2019 ජුනි 08 වන සෙනසුරාදා

දුප්පත්කම අඩුවන විට සමෘද්ධිය වැඩිවීම!

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 7

රට දියුණු වන විට දුගී දුප්පත් පිරිස අඩුවිය යුතුය. සංවර්ධනයේ ප‍්‍රතිලාභ ජනතාව අතට ලැබිය යුතු අතර එය සමෘද්ධිමත් තත්ත්වයට පත්වීමකි. නමුත් ශ‍්‍රී ලංකාව මැදි ආදායම් මට්ටමට එන විට දුප්පත්කම වැඩි වෙයි. ආර්ථිකය දියුණු වන විට ආණ්ඩුවෙන් ගෙවන දීමනා ලබන පිරිස ඉහළ ගොස් ඇති අතර එය දුප්පත් ජනතාව අතට දෙන සමෘද්ධිය සේ හැඳින්වේ. නොබෝදා තවත් පවුල් ලක්ෂ හයකට සමෘද්ධි සහන හිමිවිය. රට පුරා තැනින් තැන නිල උත්සව පවත්වා සමෘද්ධිය හිමි වූ බවට සහතිකයක් පිරිනමන ලද බව වාර්තා වී තිබේ. සාමාන්‍යයෙන් රුපියල් පන්සියයක සිට එක්දහස් පන්සියයක් දක්වා මාසික දීමනාවක් ආණ්ඩුවෙන් ගෙවන අතර අලුත් හිමිකරුවන් සමඟ මෙරට මිලියන 2.2 ක පමණ පිරිසක් සමෘද්ධි දීමනාව ලබන බව අනාවරණය වෙයි.

සමෘද්ධි වැඩසටහන හඳුන්වා දෙන්නේ 1995 අවුරුද්දේදී එවකට පැවැති ජනසවිය වැඩසටහනට විකල්පයක් වශයෙනි. නැති බැරි අය ඇති හැකි අය කිරීම ජනසවිය වැඩ සටහනේ සංකල්පයයි. හාල් පොත, ආහාර මුද්දර, දිළිඳු සහන වැනි දුගී ජන කොටස් වෙත සෘජුව ආණ්ඩුවේ ආධාර සැපයෙන ක‍්‍රමවේද වෙනුවට ජනසවිය වැඩසටහන හඳුන්වා දුන් අතර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයෙන් පහවීමන් පසු අලුතින් පැමිණි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සමෘද්ධි යනුවෙන් එය වෙනස් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය පසු කාලයක දිවිනැගුම යනුවෙන් නම් කළේ. එයම නැවත කැබිනට් පත‍්‍රිකාවකින් නම වෙනස් කර යහපාලන ආණ්ඩුව සමෘද්ධි සේ නම් කළේය. යහපාලනය අවසන් කර එක්සත් ජාතික පක්ෂය අලුතින් පවුල් ලක්ෂ හයක් තෝරා ගන්නේ සමෘද්ධියේ දිගුවක් වශයෙනි.

සමෘද්ධි, ජනසවිය වැනි වැඩසටහන් රටට නුසුදුසු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 2002 වසරේ දී පෙන්වා දුන්නේය. දේශපාලන හිතවත්කම් සහිත නිලධාරී කණ්ඩායම් නඩත්තු කිරීම හා පසුව එම පිරිස ආණ්ඩුවට බඳවා ගැනීම සෑහෙන ප‍්‍රශ්නයක් වන අතර සහන බෙදා දීමෙන් පමණක් දුප්පත්කම තුරන් වන්නේ නැති බව එම විශේෂඥයන්ගේ මතය විය. නමුත් එය නොතකන මෙරට ආණ්ඩු කලින් කල බලයට පත්ව තමන්ගේ නිලධාරී යාන්ත‍්‍රණ හදා ගන්නා අතර පසුව රාජ්‍ය සේවයට එකතුකර ගනී. පසුගිය කාලයේ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිටි නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ හා ඔවුහු විශ‍්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල යන දෙකම ඉල්ලා සිටියේ ද මෙම අනතුරු ඇඟවීමේ තරම රටට මොනවට විදහා දක්වමින්ය.

දුප්පත් ජනතාව වෙනුවෙන් ආධාර දෙන වැඩසටහනෙහි නියැලි නිලධාරීහු පමණක් නොව ආධාර ලබන්නන් ද දේශපාලන තෝරා ගැනීමකි. දීර්ඝ කාලයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ට සහන නොලැබුණු නිසා අලුතින් තෝරාගැනීමේදී පාක්ෂිකයන්ට තැනක් දෙන බව ආණ්ඩුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. අමාත්‍ය දයා ගමගේ මහතා එය තවත් සනාථ කළේ දුප්පතුන්ට දෙන එහෙත් පරිස්සමෙන් පාක්ෂිකයන් තෝරා ගන්නා බව දක්වමින්ය. විපක්ෂ නායක කාර්යාලයේ දී පුවත්පත් සාකච්ඡාවක් කළ ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා සමෘද්ධි වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ එය ලක්ෂ දා හතරක් වූ නමුත් දැන් ලක්ෂ විසි දෙක දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය. එය ඇත්තකි. 2017 වසරේ දී සමෘද්ධි හිමිකම් ලාභීන් සංශෝධනය කරන බවට රාවයක් පැතිරුණ අතර එයට විශාල විරෝධයක් මතුවිය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එය කෙසේවත් නොකරන බව කියා සිටියා පමණක් නොව වසරකට පසු එනම් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්ලක්ෂ පනස් දහසකට අලුතින් සමෘද්ධි හිමිකම් පත් ලබා දීමේ උත්සවයකට සහභාගී විය. එයින් හරියටම මාස හයකට පසු තවත් පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය ලැබුණි.

අඩු ආදායමක් ලැබෙන පිරිස අතට කීයක් හෝ අමතරව ලැබීම වාසියකි. එය නතර කරන සේ යෝජනා කිරීම බලවත් විරෝධයක් නැගෙන හේතුවක් වනු නොඅනුමානය. නමුත් මෙම සහන ලැබෙන්නේ හැබෑ දුප්පතුන්ට නොවේ. පක්ෂ දෙක මාරැවෙන් මාරැවට පාක්ෂිකයන්ට සලකන ක‍්‍රමවේද හදා ගෙන තිබේ. මේවාට වන්දි ගෙවන්නේ ද පොදු ජනතාව හැර අනෙක් පාර්ශවයක් නොවේ. රජයේ ආදායම හිඟ බව කියා බදු බර වැඩි කරන ආණ්ඩුව අල, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් නොව දිනපතා රී ලෝඩ් කරන දුරකතන බිලටත් සෑහෙන බද්දක් අය කරයි. ඒවායෙන් එකතු කරගන්නා මුදල්වලින් කොටසක් මෙම සහනවලට වැය කෙරේ. සමෘද්ධි පිරිවැය ඇතුළු නොයෙක් ආධාරවලට යන වියදම මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකක් පමණ වන අතර අධ්‍යාපන හා සෞඛ්‍ය යන සහන අත්හැර බලන විට එම තත්ත්වය සනාථ වීම අධ්‍යයනය කළ යුතුව තිබේ.

දුප්පතුන්ට දෙන සහන ක‍්‍රම මගින් තම පාක්ෂිකයන් නඩත්තු කිරීම බලයට පත් වන දේශපාලන පක්ෂවල කැමැත්ත වී තිබේ. හැබෑවටම රටවැසියෝ දුප්පත්ද? කාලයක් දුප්පත්ව සිටි බව ඇත්තකි. 1997 දී ජනගහනයෙන් සියයට 14.8 ප‍්‍රතිශතයක් දුප්පතුන් සේ වර්ගීකරණය කර තිබුණි. පැවැති ආණ්ඩු විවිධ ආකාරයෙන් සහන සපයා තිබේ. අංශ දහතුනකින් ජනතාවට ආධාර කරන වැඩසටහන් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඒවා සමෘද්ධිවල සිට ත‍්‍රිපෝෂ වැඩපිළිවෙල දක්වා පුළුල් පරාසයකට විහිදී තිබේ. ප‍්‍රතිඵලයක් වශයෙන් 2017 වසර වන විට දුප්පත්කම ජනගහනයෙන් සියයට 4.1 දක්වා අඩුවී තිබේ. එය පවුල් 169,392 ක් වන අතර පුද්ගලයන් වශයෙන් සලකතහොත් 843,913 කි. මේවා ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පර්යේෂණවලින් සොයා ගත් කරුණු හැර අනෙකක් නොවේ. එසේ තිබිය දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2017 දුප්පත්කම දුරැ කරන වසර ලෙස නම් කළේය. දැන් තවත් දුප්පතුන් අඩු වී ඇති බව සැකයක් නැත. රට තුළ ඇත්තේ දුප්පත්කම නොවේ. ආදායම් විෂමතාවයයි. සුළු කොටසක් රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් සෑහෙන ප‍්‍රතිශතයක් අයිතිකරගෙන සිටිති. සාමාන්‍ය ජනතාව අතරින් සියයට අසූවක් පමණ භුක්ති විඳින්නේ සියයට විස්සක පමණ කොටසක් බව දැක්වෙයි. මෙම පරතරය අඩු කිරීම හැර දුප්පත්කම තුරන් කිරීමක් රටට අවශ්‍ය නැත. 

අලුතින් පවුල් ලක්ෂ හයක පිරිසකට සමෘද්ධි සහන ප‍්‍රකාශයට පත් කිරීම ඉදිරි කාලයේ පවත්වන්නට නියමිත මැතිවරණ මාලාව වෙනුවෙන් කරන ආයෝජනයක් බව සඳහන් කිරීම සුදුසුය. පාර්ලිමේන්තුවේදී සමෘද්ධි පවුල් ලක්ෂ හයකට දෙන වැඩසටහන පවත්වන ලද ආකාරය ගැන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රශ්න කළේය. ආණ්ඩුව උත්තර දුන්නේ නැත. සහතික, ටී ෂර්ට්, බැනර්, ජනමාධ්‍ය දැන්වීම් හා දිස්ති‍්‍රිකයක් පාසා උත්සව පවත්වන්නට මිලියන ගණනින් වැය කර ඇති බවට චෝදනා කළේය. අය වැය මගින් සමෘද්ධි දෙන පිරිවැය වෙනුවෙන් රු. බිලියන දහයක් වෙන් කළ අතර ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් එක සමෘද්ධි ලාභියෙකුගෙන් රු. 500.00 බැගින් අයකරන ලද බව හෙතෙම පෙන්වා දුන් තවත් කරැණකි. එවැනි අය කිරීමක් කලේ හාර දහසකට වැඩි පිරිසකට මරණ හිමිකම් ප‍්‍රතිලාභ පවා ගෙවන්නට අසමත්ව සිටි අවස්ථාවකය. ශ‍්‍රී ලංකාවේ දුප්පත්කම දුරු කිරීම දේශපාලන ව්‍යාපෘතියක් බව පෙන්වන්නට තවත් කරුණු අවශ්‍ය නැත.
දුගී පිරිසට සහන දෙන අලූත් සැලසුම් හදන අතර එම අය අනිවාර්ය ඉතිරිකිරීම්වලට නැඹුරු කරවයි. ජනසවිය, දිවි නැගුම හා සමෘද්ධි ව්‍යාපාරවල අනිවාර්ය ඉතිරිකිරීම් වශයෙන් අති විශාල මුදලක් එකතු වී තිබේ. පසුගිය වසරේදී පාර්ලිමේන්තුවේ දී අනාවරණය වූ පරිදි සමෘද්ධි සමිතිවල රුපියල් බිලියන 8.3 ක් පවතින අතර බැංකු පද්ධතිය සතු වත්කම රු. බිලියන 148.5 කි. මේවායේ මුදල් පරිහරණය ඉතා අක‍්‍රමවත් බව රජයේ විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත. වැඩ සටහනට කිසිසේත් අදාළ නොවන වියදම් කර ඇත. සමෘද්ධි පනත අනුව ජනතාවගේ ඉතිරි කිරීම් භාවිතාවට ගත හැකි අංශ පැහැදිලිව දක්වා තිබිය දී මිලියන ගණනින් ධනය දේශපාලන වැඩවලට යොදා ඇති ආකාරය විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත. අක‍්‍රමිකතා බහුල වන අවස්ථාවේ දී සමෘද්ධි බැංකු රජයට පවරාගන්නා බව පසුගිය වසරේ මැයි රැළියේ දී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය. නමුත් එයට එපමණ අවධානයක් යොමු වූයේ නැත. සමෘද්ධි පනත එයට ප‍්‍රතිපාදන සලසා නැත.

ඇති නැති පරතරය කොතැනත් තිබේ. එය ලෝකයේ පවතින සදාතනික ගැටලුවකි. දුප්පත්කම තුරන් කිරීම විශාල දර්ශනයකි. එය ආත්ම ශක්තිය හා ධෛර්යය සම්බන්ධ ගැටලුවක් බව ද සැලකිය යුතුය. නිෂ්පාදන හෝ සේවා කාර්යයක නිරත වී යමක් උපයා ගන්නට පුරවැසියන්ට අයිතියක් තිබේ. එම අයිතිය සාක්ෂාත් කරනු සඳහා සාධාරණ අවස්ථා රට තුළ තිබිය යුතුය. සමාන අවස්ථා ආරක්ෂා කරන නීති රීතිවලින් යම් අසාධාරණයක් හෝ බෙලහීනතාවයක් ඇති කරන්නේ නම් එම ජන කොටස රුකබලා ගැනීම ආණ්ඩුවක වගකීමකි.

අතට මුදල් ආධාර බෙදා දී දුප්පත්කම නැති කරන්නට හැකියාවක් නැත. එය ලෝකයේ පිළිගැනීමයි. ආධාර යම් කාලයකට යහපත්ය. නමුත් එම පිරිස තෝරා ගෙන නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්ධ කර ගත යුතුය. මෙරට දුප්පත්කම තුරන් කරන වැඩසටහන් පමණක් නොව ඒවායේ නිරත නිලධාරීන්ද මෙම ප‍්‍රවණතා ගැන දන්නේ නැත. දුප්පතුන් යැයි හිතන කොටස අතට යම් මුදලක් දී ඊළඟ ඡන්දයේ දී කතිරය අපේක්ෂා කරන තරමට මෙරට දුප්පත්කම තුරන් කිරීම පටු වී ඇති බව පෙන්වා දිය යුතුය. පැවැති සෑම ආණ්ඩුවක්ම ජනසවිය, සමෘද්ධිය හෝ දිවි නැගුම යනුවෙන් එකම දේ ක‍්‍රියාවට නංවා ඇත. එම වැඩසටහන් වෙනුවෙන් වැය කළ ධනය අති විශාලය. ජනතාවට අතට සල්ලි දෙන සමෘද්ධි වැනි වැඩසටහන් කරගෙන යන්නේ ද ජනතාවගෙන් අය කරන බදුවලින් බව දැක්විය යුතුය.

 ගාමිණී සරත් ගොඩකන්ද

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30