2019 ජුනි 29 වන සෙනසුරාදා

වන්දි නොලැබෙන කටුවපිටියේ අසරණයෝ

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 195

සියල්ල එක් නිමේෂයකින් සුන්වී ගියේය. අප්‍රේල් විසිඑක්වැනි දින කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයට ලක්වී මිනිසුන් නොමැරි ජීවත් වුවත් ඒ ජීවත් වූවන් බොහෝමයකගේ ජීවිතවල ජීවිත කාලය පුරාවටම කායික හා මානසික තුවාල කැළල් ඉතිරි විය.

ප්‍රහාරය සිදුවී මේ වනවිට මාස දෙකක් අවසන් වුවද තවමත් මීගමුව කටුවපිටිය ගම් ප්‍රදේශයම මළගමක වටපිටාවක් උසුලයි. තවමත් ඒ ගම්මානවල මිනිසුන්ගේ ජීවිත පෙර සුපුරුදු පරිදි ගෙවුණු ජීවිත තත්ත්වයට පැමිණ නැත. පාසල් යන දරුවන්ගෙන් සමහරකගේ පාසල් ගමන පවා නතරවූ ගමන්ය. රැකියාවන්වලට ගිය තරුණ තරුණියෝ රැකියාවල්වලට යාම නතර කළහ. එදිනෙදා කුලී වැඩක නිරතවෙමින් එදාවේල සරිකරගත් මිනිසුන්ගේ ජීවනෝපාය එතැනින්ම නතරවිය.

බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ අය වෙනුවෙන් රජයෙන් වන්දි මුදල් හිමිවුවද ඇතැම්හු එම වන්දි මුදල් පිළිබඳව ද විවිධ චෝදනා එල්ල කළහ. මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් කොටස් ක්‍රමයට ලබාදී ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් විවිධ වර්ගීකරණයක් යටතේ වන්දි මුදල් ලැබී තිබුණි. මෙම වර්ගීකරණයේදී ද විවිධ අසාධාරණකම් සිදුව ඇති බවට කටුවපිටිය ගම්වාසීහු චෝදනා කරති.

“මැරුණු කෙනෙක්ට රජයෙන් දුන්නේ රුපියල් ලක්ෂ දහයයි. තුවාල ලැබූ කෙනෙක්ට ලක්ෂයක්, විසිපන්දාහක් වගේ මුදල් දුන්නා. හැබැයි රජය මේ හැම දෙයක්ම කළේ තමන්ගේ වාසිය ගැන හිතලයි. බෝම්බය පිපිරුණ කාලේදීනම් ඒ කට්ටිය ඇවිත් මේ ගැන හොයලා බැලුවා.. හැබැයි ඒ අය ආවේ ප්‍රසිද්ධිය ගැන හිතාගෙනයි. පින්තූර අරගෙන, වීඩියෝ කරගෙන, ඒ අය පත්තරවල, ටී.වී.වල මුහුණ දාගත්තා. අසරණ වුණේ අපියි. මැරුණු දරුවන්ගේ ජීවිත කොහෙන් ගන්නද..? මේ අය හිතන්න තිබුණේ මීට කලිනුයි. මේ ගැන රජය දැනගෙන හිටියට ඒ ගැන ක්‍රියාකළේ නැහැ. දැන් මේ මැරුණු, තුවාල වුණු අය වෙනුවෙන් වර්ග කර කර වන්දි මුදල් කිය කියා කොටස් කර කර සල්ලි දෙනවා.. ඒකවත් හරි පිළිවෙළට දෙන්නේ නැහැ..”
කටුවාපිටිය ප්‍රදේශයේදී අපිට මුණගැහුණු අවුරුදු හැත්තෑවක් පමණ වයසැති ප්‍රදේශවාසියෙක් දේශයට අදහස් දැක්වීය.

වන්දි මුදල් ලබාදීමේදී රෝහලෙන් ලබාදුන් වෛද්‍ය වාර්තාවන් අනුව මෙම වර්ගීකරණය සිදුකර ඇතිඅතර එවැනි අසාධාරණයකට ලක්වුණු පුංචි දියණියක් කටුවපිටිය ප්‍රදේශයේ ජීවත් වේ. ඇය පාසල් යන කුඩා දියණියකි. බෝම්බ ප්‍රහාරයෙන් ඇයගේ හිසට දැඩි ලෙස තුවාල සිදුවී ඇතිඅතර හිසට මැහුම් අටක් දමන්නට ද සිදුවිය. හිසට පමණක් නොව ඇයගේ අතකට ද තුවාල සිදුවිය. මෙය සාමාන්‍ය තත්ත්වයක් සේ සැලකුව ද කුඩා දරුවාගේ හිස සම්බන්ධ වෛද්‍ය වාර්තාවට අනුව කුඩා දියණියට වන්දි මුදල හිමිවී ඇත්තේ රුපියල් විසිපන්දාහක් පමණි.

මෙය එක් සිදුවීමක් පමණි. මෙවැනි අසාධාරණයට පත්වූ අය කිහිපදෙනකුම කටුවපිටිය ප්‍රදේශයේ ජීවත් වෙති. ඇතැමුන්ට වන්දි මුදල් ලබාදුන් ක්‍රමය පිළිබඳව ඇත්තේ අපැහැදීමකි. මේ නිසාම බොහෝ දෙනකු ලැබුණු වන්දි මුදල් ගැන කතා කරන්නට පවා තම අකමැත්ත පළකළහ.

“අනේ උන්ගේ සල්ලි. රජයේ ඉන්න අය නිසා අපිට අපේ දරුවෝ නැති වුණා. අන්තිමට රටේ මිනිස්සුන්ගේම බදු සල්ලිවලින්ම මේ අහිංසක මිනිස්සුන්ට වන්දි මුදල් කිය කියා සල්ලි දෙනවා. අපේ දරුවන්ගේ ජීවිත නැතිකළේ මේ රජය තමයි. ඒකට මේ රජය වගකියන්න ඕනේ.”

ඒ අප කතා කළ බොහෝ දෙනකුගේ අදහස විය. කෙසේ වුවද ජීවිත විනාශ විය. ඒ සියල්ලම මුදලට යටකොට වන්දි මුදල් ලබාදීම පමණක් සෑහෙන්නේ නැත. මියගිය ජීවිත නිසා ජීවිත කීයක් නම් යැපෙන්නට ඇත්දැයි දැනගැනීමට හැකිවන්නට නම් ඒ අහිංසක අසරණ වුණු මිනිස්සුන්ගේ ජීවිතවලටම එබිකම් කළයුතුම විය. නීතියට අනුව වන්දි මුදල් හිමිනොවම සාධාරණ වුණද මිය ගිය අයගෙන් යැපුණ බොහෝ ජීවිත අද බොහෝ අසරණ වී සිටිති.

ළහිරු ප්‍රසන්න ප්‍රනාන්දුට වයස අවුරුදු තිස්හතර අවසන් වූවා පමණි. තිස්පස් වෙනි උපන් දිනය ළහිරුට සමරන්නට හැකිවූයේ නැත. ජීවිතය අවුරුදු තිස් හතරින් හරියටම ළහිරුට නතර කරන්නට සිදුවූයේ නොහිතූ මොහොතකිනි. තිස් හතරක් වයස වුවද ළහිරු ජීවිත හයක් පෝෂණය කළ ධෛර්යවන්ත තරුණයෙකි. මීට වසර පහළොවකට උඩදී තම තරුණ්‍යයේ එළිපත්තේදීම ළහිරු තම පෙම්වතිය සමඟ අලුත් ජීවිතයකට මුලපිරුවේය. පියා නොමැති ළහිරු මවත් නැගණියත් සමඟ කටුවපිටියේ ජීවත් විය. ඔහු දක්ෂ වඩුකාර්මික ශිල්පියෙකි. නිවස ඉදිරිපිට ඔහු තම වඩු මඩුව පත්වාගෙන ගියේය. ඔහුගේ නැගණිය ද විවාහ විය. දිලිනිත් (ළහිරුගේ බිරිඳ) ළහිරුත් මවත් එක නිවසකත් නැගණිය එයට යාබද නිවසේත් ජීවත් වූහ. කාලය ගතවිය. දරුවන් තිදෙනකුගේ මවක් වුණු නැගණිය තනිකර දමා ඇයගේ සැමියා වෙන විවාහයක් කරගනිද්දී ළහිරුගේ කර මත නැගණියගේත් දරු තිදෙනාගේත් බර පැටවිය. ළහිරුත් එය උපේක්ෂාවෙන් දරා ගත්තේය. පියෙක් නොමැති පිරිමි දරුවන් තිදෙනාට ළහිරු මාමා නොව පියෙක්ම විය. තම නැගණියගේත් දරුවන් තිදෙනාගේත් අනාගතය වෙනුවෙන් ළහිරු බොහෝ මහන්සි විය. නමුත් ඒ කොයිම මොහොතක එය වදයක් සේ සිතන්නට ළහිරු උත්සහ ගත්තේ නැත. ඉතා කැමැත්තෙන්ම ළහිරු ඒ යුතුකම් ඉටුකළේය.

කටුවපිටිය බෝම්බ ප්‍රහාරයෙන් අවසන් හුස්ම හෙලු ප්‍රාණ පරිත්‍යාගකරුවන් අතරට ළහිරු ප්‍රසන්න ප්‍රනාන්දුත් ඔහුගේ බිරිඳ දිලිනි සංජීවනීත් එක්වූහ. මොවුන්ගේ වියෝවෙන් අද අසරණ මමත්, ළහිරැගේ නැගණියත්, ඇගේ දරුවන් තිදෙනාත් අසරණ වී සිටින ළහිරු වෙනුවෙන් ඔහුගේ මවට වන්දි මුදලක් හිමි වුවද පියෙක් මෙන් සිටි මාමා වෙනුවෙන් අද දරැවන් තිදෙනෙක් ද අසරණ වී සිටිති. නීතිය අනුවම වන්දි මුදල් නොලැබීම සාධාරණ වුවද මානුෂික හැඟීම් අනුව ජීවිත හතරකට අද කිසිඳු හව්හරණක් නැත.

“අයියාගෙනුයි නෑනාගෙනුයි තිබුණු ආරක්ෂාව ගැන කියලා වැඩක් නැහැ. ඒ ගැන මට කියන්න වචන නැහැ. අයියා මගේ දරැවන් තුන්දෙනාට මාමා කෙනෙක් නෙමේ. තාත්තා කෙනෙක්. (ඇයට තම දුක වචනවලට පිටකරගන්නට තේරෙන්නේ නැත. ඇය කඳුළු හෙළමින් තම සහෝදරයා ගැන කතා කළේය.) ලොකු පුතාලා දෙන්නා ඒ දෙන්නාගේ බයිසිකලෙන් තමයි ඉස්කෝලේ ගියේ. පුංචි පුතාව හැමදාම ඉස්කෝලේ එක්කගෙන ගියේ මගේ අයියා. එයා වඩු මඩුවේ වැඩපටන් ගත්තේ පුංචි පුතාව ඉස්කෝලේට ගිහින් දාලා ඉවර වුණාට පස්සෙයි. ඒක එයාගේ දින චරියාවේ ප්‍රධානම රාජකාරිය වුණා. ඊට පස්සේ පුතාව ගෙදර ගෙනාවෙත් එයාමයි. ලොකු පුතාලා දෙන්නා දවසක් හරි ඉස්කෝලේ යන් කම්මැලි කළොත් උදේ පාන්දරම හයියෙන් නම කිව්වත් පුතාලා දෙන්නා ඉක්මණට නැගිටලා ඉස්කෝලේ ගියා. මම පොඩි රස්සාවක් කළා. එකේන් ලොකු මුදලක් ලැබුණේ නැහැ. අයියා හැමවෙලේම කිව්වේ ඒකෙන් ගෙදර කෑමට වියදම් කරන්න දරුවන්ගේ වැඩ හැමදෙයක්ම එයා බලාගන්නම් කියලයි. අයියයි, නෑනයි නැතිවුණාට පස්සේ මගේ ලොකු පුතා හිටියේ ලොකු කම්පනයකින්. පල්ලියේ සිස්ටර්ලා එයාට කව්න්සිල් කළාට පස්සේ තමයි පුතාගේ හිත ටිකක් හැදුණේ.”

ළහිරුගේ නැගණිය වූ ලක්මිණි හැඬු කඳුළින් දේශයට පැවසුවාය. අවුරුදු පහළොවක් වයසැති වැඩිමහල් පුතනුවන් පිළිබඳව ලක්මිණී එසේ පැවසූ අතර ඔවුන්ගේ සියලු පාසල් වියදම් සපුරන ලද්දේ ළහිරු විසිනි. දරුවන් තිදෙනා සෙල්ලම් කළේද ළහිරැගේ මඩු මඩුවට පේනදුරිනි. යම් හෙයකින් කෙනකුගේ කටහඬක් නොඇසුණුහොත් ළහිරු වැඩ පසෙකලා දරුවන් පිළිබඳව සොයා බැලුවේය. ලක්මිණි සෑම දිනකම රැකියාවට ගොස් තිබුණේ දරුවන් තිදෙනාට බතක් සමඟ එළවළුවක් හෝ පිසය. පාසල් ගොස් නිවසට එන දරුවන් කෑම පිඟාන් තුනකට කෑම බෙදා හනික ළහිරුගේ නිවසට ගොඩවැදේ. මිත්තණියට ව්‍යාංජන බෙදා ආහාර ගැනීම සෑම දිනකම දරුවන්ගේ සිරිතකි. ළහිරුට අපූරු පුරුද්දක් තිබුණි. සතිපතා ඔහු බඩු මළු දෙකක් පොළට ගොස් ගෙදර ගෙනාවේය. එයින් එක් බඩු මල්ලක් ඔහු නැගණියට දීමට අමතක නොකළේය. එවන් උතුම් ගතිගුණ ඇති පියකුවන් මාම කෙනකු එක්වරම හොරු ගන්නාසේ දරුවන්ගේ ජීවිතවලින් ඈත්කර දැම්මේ කාගේ වරදක් නිසාද..?

“මගේ ළමයින්ට නත්තලට පල්ලියට අඳින්න ඇඳුමේ ඉඳන් අලුත් පන්තියට යුනිෆෝම් සපත්තු, පොත්, පෑන්, බෑග් හැමදෙයක්ම අරන් දුන්නේ මගේ අයියා. කිසිම දේකින් මගේ දරුවන් තුන්දෙනාට අඩුවක් තිබ්බේ නැහැ. අමතර පන්ති ගාස්තු පවා දුන්නා. දරුවන්ට වුණත් කිව්වේ “ඕනෑ දෙයක් ඉල්ලගන්න. හොඳට ඉගෙන ගන්න කියලයි..” මට මගේ තාත්තා වගේ හිටපු මගේ දරුවන්ට තාත්තා වගේ හිටපු මගේ අයියාව හොරු අරන් ගියා වගෙයි. තාත්තා නැති අඩුව මේ දරුවන් මකාගත්තේ මගේ අයියාගෙන්. ඒකත් අද මගේ දරුවන්ට නැතිවුණා. අද අපි පුදුම විදිහට අසරණ වෙලා. දරුවන් තුන්දෙනාව ගෙදර දාලා යන්න මට දැන් බෑ. මගේ අම්මත් ලෙඩෙක්. දැන් මේ හැමෝම බලාගන්න වෙන්නේ මටයි. මම දැන් මොනවා කරන්නද?”
ලක්මිණි අසන්නීය. ඇය ළහිරු මෙන්ම ධෛර්යවන්ත තැනැත්තියකි. අද වනවිට ඇය කඩදාසි කවර අලවමින් යම් මුදලක් හොයාගනී. දරුවන් තුන්දෙනෙකුට ඒ මුදල සෑහේද..? ගැටළුව වන්නේ එයයි.

නීතියට අනුව ලක්මිණීට වන්දි මුදලක් හිමි නොවේ. නමුත් මිහිපිට ජීවත් වූ දෙවියකුවන් මිනිසෙකුගේ ජීවිතය සදාකාලයටම හැරයාමෙන් අද ඒ ජීවිත හතරම අසරණ වී තිබේ. වන්දි නොලැබූ අසරණයින් අද ජීවිත සටනකට සැරසීමට සූදානම්ව සිටී.
ළහිරුගේ මවද අද තනිවී සිටී.

“සෙනසුරාදා පූජාව තියෙන්නේ අපේ ගෙවල් ළඟ පල්ලියේ. හවස හතටයි. මම ඒකට ගියා. පුතාගේ උපන් දිනය තිබුණේ අප්‍රේල් විසි දෙවැනිදා. ඒ නිසා පුතා ඉරිදා පූජාවට යන්න ඕනේ කියලා කිව්වා. ඉරිදා උදේ පූජාවට යන්න පුතාටයි, දුවටයි ඇහැරුණේ නැහැ. මමයි නැගිටලා පූජාවට ඇරියේ. පුතාගේ උපන් දිනයට ගෙදර ගෙනාවේ එයාගේ මිනියයි. පුතායි දුවයි විවාහ වෙලා අවුරුදු පහළොවක් විතර වෙනවා. පුතාලට දරුවෝ හිටියේ නැහැ. පුතා මගේ දුවගේ දරුවන් තුන්දෙනාට හරි ආදරෙයි. ඒ දරුවන්ව බලාගත්තේ මගේ පුතායි. එයාලට මෙයා මාමා කෙනෙක්ට වඩා තාත්තා කෙනෙක්. පුතා හරිම ආසාවෙන් හිටියේ පොඩි දරැවන්ට. එයාගේම කියලා දරුවෙක් වෙනුවෙන් ඒ දෙන්නා අවුරුදු ගාණක් දුක්වින්දා. ඒ වෙනුවෙන් නොයෙකුත් වෛද්‍යවරු ළඟට ගියා. මේ පාර පුතාට ඩොක්ටර් කියලා තිබුණා. “ඔය දෙන්නට අනිවාර්යයෙන්ම මාස තුනකින් දරුවෙක් හදන්න පුළුවන් කියලා. ඒ වෙනුවෙන් පුතායි දුවයි ගොඩාක් වෛද්‍ය උපදෙස් ගත්තා. මේ පාර හරිම සතුටින් හිටියේ. මේ ගේ හදලා නංගිගේ දරුවෝ තුන්දෙනයි එක්ක අපි හමෝම සතුටින් ඉමු කියලයි පුතා හැමවේලේම කිව්වේ..”

ළහිරුගේ මව හඬන්නීය.

අවසානයේදී ළහිරුගේත් දිලිනිගේත් වසර පහළොවක ආදර කතාවත් සමඟ දෙදෙනා ප්‍රාණ පරිත්‍යාගකරුවන් ලෙසින් දෙව්මව් තුරුලට පත්වූහ. රෝගී මව, නැගණිය, පුතුන් තිදෙනා තනිවිය.

ෂෙල්ටන් ප්‍රනාන්දු කරාටේ උපදේශකවරයෙකි. කාටවත්ම කරදරයක් නොකර තම දරුවන්ටත් කරදරයක් නොකර තම නිවසේ හුදෙකලාව ජීවත් වූ ෂෙල්ටන් කරාටේ ක්‍රීඩාවෙන් සහ ත්‍රීවිලර් පැදිමෙන් එදාවේල සොයාගත් කිතුණු බැතිමතෙක් විය.
“එදා පාස්කු ඉරිදාවේ මම හිටියේ පල්ලියේ එළියේ සෙබස්තියන් මුණිද්‍රයන්ගේ සුරුවම ළඟයි මම හිටියේ ගල් බැම්ම ඉස්සරහයි. එදා පාස්කු මංගල්‍ය දවසේ විදී යන නිසා මම ළඟම බෑන්ඩ් කණ්ඩායමේ දරුවෝ ටිකකුත් හිටියා. එකපාරම ලොකු සද්දයක් ඇහුණා. පල්ලියේ ඇතුළේ මව් පැත්තේ මුල්ලේ. වහල උඩට ගිහින් ලොකු දුමක් ආවා. ඒත් එක්කම මිනිස්සු සීසීකඩ අත දිව්වා. හැමෝම “බෝම්බයක්.. බෝම්බයක්..” කියලා කෑ ගැහුවා. මගේ ත්‍රීවිලර් එක තිබුණේ ගේට්ටුවෙන් එළියෙයි. ඇතුළේ හිටපු තුවාලකරුවන්ට මිය ගිය අයව මිනිස්සු උස්සගෙන ඇවිත් අපේ ත්‍රීවිලර්වලට පැටෙව්වා.

ෂෙල්ටන් ඒ අමිහිරි මතකයක් නැවත මතක් කළේය..

ඇතැමුන් විනාශ වී ගිය මිනිස් සිරුරු ත්‍රීවිලරයට ගෙන ආවේය. එක සිරුරක් කවුදෝ කෙනකු ත්‍රීවිරයේ බිම දිගා කළේය. ෂෙල්ටන් වහාම රෝගීන් ගෙන මීගමු රෝහලට ගෙන ගියේය. ඔහු නැවතත් පල්ලියට පැමිණි රෝගීන් රෝහල් කරා රැගෙන යාමට උදව් කළේය. සියලු කටයුතු අවසානයේදී ෂෙල්ටන් නිවසට ගෙනගිය ත්‍රීවිලරය හොඳින් සේදුවේය. මියගිය මිනිස්සුන්ගේ මතකයත්, තුවාල වූ රෝගීන්ගේ වේදනාවත්, ඥාතීන්ගේ අඳෝනා සියල්ල හමුවේ ඔහුගේ හිත හඬා වැටුණේය. පසුවදා ෂෙල්ටන් ඇඳෙන් නැගිටීමට උත්සාහ කළේය. නමුත් ඔහුගේ තුනටියෙන් පහළ පණනැති සෙයක් ඔහුට දැනුණි. ඔහු සවස් වරුවේ මීගමු රෝහලෙන් ප්‍රතිකාර ගත්තේය. අඟහරුවාදා ඔහුගේ වේදනාව අඩුවක් නොවුණි. කාලයක සිට ෂෙල්ටන්ගේ පාදයේ ඉතා කුඩා තුවාලයක් තිබුණි. මුළු කකුලම වේදනා දුන්නේය. ඔහු මීගමු රෝහලේ හදිසි අනතුරු අංශයේ හයේ වාට්ටුවේ නතර විය. වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඉතා ඉක්මනින් ෂෙල්ටන්ගේ පාදය සැත්කමක් සිදුවිය. පාදයේ තිබූ ඉතා කුඩා තුවාලයෙන් බෝම්බ ප්‍රහාරයෙන් යම් විෂ බීජයක් ඇතුළුවී ඇති බව සැරව පරීක්ෂණයෙන් නිගමනය වේ. අදටත් ෂෙල්ටන් සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ පහේ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. පාදයේ සැත්කම නිසාවෙන් ෂෙල්ටන් ඇවිදීමට නොහැක. කරාටේ ක්‍රීඩාවෙන් හා ත්‍රීවිරය ධාවනය කිරීමෙන් හම්බ කරගත් ෂෙල්ටන් ජීවිතය අද අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත.

ෂෙල්ටන් රෝහලට ඇතුළත් වී ඇත්තේ ප්‍රහාරයෙන් දින දෙකකට පසුවය. ප්‍රහාරයෙන් ඇතුළු වී විෂබීජයක් ශරීර ගතවීමෙන් ෂෙල්ටන් එක්තැන් වුවද රජයෙන් ලබාදෙන කිසිදු වන්දි මුදලක් ෂෙල්ටන්ට හිමිවන්නේ නැත. නමුත් ඔහුද මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් අසරණ වුණු රෝගියෙකි. තවමත් ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් පවතී. රජයෙන් කිසිදු වන්දියක් නොලැබුණ ද ෂෙල්ටන් ජීවිතයෙන් වන්දි ගෙවමින් හුදෙකලා රෝහල් ඇඳට වී හිස්වූ අහස දෙස බලාගෙන සිටී.

බොහෝමයක් දෙනා ත්‍රස්ත ප්‍රතිකාරයෙන් වන්දි ගෙවූහ. රජයෙන් මේ ජීවිතවලට මිලක් නියම විය. නමුත් නීතියට නොපෙනෙන ළහිරු, ෂෙල්ටන්ලා වැනි සංවේදි හදවත් මියගිය මොහොතක අසරණ වුණු මොහොතක මේ රටේ නීතියෙන් වන්දියක් ලැබෙයිද? එය තවමත් ප්‍රශ්නයකි.

විශේෂ ස්තූතිය
ක්ලිටස් මෙන්ඩිස් මහතාට සහ ප්‍රේම් ප්‍රනාන්දු මහතාට

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරෑ - සුමුදු හේවාපතිරණ

  

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30