2019 ජුලි 06 වන සෙනසුරාදා

පරිපාලන තීරණ මැද්දට අපරාධ නීතිය ආවොත් රාජ්‍ය නීතිය හබක්!

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 10

- හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර

යුක්තියට හඬක් සංවිධානයේ සභාපති හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයා එස්. අමරසේකර මහතා පසුගියදා විශේෂ ප්‍රකාශක් සිදුකර තිබිණි. රාජ්‍ය නිලධාරින්ගේ පරිපාලන ක්‍රියාදාමයන්හි දී සිදුවන වැරදි ගැන ක්‍රියාත්මක වන ආකරය නිසාවෙන් රට තුළ මතුව ඇති ගැටලු පිළිබඳ සංවාදයක් මේ හරහා ඇතිවූයේය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මේ දිනවල අනුගමය කෙරෙන ක්‍රියාමාර්ග මේ හරහා ප්‍රශ්න කැරෙණි. හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස්. අමරසේකර මහතා හමුවීමට අප ගියේ මේ කතාවේ දිග පළල සම්බන්ධ පැහැදිලි සංවාදයක් ඇතිකර ගැනීම වෙනුවෙනි. අපරාධ පරීක්ෂණයක් සිදුකොට නිලධාරින් වරදකරුවන් වී දේශපාලනඥයන් ශුද්ධවන්තයන් වීම සාධාරණද? මේ එම සංවාද සටහනයි.

දේශපාලකයන්ට බොහෝවිට උවමනා වන්නේ ජන්දදායකයන්ගේ සහ පාක්ෂිකයන්ගේ උවමනා එපාකම්වලට ප්‍රතිචාර දැක්වීමටය. එම ප්‍රතිචාර දැක්වීම්වලදී පිළිගත් පරිපාලන රෙගුලාසි මුදල් රෙගුලාසි හා නොගැලපීම් මතුවිය හැකිය. අතීතයේ සිටම සමහර නිලධාරින්ට එවන් අවස්ථාවලදී ඒවාවයින් වෙනස් වී තීරණය ගැනීමට සිදුව තිබේ. ඊට හේතුව වන්නේ නීතිය කුමක් වුවත් ඇමතිවරයා ඉදිරිපත්කරන රටේ අවශ්‍යතාවය වැදගත් වීමේ හැකියාවයි.  එවන් විට තිබෙන රෙගුලාසිවලින් තරමක් වෙනස් වී නිලධාරියාට එම කටයුතු සිදුකිරීමට වෙයි.

එය අතීතයේ සිට පැවත ආ ක්‍රමවේදයකි. මෙවන් කරුණු අරභයා විගණකාධිපති එකඟ නොවන අවස්ථාවල ප්‍රශ්න කිරීම් සිදුවේ. ඊට ද පිළිතුරු ලබාදීම් සිදුවන අතර එය පිළිතුර පිළිගත හැකි මට්ටමක තිබේ නම් ගැටලුව නිමාවේ. පිළිගත නොහැකි මට්ටම පිළිතුර පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවට යොමුකරනු ලැබේ. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ සාකච්ඡා කරන අතර එම තීරණ පෞද්ගලික අරමුණක් මත නොව රටේ අවශ්‍යතාව මත ලබාගෙන ඇත්නම් ගැටලුව එතැනින් නිමාවෙයි.

පසුගිය දා ඇති වූ තත්ත්වය සැලකීමේ දී පරිපාලන තීරණය අරභයා අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියවක් තිබෙන බව සත්‍යයකි. නමුත් පරිපාලන තීරණය සම්බන්ධයෙන් අපරාධ නීතිය පාවිච්චි කිරීමට ගතහොත් රටේ කිසිදු රාජකාරියක් සිදුකිරීම හැකිනොවුණු ඇත. රටේ සියලු රාජකාරි කටයුතු පොලිස් දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට භාරදී අනෙක් දෙපාර්තමේන්තු අමාත්‍යාංශය වසා දැමීමට සිදුවනු ඇත. 

පරිපාලන තීරණවලට එළඹෙනුයේ නීතියම පමණක් නොව සාධාරණ. අවශ්‍යතාවය ආදිය සැලකිල්ලට ගනිමිනි. තමතමන් සතු දැනුම රාජකාරී වටපිටාව පළපුරුද්ද මෙම තීරණය කෙරෙහි බලපායි. පරිපාලන තීන්දු වගවිභාග කිරීමට ආයතන සංග්‍රහය පාර්ලිමේන්තු ක්‍රියාදාම ආදිය තිබෙන්නේ එබැවිනි. ආසන්නතම සිදුවීමේදී පොලිස්පතිවරයා සහ ආරක්ෂා ලේකම්වරයා තම සේවය පැහැරහැර ඇත්ද යන්න කීමට අපි හරි හැටි නොදනිමු. එය දැනගැනීමට පරීක්ෂණයක් සිදුකර තොරතුරක් එළියට පැමිණ නැත. ලේකම්වරයකු වැඩ කළයුත්තේ ඇමැතිවරයාගේ උපදෙස් විධිවිධාන යටතේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලේකම් යනු ස්වාධීන පුද්ගලයකු නොවේ. ඇමැතිවරයා යමක් එපා කියන විට ලේකම්වරයාට වෙනත් විකල්පයක් නැත. එවන් විට රැකියාවෙන් ඉවත්වීමට සූදානමින් තීරණය ගතයුතුය. මෙහිදී සිදුවනුයේ ඇමැතිවරයාගේ සහ ලේකම්වරයාගේ ඇති පෞරුෂයේ ස්වභාවය මත ගැටුමකින් තොරව ඉදිරියට ගමන් කිරීමයි. ඇමැතිවරයා කරන්නට යැයි කියන දෙයක් හේතු දක්වමින් ලේකම්වරයා නොකර සිටින්නේ එවන් විටදීය. ඇමතිවරු ද එය තේරැම් ගෙන ගැටුමකින් තොරව ගැටලු නිරාකරණය වන අවස්ථා තිබේ.

ලේකම්වරයා විසින් ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාට මෙම තොරතුරු කියා නොමැතිනම් යම් ගැටලුක් මතුවේ. මෙය බරපතළ කරුණක් නිසාවෙන් ඇමැතිවරයා දැන්විය යුතුව තිබූවකි. නමුත් දැන්වූවා ද නැද්ද යන්න පිළිබඳ අප කවුරැත් හරි හැටි නොදනිමු. ලේකම්වරු පාලනය වන ලේකම්වරුන්ගේ සේවා ව්‍යවස්ථාවක් තිබේ. ඊට අනුව ජනාධිපතිවරයාට කමිටුවක් පත්කර ලේකම්වරයා රාජකාරි පැහැර හැරීම පිළිබඳ පරීක්ෂණයක් කිරීමට හැකිය. එයින් ලැබෙන වාර්තාව අනුව තීරණයක් ගැනීමේ හැකියාවක් පවතී. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ද ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කිරීමේ හැකියාවක් ඇත. මෙතැනදී එම කටයුතු දෙකම සිදුවී නැත. අනිවාර්ය නිවාඩු යැවීමේ හරි වැරදි සම්බන්ධව අප හට මතයක් දැක්වීමේ හැකියාවක් නැත. ඒ සම්බන්ධව අධිකරණයේ නඩු කටයුතු සිදුවේ. කෙසේ නමුත් එතැනදී ද නීතියේ යම් පැටලිලි සහගත ස්වාභාවක් තිබේ. 

මේ සියල්ල නිසා වර්තමානයේදී රාජ්‍ය සේවයේ නිලධාරින් තීරණ නොගන්නා ස්වභාවයක් මතුව ඇත. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට තීරණගන්නා මට්ට්මේ සිටින නිලධාරින් තීරණය නොගන්නා ආකාරයක් පෙනීයයි. කනිෂ්ඨ නිලධාරින් සමඟ අප කතාබස් කරන අවස්ථාවල මෙම තත්ත්වය තවත් පැහැදිලියි වෙයි. තීරණය සඳහා යොමුකර ඇති ලිපිගොනු අදාළ ස්ථානවලට යොමුකළද සති ගණනක්, මාස ගණනක් යනතුරු ඒවා තවම ඒ ස්ථානවලමය. තීන්දුව තීරණය ගැනීමක් පෙනෙන්නේ නැත. ඇතැම් විට තීරණය ප්‍රකාශය පත්කිරීම වෙනුවෙන් විශාල පිරිසක් ඊට පටලවා ගැනීමට ලේකම්වරු වගකිවයුතු නිලධාරින් උත්සුක වෙති. තනිව තීරණ ගැනීමට  නොයන අතර ඇමතිවරයා ද ඊට ඈඳාගැනීමට වාචික උපදෙස් වෙනුවට ලිඛිත උපදෙස් ලබාගැනීමට තැත්කරයි. ඇමැතිවරු සාමාන්‍යයෙන් මේවන් තත්ත්වයන් මඟහැරීමට දැන සිටිති. ඒ හරහා මතුවන්නේ අධික ප්‍රමාදයකි.

මෙරට සමස්ත බදු ආදායමින් භාගයකට වඩා වැයවන්නේ රාජ්‍ය සේවය නඩත්තු කිරීමටයි. වැටුප්, විශ්‍රාම වැටුප්, යාන වාහන, කාර්යාල සියල්ල වෙනුවෙන් රාජ්‍ය ආදායම් මුළුමනින්ම පාහේ වැයවේ. නමුත් රාජ්‍ය සේවය කලටවෙලාවට වැඩ නොකරන්නේ නම් පෞද්ගලික අංශයට ද වැඩකටයුතු කිරීමට නොහැකිවේ. සියල්ල ප්‍රමාදවේ. ඇමැතිවරයා මැදිහත්වී කඩිනම් කළහොත් මිස නිලධාරීන් පවතින තත්ත්වය අනුව වැඩකිරීම වෙනුවෙන් සටනක් දෙන්නේ නැත. ඇමැතිවරයා ලබාදෙන වැරදි තීරණයක් ක්‍රියාත්මක නොකිරීම ගැටලුවක් නැතැයි අපට කිවහැකිමුත් තමන් වෙත නීතියෙන් නිලබලයෙන් පැවරීඇති හරි දේ පවා ක්‍රියාත්මක නොකිරීම වර්තමාන ගැටලුවයි. මෙය නිලධාරින් තුළ ඇතිව ඇති බිය හේතුවෙන් සිදුව තිබේ.

මෙහි තවත් පැතිකඩක් තිබේ. අප දන්නා කාලයේ සිටම වැඩක් නොකර ශේප්වීමේ න්‍යාය අනුගමන කරන නිලධාරිහු පිරිසක් සිටිති. ඒ අයට මේ තත්ත්වය වාසිදායකය. අපට වැඩකරන්න බෑ අපට මූල්‍ය අපරාධ කොට්ඨාසයට යන්න වේවී. කොමිෂන්වලට යන්න වේවී. හිරේ යන්න වේවී. කියමින් ඔවුහු කිසිදු වැඩක් නොකරමින් සිටිති. එහෙත් වැඩ කිරීමේ උණක් නැතිනම් හැඟීමක් අවශ්‍යතාවයක් සහිතව සිටින යහපත් නිලධාරින්ට මෙම තත්ත්වය ප්‍රශ්නයකි. සත්‍ය වශයෙන් අපහසුතාවයට පත්ව ඇත්තේ ඔවුන්ය.

දඬුවම් දීමේ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කරන විට අතීතයේ පටන් පැවත එන සාමාන්‍ය ක්‍රමයක් තිබේ. නිලධාරින් වරදක් කළහොත් පරීක්ෂණ පවත්වා දඬුවම් දී වැරදි නම් සේවයෙන් පහකරනු ලබයි. මන්ත්‍රිවරුන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදය නම් වසර පහකට වරක් මහජනයා විසින් ඔවුන් ගෙදර යැවීමයි. අතීතයේ දී තිබුණේ ආණ්ඩුවල ප්‍රතිපත්ති සම්බන්ධ ගැටලුය. උදාහරණයක් ලෙස 1970 - 77 ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය ජනතාව අනුමත නොකළ නිසා ගෙදර යාමට සිදුවිය. නමුත් එම ආණ්ඩුවේ වැඩසටහන් ක්‍රියාත්මක කළ නිලධාරින්ව කිසිවෙක් විසින් හෝ ගෙදර යැව්වේ නැත. දැන් සිදුවන්නේ ඊට වෙනස් දෙයකි. මන්ත්‍රිවරුන් වරදකට හසුකර ගැනීමට ඉතා අපහසුය. තාක්ෂණික කමිටුවල ටෙන්ඩර් කමිටුවලද ඔවුන් නැත. චෙක්පත් වවුචර්පත් අත්සන් කරන්නේ ද නැත. වරදක් වුවහොත් හසුවන්නේ නිලධාරීන්ය. එසේ හෙයින් හොරකම් කළ ඇමැතිවරු අල්ලන්නට යන බව කීවද එය කෙසේ සිදුකරනේ ද යන්න අපැහැදිලි ගැටලුවකි.

උදාහරණයක් ලෙස පසුගිය සතියේදී වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ගෙන ඒම දැක්විය හැකිය. එතුමා වරදක් සිදුවී ඇතිනම් එහි වගකීම බාරගනී. එය රාජ්‍ය නිලධාරියාගේ ස්වභාවයයි. අප කිසිදු විටක යමක් ඇමැතිතුමා නිසා කළ බවත් කියන්නේ නැත. යමක් කරන්නටම සිදුවූ විට එය අප කරනුයේ ඊට අවශ්‍යතාව ඇතිකරගෙනය. අදාළ රාමුව ඇතුළත ඊට ක්‍රමවේදයක් සකසාගෙන වගකීමක් සහිතවය. එසේ හෙයින් යමක් කළ පසු ඇමැතිතුමා නිසා කළේ යැයි නොකියන අතර එය කළ බව පිළිගනිමු. නීතියෙන් ද එසේ කීමට ඉඩකඩක් නැත.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සිදුවීමද මේ ඇසුරේ පැහැදිලි කළ හැකිය. ජනාධිපති ලේකම්වරයා යනු රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රමුඛයාය. අගමැති ලේකම් වුවද අමාත්‍යාංශ ලේකම් වුවද අපට ගැටලුක් පැමිණි විට අප කතා කරනුයේ ජනාධිපති ලේකම්වරයාටය. අප රැකියාවට පැමිණි කාලේ පටන් මුදල් රෙගුලාසියක් හෝ ආයතන සංග්‍රහයේ වගන්තියක් වැරැද්දීම හේතුවෙන් ලේකම්වරයකුට දඬුවම් කළ පුවත් අසා නොතිබුණි. එම නිසාම ලේකම් යනු අපව ආරක්ෂා කරගත හැකි පුද්ගලයාය යන ආකල්පය අපට තිබිණි. ජනාධිපති ලේකම්වරයා අප සියලුදෙනා ආරක්ෂා කළහැකි පුද්ගලයා ලෙස දුටුවෙමු. නමුත් මෙහිදී සිදුවූයේ ජනාධිපති ලේකම්වරයාටවත් ආරක්ෂාවීමට නොහැකි වීමයි. සුදුරෙදි බෙදීම යනු එම ආණ්ඩුවේ ඒ මොහොතේ තිබූ ප්‍රතිපත්තියකි. එය සිදුවූයේ මැතිවරණයට කිට්ටු සමයක බව සැබෑය එය බුද්ධ ජයන්තියට සමගාමීව. 2011 සිට සාකච්ඡා වූ කටයුත්තකි. එය විශාල ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මත සිදුවූවකි.

ඉදිරියේදී එන ආණ්ඩුවත් මේ ආණ්ඩුව සේම වුවහොත් මේ රටේ මහජන සේවය සඳහා වන රාජ්‍ය සේවයක් පවතින්නේ නැත. බැඳුම්කර සිදුවීම පමණක් නොව තවත් විශාල සිදුවීම ප්‍රමාණයක් ඉදිරියේ දී සංවාදය බදුන්වනු ඇත. කොළඹ වටරවුම පාර, මධ්‍යම අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය විකිණීම එයින් කිහිපයකි. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ වන මේවා ක්‍රියාත්මක කළේ නිලධාරින්ය. උදාහරණ ලෙස හම්බන්තොට වරාය සිදුවීමේදී ඇමැතිවරුන් එකඟතාවන්ට පැමිණීමෙන් පසු කටයුතු නීත්‍යානුකූල කිරීමට නිලධාරින් පිරිසක් පත්කෙරිණි. ඔවුන් ගනුදෙනු ආදිය සිදුවී හමාර වූ පසු නිලධාරින්ය. එහෙත් දිනක ඔවුන් වරදකරුවන් විය හැක. එය වර්තමාන ගැටලුවේ ස්වභාවයි.

►සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30