2019 ජුලි 06 වන සෙනසුරාදා

කොටි සටන් පාඨය අතට ගන්නා සේනාධිරාජා!

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 10

දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකත්වය දරන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරමින් ස්වයංපාලන ව්‍යූහයක් ඉල්ලන යෝජනාවලියක් රජයට ඉදිරිපත් කළේය. මතුවී නැසීගිය මේ පුවත අරභයා පසු විපරමක් කිරීමට අපි තීරණය කළෙමු. ස්වයංපාලනය හෝ උතුරැ නැගෙනහිර ඒකාබද්ධ කිරීම පිළිබඳ දේශපාලන සංවාද අද ඊයේ සංවාදයට මතුවූවක් නොවේ. එම නිසාම මේ ප්‍රකාශයේ සහ යෝජනාවල නූතන දේශපාලන භාවිතය සහ උපයෝගීතාව අවබෝධ කරගැනීම කා හටත් වැදගත් වනු ඇත. අපගේ මේ සොයා බැලීම ඒ පිළිබඳවයි.

මෙම යෝජනාවලිය කලඑළි දකින්නේ පසුගිය ජූනි 30 වැනිදා යාපනයේ පැවති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ 16 වැනි මහ සභා රැස්වීමේදීය. මාවෙයි සේනාධිරාජා පක්ෂ සභාපතීත්වයට නැවත පත්වීමෙන් පසු මෙම මහ සභා රැස්වීම පවත්වා තිබේ. උතුරේ දේශපාලන පක්ෂ අතර වර්තමානයේ සැලකිය යුතු දේශපාලන ආධිපත්‍යයක් තමිල් අරසු කච්චිය සතුය. එම නිසාම මෙම යෝජනාවලිය තුළින් උතුරු දේශපාලනයේ ඊළඟ අදියරේ භාවිතාවන් යම් පමණකට නිරූපණය වන බව අපගේ අදහසයි. මෙම යෝජනා අතරින් පසුගියදා ප්‍රසිද්ධියට පත් යෝජනා සහ සේනාධිරාජා මහතාගේ ප්‍රකාශ සම්බන්ධ අපි වෙන වෙනම අවධානය යොමු කළෙමු.

දකුණට තදින් දැනෙන ඉල්ලීම නම් උතුරැ නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයංපාලන ව්‍යූහයක් හරහා දේශපාලන විසඳුමක් ලබාදෙන පාර්ශ්වයකට සහය ලබාදෙන බවට වන කතාවයි. සම්ප්‍රදායික මෙම කතාව ඇසූ සැණින් දකුණේ බොහෝ දෙනා ඇවිස්සෙති. ඒ නිසාමදෝ එම යෝජනාව රළු ලෙස ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය පසුගිය සමයේ උත්සුක නොවීය. එයින් ඔවුන් එම මතයෙන් බැහැර වී සිටි බව නොහැඟවේ. මාවෙයි සේනාධිරාජා මේ යෝජනාව දකුණට ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි වන්නේ අරමුණු දෙකක් සහිතවය.

දකුණට නොතේරෙන උතුරේ දේශපාලන බල පොරය එයින් පළමුවැන්නයි. ඒ අනුව සුමන්තිරන් ඇතුළු දකුණේ දේශපාලකයන්ට ඇඟලුම් පාන පිරිස පසුකර පියවරක් ඉදිරියට ඒමට මෙම යෝජනාව හරහා සේනාධිරාජාට හැකිවේ. පසුගිය සමයේ යුද්ධයේ නිමාවත් සමඟ දකුණේ පීඩනය මතින් අඩපණ වී ගිය උතුරේ ප්‍රබල දේශපාලන සටන් පාඨයක් වන ස්වයංපාලන යෝජනාව සමඟ උතුර යළි අවදිවනු ඇත. එවිට එහි දේශපාලන ධජය රැගෙන යන ප්‍රමුඛයා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයි. මෙම සටන් පාඨයට උතුර ආකර්ෂණය කරගැනීමට හැකිවුවහොත් වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් තම පක්ෂයට හිමිවීමට ඉඩ තිබෙන බව සේනාධිරාජා මහතා දනී. සම්පන්දන්ගෙන් පසු කිරැළේ අයිතිය තහවුරැ කරගැනීමේලා එහි ඇති උපයෝගීතාව සුළුපටු නොවේ.

දෙවැන්න දකුණ මත පීඩනය ඇති කිරීමයි. එළඹෙන ජනාධිපතිවරණයේ දී උතුරැ නැගෙනහිර සහයට නිසි වටිනාකමක් ලබා ගැනීමයි. 2015 දී ලබාදුන් සහයට සාපේක්ෂව දිනාගත් ඉල්ලීම් ඇතත් එය ප්‍රමාණවත්ද යන්න මෙම වකවානුවේ උතුරේ දේශපාලනය තුළ නිතර නැගෙන පැනයකි. උතුරැ නැගෙනහිරද විකල්ප බලවේගයක් ගොඩනැගෙතැයි ප්‍රධාන දේශපාලන ධාරාව තුළ බියක් පවතී. එසේ වුවහොත් ජනාධිපතිවරණය තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත. දකුණ මත පීඩනය යොදා තම ඡන්දවලට නිසි වටිනාකමක් ලබාගන්නට මේ මොහොතේ ඔවුන් අර අඳින්නේ එබැවිණි. ස්වයං පාලනය දිනාගැනීම කොතරම් අපහසු නමුත් දකුණට අතිශය පීඩනය එල්ල කිරීමට ඊට හැකි බව තමිල් අරසු කච්චි සගයෝ හොඳින් දනිති.

හින්දු ජනතාව ජීවත්වන ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීම වැළැක්වීම පිළිබඳ යෝජනාවද දකුණේ මතුවන ජාතික රැල්ලට අපූරු පහරකි. දකුණේ සිංහල බෞද්ධ ව්‍යාපාර උතුරැ නැගෙනහිර බෞද්ධ උරුමය රැකගන්නට සටන් පාඨ කියන මේ මොහොතේ හොඳ ගැටුමක් මේ හරහා නිර්මාණය කරගත හැකිය. දකුණේ එය කවර ආකාරයෙන් විග්‍රහ කරගත්තද උතුරු නැගෙනහිරදී තමන් ඇතුළු කණ්ඩාම්වලට මහජන ආකර්ෂණය දිනාගැනීමට මෙම යෝජනාව ඉවහල් වුණු බව සේනාධිරාජා ඇතුළු පිරිස දනී.

මෑතකාලීනව සම්ප්‍රදායිකව උතුරේ කතාකළ මාතෘකා රුසක්ද මෙම යෝජනා එකොළහ අතරට එකතු වී ඇත. උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ගැටලු විසඳීම, උතුරේ සිවිල් ජනතාවගේ ඉඩම් තුළින් ආරක්ෂක අංශ ඉවත් කිරීම, උතුරැ නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරැ කිරීම ආදීය ඒවාය. මෙම යෝජනා අනිවාර්ය බව මෙවන් යෝජනාවක අන්තර්ගත විය යුතු කරුණු බවට සැකයක් නැත. උතුරේ දේශපාලනය විසින් ජාත්‍යන්තරය හමුවේ තබා ඇති ප්‍රමුඛ ගැටලු මේවාය. මෙම යෝජනාවලිය ගෙන ආ මහ සභාවේදී දැඩිව අවධාරණය කර ඇති ප්‍රධාන කරැණක් සමඟ ඉහත කාරණා සියල්ලම බැඳේ. එනම් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කළයුතුය යන කරුණයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මඟ පෙන්වීමට අනුව කටයුතු කළ යුතු බවට තම පක්ෂ රජය බලකර සිටින බව ඔවුන් මෙහිදී පවසා ඇත.

මේ අනුව පැහැදිලි වෙන කරුණ නම් හුදු උතුරේ ජනතාව දිනාගැනීම පමණක් නොව ජාත්‍යන්තර දිනාගැනීමට සේනාධිරාජාලාට අවශ්‍ය බවය. උතුරේ දේශපාලනය මුළුමනින්ම යැපෙන්නේ දමිළ ඩයස්පෝරාවේ සහ රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය ශක්තිය මත බව අප මෙහිදී පසක් කරගත යුතුය. ඉහත ප්‍රකාශවල සහ යෝජනාවලදී ඊට අවශ්‍ය සමබරතාව රුක ගැනීම ඔවුන් දරා ඇති උත්සාහය මනාව පිළිඹිබු වෙයි. මෙම මහ සභාවේදී යුද්ධ සමයේ උතුරැ නැගෙනහිර ප්‍රදේශවලින් අතුරුදන් තරුණ තරැණියන්ට සිදුවූයේ කුමක්ද යන්න පක්ෂ සභාපතිවරයා නැවත නැවතත් ප්‍රශ්න කර ඇත්තේද දේශපාලන සිරකරැවන් නිදහස් කරන ලෙසද රජයට බලකරන බවද කියා ඇත්තේ එබැවිණි.

මෙහිදී සභා සම්මත කරගත් විශේෂ යෝජනාවක් පිළිබඳව අපි මීළඟට අවධානය යොමුකරමු. මහවැලි එල් කලාපය යනුවෙන් උතුරු නැගෙනහිර පළාත් තුළ නව සිංහල ජනාවාස බිහි කරමින් රජය ගෙන යන ක්‍රියාකලාපය වහාම නවතා දැමිය යුතු බවට රජයට බලකිරීමට ගත් තීරණය එම යෝජනාවයි. මහවැලි එල් (L) කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නවතා දමන ලෙසට ඉල්ලීම ක‍ලෙක සිට මතුවෙන විරෝධතාවකි. ඒ අනුව එය ඉදිරි උතුරු දේශපාලන පිටියේ ප්‍රමුඛ සටන් පාඨයක් වනු නියත බව මේ හරහා අපට අවබෝධ වේ. වැලිඔය ප්‍රදේශයේ සහ මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචිය දකුණේ දේශපාලන යටි බිම්ගත අරමුණක් ලෙස උතුර දකිමින් සිටී. කෙසේ නමුත් එය අපද වෙනම ගෙන විමසා බැලිය යුතු තේමාවකි.

දහනව වන ව්‍යවස්ථා සංශෝධන පිළිබඳවද සේනාධිරාජා මහතා මෙහිදී අදහස් දක්වා ඇත. ජනාධිපතිවරයා එය අහෝසි කිරීමට දරන උත්සාහය පිළිබඳ තමන් අනෙක් පක්ෂ සමඟ සාකච්ඡා කරන බව ඔහු පවසා තිබේ. එය වාර්ගිකත්වය පමණක් නොව ජාතික ප්‍රශ්න කෙරෙහි තම අවධානය ඇති බව පෙන්වීමකි. එය උතුරේ දමිළ දේශපාලනයේ නව ප්‍රවණතාවකි. කෙසේ නමුත් අවසානයේදී ප්‍රධාන යෝජනා 11ක් ඇතුළත් මෙම යෝජනාවන් ඉටු කිරීමට රජය මාස තුනක කාලයක් ලබාදෙන බවත් එම යෝජනා ඉටු නොකළහොත් දෙමළ සන්ධානයේ අනෙක් පක්ෂ සමඟ ඒකාබද්ධව රජයට එරෙහි විරෝධතා මාලාවක් දියත් කරන බව ඉලංගෙයි තමින් අරසු කච්චිය කියා ඇති බව කිව යුතුය. ඔබ අවබෝධ කරගත යුත්තේ දකුණේ මෙන්ම උතුරේ සියල්ල දේශපාලනික බවයි. කවුරුත් තම තමන්ගේ පැවැත්ම සාධනය වෙනුවෙන් ජනතා ප්‍රශ්න භාවිතා කරති. එහෙත් දකුණේ ජනයාට මෙන්ම උතුරේ ජනතාවටද ඔවුනට ආවේණික ප්‍රශ්න තිබෙන බව පරම සත්‍යයකි.

 චමිඳු නිසල් ද සිල්වා

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30