2019 ජුනි 29 වන සෙනසුරාදා

හිර ගෙදර කැළඹූ මරණ දඬුවම

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 22

ලෝකයේ දියුණු යැයි සම්මත රටවල් රැසක මරණ දඬුවම ක්‍රියාත්මක නමුත් ලංකාවේ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැවති වාද විවාද රාශියකි. බොහෝ රටවල් මෙම දඬුවම අහෝසි කරමින් පවතින බවද පෙනෙන්නට තිබේ. ඒ සඳහා මානව හිමිකම් සංවිධාන මගින් දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවද නොරහසකි. එවැනි පසුබිමක මරණ දඬුවම බලාත්මක රටවල් අතරට අපේ රට ද ඉදිරියේදී එක්වීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් මනාව ක්‍රියාත්මක රටවල පවා ක්‍රියාත්මක මරණීය දණ්ඩනය අපේ රටේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බදාදා (26) ප්‍රකාශ කළේය. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සිරකරුවන් සිව්දෙනකුට මරණ දඬුවම ලබාදීම සඳහා දැනටමත් අවශ්‍ය ලිපි ලේඛන අත්සන් තබා ඇතැයිද ජනාධිපතිවරයා පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් කියා සිටියේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන දිනය තීරණය කර බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යවා ඇති බවය.

1956 අප්‍රේල් 18 වැනිදා බණ්ඩාරනායක ආණ්ඩුව විසින් අහෝසි කරනු ලැබූ මරණ දඬුවම අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර් ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව යළිත් ක්‍රියාත්මක කෙරිණ. ඉන්පසුව 1976 ජූනි 23 වැනිදා අවසන් වරට ක්‍රියාත්මක කළ මරණ දඬුවම 1977 වසරේ බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් අත්හිටුවනු ලැබීය. මෙතෙක් බල රහිතව පැවති දඬුවම තවත් දින කිහිපයකින් ක්‍රියාත්මක කොට මත් උවදුරෙන් රට ගලවා ගැනීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසය.

මෙරට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන මෙන්ම ආගමික නායකයන් පවා විරෝධතාව පළකර තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට සිදුවන සමස්ත අපරාධ රැල්ල වැළකෙනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. එහෙත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මරණීය දණ්ඩනය නියම කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුය.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සිරකරුවන් සිව්දෙනකුට මරණ දඬුවම දීම සඳහා ජනපතිවරයා අත්සන් තැබීම පිළිබඳව හිටපු නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු, ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂක හෑගොඩ විපස්සි හිමි සහ බෙනඩික් ජෝෂප් පියනම දැක්වූ අදහස් මෙසේය.

මේකෙන් අපරාධ රැල්ල අඩුවන බවට සහතිකයක් නෑ

- හිටපු නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු

මරණීය දණ්ඩනය ලංකාවේ අහෝසි කරලා නෑ. දැනටත් එම නීතිය තිබෙනවා. අධිකරණය ඉදිරියේ වරදකරු වන අයට මරණීය දණ්ඩනය නියම කෙරෙනවා. ඒ අවස්ථාවේදී අධිකරණය කියා සිටින්නේ ජනාධිපතිවරයා නියම කරන දිනයකදී හා වෙලාවකදී එල්ලා මැරීම සිදු කළ යුතු බවයි. 1977 ජේ.ආර්. ජනාධිපතිවරයාගේ සමයේ සිට අද දක්වා කිසිම අවස්ථාවක එය සිදු කරලා නෑ. දැන් සිදු කරලා තිබෙන්නේ ජනාධිපතිවරයා එය ඉටු කිරීමයි.

මෙම දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙර නීතිපතිවරයාගේ අදහස් විමසනවා. දඬුවම් නියම කළ අධිකරණයේ අදහස් විමසනවා. එතැනදී වරදකරුට මරණ දඬුවම ලබාදීම සුදුසුද කියලා සොයා බලනවා. එම ක්‍රියාමාර්ගවලින් පසුවයි තීරණයට එළැඹෙන්නේ. මෙතැනදී ජාත්‍යන්තර වශයෙන් මරණ දඬුවම අත්හිටුවන්න කියලත් ඉල්ලීම් සහ බලපෑම් එනවා. ඒ සඳහා මානව හිමිකම් සංගම් පෙනී ඉන්නවා. ඒකට හේතුව තමයි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී එය නැවත ආපස්සට ගත නොහැකි වීම. යම් හෙයකින් පසු දිනක හෙළි වුණොත් ඇත්තටම මරණ දඬුවම හිමි වූ පුද්ගලයා නොවෙයි වරදකරැ කියලා ඒක ගැටලුවක්. අමෙරිකාව සහ එංගලන්තය වගේ රටවල එහෙම දේවල් සිදුවෙලා තියෙනවා.

මේ නිසා මානව හිමිකම් සංවිධාන මරණ දඬුවම නුසුදුසු දෙයක් ලෙස සලකනවා. එය ශිෂ්ඨ සමාජයකට ගැලපෙන්නේ නෑ. ඒ නිසා මෙතෙක් පැවතුණේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමයි. ඒ නිසා මේ සඳහා ජාත්‍යන්තර වශයෙන් යම් බලපෑමක් එල්ල වීමට ඉඩ තිබෙනවා. නමුත් නීත්‍යානුකූලව මෙවැනි තීරණයක් ගැනීමට අයිතිය හා බලය ජනාධිපතිවරයාට තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නීතියෙන් බාධාවක් නෑ. මීට පෙර මානව හිමිකම් කොමිසම ඉදිරියේදී මරණ දඬුවම ඉවත් කිරීමට සහාය පළකර තිබෙනවා. මෙය ඒ තුළින් ඉවත් වීමක් විදිහට දකිනවා. ඒ නිසා ජාත්‍යන්තරයෙන් යම් බලපෑමක් එල්ල වීමට අවස්ථාව තිබෙනවා.

මගේ පෞද්ගලික අදහස අනුවනම් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට මම කැමති නෑ. අපේ රටේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන පිරිස පසු කාලයක නිදහස් වෙලා එනවා. එහෙම අවස්ථා වගේම සමාව දීලා නිදහස් කළ පිරිස් ඉන්නවා. කෙනකුට තරහා ගිහින් පොල්ලකින් ගහලා කෙනෙක් මැරැවට ඔහුට මරණීය දණ්ඩනය නියම වෙන්නෙ නෑ. නමුත් සැලසුම් සහගත මිනීමැරුමකට, මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ රාජ්‍ය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වීමට එරෙහිව මරණ දඬුවම නියම කරනවා. මෙහෙම කරන්නේ සමාජයට පිළිලයක් වන අයට පමණයි. එයා තවදුරටත් සමාජයේ තබාගැනීම හා ඉදිරියේදී විය හැකි අකටයුතුකම් සලකලා නීතිය ක්‍රියාත්මක කරනවා. කොහොම නමුත් ලෝක ප්‍රජාවගේ අදහස මේ දඬුවම නුසුදුසු බවටයි.

නඩුවේ තිබෙන සාක්ෂි අනුව තමයි විනිශ්චයකාරතුමා තීරණය ගන්නේ. හෙරොයින් ග්‍රෑම් 2ක් හෝ වැඩියෙන් සන්තකයේ තිබීම මරණ දඬුවම ලැබීමට ප්‍රමාණවත්. සමහරවිට ඒක අතේ තිබුණු කෙනා ව්‍යාපාරිකයෙන් නොවෙන්න පුළුවන්. අතරමැදියෙක් වුණා විය හැකියි. නමුත් සන්තකයේ තිබීම දඬුවමට ප්‍රමාණවත්. මෙතැනදී වරදකරු කළ අධිකරණයත් නඩුව මෙහෙයවූ නීතිපතිවරයාත් තීරණය කරනවා මෙයට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුද යන්න ගැන. එහෙම සැලකිල්ලට අරගෙනයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. මේ සියලු වාර්තා සලකලා තමයි ජනාධිපතිවරයා ලේඛන අත්සන් තබන්නේ. මේ අවස්ථාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට මෙම තීරණය සුදුසු බව හිතලා නීතිය ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්. නමුත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම හරහා අපරාධ රැල්ල අඩු නොවුණු බව තමයි සමාජ විද්‍යාඥයන්ගේ අදහස.

තීන්දුව ලැබෙන්නේ තිබෙන සාක්ෂි අනුවයි. මෙහෙයවන්නා හෝ අතරමැදියා වරදකරු වන්නේ සාක්ෂි අනුවයි. සමහරවිට සාක්ෂි බොරු වෙන්න පුළුවන්. නමුත් විනිශ්චයකරුවන් සාක්ෂි පදනම් කරගෙන තීන්දු දෙනවා. අවසානයේ තීන්දුව ක්‍රියාත්මක කිරීම පරිපාලනමය වශයෙන් ජනාධිපතිවරයා ගන්නා තීරණයක් වෙනවා.

මෙහිදී ජනාධිපතිවරයාට සමාව දීමට බලය තිබෙනවා. ඒ වගේම මරණීය දණ්ඩනයට යොමු කරන්නෙත් අදාළ සාක්ෂි සලකලා බැලීමෙන් පසුවයි. මේ පිළිබඳ විරෝධතාවයක් තිබෙනවානම් එය සමාජය තුළින් මතුවිය යුතුයි. එහෙත් ජනපතිවරයාගේ තීන්දුව ප්‍රශ්න කිරීමට අධිකරණයට හෝ බලයක් නෑ.

 

මරණ දඬුවමට වඩා නීතිය ශක්තිමත් කළ යුතුයි

- රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි

අත්හිටවපු නීතියක් නැවත ක්‍රියාත්මක කිරීම දැන් සිදුවෙන්නේ. මෙතැනදී යම් ආදර්ශයක් පණිවුඩයක් විදිහට දෙන්නේ මේ වැරදි නැවතත් සිදු කරන්න එපා කියන එකයි. මේ තත්ත්වය කෙළවර වෙන්නේ කොතනද ගැටලුවක්. කීදෙනකුට මරණ දඬුවම නියම කරන්න වෙයිද? මේ වෙලාවේ වරදකරුවන්ට මරණ දඬුවම දෙනවට වඩා ඒ අය පුනරැත්ථාපනය කිරීම සිදුකළ යුතුයි. ඒ වගේම සමාජයේ නීතිය තවත් බලවත් කළ යුතුයි. රටේ විෂමාචාරය වැඩියි. දඬුවම් අඩුයි. ඒ දේවල් ක්‍රියාත්මක කිරීම කළ යුතුයි. තිබුණු ක්‍රමවේදයක් දිගටම ගෙන යා යුතුයි කියලා එකක් නෑ. ඒ නිසා මරණ දඬුවම ක්‍රියාත්මක නොකර වරදකරුවන්ට වැරදි නොකරන සමාජයක් හැදීමයි කළ යුත්තේ. නැවත නැවත වැරදි සිදු නොවීමටනම් සිවිල් නීතිය වඩාත් ප්‍රබලව ක්‍රියාත්මක කළ යුතුයි. මරණ දඬුවම ක්‍රියාත්මක නොකළනම් හොඳයි කියන එකයි මගේ අදහස.

පවතින නීතිය යටතේ නිවැරදිකරු වරදකරු වෙලා වරදකරු නිවැරදිකරු වෙලා තියෙනවා. ඒකට හේතුව තිබුණු සාක්ෂි සැලකීම. ලංකාවට මරණ දඬුවමට වඩා නීතිය ශක්තිමත් කිරීම සිදුකළ යුතුයි. මරණ දඬුවම දුන්නට රටේ අපරාධ අඩු වෙයි කියන්න බෑ. බෞද්ධ චින්තනය අනුවනම් මරණ දඬුවම අවශ්‍ය නෑ. ඉන් මෙපිට දඬුවම් ප්‍රමාණවත්. මේ තත්ත්වය රටට යම් අවාසියක් වෙයි කියලා හිතන්න පුළුවන්.

 

ජීවිතයක් වැනසීම වරදක් වුණත් කුඩු මැඩීමත් අවශ්‍යයි

- බෙනඩික් ජෝශප් පියනම

සමාජය නොමගට යාම සහ විවිධ අපරාධවලට ලක්වීම වළක්වාලීමේ අරමුණෙන් මෙම පියවර ගැනීමට තීරණය කරන්න ඇති. විශේෂයෙන් මත්කුඩු ජාවාරම්කරැවන් හා භාවිතා කරන්නන් මැඩලීම සඳහා දඬුවම් නියම කරන්නට අදහස් කළා වෙන්න පුළුවන්. රජය ස්වාධිනව ගැලපෙන නීති ක්‍රියාමාර්ග ගැනීම සාධාරණයි. ඒ සඳහා රජයට හා ජනාධිපතිවරයාට බලය තිබෙනවා. ලෝකයේ තවත් රටවල මෙම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. ලෝකයෙන් මේ සඳහා බලපෑම් එන්න පුළුවන්. නමුත් මත් ජාවාරමට ගොදුරු වුණු රටක් විදිහට අපේ පාලකයන් පියවර ගතයුතුයි. එතැනදී මේක විශේෂ අවස්ථාවක්. රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් සංගම් මෙය නොගැලපෙන බව ප්‍රකාශ කරනවා. වැළැක්වීමට උත්සාහ ගන්නවා. නමුත් රටේ පවතින තත්ත්වය හා බැරෑරුම් මට්ටම සිතා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රටේ අනාගත පරපුරට මෙයින් පාඩමක් ඉගැන්විය යුතුයි. එහෙම බලද්දි මේක අසාධාරණ නෑ. මෙය අපේ ආගමික චින්තනයට විරුද්ධයි. ජීවිතයක් විනාශ කිරීම වරදක්. එල්ලුම් ගහට වඩා කුඩු රටට ගෙනෙන සහ බෙදාහරින පිරිස මර්දනය කළ යුතුයි. මේවායේ ප්‍රබලයෝ අනාවරණය කරගත යුතුයි. මොවුන් අතරින් සුදුසුම පුද්ගලයන්ට දඬුවම් නියම කිරීමට පියවර ගතයුතුයි. ඒ සඳහා මානුෂික වශයෙන් බැලීමත් කළ යුතුයි.

සමන්ත ප්‍රදීප් විල්තෙර

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30