2019 ජුලි 06 වන සෙනසුරාදා

හමුදාවේ මාමා කෙනෙක් තාත්තාට වෙඩි තිබ්බා

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 228

අප්‍රේල් 21 හෝ පාස්කු දිනය කිවහොත් දැන් මතක් වන්නේ අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයයි. මියගිය අය තවමත් මතක ඇතුවා සේම බෝම්බවලින් තුවාල ලැබූවන් බොහෝ දෙනකු තවමත් සුව වී නොමැත. ඒ තරමට පාස්කු ප්‍රහාරයේ මතකය අලුත්ය. එදා ඇතිකළ අනාරක්ෂිත බව රැගත් අර්බුදය රට වසර ගණනාවක් ආපස්සට තල්ලු කරනු ලැබීය. ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ මැදිහත් වීම නොවන්නට අප්‍රේල් 21 ප්‍රහාරය නිසා රට අදටත් අරාජිකය.

පැවති ආරක්ෂක අර්බුදය හමුවේ රටේ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු මසකට වැඩි කලක් සහමුලින්ම ඇණහිට තිබුණි. පොලීසිය, යුද ගුවන් හා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම් අතරතුර බියෙන් සැකයෙන් තොරව පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සැකසිණි. අදටත් දිවයින පුරා පාසල් පද්ධතිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ආරක්ෂක අංශවලින් ලැබෙන්නේ මනා සහයෝගයකි.

එහෙත් අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූයේ ගාල්ල අක්මීමන මානවිල උපනන්ද ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරියකු සහ එම පාසලේ දරුවකුගේ ආදරණීය පියා සම්බන්ධයෙනි. පාසලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළාගේ අණ නොතකා පාසල් ගේට්ටුව විවෘත කොට පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ සැකකරුවකුට හමුදා නිලධාරියා වෙඩි තබා තිබෙන අතර තුවාල ලබා රෝහල්ගත කරන අතරතුරදී ජීවිතක්ෂයට පත්වූ ඔහු එම පාසලේ ඉගෙනුම ලබන දරුවන් තිදෙනකුගේ පියකු බවට අනාවරණය විය.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණේ ගාල්ල, පිලාන, නාගස් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි කළුතොටගේ උදය ප්‍රදීප් කුමාර (39) නැමැති අයෙකි. දරු තිදෙනකුගේ පියකු වන ඔහුගේ දරුවන් දෙදෙනෙක් මානවිල උපනන්ද ජාතික පාසලේ කනිෂ්ඨ අංශයේ ඉගෙනුම ලබති. මිනුකි නැමැති වැඩිමහල් දියණියට පාසලේ දී ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා ඉකුත් බ්‍රහස්පතින්දා පෙරවරු දහයට පමණ දැරිය පාසලෙන් පිටව ගොස් තිබුණි. ඒ එම විද්‍යාලයේ ගුරුවරියක හරහා පියාට ලැබුණු දුරකතන පණිවුඩයකට අනුවය. ඊට හෝරා දෙකකට පමණ පසුව එම දැරිය සිය පියා සමඟින් නැවත පාසලට පැමිණ තිබුණේ බාල පුත්‍රයා පාසලින් රැගෙන යාමටය.

ඒ වන විටත් පාසලේ ආරක්ෂාව සඳහා ගාල්ල කොටුව පිහිටි යුද හමුදා ගැමුණු සේවා බලඇණියට අයත් සෙබළුන් දෙදෙනෙකු යොදවා සිට ඇත. කලබලයෙන් පාසල් ගේට්ටුව ළඟට ආ තැනැත්තා හමුදා සෙබළාගේ අණ නොතකා පළමු ගේට්ටුවෙන් ඇතුළු වී තිබුණේ දරුවා අසනීප වී ඇති බවට පාසලෙන් දුරකතන ඇමැතුමක් ලැබුණු බව කියමිනි. බලහත්කාරයෙන් පාසල් පරිශ්‍රයට එන පුද්ගලයා වළක්වන්නට මැදිහත් වූ හමුදා නිලධාරියා සමඟ බහින් බස් වී වචන හුවමාරුවකට පැටළුණු පුද්ගලයා පාසලේ දෙවැනි ගේට්ටුවත් බලෙන් විවෘත කරමින් ඉදිරියට යාමට උත්සාහ දරා ඇතැයි කියති. ඔහු යන මඟ බාධා කරමින් රැකවල් යෙදූ හමුදා සෙබළාගේ ගිනිඅවිය උදුරා දමන්නට උත්සාහ කළ බවත් ඔහුට එරෙහිව හමුදා නිලධාරියා ගිනිඅවිය ක්‍රියාත්මක කොට තිබුණේ ඒ මොහොතේදී බවත් සඳහන් වෙයි. ක්ෂණිකව එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ ඇදවැටුණු සැකකරැගේ උදරය හා පපුව ආසන්නයෙන් ලේ ගලා ගොස් තිබිණි.

මේ දුටු ඒ අසල රැඳී සිටි කිහිපදෙනකු ක්‍රියාත්මක වී තුවාලකරු ත්‍රිරෝද රථයක නංවාගෙන රෝහලට ගෙන යාමට සූදානම් වී ඇත. ඒ අතරතුර තව අයෙක් 1990 අමතා සුවසැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන මඟදී රෝගියා එයට මාරුකර කරාපිටිය රෝහල වෙත රැගෙන යනු ලැබීය. රෝහලට ඇතුළත් කොට සුළු වෙලාවකට පසුව තුවාලකරු මියගිය බවට රෝහල් ආරංචි මාර්ග අනාවරණය කොට තිබිණි.

මෙසේ මියගිය තිදරු පියා පිළිබඳව වාර්තා වීමත් සමඟ ගම්වාසීන් හා මව්පියන් බොහෝ පිරිසක් පාසල් භූමිය වෙත පැමිණියහ. ඇතැමුන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමට උත්සාහ දරා තිබුණි. සිදුවීම පිළිබඳව ගාලු කොටුව ගැමුණුසේවා බලඇණියටත් අනතුරුව අක්මීමන පොලීසියටත් දන්වා තිබූ අතර හමුදාවේ භට පිරිසක් හා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාසලට පැමිණ අදාළ විමර්ශන ආරම්භ කරන ලදී. ඒ අතරතුර පාසල නිමවීමට පෙරාතුව ඇතැම් මව්පියන් පාසලෙන් දරුවන් රැගෙන යාමට උත්සාහ කොට තිබුණි. මේ අතර පාසල් දරු දැරියන් භීතියට පත්ව සිටි බවද දක්නට ලැබිණ.

වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සෙබළා අක්මීමන පොලීසිය භාරයේ තබා ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. වෙඩි ප්‍රහාරයෙන් මියගිය ප්‍රදීප් කුමාර නැමැත්තා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සේවය කරමින් සිට ඉවත් වූ අයකු වූ අතර ඇයගේ බිරියද නාවික හමුදා සේවයෙන් ඉවත්ව සිටින්නියකි.

වෙඩි තැබීම සියැසින් දුටු මියගිය තැනැත්තාගේ දියණිය වන මිනුකි (7) මාධ්‍යයට පැවසුවේ මෙවැන්නකි.

“මට ලෙඩවෙලා දහයට විතර ගෙදර ගියා. පස්සෙ මල්ලි ගන්න තාත්තා එක්ක ආවා. එතකොට ගේට්ටුව ළඟ කවුරුත් පේන්න හිටියෙ නෑ. මෙතන බලු බල්ලෙක් නෑ. කිසි ආරක්ෂාවක් නැහැයි කියලා තාත්තා කීවා. ටික වෙලාවකින් හමුදාවෙ මාමා කෙනෙක් තාත්තට වෙඩි තිබ්බා. මගේ කකුල් දෙක ළඟ ඇදගෙන වැටුණා.”

මේ පිළිබඳ අදහස් දැක්වූ පාසල අසල රැඳී සිටි කෙනකු කීවේ මෙවැන්නකි.

“තාත්තා කෙනෙක් ළමයා එක්ක යන්න ඇවිත් බලෙන් ගේට්ටුව ඇරලා ගිහින් තියෙනවා. හමුදාවෙ කෙනා එක්ක බහින්බස් වීමකුත් ඇතිවෙලා. හමුදාවෙ කෙනා ළමයින්ගෙ මව්පියන් අඳුරන්නෙ නෑ. එයා වෙඩි තියලා තියෙනවා. මේ සිද්ධියට දැන් කවුරුත් හමුදාවට බණීවි. නමුත් ත්‍රස්තවාදියෙක් ඇතුළට ගිහින් හමුදාවෙ අය එයාට මෙහෙම කළා නම් හමුදාවට උඩ තියලා වඳියි.”

මියගිය තැනැත්තා අතින්  හෝ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළා අතින් හෝ පාර්ශ්වයේ කොතැනකින් හෝ වරදක් සිදුවී තිබේ. ඒ හමුවේ ජීවිතයක් වන්දි ගෙවූ අතර අහිංසක දරු තිදෙනකුට ආදරණීය පියකු මෙන්ම බිරියට ආදරණීය සැමියා අහිමිව ගොසිනි.

රටේ පවතින අන්තවාදී ත්‍රස්තවාදය හමුවේ හදිසි නීතිය පනවා තිබේ. එය දෙවැනි වරටත් දීර්ඝ කොට නිතිපතා පාසල්වලට ආරක්ෂක අංශ මගින් ආරක්ෂාව සපයන්නේ යම් අවදානමක් පවතින නිසා බව පැහැදිලිය. මේ අවස්ථාවේ හදිසි නීතිය කුමක්ද? එහි අවශ්‍යතාව කුමටද? හා එවැනි තත්ත්වයක දී හමුදාව සහ පොලීසිය සතු කාර්යභාරය පිළිබඳව යම් අවබෝධයක් මහජනතාවට තිබිය යුතුය. වගකීමෙන් හා සංයමයෙන් කටයුතු කරන ආරක්ෂක අංශ වෙත මහජනතාවගේ සහාය ලබාදිය යුතුය. එසේ නොවන්නට මෙවැනි වගකීම් රහිත ගැටුම් ඇතිවීමට ඉඩ තිබේ.

අනාරක්ෂිත බවක් ඇති රට අන්තවාදී ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට හදිසි නීතිය යටතේ ආරක්ෂක හමුදා ක්‍රියා කරයි. එම බාරදූර වගකීම හමුවේ ආරක්ෂක හමුදා වෙත මහජන සහාය ලබාදීම අවශ්‍යය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

ගිනි අවිය උදුරා ගන්න උත්සාහ ගත් බව සෙබළා කිව්වා
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු

පාසලේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළාගේ අණ නොතකා පාසලට ඇතුළු වීමට කෙනකු උත්සාහ කර තිබෙනවා. ඒ අවස්ථාවේදී ඔහු සෙබළා සතු ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ ගත් බව සෙබළා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. දැනටමත් සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන වශයෙන් යුද හමුදා සෙබළා කියපු කරුණු සහ පාසලේ දෙමාපියන් කියපු කාරණා මත විමර්ශන සිදු කරන්නේ. ඔවුන් ප්‍රකාශ කරනවා මේ පුද්ගලයා බලෙන් පාසලට ඇතුළු වීමට උත්සාහ කළා කියලා. පොලිස් විමර්ශනවලට අමතරව යුද හමුදා පොලීසිය මගින් වෙනම විමර්ශනයක් සිදු කරනවා. ඒ සඳහා යුද හමුදාව විනය පිළිබඳව විමර්ශනයක් කෙරෙනවා. දැනට අනාවරණය වෙලා තිබෙන කරුණු අනුව නම් හමුදා සෙබළාගේ වරදක් හෙළිවෙලා නෑ.

හමුදා සෙබළාගේ ගිනිඅවිය උදුරාගන්න උත්සාහ කළා නම් වැරදියි. එහෙම වුණා නම් ඒක වෙනත් ගැටලුවක් වෙනවා. මේ දවස්වල රටේ තත්ත්වය අනුව යන එන අය පිළිබඳව විමර්ශනයෙන් ඉන්නේ. ජනතාව ඒ පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. මව්පියන්ට පාසලට එන්න කියනවා නම් ඒ බව ආරක්ෂක අංශ නිලධාරීන්ට දැනුම්වත් කරලා ගුරුවරයකු හෝ ගේට්ටුවේ රැඳී සිටිය යුතුයි. ඒ සම්බන්ධව හොඳ සන්නිවේදනයක් දෙපාර්ශ්වය අතර තිබිය යුතුයි. යුද හමුදාව පත්කළ මූලික පරීක්ෂණ උසාවිය නැමැති මණ්ඩලයක් මගින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සිවිල් පොලීසියේ තොරතුරැ අපි ලබාගන්නවා.

පාසලට බලෙන් ඇතුළු වෙන්න ගිහින්
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර

ගාල්ල අක්මීමන මානවිල උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ මෙම සිදුවීම වාර්තා වුණේ ගිය බ්‍රහස්පතින්දා දවල් 12.05ට පමණ. එම විද්‍යාලයේ ඇතුළු වීමේ ගේට්ටු දෙකක් තිබුණා. පාසලේ ආරක්ෂාවට යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙක් රාජකාරියේ නිරතව සිට තිබෙනවා. එක ගේට්ටුවකින් බලෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙක් වළක්වන්නට උත්සාහ ගත් නිලධාරියා සමඟ මේ පුද්ගලයා බහින්බස් වීමක් ඇතිකරගෙන තිබුණා. අක්මීමන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හමුදා නිලධාරියා මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. සැකකරු ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කළ බවත් ඒ අවස්ථාවේ වෙඩි තැබූ බවත් ප්‍රකාශ කර තිබෙනවා.

තුවාල ලැබූ තැනැත්තා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වෙලා තිබුණා. මියගිය පුද්ගලයා අක්මීමන පිලාන ප්‍රදේශයේ පදිංචි තිදරැ පියෙක්. සිද්ධියට අදාළව හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩිදුර විමර්ශන සිදු කරනවා.
 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00