2019 ජුලි 06 වන සෙනසුරාදා

ලෝක කුසලානයේ වාසනාව ගිලිහෙයි!

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 19

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ වනවිට උණුසුම් වෙමින් පවතී. මෙවර ලෝක කුසලාන තරග මාලාව පැවැත්වෙන්නේ එංගලන්තයේ හා වේල්සයේය. පසුගිය මැයි මස 30 වැනිදායින් ඇරඹි තරග මාලාව ජූලි 14 දින පැවැත්වෙන අවසන් මහා තරගයෙන් නිමාව දකී. මෙවර ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 10ක් එක්විය. රවුන්ඩ් රොබින් හෙවත් සෑම  කණ්ඩායමක්ම අනෙකුත් සියලු කණ්ඩායම් හා තරග කරන ඉන් ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් හතරක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම ඒ අනුව සිදුවෙයි. මේ වනවිට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

පසුගිය කාලය පුරාම කඩාවැටීමට ලක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී වූයේ යම් අපේක්ෂාවක් ඇතිවය. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ පැතුම වූයේ අප කණ්ඩායම අවසන් පූර්ව වටයට හෝ සුදුසුකම් ලබනු ඇතැයි කියාය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් වාසනාවක් නොවීය. ඔවුන් සහභාගී වූ පළමු තරගය එනම් තරග මාලාවේ තුන්වැනි තරගය වූ නවසීලන්තය සමඟ පැවැති තරගයයි. එම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කරගත්තේ ලකුණු 136ක් පමණි. එකම කඩුල්ලක් හෝ නොදැවී නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකාව යළි තරග වැදුණේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සමඟය. එය තරගාවලියේ සත්වැනි තරගය වූ අතර ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ලකුණු 34ක ජයක් හිමි විය. 11 වැනි තරගය ලෙස යළි පාකිස්ථාන කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත වූවද  බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයට ඇදහැලුණු වර්ෂාව නිසා තරගය අත්හිටුවීමට සිදු විය. කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි විය. 16 වැනි තරගය වූයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තරගයයි. එයද බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත වුවද අධික වර්ෂාව නිසා එකදු පන්දුවක් හෝ යැවිය නොහැකි විය. එවරද දෙපිලට එක් ලකුණ බැගින් හිමි විය. තරග කාල සටහනේ 20 වැනි තරගයට ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟිනි. දුර්වල පිතිකරණය හා පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 84ක පරාජයක් ලැබීය. ඕස්ට්‍රේලියාව කඩුලු 7කට ලකුණු 334ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 247ක් පමණි.

අමිහිරි පරාජයන් හා වැස්සෙන් බැට කෑ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ 27 වැනි තරගය වූ එංගලන්තය සමඟ තරග වැදුණේ අපේක්ෂා සහගවය. ලීඩ්ස් හි හෙඩින්ග්ලි ක්‍රීඩාංගණයේ පැවැති එම තරගය එංගලන්ත කණ්ඩායමට සෑම අතින්ම වාසි සහගත විය. ඒ වනවිට ප්‍රබල තත්ත්වයක පසු වූ එංගලන්ත කණ්ඩායම තරගයට අවතීර්ණ වූයේ ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කළ හැකිය යන මානසිකත්වයකිනි. තරග ආරම්භයේදීම ප්‍රේක්ෂක - විචාරක මතය රූපවාහිනී තිරයේ දිස් වූයේ 10% - 90%වශයෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට ලකුණු 232ක් රැස් කළේය. මුල් තරගවලදී සාර්ථක වූ මුල් පිතිකරු යුගලය මෙම තරගයේදී අසාර්ථක වෙද්දී එතෙක් ලකුණු අතර නොසිටි ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85ක් ලබා ගත්තේය. පළමුවරට තරගාවලිය සඳහා කැඳවන ලද අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ අතර අවාසනාවන්ත ලෙස ලකුණු 49කට දැවී ගියේය. කෙසේ වුවද සියලු ප්‍රේක්ෂක - විචාරක මත අසත්‍ය කරමින් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

එංගලන්තය ප්‍රතිවාදි පන්දු යවන්නන් අවතක්සේරුවට ලක් කළේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ගේ ප්‍රාන්ත මට්ටමේ පන්දු යවන්නන් තරම් වත් දක්ෂ නැතැයි ඔවුන් කලකට පෙර පවසා තිබිණි. එහෙත් ලසිත් මාලිංගගේ පන්දුව හමුවේ ඔවුහු අසරණ වූහ. ලෝක කුසලාන කඩුලු 50 සීමාවට වේගයෙන්ම ළඟා වූ පන්දු යවන්නා බවට ලසිත් මාලිංග පත් විය.

ප්‍රසාද ලකුණු සටහන අනුව දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගය ශ්‍රී ලංකාවට සුවිශේෂී තරගයක් විය. එය තරගාවලියේ 35 වැනි තරගය වූ අතර ශ්‍රී ලංකාව කඩුලු 9කින් එහිදී පරාජය වීම නිසා අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ සිහිනය බොඳ වී ගියේය. ශ්‍රී ලංකාවට සිදු වූයේ තම දක්ෂතා මත අවසන් පූර්ව තරගයට අවස්ථාවක් ලබාගැනීමට නොව අනෙකුත් කණ්ඩායම් පරාජය වනතුරු බලා සිටීමටය. යම් හෙයකින් දකුණු අප්‍රිකානු තරගය ජයගත්තේ නම් එම අපේක්ෂාව ජයගත හැකිවන්නට ඉඩ තිබිණි.

කෙසේ වුවද කණ්ඩායමේ යළි පිබිදීමක් දැකිය හැකිවූයේ ජූලි 1 දින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරගයේදීය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 336ක් වාර්තා කළේය. 21 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු වාර්තා පොත් අතරට එක්වෙමින් ලකුණු 104ක් රැස් කිරීමට සමත් විය. එය ඔහුගේ මංගල ශතකයයි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක්ද, තිරිමාන්න නොදැවී ලකුණු 54ක් ද රැස්කළ අතර සමස්ත තරගාවලිය තුළ ශ්‍රී ලංකාව රඅස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව එය විය. බටහිර ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නිකලස් පූරාන් ලකුණු 118ක් රැස් කරමින් තම මංගල ශතකය හිමිකර ගත්තේය. පිතිකරණයෙන් යම් ප්‍රගතියක් අත්පත් කර ගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම සිය සුපුරැදු දුර්වලතා යළි එහිදී ප්‍රකට කළේය. උඩපන්දු අතහැරීම්, දුර්වල පන්දු යැවීම් සහ රැකීම් සුලබ විය. ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලැබුණද වැන්ඩසේ වැනි පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීම හමුවේ නිකලස් පූරාන් සහ ෆේබියන් ඇලන් වේගවත් පිතිකරණයක නිරත වූහ. අවසානයේ ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවකින් පූරාන් නිහඬ කරනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව දුර්වල පිතිකරණයයි. බොහෝ තරගවලදී මැද පෙළ පිතිකරුවෝ විශාල ලෙස අසාර්ථක වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ මුල් තරග 3දී තම පන්දුවාර 50ටම මුහුණ දීමට ඔවුනට නොහැකි විය. නවසීලන්තය සමග පන්දුවාර 29.2කදීද, ඇෆ්ඝනිස්තානය සමග පන්දුවාර 36.5ක දී හා ඕස්ට්‍රේලියාව සමග පන්දුවාර 45.5ක දී ද ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගොස් තිබුණි. තරග පහකදී කිසිවකු ශතකයක් වාර්තා කළේ නැත. ලකුණු 250 සීමාව පසුකර යෑමට හැකි වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරගයේදී පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත අවසන් තරගය ඉන්දියාව සමඟ ජූලි 6 වැනිදා සෙනසුරාදා පැවැත්වීමට නියමිත විය. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය පිළිබඳ අවසන් තීරණය මෙම තරගයෙන් තීරණය කරනු ඇත. මෙම ලිපිය ලියන මොහොත වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවෙයි. ජූලි 5 වැනි දින පැවැත්වෙන පාකිස්තාන බංග්ලාදේශ තරගයත්, ජූලි 5 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය තීරණය කරනු ඇත.

තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විවිධ අසාධාරණයනට මුහුණ දීමට සිදු වූ බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත පැමිණිලි කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබූ තණතීරු, වේග පන්දු යවන්නන්ට වාසිදායක තණකොළ සහිත තණතීරු වූ අතර අනිකුත් කණ්ඩායම්වලට පිතිකරුවන්ට වාසිදායක තණතීරු ලබාදී තිබූ බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය චෝදනා කර තිබිණි. එසේම මේ තරගාවලියේ වර්ෂාව නිසා තරග දෙකක්ම අහිමි වූ එකම රට වූයේද ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව ගිලිහී යෑම සම්බන්ධයෙන් පුහුණුකරු වන චන්දික හතුරැසිංහ කණස්සල්ලට පත්වී සිටී. තම අරමුණ වූයේ අවසන් කණ්ඩායම් 4ට ශ්‍රී ලංකාව එක්වනු දැකීම යැයි ඔහු පවසා තිබේ.


 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30