2019 ජුනි 29 වන සෙනසුරාදා

ලංගමට ලාබ කළාට දොට්ට දැමූ සභාපති

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 1033

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මෑතකදී ලාභ ලැබීම ආකර්ෂණීය පුවතක් විය. එහෙත් එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ නිවැරුදි විග්‍රහයක් අපට හමු නොවිණි. අප ලංගම හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතා ඇමතුවේ එහි යටගියාව පිළිබඳ තතු විමසීමටයි. රමල් සිරිවර්ධන මහතා අවස්ථා තුනකදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන පරිපාලකයා ලෙස කටයුතු කළ පුද්ගලයෙකි. 1994 වසරේ සිට 2001 වසර දක්වා වසර හතක කාලයක්ද 2005 සිට 2007 දක්වා වසර දෙකක කාලයක් ඔහු ලංගම මෙහෙයවා තිබේ. ඔහු අවසාන වතාවට ලංගම සභාපතිත්වය පත්වන්නේ 2015 වසරේ වන අතර 2019 පෙබරවාරියේදී අවාසනාවන්ත ලෙස ඔහුට එම තනතුරට සමුදීමට සිදුවිය. ඒ කෙසේ වෙතත් 1975 වසරෙන් පසු පළමු වතාවට 2017 වසරේදී ලංගම ලාභ ලබන්නේ ඒ මහතාගේ කාලයේදීය. ඔහු සමඟ කළ සංවාදය ඇසුරින් ලංගම ලාභ ලැබීමේ කතාව අපි මෙසේ ලියා තබමු.

2015 මාර්තු මාසයේදී මම ලංගම භාරගන්නා විට විශාල ණය ප්‍රමාණයකින් ලංගම මිරිකී තිබුණා. ඩිපෝ හැත්තෑ නවයකට නියමිත දිනට වැටුප් ගෙවාගත නොහැකි තත්ත්වයක් පැවතුණේ. 2010 වසරේ ජූනි මාසයේ සිට අර්ථසාධක අරමුදලේ රැපියල් මිලියන එකොළොස් දහසක පමණ හිඟයක්ද විය. විශ්‍රාමික සේවකයන්ට ගෙවිය යුතු පාරිතෝෂික දීමනා සේවකයන් පන්දහකට පමණ ගෙවා නොතිබුණි. එවැනි තත්ත්වයක් තුළ මට ලංගමය භාරගැනීමට වූ නමුත් ලංගමය සම්බන්ධ පූර්ව අත්දැකීම් මා සතු විය. 1994 සිට 2001 දක්වාත් 2005 සිට 2007 දක්වාත් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී හැටියට මම එහි තනතුරු දැරුවෙමි.

මෙවර මා පත්වීමෙන් පසු පැමිණි නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමන් සේවකයන්ගේ නෛතික දීමනා ලෙස අර්ථසාධක අරමුදල් බැරකරන ලෙස නියෝගයක් ලබා දුන්නේය. ඇත්තවශයෙන්ම මුල්කාලයේ එය කිරීම අසීරැ තත්ත්වයක් විය. 2015 සැප්තැම්බරය වනවිට ශ්‍රී ලංගම සේවකයන් 36,700ක් සිටියහ. 2014 අවසාන භාගයේ සිට 2015 මුල් භාගය වනවිට බස්රථ 2700 ක පමණ ප්‍රමාණයක්ද අලුතින් රථ ඇණියට එකතු වී තිබිණි. ඊට පෙර වසර 7ක කාලයක් තුළ නව බස්රථ මිලදී නොගැනීම මෙම නව බස්රථ එකවර රථ ඇණියට එකතුවට හේතුව වීය. ඒ අනුව එයත් අපේ ආදායම් වැඩිකර ගැනීමට හේතුවක් විය.

අමාත්‍යවරයාගේ උපදෙස් පිට ආදායම් වැඩිකර ගැනීම අපගේ ඉලක්කය වී තිබිණි. යම් සේවක අතිරික්තයක්ද ලංගම තුළ සිටි හෙයින් ඊට විසඳුමක් ලෙස සේවක බඳවා ගැනීම් 2015 සිට අපි නතර කළෙමු. රජයට මේ සම්බන්ධ කරැණු පැහැදිලි කිරීම් සිදුකළ අතර මහා භාණ්ඩාගාරයඅප ආයතනයේ සේවකයන් වැඩි බව දැන සිටියේය. ඒ අනුව මහා භාණ්ඩාගාරය සේවකයන් සිය කැමැත්තෙන් විශ්‍රාම යන යෝජනාවලියක් ඉදිරිපත් කළේය. එය අනුව ලංගමය ප්‍රවාහන අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්ව සැකසූ යෝජනාවලිය මගින් අතිරික්ත සේවකයෝ 3800ක් වන්දි මුදලක් ලබාදී සිය කැමැත්තෙන් විශ්‍රාම ගන්වන්නට හැකිවිය. රියදුරැ කොන්දොස්තර සහ කාර්මික සේවකයන් වීම අදාළ නොවීය. පමණක් නොව අනෙක් කාර්යාල සේවකයන් මෙලෙස 2016 සහ 2017 වර්ෂවල විශ්‍රාම ගැන්වීම සිදුවූ අතර එහිදී ඔවුන්ට සියලු පාරිතෝෂිකද ගෙවනු ලැබීය.

ඉහත ක්‍රියාවලිය සිදුකිරීමට වසර දෙකක් පමණ ගතවිය. මේ අතර කාලයේ අනවශ්‍ය උසස්වීම් ලබාදීම වැළකිණි. ඉහතදී රියදුරු කොන්දොස්තර උසස්වීම් ලබාදීම හරහා කාර්යාල සේවකයන් වැඩිවීම සිදුව තිබිණි. නව තාක්ෂණය හඳුන්වාදීමටද මෙම වකවානුවේ කටයුතු කෙරිණි. පරිගණක සහ ටිකට් මැෂින් ලබා ගැනීම, සේවකයන් 5000 කට පරිගණක පුහුණුව ලබාදීම ආදීය හරහා සේවක අවශ්‍යතාව අවම විය. රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වන වයස අවුරුදු හැටට වඩා වැඩි පිරිස් කැබිනට් අනුමැතියකින් තොරව සේවයේ තබා ගැනීමද නතර කෙරිණි. ඒි අනුව 2018 වනවිට සේවක සංඛ්‍යාව තිස්දහකටත් වඩා අවම වූයේ ඉහත වැඩපිළිවෙළ හරහාය.

ලංගම විසින් පරිහරණය කළද හිමිකම නීත්‍යානුකූල නොමැති ඉඩම්වල හිමිකම් ලබා ගැනීමට නිමල් සිරිපාල ද සිල්වා අමත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කටයුතු සිදුවිය. ලංගම සතුව විශාල ඉඩම් ප්‍රමාණයක් පැවති අතර උදාහරණයක් ලෙස අක්කර 67ක වේරහැර ඉඩම ඇතුළු තවත් ඩිපෝ ඉඩම් රුසක සින්නකර අයිතිය ලබාගැනීමට ලංගම සමත් විය. එම ඉඩම් පාවිච්චි කරන ආයතනවලින් ඊට අදාළ මුදල් ලබාගැනීමට මේ අනුව ඉඩ පෑදුණු අතර එම මුදල් සේවක අර්ථසාධක ගෙවීම වෙනුවෙන් පාවිච්චියට ගනු ලැබීය. 2016 වනවිටත් ලංගම පඩි ගෙවීමට රජයේ ආධාර මත යැපීමට සිදුවිය. මගේ මතකයට අනුව මෙම කාලය තුළදී මාසයෙන් මාසයට කැබිනට් පත්‍රිකා දමමින් අමාත්‍යවරයා විසින් වැටුප් ගෙවීම සඳහා මුදල් ලබාගනු ලැබීය. නමුත් ක්‍රියාත්මක කරමින් තිබූ වැඩපිළිවෙළ තුළ 2017 සිට වැටුප් ගෙවීම වෙනුවෙන් කිසිදු මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා නොගන්නා බවට අපි පොරොන්දු වූයෙමු.

මේ අතර අප සමාජ සත්කාර සේවා රුසක් කරමින් සිටි බවද සිහිපත් කළ යුතුය. උදාහරණයක් ලෙස සිසු වාර ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් මුළු මුදලින් සීයට හතක් පමණක් ලබා ගැනීම. විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල සිසුන්ගෙන් අය කරනු ලැබුවේ සීයට විසිපහක් තිහක් පමණ ප්‍රමාණයකි. මෙහිදී රජය මේ මුදල්වලින් යම් ප්‍රමාණයක් අප වෙත ප්‍රතිපූර්ණ කරන ලදී. සිසු වාර ප්‍රවේශ පත්‍රවලට සීයට පනහක් පමණ ප්‍රතිපූර්ණ කළේය. මෙහිදී අප රජයට යෝජනා කළේ වැටුප් ගෙවීමට මුදල් අනවශ්‍ය බවත් මේ ආදී කටයුතුවලටද අදාළ සම්පූර්ණ ප්‍රතිපූර්ණයන් අප වෙත ලබාදෙන ලෙසත්ය. එසේම සේවා ලෙස සිදුකරන පාඩු ලබන මාර්ගවල ධාවනයන්ට සහ ගමන්වාරවල අදාළ ප්‍රතිපූර්ණයන්ද අප වෙත ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළෙමු.

2017 දී මහා භාණ්ඩාගාරය මෙම යෝජනාවට එකඟවිය. ඒ 2015දී මහා භාණ්ඩාගාරය ප්‍රතිපූර්ණයන් වශයෙන් ලැබී තිබුණේ මිලියන 4000ක් පමණි. එහෙත් මහා භාණ්ඩාගාරය අප වෙත කරන ලද යෝජනාවන්ට අනුව අප ක්‍රියාත්මක වෙමින් සේවයෙන් විශ්‍රාම ගැන්වීම්, උසස්වීම් නොදීම් ආදිය ක්‍රියාත්මක කරන අතරේ පෙරළා අප කළ ඉල්ලීමද මෙහිදී භාණ්ඩාගාරය විසින් ඉටුකිරීම මෙහිදී වැදගත්වීය. කෙසේ හෝ 2019 වනවිට අපිට ලැබෙන ප්‍රතිපූර්ණ රැපියල් මිලියන 11,000 දක්වා වැඩිකර ගැනීමට හැකිවිය. ඉන්ධන මිල ඉහළ යාමේදී සිසු වාර ප්‍රවේශ පත්‍රවලට ඉල්ලුම වැඩිවීමත් මේ සඳහා යම් බලපෑම් එල්ල කළේය.

මේ අතර ලංගම සතු ප්‍රාදේශීය දොළහේ පිරිස් නිතර ගෙන්වා අඩුපාඩු සාකච්ඡා කිරීම් කළමනාකරණය කිරීම් සිදුකෙරිණි. 2016 සිට Power Points Presentation හරහා මාසික සාකච්ඡාවේදී අඩුපාඩු සාකච්ඡා කිරීම සිදුවිය. දිරිමත් කිරීම් උපදෙස් ලබාදීම් නොඅඩුව සිදුවිය. සේවක පුහුණු මෙන්ම 2017 වනවිට ලංකාවේ සියලුම ප්‍රදේශවලට ටිකට් මැෂින් ලබාදීමද අපගේ සාර්ථකත්වයට ඉවහල් විය. ප්‍රාදේශීය තරග පැවැත්වීම තිළිණ ප්‍රදාන ආදී දේද මේ සමඟ ක්‍රියාත්මක වූයේය. එයද සේවක දිරිගැන්වීමක් බවට පත්විය. සිදුවන සියල්ල පිළිබඳ නිරන්තර පසු විපරමක සිටීමටද මම වග බලාගත්තෙමි.

1975 වර්ෂයෙන් පසු 2017 වර්ෂයේදී ලංගම පළමුවරට ලාභ ලැබීම සිදුවන්නේ ඉහත සඳහන් සම්පූර්ණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසිනි. අසාධ්‍ය තත්ත්වයක තිබූ ලංගමය ඒ අනුව මිලියන 1618ක මෙහෙයුම් ලාභයක් ලැබුවේ වැටුප් සඳහා මහ භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් ලබා නොගෙනය. මට දැනගන්නට ලැබුණු ආකාරයට මිලියන 2000ක පමණ ලාභයක් 2018 දීත් ලැබී ඇතැයි කියැවේ.

මේ වතාවේ පළමුවෙන් ලංගම සභාපතිවරයා ලෙස මා පත්කරනු ලැබුවේ රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා විසිනි. එතුමා එම අමාත්‍යාංශයෙන් මැතිවරණයන් පසු මාරුවෙන විට මම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේ ප්‍රතිපත්තියක් ලෙසිනි. නමුත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මාස තුනක් එතුමන් සමඟ වැඩකරන ලෙස එහිදී ඉල්ලීමක් කළේය. ඉන්පසු දිගටම එතුමා සමඟ වැඩ කිරීමට අවකාශ සැලසිණි. එහිදී ප්‍රවාහන ඇමතිතුමන් සමඟ සුහදව එතුමා ආණ්ඩුවෙන් ඉවත්වන තුරැම වැඩ කළෙමි. පරිණත දේශපාලනඥයෙක් ලෙස අමාත්‍යතුමන් අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් ආයතනයට සිදු නොකළ බව මෙහිදී සිහිපත් කළ යුතුය. අපගේ ආයතනයේ අවශ්‍යතා සපුරමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට නිදහස ලබාදීම එහිදී වැදගත් විය. වෘත්තීය සමිතිද ඉතා සුහදව අප සමඟ කටයුතු කළේය. ඒ සියල්ලද නිලධාරීන්ගේ සහායද අප ලද සාර්ථකත්වය පසුපස විය. ලංගම ලාභ ලැබීම එක පුද්ගලයකු විසින් කරන ලද්දක් නොව සාමූහික කටයුත්තකි. කිසිදින මෙය මම තනිව කළ කටයුත්තක් ලෙස අරැත් ගන්වා නොගත යුතුය. ජනාධිපතිතුමන් අගමැතිතුමන් ඇමතිතුමන් නිලධාරීන් වෘත්තීය සමිති මහා භාණ්ඩාගාරය සහ එහි නිලධාරීන් මේ පසුපස සිටියෝය. මා කළේ මෙහෙයවීමයි.

අවසානයේදී නව ඇමතිතුමන් පත්වූ පසුව මගේ ඉල්ලා අස්වීම බාරදීමට මම කටයුතු කළෙමි. එහිදී නැවත අවුරැදු තුනකට සභාපති ධූරය සඳහා ඇමතිතුමා පත්වීම් ලබාදුන්නේය. නමුත් නව ඇමතිතුමන් සමඟ කටයුතු කළ කෙටිකාලය තුළ මා පිළිබඳ විශ්වාසයක් ඇමතිතුමන්ට ගොඩ නොනැගිණි. එමනිසා මම ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට කටයුතු කළෙමි. ලංගම දේශපාලනීකරණය වුවහොත් නැවතත් අර්බුදය නිර්මාණය වීමට හැකිය. නමුත් ලංගමට දේශපාලන නායකත්වයක් ලබාදීමට ඇමතිවරයකු සිටිය යුතුය. මෙහිදී විශේෂයෙන් කිවයුත්තේ අර්ජුන රණතුංග අමාත්‍යවරයාද පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා එකම සේවකයකු හෝ ආයතනයට බඳවාගෙන නොමැති බවත් අනවශ්‍ය උසස්වීම් ලබාදී නොමැති බවත් කිව යුතුය. අප දෙදෙනා අතර ගැටලුවක් ඇති වුවද එම සත්‍යය පැවසිය යුතුය.

 සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30