2019 ජුලි 06 වන සෙනසුරාදා

ලංකාවේ හොඳ තේවලටත් වසවිස දාන කසළ තේ ජාවාරම

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනවල තිබෙන ඉල්ලුම හා ජාත්‍යන්තර වශයෙන් පවතින කීර්තිනාමය විනාශ කර මෙරට තේ වෙළෙඳපොළ අඩාල කරවීම සඳහා සංවිධානාත්මක මාෆියාවක් ක්‍රියාත්මක බවට තොරතුරු බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණේ කලකට ඉහතදීය. තේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තරගකාරීත්වයේ ඉන්නා ඇතැම් රටවල් මේ පසුපස ක්‍රියාත්මක බවත් මාෆියාව පසුපස මහා පරිමාණ වශයෙන් තේ ව්‍යාපාරය සිදුකරන ඇතැම් ජාවාරම්කරුවන් සිටින බවද වාර්තා වේ.

තේ කොළ ජාවාරමට සම්බන්ධ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ද මේ පසුපස සිටින අතර ඔවුන් වැඩිදෙනා ලාභ අපේක්ෂාවෙන් කසළ තේ ජාවාරම සිදු කරන බවට තොරතුරු තිබේ. මේ අතර මෑතක සිට අනාවරණය වී ඇත්තේ කසළ තේ ගුණාත්මක හා ඉහළ ප්‍රමිතියෙන් යුතු ඒවා බවට පත්කිරීම සඳහා විවිධ වර්ගයේ රසායන ද්‍රව්‍ය කලවම් කරන බවය. මේ සඳහා භාවිතයට ගන්නා ඇතැම් රසායන ද්‍රව්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ඒවා බවද හඳුනාගෙන ඇත. මේ ආකාරයට විෂ රසායන මිශ්‍ර කරමින් තේ අපනයන කිරීමට උත්සාහ කරන්නේ අපනයනයේදී වැඩි මිලක් වංචනිකව ලබා ගැනීමටය. ලෝකයට වස පොවමින් තේ කොළ ව්‍යාපාරය බිඳ දමා රටේ අපනයන ආර්ථිකය කාබාසිනියා කොට දැමීමට ඉහත කී මාෆියාව කටයුතු කරන බව පැහැදිලිය. මේ හරහා ලංකාවේ තේ නාමය ජාත්‍යන්තර වශයෙන් අප කීර්තියට ලක්වීම නොවැළැක්විය හැකි ක්‍රියාවක් වුවද ඒ සඳහා බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ගයන් පිළිබඳව සෑහීමකට පත්විය නොහැකිය.

රසායන ද්‍රව්‍ය කලවම් කරමින් සිදු කරන කසළ තේ ජාවාරම අවස්ථා කිහිපයකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වටලනු ලැබීය. එහිදී අනාවරණය වී තිබුණේ සීනි, ග්ලූකෝස්, ග්ලූටන් හා ඇන්ට්‍රොකිනෝන් වැනි රසායන ද්‍රව්‍ය තේ කොළවලට කලවම් කරන බවය. මීට දින කිහිපයකට ඉහතදී බදුරලිය ප්‍රදේශයේදී තේ කොළ සඳහා රසායන මිශ්‍ර කරන අවස්ථාවකදී වැටලීමක් සිදු කර තිබුණි. පසුදිනෙක එම ආයතනය වෙනත් පාර්ශවයක් සඳහා අලෙවි කළ තේ පරික්ෂාවකදී අනාවරණය වී තිබුණේ ඇන්ට්‍රොකිනෝන් රසායනය අධිකව අන්තර්ගතව තිබෙන බවය. එබැවින් ගනුදෙනුව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වූ අතර එම රසායන පරික්ෂාව ජර්මනියේ රසායනාගාරයක සිදුකර තිබෙන බවද දැනගන්නට තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන කසළ තේ ජාවාරම සිදු කෙරෙයි. ගම්පොළ, වෙලම්බොඩ, දවුලගල, උඩුනුවර, වටදෙණිය, දිගන, මාතර, කළුතර, කොළඹ ප්‍රදේශ ඒ සඳහා උදාහරණය. මෙකී ඇතැම් ස්ථාන සංවිධානාත්මක ලෙස පවත්වාගෙන යන අතර වැටලීම් සිදුකළ නිලධාරීන්ට පහර දුන් සිදුවීම් වාර්තා වූයේ එවැනි ස්ථානවලිනි. මේ ආකාරයට ගම්පොළ වෙලම්බොඩ හා දව්ලගල ප්‍රදේශවල නිවාසවල ස්වයං රැකියාවක් ලෙස කසළ තේ ජාවාරම සිදුකරන බවට ආරංචි පැතිරේ.

පසුගිය සතියේදී පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ ක්‍රියාත්මක විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් අනුව නිලධාරීන් පිරිසක් පිටත්ව තිබුණේ කොළඹ ආදුරුප්පු වීදිය ප්‍රදේශයටය. ආදුරුප්පු වීදිය පොලීසිය ආසන්නනයේ අංක 279 කොළඹ 13 ලිපිනය සඳහන් ගබඩාවක මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ තොගයක් ඇතැයි කියන තොරතුර සෙවීමට ගිය නිලධාරීන් අසළ ගබඩාව පරික්ෂා කර ඇත. එම ස්ථානය අපනයන තත්ත්වයේ තේ කොළ ගබඩා කිරීම සඳහා බලපත්‍ර ලබාගත් ස්ථානයකි. යාබද ගොඩනැගිලි දෙකක ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර තිබූ පාර්සල තොගයක් පරික්ෂාවෙන් පසුව කසල තේ කොළ කිලෝ 33,885ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

එම තේ කොළ අම්බලන්ගොඩ ප්‍රදේශයට යැවීමට සූදානම්ව තබා ඇති අතර රට යැවීමට නියමිත තේ කොළ සඳහා මිශ්‍ර කිරීමට සූදානම්ව සිට ඇත. එහි සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එහි හිමිකරු ඔහු බවත් හෙළිවිය. පුද්ගලයා මහනුවර, වත්තේගම, මීගහවත්ත පාර පදිංචි මොහොමඩ් රවුෆ් (37) බවට හඳුනාගෙන තිබේ. වසර ගණනක් පුරා එම ජාවාරම සිදුකළ බවත් එම ස්ථානයේ සීනි හා කොස්ටික් සෝඩා තේවලට කලවම් කළ බවද කියා තිබුණි. වැඩිදුර පරික්ෂාව සඳහා ලබාගත් සාම්පල ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත ලබාදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේය.

රුපියල් පනස් එක් ලක්ෂ පනස් දහසකට අධික වටිනා තේ සමඟ අත්අඩංගුවට පත් සැකකරු ආදුරුප්පු වීදිය පොලීසියට බාර දී තිබෙන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

පසුගියදා බුලත්සිංහල ප්‍රදේශයේදී තේ සඳහා රසායන ද්‍රව්‍ය කළවම් කරන ජාවාරමක් කොටු කරගෙන තිබුණි. එම ජාවාරම මෙහෙයවා තිබුණේ වෛද්‍යවරයකු වන තේ කර්මාන්තශාලා හිමිකරුවෙකි. ඔහුට අයත්වන තේ කර්මාන්තශාලා හේනතැන්න, වින්වුඩ්, හාට්ලි හා සපුමල්කන්ද ප්‍රදේශවල පිහිටා තිබෙන බවත් ඒවායේ දිනපතාම මෙම රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරන ජාවාරම සිදු කරන බවටත් ප්‍රදේශවාසීහු තොරතුරු හෙළි කරති. මේ පිළිබඳව සාක්ෂි සාධක කොතෙක් ඇතත් තේ මණ්ඩලය නිසි ක්‍රියාමාර්ග නොගැනීම ගැටලුවකි.

► සමන්ත ප්‍රදීප් විල්තෙර 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00