2019 ජුනි 08 වන සෙනසුරාදා

රතන හිමිගේ උපවාසයේ දේශපාලන කියැවීම

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

අතන මෙතන වැඩි අතුරලියේ රතන හිමියෝ මහනුවර මහ මළුවේදී සටනට  බට සේක. එය වූ කලී ලාංකීය දේශපාලනයේ සලකුණක් තැබූ උපවාසයකි. පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ උපවාස සටනට කතා‍වේ දේශපාලන විග්‍රහයක් මුසුකළෙමු. මේ උපවාසයේ ඇරඹුමේ සිට අවසානය දක්වා වන දේශපාලන කියවීමයි.

රතන හිමියන් උපවාසය දක්වා ගමන් ගන්නේ දේශපාලන සිදුවීම් කිහිපයක ඇවෑමෙනි. විශ්වාසභංග යෝජනාවේ පෙරමුණ ගත්තේ රතන හිමියෝය. එහෙත් එය ප්‍රතිඵල නොදැරුවේ විශේෂ කාරක සභාව සහ විවාදයට දින ලබා ගැනීම් සම්බන්ධ ගැටලුව නිසාය. මේ අතරේ මාර්තු 22 වැනිදා ශාසනාරක්ෂක බලමණ්ඩල ලේකම් හිමිවරු පිරිසක් ජනාධිපතිවරයාට ලිපියක් භාරදුන්හ. එහි අන්තර්ගත වූයේ අසාද් සාලි, හිස්බුල්ලා, බදියුදීන් තනතුරුවලින් ඉවත් කළ යුතුය යන්නය. රතන හිමියෝ මෙම ඉල්ලීම් සම්බන්ධවද පෙරමුණගෙන සිටියෝය. කෙසේ නමුත් මාර්තු 29 වැනිදා වනවිටත් මෙම ලිපියට ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි. බදාදා (29) රතන හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූහ. එහිදී රතන හිමියන් පැවසුවේ බ්‍රහස්පතින්දා (30) වැනිදා සවස් වනවිට මෙයට එරෙහිව ගත හැකි ඉහළම පියවර ගන්නා බවයි. නමුත් තිස්වැනිදා කිසිත් සිදු නොවීය. බොහෝදෙනා එම ඉහළම පියවර කුමක්වේදැයි නොදැන සිටියහ. කා තුළත් වූයේ කුතුහලයකි. මේ අතර තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සිකුරාදාට කල් දැමූ බව අසන්නට ලැබුණේය. එදිනට නියමිත මාධ්‍ය සාකච්ඡාවද අහෝසි විය. එහෙත් රාජගිරිය සදහම් සෙවණේ සිකුරාදා තීරණය පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡාවක් පැවතියේය.

රටට රහසක් වූ රතන හිමියන්ගේ තීරණය සිකුරාදා (31) වනවිට දේශපාලන ධාරාවේ ප්‍රබලයන් කිහිප දෙනෙක් නියමයෙන් හා අනියමින් දැන ගත්හ. මෙදින උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඩම කළ රතන හිමියෝ දළදා සමිඳු වැඳපුදා ගත්හ. මාලිගයෙන් පිටතට පැමිණි හිමියෝ මාලිගයේ බෞද්ධ ධජය ඔසවන ස්ථානයේ බිම වාඩිවූහ. දින හතරක් පුරා දිවගිය මෙම කතාන්දරයේ ආරම්භය සටහන් වූයේ එලෙසිනි. මේ අවස්ථාවේ දී අතුරලියේ රතන හිමි මාධ්‍ය ඇමතූහ. ජීවිත පරිත්‍යාගයෙන් තමන් මේ සටන කරන බව උන්වහන්සේ පැවසූහ. රට ජාතියට ඇති අනතුර පැහැදිලි කළහ. පාලකයන් විවේචනය කළ අතර තවත් බොහෝ දේ කියවුණි. ගිහි පැවිදි පිරිස් උන්වහන්සේට නමස්කාර කළහ. උපවාස කතාවේ පළමු පිටුව පෙරළුණේය. දැන් අප මෙතෙක් සිදුවූ සියල්ලේ දේශපාලන සංදර්භය කියවා ගත යුතුය.

රතන හිමියන්ගේ ආණ්ඩු විරෝධය මෑතකාලීනව කිහිප විටකදී ප්‍රදර්ශනය වූවකි. එහෙත් එය මුළුමනින්ම තේරුම් ගත නොහැකි වූයේ ඇතැම් තැනකදී ආණ්ඩුව ආරක්ෂා කිරීමට රතන හිමි පෙනී සිටීම හෙයිනි. රතන හිමියන්ගේ දේශපාලන ලැදියාව කුමක්දැයි තේරුම් ගත නොහැකි තැන දේශපාලකයෝ සිය පැවැත්ම වෙනුවෙන් උපවාසයේ වාසි අවාසි කිරා මැන බැලීමට පළමු දිනය වෙන්කර ගෙන තිබිණි. ආසන්නතම මාරාන්තික උපවාසයේ තරම දන්නා මහජනයාද මේ සම්බන්ධව බැලුවේ සැකයකිනි. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී තලු මැරීමට කතාවක් හමුවූයෙන් මාධ්‍යයේ ඇල්ම බැල්ම රතන හිමියන් වෙත යොමුවූයේය. වර්තමාන පාලකයන් බිහිකිරීමට උරදුන් නිසා රතන හිමියන් කෙරෙහි පිරිසක් අමනාපව සිටියහ. උන්වහන්සේ බිහිකළ පාලකයන් යම් යම් අවස්ථාවල පිටුපෑ නිසා තවත් පිරිසක් අමනාප වූහ. කෙසේ වෙතත් අමනාපය මනාප වීමට උපවාසය හේතු විය හැකි බව රතන හිමියන් දැන සිටියා විය යුතුය.

සෙනසුරාදා (01) දිනය උදාවූයේ  රතන හිමියන්ගේ උපවාසයේ දෙවැනි දිනය ලෙසය. විටින් විට පැමිණ වෛද්‍යවරු හිමියන්ව පරීක්ෂා කළහ. සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට පෙරළෙමින් තිබෙන බවට පුවත් පළවිය. එහෙත් හිමියන් මේ වනවිටත් ජලය පානය කිරීම මුළුමනින්ම අතහැර නොතිබිණි. දෙවැනි දිනයේදී රතන හිමියන්ගේ උපවාසය වටා බොහෝ කඳවුරු නිර්මාණය වන බවට ලකුණු පහළ වූයේය. රතන හිමිගේ උපවාසයට කිහිපදෙනෙක් එක්වී සිටියහ. එදින සිදුවූ සුවිශේෂී සිදුවීම් අතර ප්‍රමුඛත්වය ලැබුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ පසුව ඒකාබද්ධයට එක්වුණු විලෙයාන්ද්‍රන් මහතා මඩකලපුව ගාන්ධි උද්‍යානය අසල උපවාසයක් ආරම්භ කිරීමයි. එය රතන හිමියන්ට සහාය පළකිරීමක් වූ අතර දකුණට තරමක් අමුතු විය. එහෙත් කිසිවෙක් එය විචාරයේ යෙදෙන්නට ගියේ නැත. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයන් රතන හිමියන් හමුවන්නට වැළ නොකැඩී එන්නට පටන් ගත්තේ සෙනසුරාදාය.

රතන හිමියන්ට සහය පළකිරීමෙන් ලැබෙන දේශපාලන වාසි විග්‍රහකරගත් දේශපාලකයෝ මෙලෙස හිමියන් බැලීමට පැමිණියහ. එමෙන්ම තිරය පිටුපස කතාව දැනසිටි දේශපාලකයෝ ස්ථානෝචිතව සිය කටයුතු මෙහෙවූහ. රතන හිමියන්ගේ අරමුණ කුමක් වුවත් දේශපාලකයන්ට ඇතිවෙමින් පවතින තත්ත්වය සිය අරමුණ මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් භාවිත කරමින් සිටි බව පෙනිණි. ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම ජනපතිගේ කාර්යයක් බවට එක් පසෙකින් සඳහන් විය. තමා ජනාධිපති සමඟ මේ ගැන කතාකරන බවට සමහරු පාරම් බෑහ. රතන හිමිගේ උපවාසයේ හොර ඇල්ලීමට දෙවැනි දිනය වනවිට පිරිසක් ලකලෑස්ති වූහ. හොර අල්ලන්න අදහස් කළ අයද දෙපැත්ත තුන් පැත්තේම සිටියහ. හිමියන් කෙරෙහි අලුත උපන් සෙනෙහසකින් කටයුතු කරන්නෝද එසේය. තවදුරටත් මාධ්‍ය මගින් උපවාසය ජනගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ පිරිස් ඉරිදා දිනය වෙනුවෙන් පිඹුරුපත් සැකසූහ.

උපවාසයේ තෙවැනි දිනය හෙවත් ඉරුදිනයේදී (2) සිදුවීම් රැසක් සිදුවූයේය. භාවනායෝගී ඉරියව්වෙන් සිටි රතන හිමියෝ වි‍ශේෂ මණ්ඩපයක සැතපී උපවාස කරන්නට වූහ. දිගින් දිගටම යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හරහා රතන හිමියන්ගේ පාර්ශ්වය ශක්තිමත් වෙමින් පැවතුණි. තවදුරටත් මඟ හැරයාම සිදුකළ නොහැකි දේශපාලන කඩයිමක් බවට මෙම උපවාසය පත්විය.

බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද රතන හිමියන් බැහැදැකීමට පැමිණියහ. ප්‍රකට අප්‍රකට හික්ෂූන් වහන්සේ රැසක්ද මෙහි වැඩම කළහ. විජේදාස රාජපක්ෂ, එස්.බී. දිසානායක, දිලුම් අමුණුගම, වාසුදේව නානායක්කාර, වසන්ත සේනායක, දුමින්ද දිසානායක වැනි බොහෝ දෙනා මේ වනවිට මෙහි ඇවිත් ගොස් තිබිණි. ඇතැමකුට රැස්ව සිටි පිරිසගෙන් විරෝධයද එල්ල විය. එහෙත් සියල්ලෝම රතන හිමි පාර්ශ්වික වූහ. මහනුවර නගරයද උණුසුම් වෙමින් පැවතිණි. දහස් ගණන් ජනයා හිමි බලන්නට පැමිණියහ. කිතුනුවෝද පැමිණියෝය. රටේ තවත් ස්ථානවල පෞද්ගලික බස් වැඩ වරන්නට වූයේ රතන හිමියන්ට සහාය දෙන බව පවසමිනි. කඩ සාප්පු වැසී ගියේය. තවත් නගරවල උපවාස ආරම්භ විය. සමස්ත ලංකා හින්දු මහා සම්මේලනයේ සභාපති නාරායන සාමිද උපවාසකරුවන් අතරට එක්විය. මේ සියල්ල අතරේ ඉරිදා හිස්බුල්ලා ජනපති හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවට කතාවක් පැතිර ගියේය.

මෙහි දේශපාලනික විග්‍රහය සරලය. න්‍යාය කල දුටු කළ වළ ඉහ ගැනීමයි. පැමිණි ඇතමකුට විරෝධය පළවන විට පවා ඔවුන් ඉවසා වදාරන්නේ දේශපාලන අවස්ථා ලාබය පිණිසය. අගමැති ප්‍රමුඛ ආණ්ඩුව රතන හිමියන් කර ඇරයන්නේ ජනපති විරෝධය තීව්‍ර කරනු පිණිසය. මේ දිනවල සියලු පව් ජනපති පිටින් දැමීමේ අලුත් න්‍යාය ඊට හේතුවයි. ජනපති බලා සිටින්නේ හිස්බුල්ලා සහ සාලිගේ සහය තනිවී සිටින තමන්ට මහමෙරක් වන නිසාය. ඒකාබද්ධය හඬ නගන්නේ සියල්ලේ දේශපාලන වාසිය තමාගේ කර ගැනීමේ රිසියෙනි. ජනතා විමුක්ති පෙරමුණ නිද්‍රාශීලි වන්නේද යමක් කියන්නට ගොස් අනා ගැනීමට අකමැති නිසාය. මඩකලපුවේ උපවාසය පැතිමාරැවේ වස්දොස් යනු පිණිසය. සියල්ල එසේ නමුදු මේ හැමගේ කිල්ලෝටවල අවංකකමද ටික ටික ඇති බව නොකියා සිටීමට නොහැකිය. 

අවසානයේ තීරණාත්මක සඳුදා දිනය උදාවිය. පාඨලී චම්පික, ශිරන්ති රාජපක්ෂ මෙන්ම කාදිනල්තුමාද පැමිණියේ මෙදින පෙරවරුවේය. මංගල සමරවීර ට්විටර් පණිවුඩයක් දැමුවේ කාදිනල්තුමාගේ පැමිණීම විවේචනය කරමිනි. කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇතැමුන් මේ වනවිටත් සීමා මායිම් සහිතව යම් පමණකට උපවාසය විවේචන කර තිබිණි. ඥානසාර හිමියන් ආණ්ඩුවට දහවල් 12 වනතුරු කල් දුන්නේ තීරණයක් ගැනීමටය. නැතිනම් රටම සැණකෙළියක් කරන බව ඒ හිමියෝ පැවසූහ. සියල්ලෝම කැළඹීමට ලක් වී සිටියහ. උද්ඝෝෂණ විරෝධය වර්ජන හර්තාල් හතර අතින් මතුවූයේය. එක පසෙකින් කාදිනල් හිමියන්ගේ පැමිණීම විශාල ශක්තියක් වී තිබිණි. මහනුවර නගරයේ සිදුවූ කතාව අප මෙහි වෙනම දක්වා ඇත. කාලය සෙමින් ගෙවුණි. මාධ්‍යහ්න දොළහ පසුවිය. ඥානසාර හිමි කොළඹ බලා පා ගමනක් ඇරඹූහ. ඒකාබද්ධයේ පිරිස් කොළඹ උද්ඝෝෂණ කරන්නට විය. බොහෝ දෙනා නගර විරෝධතා වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටියහ. වැහිබර මධ්‍යහ්නය ගිනියම් වී ගියේය.

සිදුවෙමින් පවතින සියල්ල අතරේ අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකයා මතුවෙනු ඇතැයි කනින් කොනින් ආරංචි පැතිර ගියේය. රතන හිමියන් ඒ වෙනුවෙන් දේශපාලන කොන්ත්‍රාත්තුවක් කරමින් සිටින බවද කියවිණි. එහෙත් දේශපාලනය පිළිබඳ හොඳ හැටි දත් නායකයෝ ඉදිරිපාදයේ කටයුතු කිරීමට හදිස්සි නොවූහ. පසු පාදයේ සිට ස්ථානගතකිරීම් කළහ. මේ අතරේ සිංහල ජාතික මතවාදයේ එල්බ සිටින පිරිස් රතන හිමියන්ගේ කර මතින් තම තමන්ගේ පීඩනය පිටකර ගැනීමට සූදානමින් සිටියහ.

රතන හිමියන්ගේ ඉල්ලීම ඉටුකළ යුතු තැනට සියල්ල සංවිධානය වී තිබිණි. වර්තමාන පාලකයන් පුරුද්දක් ලෙස කරන අන්තිම මොහොතේ ප්‍රශ්න විසඳීමට සිතීමේ කාර්යය ජනපති සිදුකළේය. සඳුදා දෙකේ කනිසම පසු වනවිට අසාත් සාලි සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය තනතුරු වලින් ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනගන්නට ලැබුණේය.

ඔවුන් තනතුරුවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාතේ ආණ්ඩුකාර, නීතිඥ මෛත්‍රී ගුණරත්න උපවාසය සිදුකළ ස්ථානයට පැමිණ රතන හිමියන් දැනුවත් කළේ ජනපති නියෝජිතයකු ලෙසය. මෙහිදී නිල නිවේදනයක් හිමියෝ ඉල්ලා සිටියෝය. ජනාධිපතිවරයා අමතා මෛත්‍රී ගුණරත්න මහතා අවශ්‍ය ෆැක්ස් පණිවිඩයක් ලෙසින් අදාළ නිවේදනය ගෙන්වාගෙන රතන හිමියන්ට භාරදීමත් සමඟ උපවාසය නිමාවූයේය. බදියුදීන් ඉවත් කිරීම අගමැතිගේ වැඩක් විය. වෛද්‍ය සාෆිගේ පරීක්ෂණ ගැන සාකච්ඡා නියම වූයේය. ඥානසාර හිමියන්ගේ පා ගමන ගැටඹේදී නතර විය. අතුරලියේ රතන හිමියෝ රෝහල් ගත කරනු ලැබූහ. රටද ක්‍රමයෙන් සංසුන් වූයේය.

කෙසේ වෙතත් උපවාසයෙන් ඇතිවූ සමාජ දේශපාලන බලපෑම තවදුරටත් අවසන් නැත. එදින පස්වරුවේ මුස්ලිම් ඇමතිවරැන් ඉල්ලා අස්වීම, රතන හිමියන්ගේ ක්‍රියාව ඥානසාර හිමියන් විසින් පසුව විවේචන කිරීම, ආදිය විශ්මය දනවන පුවත් වූයේය. එහෙත් දේශපාලනයේදී සියල්ලන්ටම තමන්ගේ න්‍යාය පත්‍ර ඇති බව අවබෝධ කරගත යුතුය. සිදුවූ සියල්ලේ සහ අද සිදුවෙමින් පවතින සියල්ලේ යථාර්ථය දැකීමට අපට බැරි නැත.

ඊට අවශ්‍ය දේශපාලනයේ ස්වභාවය පිළිබඳ අවබෝධයි. රටට ජාතියට ආගමට ආදරය කරන්නෝ මේ කරලියේ සිටිති. එහෙත් ඔවුන් තුළද ඇත්තේ මමත්වය ගුරුකොට ගත් දේශපාලනයි. හුදු ආත්මාර්ථකාමී දේශපාලනයක් කරන ගැත්තෝද ගොට්ටෝද මෙහි වෙති. ඔවුන් තුළ ආත්මාර්ථකාමය මිස කිසිවක් නැත. රතන හිමියන්ට තමන් රටට ණය නොමැති බව අවසානේ හැඟෙන්නට ඇත. ඇතැම් විට පෙර ණයක් පිළිබඳ වේදනාවක් උන්වහන්සේට තිබුණා විය හැකිය. එය දන්නේ උන්වහන්සේම පමණි.

දේශපාලන විග්‍රහයේදී අවසාන වශයෙන් කිව යුත්තේ රතන හිමියන්ගේ උපවාසය සර්ව සුභවාදී හෝ සර්ව අසුභවාදීව දැකීම නොකළ යුත්තක් බවයි. මේ දේශපාලනයයි. එහි ඇත්තේ සාපේක්ෂව කිරැම් මිනුම්ය. කෙසේ නමුත් සැණකෙළියට ඇදි කොඩිවැල් තවම ගලවා නැත.

සටහන - චමිඳු නිසල් ද සිල්වා

උපවාසය හේතුවෙන් මහනුවර වෙනස් වූ හැටි

තමන් නම් කළ දේශපාලනඥයන් ඔවුන් දරණ තනතුරුවලින් ඉවත් කරන තෙක් තමන් ආහාර නොගෙන ජීවිත පරිත්‍යාගයෙන් උපවාසය අඛණ්ඩව කරගෙන යන බව රතන හිමි ප්‍රකාශ කිරීමත් සමඟ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන්, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නායකයන්, ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා, බෞද්ධ හා සමාජ සේවා සංවිධාන රජයත් ජනාධිපති වරයාත් අග්‍රාමාත්‍යවරයාත් දැනුවත් කරමින් විවිධ උද්ඝෝෂණ පෙළපාලි සහ හර්තාල් වැඩසටහන් ද දියත් කළහ.

මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් ද යවමින් අතුරලියේ රතන හිමිපාණන් වහන්සේ ආරම්භ කර ඇති අඛණ්ඩ මාරාන්තික උපවාසය අවසන් කිරීම සඳහා
මහනුවර නගරය පුරා කළු කොඩි ඔසවා විරෝධය දැක්වූ විවිධ සංවිධාන වෙළෙඳ සංගම් (මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ, මහනුවර හා කටුගස්තොට වෙළෙඳ මධ්‍යස්ථාන මහනුවර බෞද්ධ එකමුතුව) මහනුවර නගරය තුළ සහ නගරයෙන් ඔබ්බට පිහිටි සියලුම නගරවල වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන වසා දමා අතරලියේ රතන හිමියන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට සහාය දැක්වූහ.

ඉරිදා (03) පෙරවරුවේ රතන හිමියන්ගේ උපවාස අවස්ථාවේ උච්ඡ මොහොත ළඟා විය. මහනුවර නගරයම පෙළපාලි සැදී බෞද්ධ කොඩි රුගෙන ගලා ආ ජන ගඟ පාලනය කිරීමට පොලීසිය සහ ආරක්ෂක අංශවලට ද අසීරු විය.

ජේ.ඒ.එල්. ජයසිංහ I

 

 

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30