2019 ජුනි 15 වන සෙනසුරාදා

අසිරිමත් තන්තිරිමලේ

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 391

ලංකාදීප පොසොන් ආලෝක පූජාව මෙවර 16 වැනි වරටත් විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වේ. විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියන්ගේ මඟපෙන්වීම මත 2004 වසරේ පොහොය නිමිති කොටගෙන තෙදිනක් පුරා තන්තිරිමලේ පුදබිම විදුලි එළියෙන් ඒකාලෝක කළ ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ මුල් වරට පැවැත්වීණි.  එදා සිට අද දක්වා නොකඩවා මෙම පිංකම සිදුවේ. 

“තන්තිරිමලේට නුදුරින් ගලාගෙන යන මල්වතු ඔය පුරාණයේ බෞද්ධ ශිෂ්ටාචාරයකට මුල් පදනම දැමූ බවට සාධක ඒ අවට කරන ලද පුරාවිද්‍යා අධ්‍යයන කිහිපයකින් හෙළි වුණා. කොංගායන්කුලම කරපු කැණීම් හා සමීක්ෂණවලින් අනුරාධපුර යුගයේ විහාරාරාම සංකීර්ණයක් පැවැති බව තහවුරු වුණා. ශිලාලේඛන ආදිය මෙහි දක්නට ලැබෙනවා. ළගදී ඕට්ටුවෙල්ලිය කරපු කැණීම්වලදී කදම්බ නදී (මල්වතු ඔය) මහානාගතොට කියන පැරණි නම සහිත ස්ථානයක් හමු වුණා. උළු සහ ගඩොල් කම්හලක භාණ්ඩාගාරික වශයෙන් සිටි මහානාග නමැත්තකු තොටුපොළක් සාදා දී තිබෙනවා. ඒ කාලේ මන්නාරමට මෙහි සිට උළු සහ ගඩොල් මල්වතු ඔය දිගේ ප්‍රවාහනය කළ බව පෙනෙනවා.”

අප සමඟ එලෙස අදහස් දැක්වූයේ තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියෝ වෙති.

“විහාරයේ නවීන සංවර්ධන වැඩසටහනක් ලෙස ප්‍රාකාරය සහ අලංකාර වාහල්කඩක් ද ඉදිකර තිබේ. වාහල්කඩ ඉදිකර තිබෙන්නේ තන්තිරිමලේට සම්බන්ධ චරිතවල ප්‍රතිමා නිර්මාණය කරමින්. විජය රජු, සාලිය අශෝකමාලා ප්‍රතිමා එහි ඉදිකර තිබෙනවා. ඒ වගේම මගේ මැදිහත්වීම මත පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීමටත් මූලික කටයුතු රජය විසින් මේ වනවිටත් නිමාකර තිබෙනවා. මේ ඉදිවූ පසු උතුරුමැද පළාතේ විශාලම ජලාශය වේවි. තන්තිරිමලේ අනුරාධුපර දිස්ත්‍රික් මායිමේ විහාරයට තරමක් නුදුරින් තමයි මෙහි වේල්ල ඉදිකරන්නේ.” උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 366, තන්තිරිමලේ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසය රටම හඳුනන්නේ එහි පර්වත ආශ්‍රිතව පිහිටි රජමහා විහාරය නිසාය. දෙමටමල්ගම, නෙළුම්විල, සදමල්එළිය, තුප්පිටියාව, නවෝදාගම, මහා ඇහැටුවැව, ඔයාමඩුව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස විහාරය වටා ව්‍යාප්තව පවතී. රිටිගල කන්දේ සිට අරම්භ වන මල්වතු ඔය කනදරා ඔය හමුවන තෙක් උතුරු දිසාගතව පැමිණ එහි සිට ක්‍රමයෙන් වයඹ දෙසට හැරීම නිසා නිර්මාණය වී ඇති වංගු සහිත තැනිතලා නිම්නයේ පිහිටි මෙම ඓතිහාසික බිම්කඩට උතුරින් ගලා බසී. තන්තිරිමලේ විහාරයට එපිටින් පැතිර යන වනය විල්පත්තුව හා බද්ධ වෙයි.

1960 දශකයේ දී වනාන්තරගතව තිබී ඇති මෙම පූජාභූමිය ආශ්‍රිත ප්‍රදේශයේ නැවත ජනාවාස ඇතිකොට විනාශ වී ගිය වැව් 81ක් පිළිසකර කරවීමට මූලික වී ඇත්තේ මෙම පුදබිමේ විහාරාධිපතිව වැඩවිසූ ‘කෝන්ගස්කඩ විමලඥාන’ හිමියන්ය. මෙසේ ජනතාව පදිංචි කරවූ සෑම ගමක්ම තන්තිරිමලේ විහාරයේ දායක ගම්ය. වනගත පුරාවිද්‍යා උරුමයක් වූ තන්තිරිමලේ එළිපෙහෙළි කරවා වර්තමාන දියුණුවට මඟ සැලසුවේ උන්වහන්සේ බව අදටත් වැඩිහිටියෝ ගෞරවයෙන් සිහිපත් කරති.  එවක අඩි පාරක්ව පැවැති පුදබිමේ ප්‍රවේශ මාර්ගය අද මනා සේ කාපට් අතුරා සංවර්ධනය කොට ඇත. අද දහස් ගණනින් වන්දනාකරුවන් පැමිණෙන පුදබිමක් බවට එය පත්ව තිබේ.

අනුරාධපුරයේ සිට කිලෝමීටර 43ක් දුරින් විහාරය පිහිටා තිබේ. අනුරාධපුරයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මේ පුදබිම උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔයෙන්ද බටහිරින් විල්පත්තු වනෝද්‍යානයට යාබද වනයෙන්ද දකුණින් මහවිලච්චිය ගොවි ජනපදයට දිවෙන මාර්ගයෙන්ද සීමා වී තිබේ.

විහාරය වටා පිහිටි ගම්මාන සමහරක නම් අමුතු ඇයිදැයි ඔබට සිතෙන්නට ඇත. ඒවා විහාරාධිපතිව වැඩවිසූ කුඩා කෝන්ගස්කඩ විමලඥාන හිමියන්ගේ සංවිධායකත්වයෙන් ජනතාව පදිංචි කරවා පිහිටවූ ගම්මානය. කුඩාකෝන්ගස්කඩ විමලඥාන හිමියන්ගෙන් ඇරඹුණු තන්තිරිමලේ පූජාභූමි ප්‍රබෝධය නිසාම 2007 පොසොන් මාසයේදී පූජා නගරයක් ලෙස නම් කෙරිණ. වත්මන් විහාරාධිපති වශයෙන් වැඩ සිටින්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ තන්තිරිමලේ චන්දරතන හිමියෝ වෙති.

එදා විමලඥාන හාමුදුරුවන් පිහිටවූ ගම්මානවල ජනතාව මේ වනවිට පරම්පරා දෙක තුනක් පසුකර සිටිති. එදා ඉදිකළ ගෙවල් අද තව තවත් වැඩිවෙලාය. ඒ අතර පසුගිය කොටි කලබල පැවති දශක තුනක කාලයේ ජීවිතය රුකගැනීමට විශාල අවදානමක් දැරීමටද ඔවුන්ට සිදුවිය. තන්තිරිමලේ පුරාවිද්‍යා රක්ෂිතය අක්කර 121ක් විශාලය. එය වනාන්තර හා ගල් පර්වත, ගිරි ගුහා ආශ්‍රිතව පැතිරි සොඳුරු ප්‍රදේශයකි. එය වැඳපුදා ගැනීමට යන කවරකුගේ වුව සිත දැහැන්ගත කරන වටපිටාවක් සොබාදහමෙන්ම හිමිවී ඇත. 13 වැනි සියවස වන තෙක් කාසාය වස්ත්‍රයෙන් බැබලෙමින් තිබූ තන්තිරිමලේ රජරට අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමඟ වනගත විය. එදා භික්ෂූන් වහන්සේ බවුන් වැඩූ බිම වනසතුන්ට අයිති විය.

ඊටපසු මෑත අතීතයේදී මේ පුදබිම පිළිබඳව මුලින්ම වාර්තා කරන්නේ 1883 දී මන්නාරමේ රජයේ සහකාර ඒජන්ත එස්. හෆ්ටන් නම් ඉංග්‍රීසි ජාතිකයා විසිනි. ඔහුගේ දිනපොතේ 1883 ජූලි 15 දින සඳහනේ “පහත කැලයෙන් ගෙනෙන ලද පස් මත රෝපණය කරන ලද බෝ ගසක් සහිත දාගැබක් පර්වතයේ උසම ස්ථානයේ ඇත” යනුවෙන් ලියා තිබේ. අද වනවිට මේ ස්ථානය දාගැබේ නටබුන් වෙනුවට බෝධිඝරයක් ලෙස හඳුන්වා තිබේ.  එහි බෝධීය ද විශාල ගසක් බවට පත්ව ඇත. ඊටපසු එච්.සී.පී. බෙල්, හෙන්රි පාකර් සහ ජෝන් ස්ටිල් වැනි පර්යේෂකයන්ද මහවන මැද පිහිටි තන්තිරිමලේට පැමිණ දුෂ්කරතා මැද මේ ස්ථානය ගවේෂණය කර තිබේ. එම ගවේෂණවල ප්‍රතිඵල සහිතව ජෝන් ස්ටිල්  විසින් 1910 දීද, ඒ.එම්. හෝකාට් 1929 දීද රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සඟරාවට ලිපි සපයා තිබේ. 

ජෝන් ස්ටිල් 1909 දී සතියක් මෙහි ලෙනක නැවතී සිට වනාන්තරයේ නටබුන් ගවේෂණය කර ඇත.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ඓතිහාසික යුගය දක්වා දිවෙන මතක සටහන් සහිත තන්තිරිමලේ සොඳුරු බිම්කඩකි. මේ ආශ්‍රිතව පුරාණ ගොඩනැගිලි 12ක නටබුන් හමුවී තිබේ. මේ ඓතිහාසිකත්වය වර්තමානයට මතුකර දීමට විමලඥාන හිමියන් 1960 දශකයේ දී කැපවූහ. උන්වහන්සේ විනාශ වී ගිය වැව් 81ක් පිළිසකර කරවූහ. එම කර්තව්‍ය ඉදිරියට කරගෙන යාමට වත්මන් විහාරාධිපති හිමියෝ ද පොරමුණ ගෙන සිටිති.

ජනප්‍රවාදවලට අනුව විජය කුමරු සමඟ පැමිණි පිරිසේ සිටි උපතිස්ස කුමරු පදිංචි වූ උපතිස්සග්‍රාමය තන්තිරිමලේය. 

දෙවන පෑතිස් සමයේ තිවක්ක බමුණා විසූ තිවක්ක බමුණුගම මෙය බවට තවත් මතයක් වුවද එහි සත්‍යතාවයක් නැති බව මහාචාර්ය ටි.ජී. කුලතුංග සඳහන් කරයි. ශ්‍රී මහා බෝධිය දඹකොළ පටුනේ සිට වැඩමවාගෙන එනවිට මෙහි දිනක් තැන්පත් කර තැබූ බවද පැවසේ. දෙතිස්ඵලරුහ බෝධි ශාඛාවක් ද මෙහි රෝපණය කර ඇති බව මූලාශ්‍රවල සඳහන්ය. මේ ප්‍රදේශය බුදුදහම ලැබුණු කාලයේ සිටම බෞද්ධ ජනතාවකට වාසභූමිය වූ බව එම ආසන්න සමයට අයත් සෙල්ලිපිවලින් පැහැදිලි වේ. තන්තිරිමලේ ලෙන්වලින් හමුවන ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපිවල නාගා උපාසිකාව, ස්වාමි සුමන, පිණ්ඩපාතික තිස්ස තෙරුන් වැනි නම් සඳහන්ය.

දෙවැනි සේන (ක්‍රි.ව. 853-887) රාජ්‍ය සමයට අයත් ටැම් ලිපියක්ද මින් හමුවී තිබේ. ඉහළ බිලිවැවෙහි මත්ස්‍ය බද්ද අවුරුදු පතා කිසියම් ආයතනයකට ලබාදිය යුතු බවත්, එය කඩකරන අය මතු ආත්මවලදී බලු කපුටන් වී උපදින බවත් ටැම් ලිපියේ දැක්වේ.

මැටියෙන් කළ පහන් කණු, ප්‍රතිමා කොටස්, මුරගල්, යන්ත්‍ර ගල්, කරඬු ඇතුළු අවටින් හමුවූ පුරාවස්තු රැසක් තන්තිරිමලේ පුරාවිද්‍යා කෞතුකාගාරයේදී දැකගත හැකිය.

නෙළුම් පොකුණුවලින් සුසැදි අලංකාර වටපිටාව පර්වත මත පිහිටි බුද්ධ ප්‍රතිමා නිසා තවත් ඔපවත් වෙයි. තන්තිරිමලේ පර්වතයක ආබද්ධ ප්‍රතිමාවක් සේ නෙළූ හිඳි බුදු පිළිමය මෙරට ප්‍රතිමා කලාවේ වැදගත් ස්ථානයක් ගනී. අනුරාධපුර යුගයට අයත් මෙම බුදු පිළිමය පොළොන්නරු ගල් විහාරයේ විජ්ජාධර ගුහා හිඳි බුද්ධ ප්‍රතිමාවට සමානය. මේ ප්‍රතිමා මහායානික බෞද්ධයන් වූ තාන්ත්‍රිකයන් නෙළන ලද බව පුරාවිද්‍යාඥයෝ පවසති. හිඳි බුද්ධ ප්‍රතිමාව උසින් අඩි 7 අඟල් 6කි. ගල් පර්වතය ඇතුළට හාරා නිර්මාණය කර තිබේ. ප්‍රතිමාව වටාම යන සේ තොරණකි. බුදුහු පර්යාංකාසන ක්‍රමයට වම්පස නවා තිරස් අතට ආසනය මත තබා දකුණු පය නවා ඒ මත වම් අත තබාගෙන සිටිති. ධ්‍යාන මුද්‍රාවෙන් යුත් පිළිමය සමාධි ගුණය පෙන්නුම් කරයි. ක්‍රි.ව. 10 වැනි සියවසේ අගභාගයට අයත් මෙම ප්‍රතිමාව දෙපස ගලෙහි අඩක් නෙළූ කුඩා ප්‍රමාණයේ බුදු පිළිම හතරක්ද පිහිටා ඇත.

ගල් පර්වතයක නෙළූ තන්තිරිමලේ සැතපෙන බුද්ධ ප්‍රතිමාව දිගින් අඩි 45කි. මේ ප්‍රතිමාවද ලංකාවේ අනෙක් තැන්වල දක්නට ලැබෙන සැතපෙන බුදු පිළිමවලට බෙහෙවින්ම සමාන වන නමුදු එය හොඳින් නිමකරන ලද්දක් නොවේ. ප්‍රතිමාව නෙළා ඇති ආසනය පොළොව මට්ටමට බොහෝ ආසන්නයෙන් පිහිටා තිබේ. මුල් කාලයේදී ඊට පිළිමගෙයක්ද වූ බවට සාධක සහිතය. (ලක්දිව බුද්ධ ප්‍රතිමාව, මාලිංග අමරසිංහ 116 පිට) තන්තිරිමලෙන් හමුවූ ටෙරාකොටා නිර්මාණ කිහිපයකින්ද පෙනී යන්නේ අටවැනි නවවැනි දහවැනි සියවස්වලදී තන්ත්‍රයානය එහි පැතිරී තිබූ බවක් යැයි මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර පවසයි. (ශ්‍රී ලාංකේය ඉතිහාස තරංග, 249 පිට)

පධානඝර භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා බවුන් වැඩූ ගොඩනැගිලි විශේෂයකි. අරන්කැලේ, රිටිගල, මානාකන්ද, රජගල වැනි පුරාණ වනගත ආරණ්‍ය රාශියකින් පධානඝර නටබුන් හමුවේ. තන්තිරිමලේ පර්වතය මත පිහිටි පධානඝරයෙන් පැහැදිලි වන්නේ මෙය මුල් කාලයේ අරණ්‍යවාසී විහාරයක් වූ බවය.

ප්‍රධාන පර්වතයට එපිටින් වනය තුළ ටික දුරක් යනවිට ලෙන් දෙකක් හමුවේ. ඒවායේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිත්තම් රුසකි. සූර්ය වන්දනාව පිළිබඳව මුල්වරට සාක්ෂි ලැබෙන්නේ තන්තිරිමලේ ප්‍රාග් ඓතිහාසික චිත්‍රවලින් බව ඩී.බී. නන්දදේව සඳහන් කර ඇත. මෙයින් හමුවූ එක් සටහනක් සූර්යයාගේ බව සැලකේ. හිරු අසලම මානව රෑප තුනකි. මිනිස් රූප, පක්ෂීන්, දුන්න අනිත් ගත් මානව රූපද එහි නිරෑපිතය.
නව දාගැබ

1960 වර්ෂයේ විහාරස්ථානය නැවත සොයාගෙන දියුණු කිරීමේ දී එහි වන්දනාව සඳහා දාගැබක් නොමැති වීම විශාල අඩුපාඩුවක් විය. විහාරයේ නායක ස්වාමින් වහන්සේ වූ විමලඥාන හිමියන් මේ පිළිබඳව කොළඹ කොටුව ප්‍රදේශයේ පදිංචි ජේ.පී. ප්‍රේමදාස මහතාට සහ එම මැතිනියට දැනුම් දීමෙන් අනතුරුව එම දෙපළ විසින් මුලින්ම විහාරස්ථානයට ඝණ්ඨාර කුලුනක් ද පසුව 1976 වර්ෂයේ දී දාගැබ ද කරවන ලදී. පර්වතට මත බුබ්බුලාකාර හැඩයෙන් නිමවා ඇති මෙම දාගැබ තන්තිරිමලේ පින්බිමට ගෙන එන්නේ අපූරු අලංකාරයකි. විදුලි ආලෝක පූජාවේ දී දාගැබ ද සම්පූර්ණයෙන් විදුලි බුබුලුවලින් අලංකාර කෙරේ.

පුරාවිද්‍යා කැණීම්

මෑතකදී විහාරය අවට කොන්ගරායන්කුලම (ඇහැළවැව) ප්‍රදේශයේ කළ කැණීම් නිසා වටිනා පුරාවිද්‍යාත්මත සාධක රැසක්ද මතු විය. මෙම කැණීම් කටයුතු අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය හදාරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතින් සිදුකෙරුණි. එම කටයුත්තේ නිරත වූ එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය භාර කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමියන් ඒ ගැන මෙසේ සඳහන් කළහ.  

“මල්වතු ඔය ආශ්‍රිතව ආදී කාලයේ පටන් ජනාවාස තිබූ බවට තොරතුරැ තිබෙනවා. අපි මේ ස්ථානය කැණීම් කටයුතු සඳහා තෝරාගනු ලැබුවේ මෙය මෙතෙක් අවධානයට යොමු නොවූ පෞරාණික අතින් වැදගත් ස්ථානයක් නිසයි. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ක්ෂේත්‍රය දියුණු කිරීමත් අරමුණු කරගෙනයි මේ කැණීම් සිදු කළේ.  

භාතිකාභය මහරජතුමාත් මෙම ස්ථානයට පරිත්‍යාගයක් සිදුකළ බවට වැදගත් ශිලා ලේඛනයක් මෙහි තිබෙනවා. ඊට අමතරව තවත් ශිලා ලේඛන හතක් පමණ අපට සොයාගැනීමට හැකි වුණා මේ ස්ථානයෙන්. මේ කැණීමේදී ප්‍රාග් ඓතිහාසික සාධක බොහෝ ප්‍රමාණයක් ලැබුණා. මල්වතු ඔය දකුණු ඉවුරෙහි මේ වගේ පර්යේෂණයක් මීට පෙර සිදුකළ බවක් වාර්තා වෙන්නේ නැහැ.”

► කුසුම්සිරි විජයවර්ධන