2019 ජුනි 15 වන සෙනසුරාදා

ගහට ගහක් තවම හමුනොවූ එල්ලුම් ගහ

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 181

අලුගෝසු තනතුර හෙවත් වධක රාජකාරිය භාරගන්නට තෝරාගත් 22 දෙනෙක් පසුගියදා වැලිකඩ පුහුණු අංශයට පැමිණියේ, එහි ක්‍රියාකාරීත්වය දකින්නටය. ඒ බව දැනගත් සිව්දෙනකුම එදින නොපැමිණි බවටද තොරතුරු වාර්තා වූයේ අවසානයේදීය.

එල්ලුම්ගහේ අනුරුවක් මත බෝනික්කෙක් යොදවා පෙරහුරුව පැවතියේ, එතැන් පටන්ය. ඒ සමඟම තනතුරේ ස්වභාවය, වගකීම්, වරප්‍රසාද, රාජ්‍ය සේවකයකු වශයෙන් ක්‍රියා කළ යුතු ආකාරයද මෙම පුහුණු වැඩමුළුවට අයත් විය. ඒ අනුව මෙම 22 දෙනාගෙන් වඩාත්ම සුදුසු දෙදෙනාට එල්ලුම්ගහට නැවත පණ දෙන්නට ලැබෙන දිනය වැඩි ඈතකද නැත. මේ වනවිටත් අලුගෝසු තනතුරේ 26 දෙනාගේ නම් හා ඔවුන් ගත් ලකුණු මට්ටම් ජනපති අතේය.

එල්ලුම්ගහ කලින් කලට කරළියට එන කතාවක් බඳුය. ඒත්, එල්ලුම්ගහට යන පළමු 18 දෙනාගේ ලැයිස්තුව ජනපති අත මාස ගණනක් තිස්සේ රුඳී තිබේ. 43 වසරක් තිස්සේ මකුළුදැල් බැඳුණු එල්ලුම්ගහේ ලීවරයට තෙල් දමා පණ දෙන්නට 24 දෙනෙක් එක පොරයේය. අලුගෝසුවා යන්න අල්ගොස් යන පෘතුගීසි භාෂාවෙන් බිඳී ආ එකකි. රොබට් නොක්ස් නම් ඉංග්‍රීසි ගත්කරැවාගේ සටහන්වලද ඒ බැව් සඳහන්ය.

දැනට මෙරට ඇත්තේ එල්ලුම්ගස් එකකි. ඒ වැලිකඩ බන්ධනාගාරයේ පමණි. 1871 මැයි මස 21 වැනි දින ලංකාවේ පැරණිම බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරයේ චැපල් ශාලාවේ දකුණුපස පහළ මාලයේ ප්‍රථම පෝරකය ඉදිකරන ලද්දේ ඉංග්‍රීසීන්ය. මෙම එකම පෝරකයේ එකවර සිව්දෙනකු එල්ලා මරාදැමිය හැකිය. බෝගම්බර බන්ධනාගාරයේ තිබූ අනෙක් එල්ලුම්ගහ ඉවත් කරනු ලැබූයේ, එම බන්ධනාගාරය මහනුවරින් පල්ලේකැලේට ගෙන ගිය 2014 වසරේදීය. 

මේ වනවිට මරණ දඬුවම හිමිව පෝරකය අභියසට වී සිටින පිරිස (2019-05-13 දිනට) 455කි. වැලිකඩ බන්ධනාගාරයේදී අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්තේ 1976 ජූනි මස 23දාය. එදාමෙදාතුර ඒ එල්ලුම්ගහට ගිය කෙනකු නැත.
මෙරට බන්ධනාගාර පද්ධතියේ ආරම්භක අලුගෝසු රාජකාරිය කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික නාවිකයෙකි. ඔහු විසින් මෙරට බන්ධනාගාරයකදී පළමු වරට මිනිසකු එල්ලා මරා ඇත්තේ 1884 පෙබරවාරි 11දාය. අලුගෝසු තනතුරට පත්වන ප්‍රථම ස්වදේශිකයා වන්නේ, ඩේවිඩ් සිංඤෝය. වසර 40ක් අලුගෝසු තනතුර දරා ඇති ඔහු 1976 ජූනි 23 දක්වා වනවිට එල්ලා මරාදමා ඇති සංඛ්‍යාව 630ක් බවද සඳහන් වේ. ඔහු අවසන් වරට පෝරකය වෙත රුගෙන ගොස් ඇත්තේ හම්බන්තොට චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවාය. ඩේවිඩ් සිංඤෝ, පබිලිස් සිංඤෝ, ලුවිස් සිංඤෝ වශයෙන් පිය පුතු පරම්පරාවෙන් පැවත ආ අලුගෝසු තනතුර ඊළඟට භාරදෙන්නට ලුවිස් සිංඤෝට දරුවකු සිටියේ නැත. ඒ නිසාම 1979 වසරේදී අලුගෝසු තනතුර සඳහා ඇබෑර්තු ඉතිහාසයේ ප්‍රථම වරට රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කිරීමට සිදුවිය.

අලුගෝසු තනතුරේ රාජකාරිය ගැන ලුවිස් සිංඤෝ සඳහන් කර ඇත්තේ මෙවැන්නකි. මම කරන්නේ නඩුකාර උන්නාන්සේගේ තීන්දුව ක්‍රියාත්මක කරන එක පමණයි. පාපයක්, දෝෂයක් තියෙනවා නම්, ඒක අයිති මට නොවෙයි. මම කරන්නේ රාජකාරියක්.

මෙම තනතුරට ගැසට් පත්‍රයේ කළ ප්‍රසිද්ධ කිරීමට ලැබුණු ඉල්ලුම්පත් සංඛ්‍යාව 274ක් විය. ඒ වනවිටත්, පබිලිස් සිංඤෝ ප්‍රධාන අලුගෝසු තනතුරේ සේවයේය. අයැදුම්පත් කැඳවා තිබුණේ සහායක තනතුරටය. 1979 වසරේදී ලුවිස් සිංඤෝගෙන් පසු රංජිත් විජේතුංග ප්‍රධාන අලුගෝසු තනතුරට පත්වන්නේ, සහායක තනතුරට ඒමෙනි. 23 වසරක් අලුගෝසු තනතුර හෙබවූ විජේතුංග කිසිවකු එල්ලා නොමරා සේවයෙන් සමුගන්නේ 2001.05.02දාය. ඉන්පසු එම තනතුරට පත්වන්නේ, 19 හැවිරිදි කොලුගැටයකු වූ ඔහුගේ පුත් සුමේධ විජේතුංගය. සිය පියා යටතේ කෙටි කලක් සහායක තනතුර හෙබවූ ඔහු පසුව ප්‍රධාන අලුගෝසු තනතුරට පත්වීමත් සමඟම, සහායක තනතුරද පුරප්පාඩු විය. 2005 වසරේදී නැවත එම තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවිණි. එහිදී තෝරාගත් පුද්ගලයකු ඉදිරිපත් කළ කොන්දේසි ගණනාවක් හේතුවෙන්, එම බඳවාගැනීම් සිදුනොවීය.

2004 වසරේදී පාතාල අපරාධකරැවන් අතින් සිදුවූ හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතන සිද්ධියත් සමඟම, මරණ දඬුවම යළි පැනවීමේ අවශ්‍යතාවය මතුවූයේ, හාංකවිසියක්වත් නැතිවය. අලුගෝසු තනතුර සඳහා ජනතාව තුළ දැඩි උනන්දුවක් ඇතිවූයේද එනිසාය. අලුගෝසු තනතුරේ රාජකාරි කළ සුමේධ විජේතුංගට වසර 10කට පසු එනම් බන්ධනාගාර නියාමක තනතුරට උසස්වීමක් ලැබුණේ 2011 වසරේදීය. පසුව, මෙම තනතුරු දෙක සඳහා රජයේ පිළිගත් බඳවාගැනීමේ පටිපාටිය යටතේ පුවත්පත් දැන්වීමක් මගින් අයැදුම්පත් කැඳවීමට සිදුවූයේ ද, ඒ නිසාය. ඒ 2012 ජූලි 13දාය. 

පුවත්පත් දැන්වීමට අනුව, ලැබුණු අයැදුම්පත් සංඛ්‍යාව 178කි. ඒ අතරින් 167 දෙනකු සම්මුඛ පරීක්ෂණයට කැඳවිණි. ගම්පහ හා මීගමුව ප්‍රදේශයේ විවාහකයන් දෙදෙනකු එහිදී අවසන් වටයේදී තෝරාගනු ලැබුවේ, මානසික වෛද්‍ය වාර්තාවක්ද කැඳවීමකින් පසුවය. දෙදෙනා මුලින්ම ආධුනික නියාමක පුහුණු පාඨමාලාවකට සම්බන්ධකොට අලුගෝසු රාජකාරිය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවකටද යොමු කෙරිණි. ඔවුහු ඒ දෙසතියක පුහුණුව අවසන් කළේ, ඉකුත් 2013 වසරේ පෙබරවාරි 22දාය. ඒ සමඟම, පුහුණු පාඨමාලාවෙන් පසු දෙදෙනාට දින 3ක නිවාඩුවක් හිමිවූයේ, මානුෂික හේතූන් මතය. කෙසේවෙතත්, නියමිත දින ඉක්ම ගියද, දෙදෙනා නැවත සේවයට වාර්තා කළේ නැත. ඒ සමඟින් දෙදෙනාටම සේවය හැරයාමේ නියෝගද නිකුත් විය. පසුව දින 7කට පසු අභියාචනාවක්ද සමඟින් නැවත ඔවුන් දෙදෙනා සේවයට රපෝර්තු කළද, රැකියාව නැවත ලැබුණේ නැත. 

එතැන් සිට මේ දක්වාම 6 වසරක් තිස්සේම අලුගෝසු තනතුරට කෙනෙක් බඳවාගෙන නැත. එම තනතුරැ දෙකම අදටත් පුරප්පාඩු ලැයිස්තුවේය. 

මරණ දඬුවම පිළිබඳ අලුත්ම කතිකාවත ගෙනහැර පෑවේ ජනාධිපතිවරයාය. තැනින් තැන ඒ ගැන කී කතා අදටත් ඇසෙන්නේය. බන්ධනාගාරවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මහා පරිමාණ අපරාධකරුවන්ට පළමුව මරණ දඬුවම ලබාදිය යුතු බවට ජනපති පුනපුනා කළ ප්‍රකාශ යථාර්ථයක් වන දිනයක් එනු ඇත. 

මත්ද්‍රව්‍ය චෝදනා මත මරණ දඬුවම ලබා ඇති සිරකරු නම් ලැයිස්තුව පිළියෙළ කළේ, අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ නියෝග මතය. වැලිකඩ හිරගෙදර එල්ලුම්ගහ පාමුලට වී සිටි මත්ද්‍රව්‍ය සඳහා මරණීය දණ්ඩනය නියමවූ 18 දෙනකුගේ නම් ලැයිස්තුවක් ඉතා රහසිගතව ජනාධිපතිවරයා වෙත යැවුණේ මේ අතර කිසිදු හාහූවක් නැතිවය. මෙම නාමලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත භාරදී තිබුණේ, 2018 ජූලි 13දාය. එම ලැයිස්තුවේ කාන්තාවක් හා පකිස්ථාන ජාතිකයෝ සිව්දෙනෙක්ද වූහ. එහි මුලින්ම සිටින කාන්තාව ශ්‍යාමලී පෙරේරාය. ඉන්පසු සී. ධර්මාකරන්, එන්.එච්.එම්. ඉස්තාර්, පී.ජී. බොලිසින්, එස්. පුණ්‍යමූර්නි, කේ.එන්. චමින්ද, ජී.ඒ. බූමි (පකිස්ථාන්), ඩබ්. කුමාර් (පකිස්ථාන්), ඩබ්ලිව්. විනයාගමූර්ති, එස්. මෂාර් (පකිස්ථාන්), එස්.ඒ. සුරේෂ් කුමාර්, සිවනේෂන් රාජා, එස්.කේ. ජයතිලක, රංග සම්පත් ෆොන්සේකා, එස්. මොහොම්මද් (පකිස්ථාන්), එන්.ඒ. සුමනසිරි, එස්. ගනේෂන්, වේලායුදන් මුරලිදරන් එම ලැයිස්තුවේය.

මේ වනවිටත් එල්ලුම්ගහේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර අවසන්ය. ඉකුත් දා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මොරගස්මුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් යන මහත්වරැන්ගේ උපදෙස් මත මරණීය දණ්ඩනයට ලක්ව එල්ලුම්ගහට නියමවී සිටින දෙදෙනකු වෙනුවෙන් ඇඳුම්, ආයිත්තම් හා උපකරණ සූදානම් කර තබන්නැයි නියෝග කර ඇත්තේද නිකමට නොවේ.

කෙසේවෙතත්, තව නොබෝ දිනකින් අලුගෝසු තනතුරට දෙදෙනකු පත්වනු ඇත. ඔවුන්ට මෙවර පැවරෙන රාජකාරිය හුදු සිහිනයක්ම නොවන්නේ යැයි සිතිය හැක්කේ, ඉකුත් දා අමාත්‍යාංශ ලේකම්වරයාගේත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේත් උපදෙස් සිහිපත් වන විටය. එදා අලුගෝසුවන් කිහිප දෙනකුම රාජකාරි අවසන් කළේ, එකදු හෝ මිනිසකු එල්ලා නොමරාය. එහෙත්, ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි කාටවත්ම කියන්නට බැරිය. අලුතින් බඳවාගන්නා අලුගෝසුවන් දෙදෙනාද, කෝකටත් සූදානම්ව සිටිය යුතු වන්නේද එබැවිනි. බෝනික්කන් දමා පෙන්වූ එල්ලුම්ගහේ අනුරුව සැබෑ එල්ලුම්ගහක රාජකාරිය බවට පත් නොවන්නේ යැයි කාට නම් කිව හැකිද 

 ජයන්ත සමරකෝන්