2019 ජුනි 15 වන සෙනසුරාදා

අගමැති මෝදි දහැන්ගත කළ දැවමුවා සමාධි ප්‍රතිමාව

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 253

බුදුන් උපන් දේශය නමින් අප හඳුන්වන භාරතයේ මහ පුටුව හොබවන අගමැති නරේන්ද්‍ර දමෝදර්දාස් මෝදි උපතින් හින්දු භක්තිකයෙකි. ඔහු අද කවර ඇදහිල්ලක සිටියත් ආසියාවේ උරුමය පිරිසිඳ දත් නායකයෙක් ලෙස මැදහත් ප්‍රතිපදාව ගුරු කොටගෙන සිටී. භාරතය පුරා විසිරී පැතිරී ඇති සිය ගණනක් ආගමික දර්ශනවලටත් භාරතය නිජබිම කරගත් ශාස්තෘන්ටත් ඔහුගේ ගෞරවය අප්‍රමාණය. එයිනුත් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරේ අචල භක්තිය සපිරි භාරතීය නායකයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ අපේ ජනාධිපතිවරයා විසින් ඉන්දීය නායකයාට අගනා සමාධි බුද්ධ ප්‍රතිමාවක් තිළිණ කළේ හරසර පෙරටුවය.

විශේෂයෙන්ම මෝදි අගමැතිවරයා බෞද්ධ දර්ශනයේ ගැඹුර වටහාගත් නායකයෙකි. භාරතයේ ජන්මලාභය ලද ශ්‍රේෂ්ඨම ශාස්තෘන් වහන්සේ බුදුන් යැයි කියන්නට තරම් ඔහු මැදහත්ය. තාර්කිකය. ආගමට වඩා දර්ශනය කෙරේ ලැදි හෙතෙම සමාධි බුද්ධ ප්‍රතිමාව ධ්‍යාන මුද්‍රාවෙන් ඉදිකර ඇත්දැයි අපේ ජනපතිගෙන් විමසන්නට තරම් හරබර දැනුමින් පොහොසතෙකි.

අගමැති මෝදිට පෙර සිටි භාරතීය නායකයන් රැසක් වශී කළ සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිරියේ දැහැන්ගත වූ ප්‍රථම භාරතීය අගමැතිවරයා ශ්‍රී ජවහල්ලාල් නේරුය. 1951 සහ 1957 වසරවල මෙරටට පැමිණි චාරිකාවලදී ශ්‍රී නේරු මහමෙව්නාවට ගොස් සමාධි බුද්ධ ප්‍රතිමාව අභිමුව තමන් නිරාමිස සුවය ලද බව ප්‍රකාශ කළේය. ආසියාවේ ආලෝකය බුදුසමය ලෙස පිළිගත් ශ්‍රී නේරු මෙන්ම ප්‍රථම ඉන්දීය ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද්, ඔහුගේ අනුප්‍රාප්තික ජනපති ශ්‍රී සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් පමණක් නොව කලකට පෙර කොළඹ මහ කොමසාරිස් පදවි දරා පසුව භාරත ජනාධිපති වූ වී.වී. ගිරි මැතිඳුන්ද සමාධි ප්‍රතිමාව හමුවේ සමාධිගත වූ බව අපි අසා ඇත්තෙමු. ශ්‍රී නේරු දියණිය ඉන්දිරා ගාන්ධි මහත්මිය භාරතීය අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ ප්‍රථම කාන්තාවය. දිල්ලියේ ජන්පත් වීදියේ පිහිටි ගාන්ධි මැතිනිය ඇතුළු දූ දරුවන් විසූ සම්ප්‍රදායික ගාන්ධි නිවෙසේ පුස්තකාලයේ අග්‍රගණ්‍ය බුද්ධ ප්‍රතිමාවක් බුහුමන් පිණිස තබා ඇත. මෙරටින් ගිය දේශපාලන හා ආගමික නායකයන්ට ගාන්ධි මැතිනිය ඒ අගනා ප්‍රතිමාව පෙන්වන්නටද අමතක කළේ නැත. එතුමියගෙන් පසු අගමැති පදවියට පත්වූයේ රජීව් ගාන්ධි මහතාය. ඔහුගේ එකම දියණිය වන ප්‍රියංකා උපතින් හින්දු වුවද පසුව බුදුදහම වැළඳ ගත්තාය.

නේරු ගාන්ධිවරුන් පමණක් නොවේ, 1977 දී ඉන්දිරා ගාන්ධි මැතිනිය පරාජය කොට බලයට පත් ශ්‍රී මොරාජි දේශායි අගමැතිද බෞද්ධ දර්ශනය මැනැවින් හැදෑරූ විද්වතකු ලෙස පිළිගැනුණි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ඇරයුමින් ශ්‍රී ලංකාවට පැමිණි මොරාජි දේශායි අගමැතිවරයා තමන්ට අනුරාධපුරය මහමෙව්නා උයනට ගොස් සමාධි ප්‍රතිමාව නරඹන්නට අවශ්‍ය බව විශේෂයෙන් දන්වා තිබිණි. එදා සමාධි පිළිමය නරඹන්නට පැමිණි මොරාජි දේශායි අගමැතිවරයා මේ අගනා ශෛලමය නිර්මාණය හමුවේ හැඟුම්බරව දැහැන්ගත වූ අවස්ථාව මෙරට මාධ්‍ය වාර්තා කළේ ‘ශ්‍රී දේශායි වසඟ කළ සමාධි ප්‍රතිමාව’ යනුවෙන් ශීර්ෂපාඨ සහිතවය.

එම රාජ්‍ය නායක පරපුරේ වත්මන් උරුමක්කාරයා වන ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මෙවර නිල ගමන සිහිවන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලද දැවමුවා සමාධි පිළිමය සැදැහැ සිතින් පිළිගත් මෝදි තමන්ගේ කාලසටහනේ නිල කටයුතු විනාඩි 10කට කල්දමා ඒ කාලය කැප කළේ සමාධි ප්‍රතිමාව පිළිබඳ තතු විත්ති විමසන්නටය. එය සෑදුවේ කවර දැවයෙන් දැයි අගමැති මෝදි විමසූ විට ඒ ගැන විස්තර කළේ ජනපති කාර්යාලයේ විදේශ කටයුතු අධ්‍යක්ෂිකා ක්‍රිෂාන්ති වීරකෝන් මහත්මිය විසිනි. “අගමැතිතුමනි, මෙම ප්‍රතිමාව සකස් කර ඇත්තේ සුදු තේක්ක දැවයෙන්..” ලේකම්වරිය පැවසුවාය. “සුදු තේක්ක.. ඒ දැවය මේ රටේ වැඩිපුර වගා කරන්නේ මොන පළාත්වලද?” යන්න ඉන්දීය නායකයාගේ ඊළඟ ප්‍රශ්නය විය. ඊට පිළිතුරු දීමෙන් පසු ප්‍රතිමාව නිර්මාණය කළ වීරසිංහ නමැති 75 වියැති කලා ශිල්පියාට ප්‍රතිමාව නිර්මාණයට වසර දෙකක් ගතවූ බවද සඳහන් කෙරිණි. අවසාන වශයෙන් ඉන්දීය නායකයා විමසා සිටියේ ප්‍රතිමාව කොටස් කිහිපයකින් යුක්තද කියායි. පාදම හා තවත් එක් කොටසකින් පමණක් ප්‍රතිමාව සම්පූර්ණ වන බව අදාළ නිලධාරීහු විස්තර කළහ. මෙම විස්තරයෙන් පසු මනරම් මංජුසාවක තැන්පත් කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාව මෝදි අගමැතිඳුන්ට තිළිණ කෙරිණි.

තනිකරම අතින් නිර්මාණය කරන ලද මෙම අගනා ප්‍රතිමාවේ සියලු ඉරියව් සම්මත සම්ප්‍රදාය ගුරුකොට නිමවා තිබේ. දැවමුවා ප්‍රතිමාවක අන්තර්ගත ශාන්තභාවය එය නිමැවූ සුදු තේක්ක දැවය විසින් වඩාත් ප්‍රභාමත් තත්ත්වයට පත්කර ඇත. මෙහි වටිනාකමද නිර්මාණාත්මක ප්‍රශස්තභාවය විසින් ඉහළම මට්ටමකට ඔසවා තැබීය. එහෙත් එහි භෞතික වටිනාකමට වඩා කැපීපෙනෙන්නේ භාරතය සහ ශ්‍රී ලංකාව අතර චිරාත් කාලයක පටන් පවත්නා සංවේදී සබඳතාවක නිර්මල හැඟීම් සමුදායයි.

► රන්ජිත් ආනන්ද ජයසිංහ