2019 ජුනි 08 වන සෙනසුරාදා

සතුරෙකු වූ මිතුරාගෙන් මැරුම් කෑ කළු අජිත්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 305

පාතාලය නැවත නැවතත් වැඩ පටන්ගෙන ඇත. රටේ ආරක්ෂාව මත එහෙන් මෙහෙන් හැංගි හැංගි හිටියාට ඔවුන් අවස්ථාවට අනුව එළියට බැස අවශ්‍ය ගොදුර නියම වෙලාවට ගැනීම සිදුකරයි. පුදුමය නම් අඩියක් ගානේ ආරක්ෂක වළලු ඇති මොහොතක පවා සිය ගොදුර ගන්නට දෙපාරක් නොසිතීමය. මේ කියන්නට යන්නේ දෙනෝදාහත් ආරක්ෂක වළලු මැද ඝාතනය කළ පත්තඬුවන ක්‍රිෂාන්ත අජිත් කුමාර නොහොත් කළු අජිත් ගැනය.

කළු අජිත් යනු මෙරට පාතාලයේ ලොකු පුරැකක් විය. ඔහු ගම්පහ පාතාලයේ ප්‍රබලයකු වූ දූනගහ සුජී නැමැත්තාගේ ගෝලයා විය. මේ වනවිට සුජී එළියට පැමිණ සිටින අතර තැන තැන සැඟවමින් සිටින්නේ ප්‍රතිවිරුද්ධ පාතාලයෙන් බේරීමේ අරමුණෙනි.
කෙසේ වෙතත් කළු අජිත් දූනගහ සුජීගේ සමීපයේ සිටින සමයේදී ඝාතන දෙකක් සිදුකර තිබුණේය. ඒ දිවුලපිටියේ රනිල් සහ මිනුවන්ගොඩ සිසිර විජේනායක යන දෙදෙනාය. ඉන්පසුව තැන තැන යමින් කොල්ලකෑම් සිදුකළ අජිත් බන්ධනාගාර ගතවෙන්නේ මේ අතර කාලයේය. එහිදී ඔහුට අලුත් මිතුරන් රැසක් හමුවන අතර ඒ අතර වත්තල හේකිත්ත ප්‍රදේශයේදී සිගරැට් වෑන් රථයක් කොල්ලකා කෝටි හතක් මංකොල්ල කෑමේ සිද්ධියේ සැකකරුවකු වන වේයන්ගොඩ චාමරද සිටියේය. චාමර ඒ වනවිට සම්බන්ධ වී සිටියේ ගම්පහ පාතාලයේ ප්‍රබලයකු වූ මාකිලංගමුවේ සංජීව සමඟය. සංජීව ඒ වනවිටත් කොළඹ පාතාලයේ ප්‍රබලයන් වූ බ්ලූමැන්ඩල් සංඛ සහ ආමි සම්පත් සමඟ එක්ව දෙමටගොඩ චමින්ද ගමන් ගත් බන්ධනාගාර බස්‍ රථයට වෙඩි තබා බන්ධනාගාර ගත වී සිටියේය.

සංජීව යනු එකට සිටියත් බොක්ක වෙනස් එකකු යැයි පාතාලයේ නම් පට බැඳී ඇත. ඒ ඔහුට මිතුරන් පවා විශ්වාස නැති නිසාය. කළු අජිත්, සංජීවත් දකුණේ පාතාලයේ කොස්ගොඩ තාරකත්, වේයන්ගොඩ චාමරත් සමඟ සමීපව සිටි උදම්මිට සමරේ ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාරගත්තේය. එම කොන්ත්‍රාත්තුව ආවේ සමරේගේ හොඳම මිතුරා වූ වේයන්ගොඩ චාමර හරහාය. චාමර සමඟ ඇති කරගත් මුදල් ආරවුලක් නිසා අවසානයේ චාමර සංජීවට කියා පසුව සංජීව එම කොන්ත්‍රාත්තුව කළු අජිත්ට ලබාදී සමරේව ඝාතනය කළේය. ඒ 2016 දෙසැම්බර් 24 වැනි දින වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළය.

එම ඝාතනයෙන් පසුව අජිත් පැනගත් අතර චාමර සමරේගේ මළගෙදර ගොස් දුක ප්‍රකාශ කර පැමිණියේය. මේ අතර සංජීව තවත් මෙහෙයුමක් සූදානම් කළේය. ඒ ගම්පහ කප්පම් ගැනීම්, කුඩු විකිණීම් වලට ඉඩක් ලබා නොදෙන ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතා ඝාතනය කිරීමටය. ඒ සඳහා සංජීව අජිත්ට ලබාදීමට පොරොන්දු වූ මුදල ලක්ෂ දහයට වඩා වැඩිය. අජිත් ඒ වැඩේද බාරගත්තේය.

අවසානයේ අජිත් දවසින් දවස ඔත්තු බලමින් ඔස්මන් ගුණසේකර පසුපස පැන්නුවේය. ඒ අනුව 2017 අප්‍රේල් 8 වැනිදා ගම්පහ කිරිඳිවිට වල්පොල පාරේදී ඔස්මන්ට අජිත් වෙඩි තැබුවේය. ඒද ටී 56 ගිනි අවියකිනි. එහෙත් එදින වාසනාවට ඔස්මන්ගේ ජීවිතය බේරැණ අතර ඔහුගේ ඥාති පුතෙක් තුවාල ලැබීය. එම ප්‍රහාරයෙන් පසුව අජිත් පැනයන අතර එහෙත් මාසයක් වැනි කාලයක් අතර තුර අජිත් පොලිස් අත්අඩංගුවට පත්විය.

එසේ අජිත් පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව බන්ධනාගාර ගතවුණු අතර නැවත මාස කිහිපයකට පසුව එන්නේ සංජීව සමඟ නයි වෛරයෙනි. ඒ බන්ධනාගාරය තුළදී අජිත්ට ඇප ලබාගැනීම සඳහා සංජීවගෙන් සල්ලි ඉල්ලා සිටියත් නොලැබීම නිසාය. ඒ මුදල් ඔස්මන්ගේ වැඩේ සිදුකළාට ඔහුට ලබාදෙන බවට පොරොන්දු වූ මුදලය. මේ ගැන ඇසූ සැණින් සංජීවට තරහා ගොස් අජිත්ට බැන වැදුණේය. ඒ ඔස්මන් ඝාතනය කරන්නට බැරි වුණ නිසාය. මේ නිසා දෙදෙනා අතර වාග් සංවාදයක් ගොස් අවසානයේ දෙදෙනා අවි අමෝරා ගන්න තැනට පැමිණියහ. සංජීවගේ වැඩ සියල්ල එළියට දමන බව ඔහු තර්ජනය කළේය. මේ නිසා සංජීව බය විය. අවසානයේ සංජිව අජිත්ට ගේම දෙන්න ප්ලෑන් කළේය. ඒ සඳහා සංජීව තවත් ගෝලයකු යොදාගත්තේය. ඒ අමුණුගොඩ සංජීවය. කොල්ල කෑම්, ඝාතන රුසකට සම්බන්ධ අමුණුගොඩ සංජීව ඉන්පසුව අජිත් පසුපස පැන්නුවේය.

එසේ පන්නන සංජීව 2018 සැප්තැම්බර් ඔක්තෝබර් දවසක ජා-ඇළත් කඳානත් අතර ප්‍රදේශයකදී අජිත් ගමන් කළ වාහනය යැයි සිතා වෙඩි තැබුවේය. එම වෙඩි තැබීමෙන් අවසානයේ අජිත් නොව දරුවකු සමඟ මෝටර් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් මිය ගියේය. ඒ සංජීවගේ වරදින්ය. එහෙත් අවසානයේ අමුණුගොඩ සංජීව පොලීසියට, කොටුවූ අතර සංජිව රුගෙන එන අතරතුර ගඟට පැන පැනයන්නට ගොස් දියේ ගිලී මියගියේය.

එම සිද්ධියෙන් පසුව එහෙට මෙහෙට පනිමින් සැඟවී සිටි අජිත් අවසානයේ කොටුවන්නේ පසුගිය බදාදා රාත්‍රියේය. එදින ඔහු මිතුරකු සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී නාඳුනන යතුරැපැදිකරැවෙක් පැමිණ අජිත්ට වෙඩි තැබුවේය. එහිදී අජිත් මිය ගියේය.

කෙසේ වෙතත් මෙම ඝාතනය කවුරැ කළේද යන්න තවමත් තහවුරු නැත. එහෙත් අජිත් පසුපස පන්නා ආවේ වෙනින් කවුරුත් නොව සංජිවලාය. සංජීව තවමත් ඉන්නේ බන්ධනාගාරයේය. එහෙත් චාමර පරළොවය. ඔහු මාතර රත්තරන් භාණ්ඩ වෙළඳසලක් කොල්ලකන්නට ගොස් පොලීසියට කොටුවී පසුව පොලීසියෙන් පැනයන්නට ගොස් වෙඩිකෑවේය. කෙසේ වෙතත් සංජීවට ඇති එකම ප්‍රශ්නය වූයේ අජිත්ය. ඒ සංජීව සිදුකළ අපරාධ රුසක සාක්කිකරැ අජිත් වීම හේතුවෙනි. ඒ නිසා අජිත් අනාගතයේ ප්‍රශ්නයක් විය හැකි නිසා සංජීව ඉස්සර වුණාද විය හැක. එය පොලීසිය පවා සැකකරන දෙයකි.

කෙසේ වෙතත් අවි ගත්තෝ අවියෙන් නැසුණා මිසක් ස්වභාවිකව මිය ගියේ නැත. අද අජිත්ට සිදුවී ඇත්තේද එයමය. එසේ නම් සංජීව වැනි අයටද මේ ඉරණම අත්වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

 ගයාන් ගාල්ලගේ