මගින් තීන්දුව ලබා දී ඇති අතර ඉහත සඳහන් කාන්තාවට මරණ දඬුවම නියම කර ඇත්තේ අභියාචනාධිකරණය විසිනි. දැන් ප්‍රශ්නය ඇත්තේ මේ නාමලේඛනයේය. ඒ මෙම නාමලේඛනයේ සිටිනා මහා පරිමාණ කුඩු ජාවාරමුන් කවුද යන්න සොයා ගැනීමය. එපමණක් නොව තෝරා බේරාගෙන එල්ලන්නට හදන සිව්දෙනා කවුද යන්න සොයාගැනීමය.

අප දන්නා තරමින් මෙරටට කුඩු මහා පරිමාණයෙන් එන්නට පටන් ගත්තේ යුද්ධයේ අවසානයෙන් පසුවය. ඊට පෙර මෙරටට කුඩු පැමිණියේ කිලෝ එක දෙක තුන වශයෙනි. උපරිමය 10කි. එදාට එය පත්තරයේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය විය.

එහෙත් 2012 පසුව එය වෙනස් වුණු අතර මෙරටට කුඩු ඒමේ වේගය ඉක්මන් වූවා පමණක් නොව එන ප්‍රමාණය ද සිය දහස් ගුණයකින් ඉහළ ගියේය. කුඩු කිලෝ සීය, දෙසීය, තුන්සීය පමණක් නොව ඊට එහා ගොස් කවදාවත් නොවුණු ලෙස කොකේන් ද කන්ටේනර් පිටින් මෙරටට ආවේ එළිපිටය.

මේ හෙරොයින් පසුපස පාකිස්ථාන මත්ද්‍රව්‍ය ජාලය ප්‍රබලව සිටි අතර කොකේන් පිටුපස බ්‍රසීලයේ ජාවාරමුන් සිටියහ. අවසානයේ ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට ඉබේ පත්විය.

කෙසේ වෙතත් දැන් මෙතන ඇති ප්‍රශ්නය වන්නේ මේ එල්ලා මරන්නට යන්නේ සැබෑ ජාවාරමුන් ද යන්නය. එදා මෙරට කුඩු පාතාලය මෙහෙයවූ ආනමාලු ඉමිටියාස්, ෆාජී, ඕල්කට්, ප්‍රින්ස් කොලම්, මාමාස්මිල්, කිඹුලා ඇළේ ගුණා, තෙල් බාලා ආදී නාම ලැයිස්තුවේ ඉතිරිව ඇති එකම පුද්ගලයා වන්නේ පොට්ට නවුෆර්ය. පොට්ට නවුෆර් මහා පරිමාණයෙක් කුඩු බිස්නස් කළ අතර කුඩු ව්‍යපාරයට එරෙහිව තීන්දු තීරණ ලබාදුන් විනිසුරැ සරත් අඹේපිටිය මහතා ඝාතනය කළේය. මේ නිසා නවුෆර් එල්ලුම් ගහට නියම වූයේ මනුෂ්‍ය ඝාතන චෝදනාවකටය. ඊට පසුව කොළඹ හෙරෝයින් කළ අනෙක් පුද්ගලයා වන්නේ මෑතක බිහිවූ දෙමටගොඩ චමින්දය. චමින්ගේ කුඩු ව්‍යාපාරය නිසා මිනී කඳු ගැසුණේ බලා සිටියදීය. එහෙත් අවසානයේ චමින්දට ද එල්ලුම් ගහ නියම වූ අතර එය ද කුඩුවලට නොව භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියටය.

එසේ නම් මහා පරිමාණයෙන් කුඩු විකුණූ අයගෙන් මරණ දඬුවම හිමිව ඇත්තේ කාටද? එසේ හිමි වී ඇත්තේ වෙලේ සුදාට පමණි. එය ද කුඩු කිලෝ සීයකට දෙසීයකට නොව කුඩු ග්‍රෑම් 7.05 කටය. එයද හිමිවූයේ වෙලේ සුදා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් නිසාය.

මෙතෙක් මෑත ඉතිහාසයේ හෙරෝයින් ජාවාරමේ යෙදුණු සහ තවමත් යෙදී සිටින බවට චෝදනා ලබා සිටින මහා පරිමාණ ජාවාරම්කරුවන් මෙසේය.

01. මාකඳුරේ මදූෂ්

02. අංගොඩ ලොක්කා

03. අන්නාසි මොරිල්

04. කංජිපානි ඉම්රාන්

05. මුජහිඩීන්

06. සේල් වසන්ත

07. දෙවුන්දර තමිල්

08. කොස්ගොඩ සුජී යන අයයි.

මේ පිරිසෙන් කිසිවකු හෝ හෙරෝයින් සමඟ කොටු වී නැත. එහෙත් මහා පරිමාණයෙන් මෙරටට කුඩු ගෙනෙන, ගෙන ආ පිරිසය. එහෙත් ඔවුන්ට මරණීය දණ්ඩනය හිමි වන්නේ නැත. ඒ ඔවුන් කුඩු කිලෝ සිය දහස් ගණනින් ගෙනාවත් ඔවුන් කිසිවකු කුඩු ග්‍රෑම් දෙකට වඩා ප්‍රමාණයක් ළඟ තබා ගනිමින් පොලීසියට කොටු නොවුණු නිසාය. ඒ නිසා ඔවුන් කිසිවකු එල්ලුම් ගස්වලට නියම වන්නේ නැත.

එහෙත් මේ සියලු දෙනාම සිය ගෝලයන් ලවා තවමත් කුඩු විකුණති. එපමණක් නොව මරණ දණ්ඩනයට නියම වූ වෙලේ සුදා ද බන්ධනාගාරයේ සිට කුඩු ජාවාරම මෙහෙයවමින් සිටියි. එසේ නම් මේ එල්ලා මරන්නට යන්නේ වර්තමාන සමාජයට බරපතළ ප්‍රශ්නයක් වූ සැබෑ මහා පරිමාණ ජාවාරම්කරුවන්ද? එය ප්‍රශ්නාර්ථයකි.

තවමත් කුඩු කිලෝ ගණනින් කුඩු ජාවාරමේ යෙදෙන ප්‍රධාන ජාවාරම්කරුවන් බේරී නිදහසේ සිටියදී පෝරකේට යන්නේ කුඩු ළඟ තබා ගැනීමේ වරදට මරණීය දණ්ඩනය හිමි වූ සිව් දෙනකු නම් එය කෙතරම් සාධාරණද යන ප්‍රශ්නය පැන නගී.

මේ රටේ මහා පරිමාණයෙන් කුඩු බිස්නස් කරන මුදලාලිලා ඔවුන්ගේ ගෝලයන් ලවා කුඩු එහා මෙහා ගෙන යන අතර තමන් සන්තකයේ කුඩු දශමයක් හෝ තබාගන්නේ නැත. ඒ අත්අඩංගුවට පත්වුවහොත් මරණීය දණ්ඩනය හිමිවන නිසාය. මේ නිසා පොලීසියට කොටුවන්නේ අතරමැදියන්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියකුගෙන් අප විමසීමක් කළවිට ඔහු සඳහන් කළේ කුඩු සමඟ හසුවන බොහෝදෙනකු ඒ කුඩු ජාවාරමුන් නොව ඊට සහය දක්වන්නන් බවය. මුදලට විකිණීමට කුඩු ළඟ තබා ගැනීමත් කුඩු ජාවාරමේ යෙදීමත් නිසා මරණීය දණ්ඩනය බොහෝදෙනකුට හිමිව ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.

මෙලෙස එල්ලුම්ගස් යැවීම තුළ භීතියටත් තැති ගැනීමටත් ලක්වන්නේ සිවිල් සමාජය මිස කුඩු ව්‍යාපාරය නොවන බව පැහැදිලිව පෙනෙන දෙයකි. ඒ කුඩු ජාවාරම්කරුවන් රිසි සේ බන්ධනාගාරය තුළට වී හෝ විදෙස් රටකට පැන හෝ කුඩු ජාවාරමේ නිරත වීම නිසාය. ඒ නිසා එල්ලුම් ගස් යැවීමෙන් පමණක් මේ කුඩු නවතාලිය හැකිද?

සැබැවින්ම එල්ලුම් ගස් යැවීමෙන් මේ කුඩු ජාවාරම නවතාලිය නොහැක. කළ යුතු වන්නේ බන්ධනාගාරගතව සිටින කුඩු ජාවාරමුන් බාහිර සමාජය සමඟ ගැටෙන සීමාවෙන් ඉවත් කිරීමය. විශේෂයෙන් ඔවුන් වෙනම පරිසරයක ජීවත් කළ යුතුය. එපමණක් නොව බාහිර සමාජය සමඟ ගනුදෙනු කළ නොහැකි ලෙස සීමා පැනවිය යුතුය. දුරකථන භාවිතයෙන් ඈත්ම කළ යුතුය. දූෂිත බන්ධනාගාර නිලධාරීන් ඉවත් කළ යුතුව ඇත. එසේම කුඩු ජාවාරම්කරුවන් සිරකරුවන් නොව පුනරුත්ථාපනය කර ඔවුන්ගේ මනස වෙනස් කළ යුතුව ඇත. එවිට ජීවිත ගොඩක් රැක ගැනීමට හැකිවනවා සේම එම ජීවිත සමාජයට වැදගත් පුරවැසියකු ලෙස දායාද කළ හැක. එසේ නොමැතිව කුඩු ළඟ තිබීම මත එල්ලා මැරීමෙන් මේ කුඩු නතර කළ නොහැක. ඒ ජාවාරම්කරුවන් තවමත් නිදැල්ලේ සැරිසරන නිසාය.

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30