2019 ජුනි 15 වන සෙනසුරාදා

ලොක්කන්ට කුඩේ අැල්ලූ ලොක්කෝ..

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 132

හිටි අඩියේ කඩා වැටුණු කඩිප්පුලි වැස්සක් හේතුවෙන් අපේ ජනාධිපතිවරයා මාධ්‍ය අවධානය දැඩිව ඩැහැ ගත්තේය. එයිනුත් සමාජ මාධ්‍යජාල මුල් තැන ගත්තේය. රටේ තොටේ සිදුවන සියලුම අලකලංචි මෙන්ම කැබිනට් රහස්ද තමන් මාධ්‍ය මගින් දැනගත්තා යැයි කියන්නට පුරුදු වී සිටින එතුමා, මේ සිද්ධිය හේතුවෙන් මාධ්‍ය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. සමාජ මාධ්‍ය ජාලවලට මෙය හොඳ කටගැස්මක් සපයා තිබුණි. දෙවැනි වරටත් බහුතර බලයක් පෙන්වා ඉන්දියාවේ අගමැති පුටුවේ වාඩි වූ නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණ ගිය කෙටි සංචාරය මේ අපූරු කතාබහට මග පෑදුවේය.

හදිසියේ ඇද වැටුණු වැස්සෙන් ඉන්දීය ජනාධිපතිවරයාද ආවරණය කරන්නට ඔහුටත් එක්ක සමෝසමේ ලංකාවේ ජනාධිපතිවරයා කුඩයක් ඉහළ ගැනීම මේ සිද්ධියයි. සමහරුන්ට මේ නිසා මතකයට පැමිණ තිබුණේ පැරැණි කෝලම් ජනනාටකවල මුදලි සහ සේසත දරන්නා චරිත දෙකය. මෙබඳු උපහාසාත්මක කියුම් - ලියුම් මුහුණු පොත සරසද්දී තවත් අය කීවේ අපේ ජනාධිපතිවරයා හොඳහැටි කල් යල් බලා ගෝලීය ත්‍රස්තවාදී මුරුගසං වරුසාවෙන් රට බේරාගන්නට සිතා නිසි තැන නිසිකලට කුඩය ඉසිලූ බවය. ලොකු ලොක්කන්ට කුඩ සේසත් ඇල්ලීම, “දියුණුවේ රහසක්” ලෙස සැලකුවත් ලොකු ලොක්කන් සෙස්සන්ට කුඩ ඉහළීම නම් හුදී ජනයා හට පෙනෙන්නේ අමුතු හැඩයකටය. නමුත් දියුණු ලෝකයේ ලොකු ලොක්කෝද තමන්ටම පමණක් කුඩ ඉහළාගත් ආත්මාර්ථකාමීහු නොවෙති. ඔවුන්ද කල් යලා බලා තැනට සුදුසු ලෙස සිය සමානයන්ට මෙන්ම අසමානයන්ටද කුඩ ඉසිලූ අවස්ථා එමටය.

අමුතු කුඩ ඉහළීමක් ගැන මාධ්‍ය පුරා ලොකු ප්‍රසිද්ධියක් ලද තැනැත්තකු වූයේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ය. AP ඡායාරෑප ශිල්පී චාල්ස් ඩරාපාක් ලබාගත් මේ ඡායාරූපය 2004 දී ගත්තකි. ඇන්ඩෘ ගුවන් හමුදා කඳවුරට ආ ජෝර්ජ් බුෂ් ඉහලාගත් කුඩය එදා දිගඇරුනේ නොපිටටය. තමන්ට හුරුපුරුදු සුරතල් හිනාව පාමින් (බුෂ්) වැස්සේ තෙමෙමින්ම කුඩය දිගහැර ගන්නට එදා ලොකු උත්සාහයක යෙදුණි.

මෙබඳු කුඩ පැටලීමේ අලකංලචියකට මුහුණ දුන් තවත් තැනැත්තියක් වන්නේ රාජකීය පවුලේ මහරුජනගෙන් පසු රැජිනිය වන්නට සිතා සිටි කොර්න්වේල්හි ආදිපාදවරියද වන, චාල්ස් කුමරුගේ දෙවෙනි බිරිය කැමිලාය. විල්ට්ෂයරයේ ළමා මධ්‍යස්ථානයකට 2011 වසරේ ගොඩවැදුණු කැමිලාට හදිසි පොදවැස්සකට මුහුණ දෙන්නට සිදුවිය. ලහි ලහියේ තමන්ගේ කුඩය ඉහළාගන්නට ගිය ඈට සිදුවූයේ කුඩය තුළම සිරකාරියක වන්නටය. රාජකීය පවුලේ කුඩ ඉහළීම් මෙන්ම කුඩ පටලාගැනීම්ද බහුලය. ඩයනාට කලක් යන යන තැන කුඩ ඉසිලූ චාල්ස් සිය මව්රැජනට කුඩය ඉහළමින් යන දසුනද මාධ්‍යවල සුපුරුදු දසුනකි. නමුත් ඔහු කැමිලාට කුඩ ඉහළන්නේ කලාතුරකිනි. එයටත් හරියන්නට මෙන් චාල්ස්ගේ පුත්‍රයා විලියම් සිය පිය බිරියට කුඩය ඉහළන්නේ මහත් උනන්දුවෙනි. විලියම් සහ කේට් යුවල කෙන්සිංටන් මාලිගයේ පැවැති උත්සාවයකට ආවේ මහ වැසි මැදය. එදා කේට් ආරක්ෂා කරමින් විලියම් කුඩය උසුලා යන අයුරැ මාධ්‍යවල ඉහළ අවධානයක් දිනාගත් ප්‍රේමනීය දසුනක් විය.

මේ සියවසේ වඩාත් ප්‍රේමනීයම කුඩ ඉසිලීම අපට දක්නට ලැබුණේද රජ පවුලෙනි. ඒ අලුත් රාජකීය යුවලගේ සොඳුරු දසුනකි. එය හැරී කුමරු සහ මේගන් මර්කල් අතර සිදුවූවකි. ලෝකයම ඔවුන්ගේ ආදර කතාව ගැන උනන්දු වූයේ මුල් කාලයේ චාල්ස් - ඩයනා යුවල ගැන දැක්වූ උනන්දුවත් පරයමිනි. විවාහය සිදුව වැඩි කලක් යන්නට මත්තෙන් මේගන් කුමරිය රාජකීය දරුවකු පිළිසිඳගත් බව ලෝකයට ප්‍රකාශ කළාය. ඒ ප්‍රකාශය සිදුකළ සැනින්ම ඔවුන් දින 16ක ලෝක සවාරියක් ඇරැඹූහ. ඕස්ට්‍රේලියාව ෆීජි දූපත්, නවසීලන්තය සහ ටොංගා රටවලය. ඒ ගමනේ ඔවුන්ගේ එක් නැවතුමක් වූයේ (ඩුබෝ) නමැති ගම්මානයකි. මේ ගම්මානය ඒ වනවිට කාලයක් පුරා ඉඩෝරයෙන් බැටකමින් තිබූ තැනකි. මේගන් සහ විලියම් එහි පයගැසූ දා ඒ ගමට හිටිඅඩියේ අනෝරා වැස්සක් කඩාවැටුණි. හැරී කුමරු සිය කෙලිලොල් සිනාවෙන් යුතුව රැස්ව සිටි පිරිස අමතද්දී ඔහුගේ දයාබර බිරිය මෙගන් කුඩයක් ඉහළාගන ඔහු අසලින්ම සිටියේ ප්‍රේමනීය සිනාවකින් මුව සරසාගෙනය. මේ ඡායාරූපයද මාධ්‍යවල ඉහළ ප්‍රතිචාරයක් දිනාගත් එකකි. ලෝකයම ආදරයෙන් මුසපත් කළ දසුනකි.

අහම්බෙන් මෙන් අගමැති මෝදිට කුඩ ඇල්ලූ තවත් රාජ්‍ය නායක දෙපලක් ගැන ඡායාරූප වාර්තා තිබේ. වරෙක ඊශ්‍රායල අගමැති තෙතන්යාහු ඉන්දියාවට ආවේය. මහා පිළිගැනීමක් කළ මෝදි ඉන්දියාවේ සැරැසිලි යෙදූ සම්ප්‍රදායික කුඩයක්ද ඔහු අතට පිළිගැන්වීය. නෙතන්යාහු මේ කුඩය මෝදිටත් සමඟ ඉසිලුවේය. මාධ්‍යවලට එය රස දසුනක් විය. එබඳුම අලකලංචියක් චීන ජනාධිපති ඉන්දියාවට ආ අවස්ථාවේදීද සිදුවිය. එදාද මෝදි සම්ප්‍රදායික සැරුසිලි සහිත කුඩයක් ෂී ජින් පින්ග් අතට දුන් අතර ඔහු එය උසුලාගෙන ගියේ මෝදිද ආවරණය වන හැටියටය. ඉන්දියානු මාධ්‍ය සිය අගමැතිට චීන ජනපති කුඩ ඉහළන හැටි මහත් උජාරුවෙන් යුතුව වාර්තා කළහ.

රුසියානු ජනාධිපති පුටින් ප්‍රසිද්ධ නාහෙට නාහන දඩබ්බරයකු හැටියටය. පුටින් ඒ වගේම තද නීති කාරයෙකි. විනය හා නීතිය ඔහුගේ ජීවිතයයි. ඔහු සිය තදබල නීතිගරුකත්වය ආචාරශීලීත්වය ලෝකයටම දැක්වූ අවස්ථාවක් 2017දී වාර්තා විය. ඒ ජූනි 22 දිනට රුසියාවේ සමරන දෙවැනි ලෝක යුද සමයේ නාසි ආක්‍රමණය හේතුවෙන් මියගිය පිරිස සමරන දිනයයි. එදා යුද විරු සිහිවටනයට මල් තියා ගෞරව කරන්නට පුටින් එද්දී අනෝරා වැස්සක් කඩා හැලුණි. රුසියානු නායකයා මේ නා කපන වැස්සේ ජාතික ගීය වැයෙන තුරු නොසැලී සිටිමින් සැමට ආදර්ශයක් දුන්නේය. ඉන්පසු සිය ආවතේවකරුවෙක්ගෙන් කුඩයක් ගෙන ඉහළා ගත්තේය. ළඟින් උන් සිය අගමැතිවරයාවද කුඩය යටට ගත්තේය. ජනාධිපතිවරයෙක් අගමැතිවරයකුට කුඩ ඉසිලූ අපූරු අවස්ථාවක් වන එයද ජනමාධ්‍යවලට යස කටගැස්මක් සැපයූවකි.

අමෙරිකාවේ ජනාධිපතිවරුන් අතරින් එහි 45 වැනියා කල්ලෙකි. මේ කල්ලා ඔහුගේ අපූරු නිහතමානී චාම් ගතිගුණ පිරි කෙළිලොල් හැසිරීම නිසාම සුද්දකුටත් වැඩි ආකර්ෂණයක් දිනාගත් තැනැත්තෙකි. ඔහු බැරක් ඔබාමාය. ඔබාමා සැමවිටම සිය පවුලේ උදවිය ගැන දැඩි ආදරයක් අවධානයක් දක්වන “හොඳ සැමියෙක්” ලෙස ප්‍රකට වූවෙකි. ඔහු සැමවිටම සිය බිරියට අවශ්‍ය නිසි ගෞරවය දක්වන්නට අමතක නොකළ අයෙකි. තමන්ගේ බිරියට කුඩය ඉහළා යන ඔබාමාගේ සේයාරුව බහුලව මාධ්‍ය තුළ දක්නට ලැබෙන්නකි. වරෙක ඔහු මහ වැස්සේ තෙමෙමින් තමන්ගේ බිරියට කුඩය ඉහළා යන්නට සිය සහායකයා මෙහෙයවන ආකාරයද එක් කැපී පෙනෙන ඡායාරූපයක දිස්විය.

තවත් අවස්ථාවක සුද්දන්ගේ රටේ මේ “කළු ජනාධිපති තාත්තා” කුඩයක් ඉහළාගන සිටියේ සිය පවුලේ සියලු දෙනාම වැස්සේ ආරක්ෂා කර ගනිමින් එකට කැටිකර ගනිමිනි. එයද දැඩි අවධානය දිනාගත් අපූරු දසුනක් විය. මේ සියල්ල අතර ඔබාමාගේ මනුස්සකම නිහතමානී ගුණය සහ සමානාත්මතාව පෙන්වා දෙන අපූරු අවස්ථාවක්ද වෙයි. එදා ඔබාමා (එයාර් ෆෝස් - වන්) ගුවන් යානයෙන් ගොඩබසින විට මහ වැසි ඇදහැලෙමින් තිබුණි. කුඩයක් ඉහළාගත් ඔබාමා මුලින්ම යානයෙන් බැස එයි. ඉන්පසු ඔහු නැවතී සිටින්නේ තමන්ගේ ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ සේවිකාවන් දෙදෙනකු එනතුරුය. එකම කුඩය යටින් මේ දෙදෙනාද ආරක්ෂා කරගනිමින් ඔබාමා ධවල මන්දිරය කරා පියනගනා වීඩියෝවත්, ඡායාරූපයත් ලෝකය පුරා මහත් ප්‍රසාදයක් හිමිකර ගත්තේය.

ඔබාමා සමග සසඳන විට වත්මන් ජනාධිපති ට්‍රම්ප්ට හිමිවන්නේ පරාජයකි. ඔහු තමන්ගේ කුඩය තමන්ටම ඉහළාගෙන උජාරුවෙන් ගමන් කරන්නේ සිය සහෝදර සේවක සේවිකාවන් පමණක් නොව සිය බිරිය මෙලනියාවද නොතකමිනි. හැබැයි මේ කමකට නැති හැසිරීම පෙන්වන සේයාරුවද සමාජ ජාල තුළ වැඩියෙන්ම හුවමාරු වූ එකකි.

ජනාධිපති බිල් ක්ලින්ටන් හට කලාතුරකින් ලැබෙන අගනා අවස්ථාවක් වරෙක උදාවිය. ඔහු දෙවරක් නොසිතාම ඒ අවස්ථාව ඩැහැ ගත්තේය. ඒ ඔහුට දෙවැනි ජෝන් පෝල් පාප්තුමන් මුණගැසුණු අවස්ථාවකි. හදිසියේ ඇද වැටෙන පොද වැස්සෙන් පාප්තුමන් ආවරණය කරගනිමින් ක්ලින්ටන් කුඩය ඉහළා සිටි අයුරුද කාගේත් සිත් දිනූ දසුනකි.

ජර්මනියේ චාන්සලර් පදවියට පත් පළමු කාන්තාව ඇන්ජලා මර්කල්ය. ඇය ප්‍රසිද්ධ වඩාත් සරල ගති පැවතුම් සහිත සාමාන්‍ය ගෘහනියක් සේ හැසිරෙන ප්‍රියමනාප තැනැත්තියක් ලෙසටය. ඒ රාජකාරියේදී නොව සාමාන්‍ය ජීවිතයේදීය. ඇය වරෙක කුඩා දරුවෙක් කරපින්නාගත් කාන්තාවක් ආවරණය කරමින් මහවැස්සේ කුඩයක් ඔසොවා සිටින ඡායාරූපයක් 2017 වසරේ පළවිය. ජර්මනියේ කලා කෞතුකාගාරයක චිත්‍ර දැක්මක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවක මේ අපූරු දසුන ඇක්සල් හෙයිට්කන් නමැති ඡායාරූප ශිල්පියාගේ කැමරාවට හසුව තිබුණි.

කුඩ පිළිබඳ ලෝකයේ වැඩිම ප්‍රසිද්ධියක් උසුලන්නේ මහ රැජනයි. වෛවාරන්න කුඩ ඇගේ විලාසිතාවේම අංගයකි. ඈ සතුව මහා කුඩ එකතුවක්ද වෙයි. මහරුජන තමන්ටම කියා කුඩය උසුලා ගන්නේ පුරැද්දක් හැටියටය. සිය සැමියා හෝ චාර්ල්ස් කුමරු තමන්ට කුඩය උසුලා සිටීම ඈ අනුදත් නමුත් බොහෝවිට වෙනත් සේවක සේවිකාවන් ඒ සඳහා යොදාගන්නට ඈ කැමැති නැත.

ලෝකයේ වැඩිම කාලයක් බලයේ සිටින ජීවමාන රැජනට කුඩ ඉහළීම අතිමහත් ගෞරවයට හේතුවකි. එය කලාතුරකින් ලැබෙන අනගි අවස්ථාවකි. නමුත් එබඳු මහේශාක්‍යත්වයක් දරන රැජනට කියා තමන්ට කුඩයක් උසුලාගන්නට ලැබෙන්නේ එහෙමත් කෙනෙකුටය. ඒ දුර්ලභ අවස්ථාව බලෙන්ම උදාකරගත් කෙලිලොල් දඩබ්බරයකු ගැන වාර්තාවක්ද තිබේ. ඒ වෙන කිසිවෙක් නොව අපේ රටේ අගමැති ධුරයද දැරූ අගමැති පොරයකටද ලක්වූ හිතූ දේ කරන ගෝරනාඩුකාරයකු හැටියට ප්‍රසිද්ධ වූ සර් ජෝන් කොතලාවලය.

රැජනගේ ලංකාගමනය සිදුවූ එක් අවස්ථාවක ඇගේ පරිවාරක ඇමැති ලෙස කටයුතු කළේ සර් ජෝන්ය. මේ සංචාරයේදී රැජන සීගිරිය මතටද ගියාය. සීගිරිය නගිද්දී තද අව් රශ්මියෙන් ඇය ආවරණය කරමින් කුඩය අල්ලා උන්නේ සර් ජෝන්ය. නමුත් එක් අවස්ථාවකදී කුඩා ගල්කුලක් නැගීමට ගිය රැජනගේ පය පැකිලී ගිය අතර ඒ කඳුගැටයට ගොඩවීම සඳහා රැජනට අත දෙන්නට සර් ජෝන් ඉදිරිපත් විය. ඒ නිකම්ම නොවේ. ඔහු පළමුව සිය අතරැඳි කුඩය මහත් ගෞරවණීය ලෙස රැජන අතට දුන්නේය. දෙවැනුව රැජනට සිය අත අල්ලාගන්නට දුන්නේය. සර් ජෝන්ගේ හැටි හරිහැටි නොදත් රැජනද ඔහුටත් සමඟ කුඩය ඉහළාගන  සර් ජෝන්ගේ අත අල්ලාගන කඳුගැටය නගින්නට වූවාය. සර් ජෝන් මහ හඬින් තමන් පසුපස එන මාධ්‍යවේදීන්ට අණ දුන්නේ “ගහපියව්!... ගහපියව්!!” කියමිනි. ඒ රැජන තමන්ට කුඩය ඉහළාගෙන යන දුර්ලභ අවස්ථාව ඡායාරූපයට නගන්නට යැයි ඔහුට හුරුපුරුදු භාෂාවෙන් මාධ්‍යවේදීන්ට කී අයුරුය. කුඩ ඉහළීමේ ඉතිහාසයේ මේ සිද්ධිය තාමත් සදය උපහාසයද නොමඳව මතු කරමින් රසවත් මතකයක් ඉතිරි කර තිබේ.

 සුගත් පී. කුලතුංගආරච්චි