2019 ජුනි 15 වන සෙනසුරාදා

ලෝකයේ අඩුවී ලංකාවේ වැඩිවෙන ඉන්ධන මිල සූත්‍ර පල් බොරුව

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අඩුවන ප‍්‍රවණතාවයක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. වසර ගණනකට පසු එය යහපත් ප‍්‍රවණතාවයක් බව ආර්ථික ක්ෂේත‍්‍රයේ අන්තර්ජාතික විචාරකයෝ ප‍්‍රකාශ කළහ. ලෝකයේ සංවර්ධන වේගය අඩාල වී ඇති අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩුවිය හැකි බවට මතයක් තිබේ. එය වක‍්‍රව බොරතෙල් නිපදවන රටවලට බලපානු ඇත. දැනටමත් නොයෙක් රටවල් පොසිල ඉන්ධන භාවිතය අවම කරන තීරණවලට එළැඹ තිබේ. පරිසරය ආරක්ෂා කරන යෝජනා වශයෙන් පුනර්ජනනීය බලශක්ති අංශ කෙරෙහි නතුවෙමින් සිටී. විකල්ප බලශක්තිය කරා යොමුවන අවස්ථාවක තෙල් මිල තවත් ඉහළ මට්ටමක පැවැතියහොත් අවාසියක් විය හැකි බව නිරීක්ෂණය කර ඇති අතර පොසිල ඉන්ධන භාවිත කරන රටවලට දරාගත හැකි මිලකට බොරතෙල් සැපයීම අරමුණ වී ඇත. 

ලෝකයේ කවර ආකාරයක සුවිශේෂී ප‍්‍රවණතා අනාවරණය වන නමුත් මෙරට බලධාරීන්ට එය ප‍්‍රශ්නයක් නොවේ. ඉන්ධන මිල සූත‍්‍රයක් පනවා ගත් ආණ්ඩුව සෑම මාසයකම දහ වැනිදා ඉන්ධන මිල සංශෝධනය කරයි. මිල සූත‍්‍රයට අනුව බොරතෙල් මිල අනුව අලෙවි කරන ඉන්ධන මිල ගණන් උච්චාවචනය විය යුතුය. පොදු ජනතාවට කියා දුන් ප‍්‍රතිපත්තිය එයයි. නමුත් ඉකුත් මැයි දහ වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 3.00කින් ඉහළ නැංවීය. බොරතෙල් නිස්සාරණයෙන්ම ලබාගන්නා අනෙක් ඉන්ධන හෝ ලිහිසි තෙල්වලට මිල සංශෝධනය බලපා නැත. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටෙන අතරතුර පෙට‍්‍රල් වාහන හිමියන්ට පමණක් බලපාන පරිදි මෙරට ඉන්ධන මිල වැඩි කිරීමෙන් ආණ්ඩුව පෞද්ගලික බස් කර්මාන්තයට ඇති භීතිය කදිමට ප‍්‍රදර්ශනය කෙරේ.

පෙට‍්‍රල් මිල වැඩිකිරීම හා බස් කර්මාන්තයට ආණ්ඩුවේ ඇති බය නොගැලපෙන සැසඳීමක් විය හැකිය. නමුත් යථාර්ථය එයයි. අන්ත ලිබරල් අදහස් නිර්භයව සමාජයට කියන මුදල් ඇමැතිවරයා තෙල් මිල ගැන ජනතාවට ඇත්ත නොකියන්නේ ඇයි?  පවතින ආර්ථික පසුබිම අනුව ඩීසල් මිල වැඩි කළහොත් මගී ප‍්‍රවාහනයේ නිරත බස් රථ සංගම් සිය පිරිවැය ජනතාව වෙත හරවනු නිසැකය. බස් ගාස්තු වැඩි කරන සේ බල කරනු ඇති අතර එම තීරණයට අවනත නොවුණහොත් වර්ජනයකට යා හැකිය. පෞද්ගලික බස් කර්මාන්තකරුවන් නොඉවසිල්ලකින් පසුවන බව පිළිගත යුතුය. පාස්කු ඉරිදා ප‍්‍රහාර මාලාවෙන් පසු බෙලහීන වූ ආර්ථිකයේ යම් යම් අංශ තෝරා සහන දෙන්නට ආණ්ඩුව පියවර ගත්තේය. පෞද්ගලික බස් රථ හිමියෝ සිය ලීසිං වාරික ගෙවාගත නොහැකි බැවින් සහනයක් ඉල්ලා සිටියහ. ආණ්ඩුව එය කෙරෙහි අවධානයක් දැක්වූයේ නැත. එවැනි පසුබිමක සිටිය දී ඩීසල් මිල නැංවීම රට තුළ මගී ප‍්‍රවාහන අර්බුදයක් ඇති කරනු නිසැකය. ඩීසල් මිල පැත්තකින් තබා පෙට‍්‍රල් මිල ගණන් පමණක් වැඩි කරන උපාය එය බව පැහැදිලිය.  

පසුගිය වසරේ මැයි මාසයේ දී  හඳුන්වා දුන් ඉන්ධන මිල සූත‍්‍රය මෙරට පොදු ජනතාවට බරපතළ විනයක් වී හමාරය. සූත‍්‍රය හඳුන්වා දුන් දිනයේ සිට අද දක්වා නිතිපතා ඉන්ධන මිල ගණන් වැඩිකර තිබේ. අවුරුදු උත්සවය වෙනුවෙන් අපේ‍්‍රල් මාසයේ මිල නැංවීම අත්හිටවූ ආණ්ඩුව පාස්කු ප‍්‍රහාරයෙන් පසු අසරණව සිටි ජනතාව ගැන පවා නොසලකා මැයි 11 වැනිදා ඉන්ධන මිල වැඩි කළේය. මිල සූත‍්‍රය යෝජනා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඛනිජ තෙල් සංස්ථාවේ අලාභ පියවාගෙන රජයේ අයවැය හිඟය පාලනය කර ගැනීම යෝජනාවේ අරමුණ විය. ආණ්ඩුව ප‍්‍රශ්න විසඳාගෙන තිබේ. පාඩු මකාගෙන ඇත. තෙල්වලින් පමණක් නොව, අනෙක් පැතිවලින් ද සිදුවන අලාභ පියවා ගන්නට පෙට‍්‍රල් මිල වැඩි කිරීම අවස්ථාවක් කරගෙන තිබේ. ආණ්ඩුව බලයට පත් කළ පොදු ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටිති. පුරවැසියන් එදිනෙදා ජීවත් වන්නේ කෙසේදැයි හඳුනාගැනීම ආණ්ඩුවක වගකීමකි. එක පැත්තකින් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි සහන බෙදා දෙන ආණ්ඩුව එම ජනතාවගේ යතුරැපැදිය, ත්‍රිවිලර් හෝ වෙනත් ආකාරයක පෙට‍්‍රල් වාහනයකට බර පටවයි. 

රටට විනිමය අර්බුදයක් මතු වූ අවස්ථාවේ දී ආණ්ඩුව 2016 වසරේ දී තාවකාලික විනිමය සංචිතයක් මෙරටට ඉල්ලා සිටි අතර එය අනුමත කළ මූල්‍ය අරමුදල රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා වහා පියවර ගත යුතු බව නිර්දේශ කළේය. ඉන්ධන මිල සූත‍්‍රය එයින් එකකි. විදුලිය බිලට ද සූත‍්‍රයක් යෝජනා කර තිබේ. ජනතාවට දෙන සහනාධාර අඩුකිරීම, සෘජු බදු නැංවීම, රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය හා රට තුළ ආයෝජන හිතකර ප‍්‍රතිපත්ති සකස් කිරීම වැනි තවත් යෝජනා මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇත. රටට නිකුත් කළ ණය සංචිතය වාරික වශයෙන් නිදහස් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය නිකුත් කරන වාරයක් පාසා තමන් නියම කරන ලද නිර්දේශ අනුගමනය කරනවාදැයි සොයා බලයි. මූල්‍ය අරමුදලේ බලපෑම ඉතාම තියුණු මුහුණුවරක් ගෙන ඇත. ආණ්ඩුව එයටත් වඩා පියවරක් ඉදිරියට තබා තිබේ. මිල සූත‍්‍රය පැත්තකට තබා ජනතාවගෙන් අයකරගත හැකි මුදල තෙල්වලින් හෝ වක‍්‍ර ආකාරයකට ගැනීමට ක‍්‍රියා කරමින් සිටී. එය ඉතාම නරකය.

ඉන්ධන අලෙවි කරන මිල ගැන උපායශීලී වන ආණ්ඩුව අලුතින් හිතන්නේ නැත. ඉන්දියාවේ නවදිල්ලි නගරය ආශ‍්‍රිතව අධික වාහන තදබදය ගැන පර්යේෂණයක් කර එහි වාර්තාව නිකුත් කර තිබේ. අන්තර්ජාතික මාධ්‍ය එම වාර්තාව ප‍්‍රසිද්ධ කරන්නේ වාහන තදබදයට ආදරය කරන තෙල් නිපදවන රටවල් වශයෙන් වර්ණවත් කරමින්ය. එය එපමණකට ප‍්‍රශ්නයකි. නවදිල්ලි නගරයේ පමණක් ඉන්ධන ලීටර් දස දහස් ගණනින් වාහන තදබදය හෙයින් නිකරුණේ පිළිස්සෙන බව වාර්තා කර ඇත. එක ලීටරයක් පාසා තෙල් නිපදවන රටවලට වාසියකි. ශ‍්‍රී ලංකාවේ වාහන තදබදය ද සුළු ප‍්‍රශ්නයක් නොවේ. මොරටුව විශ්වවිද්‍යාලය කරන ලද පර්යේෂණය අනුව නාගරික ප‍්‍රදේශවල ධාවන වේගය ඉතා පහතට වැටී ඇති බව පෙන්වයි. වසරකට රුපියල් බිලියන දෙකක ඉන්ධන අධික තදබදය හෙයින් පිළිස්සෙන බව ප‍්‍රකාශ වී තිබේ. මෙම සියලු පැති එකතු කරගෙන අවුරැද්දකට ඉන්ධන පරිභෝජනය සියයට දහයකින් කපා හැරියහොත් රටට ඉතිරි කරගත හැකි ධනය රැපියල් බිලියන විස්සක් ඉක්මවන බව අනාවරණය වෙයි. සාමාන්‍යයෙන් ඉන්ධන ආනයනයට වියදම් වන විනිමය තවත් බරපතළ තත්ත්වයකි. මෙරට ආනයන වියදම්වලින් හතරෙන් එකක් ඉන්ධන ආනයන බව දැක්වෙයි. එය තේ, රබර් හෝ පොල් අපනයනයෙන් ලබන ආදායමෙන් හෝ පියවාගත නොහැකිය. ඉතාම දිළිඳු ප‍්‍රතිපත්ති රාමුවක සිරවී සිටින ශ‍්‍රී ලංකාව මෙකී උගුලෙන් ගැලවෙන ප‍්‍රයත්නයක නැත. අවාසනාව එයයි.

පෙට‍්‍රල් මිල වැඩි කරන්නේ ආණ්ඩුවේ වියදම පියවා ගන්නටය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටට බදු ආදායම පහත වැටී සංචාරක කර්මාන්තය අඩාල වී ඇති අතර සහන සලසන්නට ද සිදුවී තිබේ. වියදම් කළමනාකරණය කර ගැනීම ගැන නොසිතන ආණ්ඩුව ජනතාවගේ අතේ ඇති රැපියල් තුන ද උදුරා ගනිමින් සිටී. එය සාධාරණ නැත. ඉන්ධන ආනයනය මත සම්පූර්ණයෙන් නඩත්තු වෙන ශ‍්‍රී ලංකාව වැනි රටවල් තෙල් නිපදවන රටවල් හැසිරෙන අන්දම අනුව අර්බුදයක බව පිළිගත යුතුය. ලෝක වෙළෙඳපොළේ සිදුවන මිල අඩුවීම් ජනතාවට කෙළින්ම ලැබෙන මූල්‍ය ආරක්ෂණ පද්ධතියක් රටට අවශ්‍යය. අඩු වශයෙන් මෙරටට ඉන්ධන ආනයනයේ දී රජය අය කරන බදු සාධාරණීකරණය කරන යාන්ත‍්‍රණයක් නුසුදුසු මන්දැයි සොයා බැලිය යුතුය. 

රටට ඉන්ධන ගෙන්වන විට බදු වර්ග හතරක් අය කෙරේ. ආනයන බදු, එක්සයිස් බදු, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු හා ජාතිය ගොඩනැගීමේ බදු ඒ අතර වෙයි. ලෝක වෙළෙඳපොළේ මිලට සූත‍්‍රයක් බව කියන ආණ්ඩුව පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 66.57ක් බදු අයකර රුපියල් 5.54ක ලාභයක් ලබන බව අනාවරණය වී තිබේ. මෙරටට ගෙන්වන විට රුපියල් 86.98ක් වන ඩීසල් ලීටරයකින් රුපියල් 34.30ක් බදු අයකර තවත් රුපියල් 2.16ක් ආණ්ඩුව ලාභ ලබන බව සඳහන් කර ඇත. බදු ඉවත් කළහොත් රුපියල් 77.48කට පෙට‍්‍රල් මෙරට විකිණිය හැකි බව ඛණිජ තෙල් අමාත්‍යවරයා ඉකුත් වසරේ දෙසැම්බර් 08 වැනිදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. අද මිල ගණන් අනුව එය තවත් රුපියල් කිහිපයකින් වැඩි විය හැකි අතර ආණ්ඩුව පතුරවන ලෝක වෙළෙඳපොළේ මිල යැයි කරන සඳහන බරපතළ අසත්‍යයක් බව මෙමගින් තවදුරටත් පැහැදිලිය.   

  ගාමිණී සරත් ගොඩකන්ද