2019 ජුලි 06 වන සෙනසුරාදා

කද කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගං....

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

කතරගම ඓතිහාසික ඇසළ උළෙල මේ දිනවල පැවැත්වේ. පසුගිය 3 වැනිදා ආරම්භ වූ කතරගම පෙරහර 16දා දක්වා දින 14ක් පැවැත්වෙන අතර 16දා මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර නිමාවට පත්වේ.

වල්ලි අම්මා, සෙල්ලකතරගම වාසය කළ තරුණියකි. වල්ලි පිළිබඳ සිත් ඇති කද කුමරු මහලු අයකුගේ වේශයක් මවාගෙන ඇයගෙන් අහර ඉල්ලයි. හුදෙකලාව ජීවත් වූ වල්ලි මහල්ලාට විළඳ මීපැණි දුන්නාය. ගඟ වෙත ගමන් කරනවිට මහල්ලා කීවේ ඇය විවාහ කර ගැනීමට කැමති බවය. වල්ලි එයට විරුද්ධ වූවාය. ඒ අතර කද කුමරු සෝරු ඇත් වෙස් ගෙන වනය දෙවනත් කරමින් ඇය පසුපස පැමිණි අතර ඇය බොහෝ සේ බියපත් වූවාය. තම දිවි ගලවාදෙන ලෙස මහල්ලාගෙන් ඉල්ලා සිටියාය. තමා සමඟ විවාහ වනවානම් පමණක් ඇයව බේරාගන්නා බවක් පළ කළේය. කැමැත්ත ලැබිණි. අලියා පලාගිය අතර කඩවසම් තරුණයෙක් ඇය ඉදිරිපිය ප්‍රාදූර්භූත විය. ඒ කතරගම දෙවියෝය. වල්ලි අම්මා දෙවඟන සහ කද කුමරු හමු වූ තැන සෙල්ල කතරගම විය. හමු වූ ස්ථාකනය වල්ලි ගුහාව ලෙසට අදටත් විශ්වාස කෙරේ. කතරගම ඇසළ උළෙල පවත්වන්නේ මේ විවාහය සංකේතවත් කිරීමටය. එය ශ්‍රී ලංකාවේ පැරණිම පෙරහර ලෙස සැලකේ.

කතරගම දෙවිඳුන් අදහන බහුතර බැතිමතුන් අතර සිංහල බෞද්ධයන් මෙන්ම ද්‍රවිඩ හින්දු භක්තිකයෝ ද සිටිති. බෞද්ධ මතය අනුව ඔහු බෞද්ධ දෙවි කෙනෙකි. හින්දු පිළිගැනීම වන්නේ වේද ග්‍රන්ථවල සඳහන් හින්දු දෙවි කෙනකු බවයි.

ධාතු වංශයේ සඳහන් වන්නේ බුදුන් වහන්සේ තුන්වැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ කතරගමට පැමිණ එහි කිහිරි වනයේ ගසක් යට සමාපත්ති සුවයෙන් වැඩ සිටි බවය. එම වනය කතරගම රාජධානිය කරගෙන වාසය කළ මහාසේන හෙවත් මහාඝෝෂ රජුගේ ක්‍රීඩා වනය බව සඳහන්ය. බුදුන් වහන්සේගෙන් බණ ඇසූ රජු සෝවාන් විය. වර්තමාන කිරි වෙහෙර පිහිටා තිබෙන්නේ ඒ කිහිරි වනය තිබූ ප්‍රදේශයේ බවට විශ්වාස කෙරේ. කතරගම අනාදිමත් කාලයක සිට බෞද්ධ පූජනීය ස්ථානයක්ව පැවතුණු බව ඉන් පැහැදිලි වේ.

කතරගම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ දෙවැනි පෑතිස් (ක්‍රි.පූ. 250- 210) යුගය හා සම්බන්ධ ජය ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවයට සමගාමීවය. අනුරාධපුර මහමෙව්නා උයනෙහි සිරිමා බෝධි රෝපණ උත්සවයට පැමිණි සම්භාවනීයයන් අතර කතරගම ක්ෂත්‍රීයයන්ද වූ බව සඳහන්ය. එමෙන්ම ශ්‍රී මහා බෝධියෙන් මුලින්ම හටගත් බෝධි අංකුර අටෙන් එකක් කතරගම ද රෝපණය කර තිබේ. වර්තමාන කතරගම මහා දේවාලයට නුදුරින් පිහිටා තිබෙන්නේ එම බෝධිය බව පිළිගැනේ. මේ පිළිබඳ තොරතුරු මහාවංශය, සමන්තපාසාදිකා, බෝධිවංශය, ධාතු වංශය ආදී කෘතිවල අඩංගුය.

ක්‍රිස්තු පූර්ව යුගයට අයත් කතරගම දසබෑ රජ පරපුරක් ගැන කියැවෙන සෙල්ලිපිවල ද කතරගම දේවාලයක් ගැන සඳහන් නොවේ. එවකට මෙහි ප්‍රධාන පෙළේ බෞද්ධ පූජනීය ස්ථානයක් පැවති බවට සාධක ලැබේ. කතරගම කිරිවෙහෙර අවටින් ලැබෙන්නේ අනුරාධපුර යුගයට අයත් නටබුන්ය.

කතරගම දෙවියන් ජනප්‍රවාදවල පැවසෙන්නේ දුටුගැමුණු රජ සමයට සම්බන්ධ කරමිනි. ජනප්‍රවාදවල සඳහන් වන්නේ ගැමුණු රජු එළාරට එරෙහිව යුද්ධයට යාමට පෙර දෙවියන්ට බාර වී එහි ජයග්‍රහණය ප්‍රාර්ථනා කළ බවය. එම ප්‍රවාද අනුව මහාසේන නම් දෙවියකු මේ ප්‍රදේශයට අධිගෘහිතව වාසය කර ඇත. දුටුගැමුණු රජු මේ දෙවියන්ට භාරයක් වී තිබේ. යුද්ධය ජයගෙන අනුරාධපුරයේ පාලනය ආරම්භ කළ රජු තම භාරය ඉටු කරමින් මහසේන දේවාලය ඉදි කළේය. කතරගම දෙවිඳුන් හින්දු භක්තිකයන්ගේ ස්කන්ධ කුමාරයා බවට පත්ව ඇත්තේ බෙහෙවින් පසු කාලයක බවට මත ඉදිරිපත් වී තිබේ. ධාතුවංශය රචනා කළ අවදිය වනවිටත් කතරගමට අධිපති දෙවියා වශයෙන් මහසෙන් සඳහන් වීමෙන් ඒ බව පැහැදිලි වේ. “කතරගම දාගැබ් වහන්සේ පිහිටන්නා වූ ස්ථානයෙහි පන්සියයක් රහතුන් හා සමඟ සමාපත්තියට සමවැද එතැන්හිද පොළොව වෙවුලවා ඒ ස්ථානයෙහි මතු රැකවල් පිණිස මහාඝෝෂ නම් දෙවි රජකු රඳවා එයින් නික්ම” යැයි ධාතුවංශයේ සඳහන්ය.

මහාඝෝෂ රජු මරණයෙන් පසුව දෙවියකු ලෙස ඉපිද වන්දනාමානයට පාත්‍ර වූ බව පිළිගැනීමයි. කතරගම දේවාලය කෝට්ටේ යුගයේදීත් මහසෙන් දේවාලය නමින් හැඳින්වූ බව සැළලිහිණි සංදේශයේ සඳහන් වන “පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය” යන පදයෙන් තහවුරු වේ.

දුටුගැමුණු අවදියේ සිට අද දක්වාම කතරගම දේවාලය හා සම්බන්ධ සියලු නිලතල දරන්නේ සිංහල බෞද්ධයෝම වෙති. මේ නිසා කතරගම දෙවොලේ සිටින්නේ පූසාරිලා නොව සිංහල කපු මහත්වරුය.

කතරගම දේවාලය සම්බන්ධව දිනපතා හා වාර්ෂිකව පැවැත්වෙන පුදපූජා රාශියකි. ඒ සියල්ල සකස් වී තිබෙන්නේ හින්දු ආභාෂයෙන් නොව පුරාණ සිංහල රාජකීය සම්ප්‍රදායට අනුවය. මූලික පුදපූජා විධි සියල්ල බෞද්ධ සම්ප්‍රදායට අනුව සකස් වී තිබේ. ඒ අවස්ථාවලදී තෙරුවන් ගුණ සිහිකිරීම ද සිදුවන්නකි. දේවාල සීට්ටුව නම් පැරණි ලේඛනයට අනුව බුද්ධ පූජාව තැබීම සහ දේවාලය තුළ පිරිත් සජ්ජායනය කිරීමද ප්‍රධානය.

කෙසේ වුවත් කතරගමට ද්‍රවිඩ බැතිමතුන් දසදහස් ගණනක් රොක් වෙති. මෙවර උතුරේ සහ නැගෙනහිර සිට පාද යාත්‍රාව ඔස්සේ පමණක් 25000කට අධික ද්‍රවිඩ බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. අද දේවාලයට එක් වී තිබෙන හින්දු සම්ප්‍රදායානුකූල ගිනි පෑගීම, සිරුරේ කටු ගසා කරන බාරහාර වීම්, කාවඩි නැටීම වැනි අංග මෑත අතීතයේදී එකතු වූ අංග වේ. බොහෝවිට මෙම අංග එකතු වන්නට ඇත්තේ ඕලන්ද සහ බ්‍රිතාන්‍ය පාලන යුගවලදී බව සිතිය හැකිය.

වර්ෂ 1973 දී ඉංග්‍රීසි ජාතික හර්බට් වයිට්ගේ වාර්තාවක සඳහන් වන්නේ කතරගම හින්දුන්ගේ පුරවරය ලෙසිනි. ඉංග්‍රීසි පාලන සමයේදී දේවාලයේ බෞද්ධ බලපෑම අවම වී එය කෝවිලක තත්ත්වයට පත්වන්නට ඇත. එයට සාධකයක් උඩරට මහ කැරැල්ල පිළිබඳ තොරතුරුවලින් හමුවේ. 1818 කැරැල්ලේදී කතරගම දේවාලයේ සිටි සිංහල කපු රාළලා ද ඊට සහාය දී තිබේ. ඒ නිසා කෝපයට පත් ඉංග්‍රීසිහු දේවාලයේ භාරකාරත්වය බලෙන්ම ලබාගෙන හින්දු පූජකයන්ට බාරදුන් බව වාර්තා වේ. එහෙත් ඉංග්‍රීසි හමුදාව ඉවත් වනවාත් සමඟ සිංහල කපුරාළලා නැවතත් භාරකාරත්වය ලබාගත් බව ජෝන් ඩේවිගේ කෘතිවල සඳහන්ය.

අද කතරගමට ජාති ආගම් කුල භේදයක් නැත. සිංහල, දෙමළ, මුස්ලිම් පමණක් නොව විදේශිකයෝ ද කතරගම දෙවි පිහිට පතා ඇදී එති.

- කුසුම්සිරි විජයවර්ධන

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30