2019 ජුලි 06 වන සෙනසුරාදා

රජයේ වෛද්‍ය නිලධාරින්ට එල්ල වූ කළුතෙල් ප්‍රහාරය

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 11

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවින්ද සොයිසා මහතා සහ එම සංගමයේ කළුතර දිස්ත්‍රික් උපසභාපති වෛද්‍ය කපිල සිරිවර්ධන මහත්වරුන්ට අයත් පෞද්ගලික වෛද්‍ය සායන පවත්වන ස්ථාන දෙකකට පසුගියදා යම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට තිබුණි. බණ්ඩාරගම - කළුතර පාරේ කුඩා වස්කඩුව පිහිටි නවින්ද සොයිසාගේ සායන මධ්‍යසථානයට හා කළුතර මැදගම පාරේ පිහිටි කපිල සිරිවර්ධන මහතාගේ සායනයටත් පහරදීම සිදුකොට තිබුණේ පසුගිය 24 වැනිදා රාත්‍රියේදීය.

අදාළ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙක් යතුරුපැදියක නැගී එන ආකාරයත් ඔවුන් වෛද්‍ය මධ්‍යස්ථානය අසල හැසිරෙන ආකාරයත් එම ස්ථානයේ තිබූ රහසිගත කැමරාවක සටහන් වී තිබී ඇත. එම දර්ශන ඉදිරි විමර්ශන සඳහා උපයෝගී කර ගැනීමට නියමිත අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් එම දර්ශන මාධ්‍ය වෙත ලබාදී ප්‍රසිද්ධ කළේය.

අදාළ වෛද්‍ය සායන ස්ථානවලට කළුතෙල් ප්‍රහාරයක් එල්ලකර තිබෙන අතර බාහිර දේපල වෙත ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බවට සාධක දකින්නට පුළුවන. පහරදීම සම්බන්ධයෙන් වෛද්‍ය නවින්ද සොයිසා මහතා කළුතර උතුර පොලීසියටත් වෛද්‍ය කපිල සිරිවර්ධන මහතා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙතත් පැමිණිලි ඉදිරිපත් කිරීමට ක්‍රියාකර තිබිණ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. පහරදීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන බවය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පහරදීම පිළිබඳව සිය පාර්ශ්වයේ අදහස් පළ කළේය. එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට චෝදනා කරමින් කියා සිටියේ පහරදීම සම්බන්ධයෙන් ඔහු වගකිවයුතු බවය.

මේ අතර ප්‍රහාරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට තිබුණි. එහි සඳහන් කර තිබුණේ වෛද්‍ය සායන දෙකට එල්ල කර තිබූ බියගුලු ප්‍රහාරය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කිසිවිටෙකත් අනුමත නොකරන බවත්, එය දැඩි ලෙස හෙළා දකින බවත්ය. ප්‍රහාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා තොරතුරු දැනගත්තේ මාධ්‍ය වාර්තා මගින් බවද වෛද්‍ය නවින්ද සොයිසාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය පිළිබඳව දැනගත්තේත් සිද්ධියට පසුව බවත් පැවසුණි. ඔහු වැඩිදුරටත් දක්වා තිබුණේ අදාළ පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස උසස් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.

වෛද්‍ය මධ්‍යස්ථානවලට පහරදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාගේ සබඳතාවයක් ඇතැයි කීමට හේතු සාධක තිබෙන බව වෛද්‍ය නවින්ද සොයිසා මහතා පැවසීය. ගැබිණි මව්වරැන්ට ලබාදෙන යකඩ පෙති සහ ෆෝලික් අම්ල ගුණාත්මක බවින් අඩු ඒවා ගෙන්වා ඇති බවද එය බහුතරයක් මවුවරැන්ට ලබාදී තිබෙන බවද එක් චෝදනාවකි. අපස්මාරය, දියවැඩියාව සඳහා ලබාදෙන ඖෂධ වර්ග ප්‍රමිතියෙන් තොරව ගෙන්වා ඇතැයිද බාල පිළිකා ඖෂධ බෙදාහැරීම සඳහා බලපෑම් සිදුකළ බවටද චෝදනා කෙරේ. මෙම චෝදනා විගණකාධිපති වාර්තාව මගින් හා රජයේ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම තුළදී අනාවරණය වී ඇතැයිද වෛද්‍ය නලින්ද සොයිසා පවසයි.

එමෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල පිළිබඳවත් පිළිකා ඖෂධ ගෙන්වීමට අදාළ ටෙන්ඩර් ක්‍රියා පටිපාටියක මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්ද සුවපති කිරුළ පැළඳීමේ උත්සවය සඳහා මිලියන ගණනක් වැය කිරීම හා කුරැණෑගල වෛද්‍ය සාෆි සිදුවීම ඇතුළු චෝදනා 10ක් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළේය. ඒ සඳහා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන හා නායකයින් මෙන්ම මහජනතාව දැනුම්වත් කරන වැඩපිළිවෙළක් ගෙනයාමට රජයේ වෛද්‍ය සංගමය කටයුතු කළේය.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන විශ්වාස භංග යෝජනාවකට අත්සන් එකතු කිරීමට එම සංගමය පියවර ගෙන තිබිණ. එය ඉකුත් 24 වැනිදා නාගොඩ රෝහල ඉදිරිපිටදී සිදුකෙරිණි. මේ අවස්ථාවේ අදාළ තොරතුරැවලින් ජනතාව දැනුම්වත් කිරීමට වෛද්‍යවරැ ක්‍රියාකර ඇත. මේ සඳහා විරෝධය දක්වමින් රෝහලෙන් පිටතට වී සිටි පිරිසක් එක්වරම රෝහලට පැමිණ වෛද්‍ය සංගමයට බාධා කොට ඇති අතර දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. ඔවුන් වෛද්‍යවරැ සතු ලේඛන ඉරා දමද්දී පැමිණි පොලිසිය මහත් පරිශ්‍රමයක් යොදා තත්ත්වය පාලනය කොට ඇත. මෙහිදී රජයේ වෛද්‍ය සංගමයට විරෝධය පෑම සඳහා වෛද්‍ය රැක්ෂාන් බෙල්ලන ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පැමිණ සිට ඇත.

මෙම සිදුවීමෙන් දින දෙකකට පමණ පසුව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කළුතර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරු දෙදෙනකුගේ පෞද්ගලික සායනවලට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට චෝදනා කරති. මේ පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය නවින්ද සොයිසා පැවසුවේ අත්සන් කරන මහජන පෙත්සම ජනාධිපති, කතානායක ඇතුළු පාර්ශ්ව කීපයකට ලබාදීමට කටයුතු කරන බවය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30