2019 ජුනි 15 වන සෙනසුරාදා

සංචාරක ව්‍යාපාර තවම කොට උඩ

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 116

සංචාරක හෝටල් සහ කතෝලික පල්ලි ඉලක්ක කරගනිමින් එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති හතක් ගතව තිබියදී මෙරට තුළ සංචාරක කර්මාන්ත සහ ඊට සම්බන්ධ සෙසු ව්‍යාපාර දිගින් දිගටම ගැටලුවලට මුහුණ දෙමින් සිටින බව ඊට සම්බන්ධ සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.

සංචාරක සමාගම් සඳහා වාහන කුලියට ලබාදෙන ප්‍රවාහන සැපයුම්කරුවකු වන චමින්ද ගමගේ පවසන්නේ තමන් මෙම ව්‍යාපාරයේ යෙදී සිටි විසි වසරක කාලය තුළ මෙලෙස කුලී ගමන් ඇණහිටියේ ප්‍රථම වතාවට බවයි.

“අපේ අවසාන හයර් එක වුණේ අප්‍රේල් විසිහතරවෙනිදා. එතැන් පටන් මේ දක්වා එකම හයර් එකක්වත් ලැබුණේ නැහැ..” ඔහු පවසයි..

“අපිට කාර් දෙකක්.. වෑන් දෙකක් සහ කුඩා බස් රියක් තියෙනවා. ඒ සෑම වාහනයක්ම මාසයකට කිලෝමීටර් 3500-4000 අතර ගමන් වාර යෙදෙනවා. ඒ ප්‍රමාණය අපේ බිස්නස් එකේ සියලු දේ හොඳින් කරගෙන යාමට ප්‍රමාණවත්..” යැයි ගමගේ කියයි.

චමින්ද ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ තමන්ගේ වාහන විකුණා ගැනීම පවා අද අභියෝගයක් වී ඇති බවය. සංචාරක ව්‍යාපාරය නැති තැන වාහන විකුණා ගැනීම කළ නොහැකි දෙයක් බවද ඔහු පවසයි. ඔහු කළකිරීමෙන් ප්‍රකාශ කරන්නේ ඇතැම් මූල්‍ය ආයතන පවා තමන්ට උපකාර නොවන බවය.

“ඇතැම් ආයතන ණය ලබාදෙනවා.. නමුත් අනෙකුත් ආයතන ඒවාට අකමැතියි..”

සංචාරක මඟ පෙන්වන්නෝද ප්‍රශ්න රැසකට මුහුණ දී සිටිති. ජාතික සංචාරක මඟ පෙන්වන දේශකයන්ගේ ලේකම් සුමේධ චන්ද්‍රසේනගේ තක්සේරුවට අනුව 95” කින් අමුත්තන්ගේ පැමිණීම පහළ බැස තිබේ.

චන්ද්‍රසේන මහතා පවසන පරිදි අගෝස්තු මාසය සඳහා කාමර වෙන්කරවා ගැනීම් 50% පමණ අවලංගු කර තිබේ. දෙසැම්බර් වෙන්කර ගැනීම තවමත් ස්ථිර කර නැත.

සංචාරක අධිකාරිය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය මනා සංවිධානයකින් යුතුව ක්‍රියාත්මක වීම අවශ්‍ය බවද චන්ද්‍රසේන මහතා කියයි. සංචාරක මාර්ගෝපදේශකයන් මුහුණ දෙන ගැටලු අතර නීති විරෝධී බලපත්‍ර රහිත විදෙස් මඟපෙන්වන්නන් සංචාරක කණ්ඩායම්වලට සහභාගී වීමද වෙයි.

“ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගයිඩ්වරුන් සඳහා තවමත් අවම වැටුපක් හෝ රක්ෂණ ක්‍රමයක් සකස් කරදී නැහැ. එසේම වීසා නැතිව පැමිණෙන විදේශීකයන්ද ව්‍යාපාරික ලියාපදිංචි කිරීම්, සංචාරක කර්මාන්තවලට සම්බන්ධ ව්‍යාපාර යෙදෙනවා.” ඔහු කියයි.

රජය මේ සම්බන්ධව කිසිදු පියවරක් නොගන්නා බවත් මේ නිසා විදෙස් විනිමය රටින් පිටතට ගලාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
වෘත්තීමය සංචාරක මඟ පෙන්වන්නන් බරපතළ මූල්‍ය දුෂ්කරතාවලින් පෙළෙන බවත් තමන්ගේ ණය සහ ලීසිං පහසුකම් සඳහා ගෙවීම් කිරීමට ඔවුන් දැඩි අරගලයක යෙදෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මින්නේරිය සහ කවුඩුල්ල ජාතික උද්‍යානයේ සෆාරි සංචාර මෙහෙයුම්කාර සමාගමක කළමණාකරුවකු වන අශෝක ධර්මරත්න මහතා පැවසුවේ තමන්ගේ කුලී රථ ගමන් පහළ වැටී ඇති බවය. “හැම දිනකම සංචාරක හයර් පහක් හයක් විතර අපිට ලැබුණා. අප්‍රේල් ප්‍රහාරයෙන් පසුව අපිට ලැබුණේ විදෙස් හයර් හතරක් පමණයි. ජුලි සහ අගෝස්තු මාස සඳහා වෙන්කරවා ගැනීම් කිහිපයක් හැර අනෙක් සියල්ලම අවලංගු කර තියෙනවා. මේ මාසයේ සාමාන්‍යයෙන් වැඩිපුර අමුත්තන් එන කාලයක්.” යැයි අශෝක ධර්මරත්න පවසයි.

මීට අමතරව ඔහු පවසන්නේ තමන් යටතේ සේවය කරන කිහිපදෙනකු වෙනත් රැකියා කරමින් ආදායම් සොයා ගැනීමට වෙහෙසෙන බවය.
“කොතරම් අමාරු වුණත් ඔවුන් අපි සමඟ රැඳී ඉන්නවා. මාසික වැටුපක් අපි ගෙව්වත් ආදායම් රැඳී තිබෙන්නේ සංචාරවලින් ලැබෙන සන්තෝසම් මුදල් සහ කොමිස් ලැබීම්වලින්.. නමුත් දැන් මේ ඇතැමුන් ක්ෂේත්‍ර රැකියාව යොමුවී සිටිනවා. අවශ්‍ය තරම් දෛනික ආදායමක් නොලැබීම ඊට හේතුවයි.” ධර්මරත්න පවසයි.

එළඹෙන සංචාරක සමය පිළිබඳ තමන්ට බලාපොරොත්තු තැබිය නොහැකි බවත් ටික දෙනකු හෝ පැමිණෙනවා නම් ඔවුන් ආපසු ගොස් ශ්‍රී ලංකාව සංචාරය සඳහා දැන් ආරක්ෂිත බවට පණිවුඩය ගෙන යනු ඇති. බවත් ධර්මරත්න පවසයි.

හැකි සෑම ආකාරයකට සංචාරකයන් ගෙන්වීම ප්‍රවර්ධන කිරීමට කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කරයි.

කොරල්පර බෝට්ටු ටිකට් අලෙවි මධ්‍යස්ථානයේ කමිටු සාමාජිකයෙක් වුණ එම්.ජී. ගුණරත්න ප්‍රකාශ කරනුයේ තම ව්‍යාපාර කටයුතු ඇණහිටීම සහ එම ක්ෂේත්‍රයේ රැඳී සිටිනා පිරිස පහළ බැස තිබෙනා බවයි. 90% පමණ එම ව්‍යාපාර පහළබැස ඇතිබවත් ඇතැම් විට කුලී රථ ගමන් ලැබෙන්නේම නැති බවත් ඔහු වැඩිදුරටත් කියයි.

සීගිරියේ “ගෙස්ට් හවුස්” අයිතිකරුවකු වන ඒ.ආර්. ගුණතිලක පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මේ දක්වා තමන්ගේ කාමර වෙන්කර ගැනීමක් සිදුනොවූ බවය.

“අපිට කිසිම ආදායමක් නැහැ. ආණ්ඩුව එක් එක් දේවල් කියමින් සිටිනවා. නමුත් කිසිවක් වෙන්නේ නැහැ. අපිට කිසිම ආදායමක් හෝ වෙනත් කිසිම උපකාරයක් ලැබුණේ නැහැ.” 

ඒ.ආර්. ගුණතිලක පවසයි.

ත්‍රිකුණාමලයේ කිමිදුම් සංචාරක සමාගමක මාණ්ඩලික උපදේශකවරයෙකු වන සාශා ප්‍රනාන්දු ද පළකළේ එවැනිම අදහසකි.

“අපි දැන් ඉන්නේ සීසන් එකේ හොඳම කාලයේයි. නමුත් බිස්නස් බැනලා. සාමාන්‍යයෙන් බිස්නස් 10%ක් වගේ තමයි දැන් ලැබෙන්නේ.” ඔහු පවසයි.

බෙන්තොට අත්කම් සාප්පු හිමිකරුවකු වන ගාමිණි පෙරේරා පවසන්නේ වසර හතළිහක කාලයක් තුළ සංචාරක ව්‍යාපාරයක යෙදී සිටි තමන් දැන් සිදුවෙමින් පවතින දේ පිළිබඳ කණගාටුවට පත්ව සිටිනා බවයි.

“Sunday Times” පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරෙනි
► දිශානි ජයමාලි කරුණරත්න

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00