2019 ජුලි 06 වන සෙනසුරාදා

ඇඟේ මාළු නැටවෙන මාකට් එකේ මාළු මිල

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

අන් කවරදාවත් නොවූ පරිදි මේ වනවිට මාළු මිල ඉහළ ගොස් ඇත. සෑම පාරිභෝගික භාණ්ඩයකම මිල වැඩි වී තිබෙන පරිසරයක මාළු මිලද වැඩිවීම පාරිභෝගිකයාට දරාගන්නට නුපුළුවන. මේ වාරකන් කාලයේ මුහුද රළු නිසා බොහෝ ධීවරයන් මුහුදු යාමෙන් වැළකී සිටින බැවින් නිෂ්පාදනය අඩුවී මාළු මිල ඉහළ නැගීම සාමාන්‍ය සිරිතය. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් වසරේ ජූනි ජූලි මාසවල සිදුවන නමුත් මෙවර මාළු මිල නොසිතූ විරූ පරිදි ඉහළ යාම නිසා දුප්පත් පාරිභෝගිකයාට මාළු කෑමේ වරම අහිමි වී ඇත. ආනයනික මාළුවලට විශාල බද්දක් පැනවීමද මෙයට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.

මේ වනවිට ධීවර සංස්ථාව මාළු හිඟයකින් පෙළෙන අතර විවෘත වෙළෙඳපොළේ මාළු සිල්ලර මිල ඉතාම ඉහළය. තලපත්, කොප්පරා, කෙළවල්ලා වැනි ලොකු මාළු කිලෝවක මිල රුපියල් 1600 දක්වා ඉහළ ගොස් ඇත. එයට සමාන්තරව කුඩා මත්ස්‍ය මිල ගණන්ද වැඩි වී තිබේ. වෙනදා කිලෝව රුපියල් 300-325 අතර තිබූ ලින්නා කිලෝව රුපියල් 600 ඉක්මවා ඇත. එසේම පියාමැස්සා, සාලයා, සූඩයා ආදී අඩු මිල මාළු කිලෝවද රුපියල් 500 ආසන්නට මිල ඉහළ ගොස් තිබේ. සෙසු මාළු වර්ගවලද මිල වෙනදාට වඩා දෙගුණය ඉක්මවා ඇත.

පාරිභෝගිකයන්ගේ ඉල්ලුම පහළ බැසීම සහ මාළු සැපයුම අඩුවීම නිසා බොහෝ නාගරික මාළු වෙළෙඳසල් වැසී යාමෙන් වෙළෙන්දෝ අමාරුවේ වැටී සිටිති. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ මාළු වෙළෙන්දකු පැවසුවේ වෙළෙඳපොළට මාළු ලැබීම ඉතාම දුර්වල මට්ටමක පවතින බවය. උතුරු නැගෙනහිර මාළු කොළඹට පැමිණීම නැවතී ඇති අතර දකුණුකරයේ මාළුද එම ප්‍රදේශවල අලෙවි වන නිසා පෑලියගොඩට නොපැමිණෙන බව ඔහු කීය. වෙනදා උදේ පාන්දර ජනාකීර්ණ වන පෑලියගොඩ මාළු වෙළෙඳපොළ ජනයාගෙන් ශුන්‍ය ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබෙන බව ඔහු කීවේය.

මාළු සාමාන්‍ය දුප්පතාගේ ආහාරයක් වුවද අද වනවිට එය සුපිරි ධනපතියාගේ කෑමක් බවට පරිවර්තනය වී ඇති සැටියකි. අප රට දූපතක් නිසා එය වටේම මුහුද පිහිටා තිබේ. මුහුදේ නාවික සැතපුම් 12ක ඍජු අයිතිය ඇත්තේ අපටය. වෙරළේ සිට නාවුක සැතපුම් 200ක අනන්‍ය ආර්ථික කලාපයක් ප්‍රකාශයට පත්කර තිබේ. රටේ වර්ග ප්‍රමාණය මෙන් අට ගුණයක මුහුදක් අප සතුව ඇත. එසේ වුවද ධීවර කර්මාන්තය නිසි ලෙස සැලසුම් නොකර ඉබාගාතේ යන්නට හැරීම නිසා මෙහි මත්ස්‍ය සම්පත නෙලාගැනීමේ අපහසුතාවකට පත්ව තිබෙන බව කිව යුතුය.

මාළු සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් මෙරට නැති අතර වෙරළ ආශ්‍රිත මසුන් විනාශ වීමේ තර්ජනයකට ලක්ව තිබේ. අපේ ධීවරයන් මෙන්ම විදේශ ධීවරයන්ද කුඩා මසුන් අල්ලා විශාල වශයෙන් විනාශ කිරීම නිසා නිරපරාදේ අනාගතයට පාවිච්චි කළ හැකි මසුන් නැතිවෙමින් පවතී. ධීවරයන්ට අවශ්‍ය උපදෙස් නොදෙන නිසා ඔවුහු හිතුවක්කාර ලෙස කටයුතු කරති.

විදේශවලින් පැමිණෙන ධීවරයන් අපට හිමි මුහුදේ මසුන් බලහත්කාරයෙන් ඇල්ලීම විශාල තර්ජනයක්ව පවතී. අනාදිමත් කාලයක සිට පවතින මේ තත්ත්වය පාලනය කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම අවාසනාවකි. වැඩි වශයෙන් ඉන්දීය ධීවරයන් තර්ජනාත්මක ලෙස අප සතු මත්ස්‍ය සම්පත ඩැහැගැනීම හා විනාශ කිරීමේ ප්‍රවණතාව මේ වනවිට ඉහළ නැග ඇත. ඔවුන් තහනම් ආම්පන්න භාවිත කර විශාල වශයෙන් ගැඹුරැ මුහුද අභ්‍යන්තරයේ මසුන් ඇල්ලීම නිසා අපේ ආදායම් මාර්ගය අහිමි වනවා හැර නිකරුනේ මසුන් විනාශ වීමද සිදුවේ. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙම ව්‍යසනය මැඩපැවැත්වීමට සාර්ථක ක්‍රියාමාර්ගයක් ගෙන නැත. නාවික හමුදාව විශාල පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගන්නා මෙවැනි මාළු හොරැන් පවා කිසිදු විමර්ශනයකින් තොරව අපේ වියදමින් ආපසු ඉන්දියාවට පිටත් කර හැරීමට සිදුව තිබීම විශාල අවාසනාවකි.

මත්ස්‍ය මිල ගණන් මෙවර විශාල ලෙස ඉහළ යාම පිළිබඳ කරැණු දක්වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය තොග වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මෙසේ පවසයි.

අද ඇතිව තිබෙන තත්ත්වයට කරැණු තුනක් බලපානවා. මේ වාරකන් කාලය නිසා කොහොමත් මාළු මිල වැඩියි. මුහුද රළු නිසා ධීවරයන් මුහුදු යන්නේ නැහැ. විශේෂයෙන් 15,000-20,000 වන කුඩා බෝට්ටු හිමියන් මුහුදු යන්නේ නැහැ. ලොකු යාත්‍රා වුණත් මගින් හරවාගෙන එනවා. ඒ නිසා මත්ස්‍ය නිෂ්පාදනය අඩුයි.

අනිත් ප්‍රධාන හේතුව තමා ආනයනය කරන මාළුවල බදු වැඩි කිරීම. වෙනදාට ආනයනය කරන තලපත්, කොප්පරා වැනි ලොකු මාළුවලට කිලෝවකට ගැසුවේ රැපියල් 25ක ආනයන බද්දක්. ඒත් මේ වනවිට එය රැපියල් 100 දක්වා ඉහළ නංවලා තියෙනවා. වෙනදාට මසකට අඩි 40 දිග මාළු කන්ටේනර් 20ක් පමණ රටට ආවත් මේ වනවිට එය කන්ටේනර් 8-10 බවට අඩුවෙලා. මෙලෙස ගෙන්වන මසුන්ද වැඩි කොටස හමුදාව මිලට ගන්නා නිසා පාරිභෝගිකයාට ලැබෙනවා අඩුයි. තුන්වැනි කාරණය තමා රැපියලේ විදේශ අගය අඩුවී තිබෙන නිසා ආනයනය කරන මසුන් සඳහා වැඩිපුර ගෙවන්න සිදුවීම.

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරැ රංජිත් විතානගේ

රට වටේම මුහුද තිබුණත් මාළු මිල ඉහළයි. වෛද්‍යවරැන් පවසන්නේ මස්වලට වැඩිය මාළු ආහාරයට ගැනීම සෞඛ්‍යමය වශයෙන් හොඳයි කියලයි. එහෙත් අද ආදායමේ හැටියට ජනතාවට මාළු කන්නට අමාරැයි. මෙතරම් මිල ඉහළ ගිය කාලයක් තිබුණේ නැහැ. ආදේශක භාණ්ඩයක මිල ඉහළ ගිය විට එය පාරිභෝගිකයාට බලපානවා. බත් පාර්සල් සහ හෝටල් ව්‍යාපාරිකයන්ට පවා කෑමවලට මාළු එකතු කිරීම ප්‍රශ්නයක් වෙලා.

ආනයනය කරන මාළු වුණත් ප්‍රමිතියෙන් පහළයි. ඒවා වසර ගණනාවක් පරණ මාළුයි. පරණ මාළුවලින් අවශ්‍ය පෝෂණය ජනතාවට ලැබෙන්නේ නැහැ. ලොකු මාළුවලට වඩා කුඩා මසුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ වුණත් එම මාළුවලද මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා. මේ වාරකන් කාලය බව ඇත්ත. ඒත් කිසිම වාරකන් කාලයක මේ විදියට මාළු මිල ඉහළ ගිහින් නැහැ.

ධීවර කර්මාන්තය මේ වනවිට සම්පූර්ණයෙන් රජයෙන් ගිලිහිලා ගිහිල්ලා. ධීවරයන් දිරිගැන්වීමක් හෝ මිල නියම කිරීමට ආණ්ඩුවේ මැදිහත් වීමක් හෝ නැහැ. එදා සිට අද දක්වාම ධීවර කර්මාන්තය අතරමැදියන් අතට ගිහින් තියෙන නිසා ධීවරයාට හෝ පාරිභෝගිකයාට සහනයක් ලැබී නැහැ. ධීවර සංස්ථාව නමට විතරයි. සංස්ථාවේ මාළු වෙළෙඳසල් ක්‍රමයෙන් වැසිලා යනවා. සේවක ප්‍රශ්න විසඳිලා නැති නිසා ඔවුන්ගේ කාර්යක්ෂමතාව පහළ වැටිලා. සංස්ථාවේ මාළු පිළිබඳ පාරිභෝගික විශ්වාසය පළුදු වෙලා. ධීවර ඇමැතිවරුන් කතා කරන්නේ තමන්ට අදාළ විෂය ගැන නොවෙයි. වෙනත් අමාත්‍යංශ පිළිබඳවයි. සියල්ල අවුල් ජාලයක් වෙලා.

ධීවර සංස්ථාවේ නව සභාපති කීර්ති මුණසිංහ පවසන්නේ, සංස්ථාව නවීකරණය කර පාරිභෝගිකයාට සහ ධීවරයාට සහන සැලසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි. ධීවර සංස්ථාවේ පරිහානියට කළමනාකාරීත්වයේ දුර්වලතා මුළුමනින්ම බලපා ඇතැයි හෙතෙම පවසයි. දැනට සංස්ථාව පවත්වාගෙන යන අලෙවිසල් ප්‍රමාණය 102 වන අතර එම සංඛ්‍යාව කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ප්‍රධාන නගරවල CFC මෙගා රැල්ල යනුවෙන් නවතම ආකාරයේ වෙළෙඳසල් විවෘත කරන අතර, අමු මාළුවලට අමතරව ඒවායේ ඇඹුල් තියල් ලෙස පිසූ මාළු හා මාළුවලට අවශ්‍ය කුළුබඩු වර්ගද අලෙවි කරන බව ඔහු කියයි.

සුනාමි සමයේ සංස්ථාවට ලැබුණු ලොරි කිහිපයක් පාවිච්චියට නොගෙන දමා ඇති අතර ඒවා අලුත්වැඩියා කර නගරයේ මාළු වෙළෙඳාමට යොදන අතර ඒවායින් සෝදපු මාළු දිය නොවෑස්සෙන සේ සීල්කර නිවෙස් වෙත ගෙන යා හැකි අයුරු තාක්ෂණික ක්‍රමවේදයක් ආරම්භ කිරීමටද තමා සැලසුම් කර ඇතැයි ඔහු කියයි.

ධීවරයාට හොඳ මිලක් ලබාදීමට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට මාළු ලබාදෙන වැඩ පිළිවෙළක් ආරම්භ කර තියෙනවා. මෙහිදී වැල්ලේ මිල තීරණය කරන්නේද වෙළෙඳපොළ තීරණය කරන්නේද ධීවර සංස්ථාවයි. විධායක නිලධාරීන් වෙරළට යවා ඍජුවම ධීවරයාගෙන් මාළු මිලට ගන්නා ක්‍රමවේදයක් සකස්කර තිබෙනවා. ඔවුන් ප්‍රධාන කාර්යාල හා සම්බන්ධ වී මිල තීරණය කරනවා. දැනට ඇතැම් ධීවරයන් සංස්ථාවට මාළු සැපයීම නවත්වා ඇත්තේ මුදල් ගන්න බැරි බව කියලයි. අපි ඔවුන් හමුවෙලා පොරොන්දු වෙලා තියෙනවා යළි එහෙම දේවල් නොවන බවට. සභාපතිවරයා පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව පාලන අංශයේ අංශාධිපති සහ ධීවර සහ ජලජ සම්පත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සමන් ආතාවුද, පවසන්නේ රටේ මත්ස්‍ය නිෂ්පාදන සැපයුම අඩුව තිබියදී ආයතනවලට බදු පනවා ආනයන අකර්මණ්‍ය කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බවයි. මෙහිදී නිෂ්පාදකයාට සහ වෙළෙඳාට යම් යහපතක් සිදුවුවද මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයාට හානියක් වන බව ඔහු කියා සිටී. සැපයුම අඩුවන විට මිල ඉහළ යාම වැළැක්විය නොහැකිය.

අපට අවශ්‍ය මත්ස්‍ය සම්පත පිටරටින් නොගෙන්වා අපේ මුහුදින් ලබාගන්නට ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව තියෙනවා. එහෙත් නිසි කළමනාකරණයක් නොමැතිවීම නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අපහසු වෙලා තියෙනවා. අපේ මුහුදේ මත්ස්‍ය සම්පත කොටසක් හොරෙන් අල්ලා ගන්නා අතර අනිත් කොටස අපතේ යාමක් සිද්ධ වෙනවා. අප අවට මුහුදු සීමාව නාවික සැතපුම් 24ක් ඉන්දියාව සහ අපි සැතපුම් 12 බැගින් බෙදාගෙනයි තියෙන්නේ. එහෙත් රාත්‍රී 1-3 අතර ඉන්දියා ධීවරයන් උතුරු නැගෙනහිර පළාත්වලින් අපේ මුහුදු සීමාවට හොරෙන් ඇතුළු වී මසුන් අල්ලනවා. ඔවුන් මන්නාරම කිට්ටුවටම ළං වෙනවා. එසේම මොවුන් කරන තවත් අපරාධයක් තමා තහනම් ධීවර ආම්පන්න පාවිච්චි කරලා මුහුදු පතුළේ සිටින මසුන් පවා අල්ලලා ධීවර සම්පත මුළුමනින්ම විනාශ කර දැමීම.

එසේම මසුන් හිඟවීමට තවත් හේතුවක් තමයි විදේශ රටවල් සමඟ ඇත්සන් කර ඇති ද්විපාර්ශ්වික ගිවිසුම් හරිහැටි ක්‍රියාත්මක නොවීම. ඉන්දියාව, චීනය, රුසියාව වැනි රටවල් සමඟ මෙම Golden Share ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එම ගිවිසුම් අනුව අල්ලන මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 20ක් අපේ අයිතියට දිය යුතුයි. එහෙත් අල්ලන සත්‍ය මසුන් ප්‍රමාණය අප නොදන්නා නිසා ඔවුන් දුන් සුළු ප්‍රමාණයකින් සෑහීමකට පත්වන්න අපට සිදුවෙලා තියෙනවා. මෙය අපට සිදුවන අසාධාරණයක්. ඔවුන් ගිවිසුම් ප්‍රයෝජනයට ගෙන අපේ මත්ස්‍ය සම්පත වංචාවෙන් අයිතිකර ගන්නා එකයි කරන්නේ. කිසිම සැලසුමක් නැතිව ලොකු මාළු මෙන්ම වැඩීගෙන එන සත්තුද අල්ලලා සංහතියම විනාශ කිරීමක් තමා මෙතැනදී සිදුවන්නේ. මේවා ගැන සොයාබලන්න කිසිදු බලධාරියෙක් මැදිහත් වන්නේ නැහැ.

ඒ එක්කම අපේ ධීවරයන්ට රජයෙන් දෙස සහන අවම මට්ටමක තිබීමද මෙම අහිතකර තත්ත්වයට බලපානවා. දැනට වසර 2-3කට පෙර ගැඹුරු මුහුදේ ගොස් මසුන් ඇල්ලීම සඳහා ටෝලර් යාත්‍රා මිලට ගැනීමට ධීවරයන්ට සියයට 50ක මුදලක් රජයෙන් දෙන යෝජනාවක් අයවැයෙන් ආවා. එහෙත් එය තවම හරියට ක්‍රියාත්මක නැහැ. එසේම ධීවර යාත්‍රාවලට ඉන්ධන සහනයක් දීමද හරිහැටි සිදුවන්නේ නැහැ. එසේම යාත්‍රාවල ආම්පන්න මිලද විශාල ලෙස ඉහළ ගිහිං. ධීවරයන්ට ඒවා නඩත්තු කිරීම අපහසු වෙලා. එසේම ධීවරයන් අල්ලන මසුන් නිසි පරිදි අලෙවිකර ගැනීමට පහසුකම් නැහැ. ඔවුන් අතරමැදි ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට නතුවෙලා. ඇතැම් දේශපාලනයට සම්බන්ධ ප්‍රබල පුද්ගලයන් තමා මත්ස්‍ය අලෙවියට සම්බන්ධ වෙලා විශාල ආදායමක් ලබන්නේ. ධීවරයාට හෝ පාරිභෝගිකයාට වෙන යහපතක් නැහැ.

 යසවර්ධන රුද්රිගු

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30