2019 ජුලි 06 වන සෙනසුරාදා

වහබ් අන්තවාදයට එරෙහි නුගේගොඩින් නැඟුණු හඬ

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 7

ශ්‍රී ලංකාව බහුජාතික රටකි. මෙහි වෙසෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ යන ජන කොටස් බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගම් අදහති. මේ අතරින් අති බහුතරය සිංහල බෞද්ධයන්ය. එය සියයට හැත්තෑ දෙකක පමණ අගයක් ගන්නා නිසාම බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම බව සඳහන් වගන්තියක් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබේ. මෙම වගන්තිය ආරක්ෂා කිරීම සඳහා බලයට පත්වන රජයන් නිසි අයුරින් කටයුතු නොකළ බවට චෝදනා නගමින් සිංහල බෞද්ධ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ සංවිධාන කාලයක් තිස්සේ රට තුළ බිහිවිය. මේවා බොහෝමයකට නායකත්වය දෙනු ලැබුවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාය.

මෙරට ඉතිහාසයේ ඈත අතීතයේ සිටම භික්ෂූන් සමාජ දේශපාලන වශයෙන් වැදගත් භූමිකාවක් ඉටුකර ඇත. ඇතැම් අවස්ථාවල රට අරාජිකව තිබූ අවස්ථාවලදී පවා රට රැකගැනීමට භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් වී තිබූ ආකාරයක් ඉතිහාසයේ සඳහන්ය.
රට තුළ සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන එකිනෙක බිහිවනවිට සෙසු ජාතීන්ද ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ නම්වලින් සංවිධාන පිහිටුවා ගන්නා ආකාරයක් රට තුළ දක්නට ලැබිණි. මෙම සංවිධානවල බෝඩ් ලෑල්ලේ තම ජාතියේ හා ආගමේ පැවැත්ම හා ආරක්ෂාව ලෙස දක්වා තිබුණත් ඒවායෙහි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ඊට හාත්පසින්ම වෙනස් ආකාරයක් ගන්නා බව ඔවුන්ගේ කියුම් කෙරුම් තුළින් පැහැදිලිව අවබෝධ කරගත හැකිය. ඇතැම් සංවිධාන බොහෝමයක ඇත්තේ දේශපාලන වුවමනාවන්ය. බොහෝ දේශපාලන චරිත ඉස්මතු කිරීමට මෙම ඇතැම් ජාතිවාදී සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට පසුගිය කාලය තුළ රටේ ඇතිවූ දේශපාලන අර්බුදකාරී වාතාවරණය හොඳටම ප්‍රමාණවත්ය.

වහාබ් අන්තවාදය පසුගිය කාලය පුරාවටම මෙරට නිරතුරැවම කතා වූ මාතෘකාවකි. වහාබ්වාදයට එරෙහිව සිංහල බෞද්ධයන් පමණක් නොව ඉස්ලාම් ධර්මය අදහන මුස්ලිම් ජනතාව පවා විරෝධය පළකළ අයුරු අපට දක්නට ලැබිණ.
වහබ් අන්තවාදයට එරෙහිව ව්‍යාපාරය ගොඩනැගුණේ මේ අන්තවාදී මූලධර්මවාදීන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහාය. පසුගිය 04 වැනිදා නුගේගොඩින් ආරම්භ වූ මෙම ජනතා ව්‍යාපාරය සඳහා සිංහල බෞද්ධ ජනයා පමණක් නොව ඉස්ලාම් ධර්මය අදහන මුස්ලිම් ජනතාවද විශාල ලෙස එක්වී සිටියහ.

මේ සංවිධානය මුස්ලිම් ජනයාට විරුද්ධව හෝ ඉස්ලාම් ධර්මය අදහන්නන්ට එරෙහිව කරන ව්‍යාපාරයක් නෙවෙයි. මේ රටේ ඕනෑම ආගමක් ඇදහීමට නිදහසක් තිබෙනවා. නමුත් ඒ නිදහස අවභාවිත කරන්න හොඳ නැහැ. මේ කිසිදු අන්තවාදී කණ්ඩායමක් අප අනුමත කරන්නේ නැහැ. මේ මුස්ලිම් අන්තවාදය මේ වනවිට සමස්ත මුස්ලිම් ප්‍රජාවම ග්‍රහණයට නතු කර ගනිමින් ඉන්නවා ඇතැම් මුස්ලිම්වරැන් මේ අන්තවාදයට විරුද්ධයි. නමුත් බොහෝ දෙනෙක්ට මේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු කරොත් දඬුවම් විඳින්න වෙන තත්ත්වයක් උදාවෙලා තියෙනවා. අද බොහෝ මුස්ලිම්වරැන් පවා මේ අන්තවාදයට එරෙහිව නැගී සිටිනවා. ඒ වගේම වහාබ් අන්තවාදයට විරැද්ධව මේ ජනතා ව්‍යාපාරයටත් බොහෝ දෙනා එකතු වී සිටිනවා.

මෙම ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහි අරමුණ එසේ පැහැදිලි කළහ.

පසුගිය 04 වැනිදා වහබ් අන්තවාදයට එරෙහිව පැවති ජන රැලිය මීගමුව, කුරුණෑගල, කැස්බෑව යන ප්‍රදේශවලද ඉදිරියේදි පැවැත්වීමට නියමිතය. සමස්ත රටේ ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය ගන්නා වූ ක්‍රියාමාර්ගයන් පිළිබඳව කිසිදු පැහැදීමක් නොමැති බවත්, ඉදිරියේදී පත්වන ආණ්ඩු සහ මේ අන්තවාදයට එරෙහිව පියවර නොගැනීමත් හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාවට දියුණු ව්‍යාපාරය ආරම්භ කළ බවත් එහි සංවිධායකයන් ප්‍රකාශ කළහ.

පසුගිය 04 වැනිදා මෙම වහබ්වාදයට එරෙහිව ව්‍යාපාරයේ පළමු රැස්වීම පැවති අතර ආගමික නායකයන් මෙන්ම දේශපාලන නායකයෝද මෙහිදි සිය අදහස් පළ කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරැ හෙළඋරැමය නායක උදය ගම්මන්පිල:

මේ රට මුස්ලිම් රටක් වෙනවට අපි බයයි. වහබ් අන්තවාදය නිසා මේ රට බරපතළ අනතුරකට පත්වෙලා තියෙනවා. මේ රටේ ජීවත්වෙන ඕනෑම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න පුළුවන්. නමුත් අන්තවාදය වපුරන්න බැහැ. ඒකට අපි විරැද්ධයි. සෑම දෙනාටම මේ රටේ එකසේ ජීවත් වෙන්න පුළුවන්. මේ වනවිට මුස්ලිම් සමාජය මේ අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවෙමින් පවතිනවා. ඒ නිසා මේ වහබ් අන්තවාදයට එරෙහිව අපි නැගී සිටිනවා.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි - ජාතික විද්වත් භික්ෂු සංවිධානයේ සභාපති:

අද රට යළිත් තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිත් තියෙන්නේ. අභියෝග රුසක් රට ඉදිරියේ තියෙනවා. අමෙරිකානු ආක්‍රමණය, ඉන්දියානු ව්‍යාප්තවාදය, වහාබ්වාදය මේ අපේ රට ගිලගනිමින් ඉන්නවා. ඒ වගේම එක්තරා අන්තවාදී මුස්ලිම් කල්ලියක් ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් පුද්ගලයන් 20කට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවට කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයකු මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මේවාට එරෙහිව තමයි මේ ව්‍යාපාරය අපි ක්‍රියාත්මක කරන්නේ.

 සටහන - හසිත් අංජන

 

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30