2019 ජුනි 08 වන සෙනසුරාදා

මුස්ලිම් ඇමතිවරුන් ඉවත්වීමේ පසුකම්පන

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

ආණ්ඩුවේ තනතුරු දැරූ මුස්ලිම් ඇමතිවරැන් ඉල්ලා අස්වීමෙන් පසු ලංකීය දේශපාලනයේ හැසිරීම විමසා බැලීමට සැරසෙමු. පසුගිය සඳුදා ප්‍රකාශය පත් කළ මෙම ඉල්ලා අස්වීම තාමත් සංවාදයට ගැනෙමින් තිබේ.

මෙම ඉල්ලා අස්වීම් පිළිබඳ අතැම් බලවේග සැක මතු කළේය. තවත් පිරිසක් කනගාටුව පළකළහ. විචාරයකයෝ විචාර ඉදිරිපත් කළෝය. දේශපාලනික සිදුවීම් ගණනාවක් ද සිදුවිය. මේවා එකින් එක විග්‍රහ කරගත යුතුය.

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමැතිවරුන් පවසන දෑ පිළිගත නොහැකි බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළේය. ඔවුන් පරීක්ෂණවලට සහය පළකිරීම සඳහා ඉවත් වූයේ නම් අදාළ අමාත්‍යාංශවලට ඔවුන් පත්කළ නිලධාරීන් ද ඉල්ලා අස්විය යුතුයැයි පැවසුවේ රංජිත් සොයිසා මන්ත්‍රීවරයාය. අඟහරැවාදා පාර්ලිමේන්තුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ ඉල්ලා අස්වූ මන්ත්‍රීවරැ පසුපෙළට නොගොස් ඉදිරි පෙළේ සිටින්නේ ඇයි කියාය. පොදුවේ ඒකාබද්ධයේ චෝදනාව වූයේ මෙය සංහිඳියාවේ නාමයෙන් කළ සිංහල මුස්ලිම් බෙදීමක් බවයි. මෙහි අරමුණ ඉදිරි මැතිවරණ බව ඔවුන්ගේ මතය විය.

මුස්ලිම් කොන්ග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඕස්‍ෙට්‍ර්ලියාවේ ABC රේඩියෝවට අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ වෛරී ප‍්‍රකාශ මෙන්ම වෛරී ක්‍රීයා පාලනයට ද ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ කටයුතු නොකළ බවයි. වෛරී ප‍්‍රකාශ සිදුකරන භික්ෂූන් වහන්සේලා අතර මෑතකදී ජනාධිපති සමාව ලබා නිදහස් වූ හිමි නමක් ද සිටින බවත්, රටේ තැන තැන ගොස් විවිධ ප‍්‍රකාශ සිදු කරන බවත් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය. තවදුරත් අදහස් දැක්වූ හෙතෙම පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු විවිධ පිරිස් සිදුකළ දෑ හේතුවෙන් මුස්ලිම් ජනතාව පීඩාවට පත් වූ බවද ආණ්ඩුවේ සිටිය ද තම ජනතාව රුක ගැනීමට නොහැකි වූ බව පැවසීය. ආණ්ඩුවේ තනතුරැවලින් ඉවත්වීම "අපගේ සහෘදයන් වෙනුවෙන්" හකීම් මන්ත්‍රීවරයා මෙහිදී තහවුරැ කළේය.

මේ අතර කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැති ධූරවලින් ඉවත් වූ  මුස්ලිම් මන්ත්‍රීවරැන් නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ භාර දී නොමැති බවට පුවත් පළවන්නය විය. විධිමත් ක්‍රියාපටිපාටිය අනුව එම ලිපි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා භාරදිය යුතුව තිබිණි. එහෙත් එවන් භාරදීමක් සිදුව නැතැයි ජනාධිපති කාර්යාලයෙන් තහවුරැ කරගත හැකි විය. ඒ සම්බන්ධවත් විවිධ පිරිස් සිය මත ප්‍රකාශ විය.

රජයේ මුස්ලිම් ඇමැතිවරැන් සිය ධූරවලින් ඉවත්වීම සිදු නොවිය යුත්තක් බව මහ නාහිමිවරැන් විසින් පෙන්වාදීම ගෙවුණු සතියේ තවත් විශේෂිත සිදුවීමක් විය. මල්වතු අස්ගිරි රාමඤ්ඤ සහ අමරපුර යන ත්‍රෛ නිකායික මහානාහිමිවරුන්ගේ මූලිකත්වයෙන් මහනුවර අස්ගිරි මහා විහාර මූලස්ථානයේදී එම නිකායික විශේෂ සංඝ සමුළුවක් පැවතියේය. ඉන් අනතුරැව මෙම විශේෂිත ඉල්ලීම සිදු කර තිබිණි. නැවත වගකීම් භාරගන්නා ලෙස  ත්‍රෛනිකායික මහ නාහිමිවරැන් ඇතුළු එම නිකායික කාරක සංඝ සභා මුස්ලිම් ඇමැතිවරැන්ගෙන් ඉල්ලා සිටින බව පැවසුවේ මල්වතු අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන්ය.

රතන හිමියන්ගේ උපවාස සමයේ රතන හිමියන් වෙනුවෙන් ජනාධිපතිවරයාට ලිපි යොමුකළ මහා හිමිවරැන් පසුව රතන හිමිගේ ක්‍රියාව පිළිබඳ කතා කළේ තරමක් විවේචනාත්මකවය. ඥානසාර හිමියෝ දිගින් දිගටම රතන හිමි කළ දේ හේතුවෙන් සැබෑ ප්‍රශ්න යට යන බව පවසන්නට වූහ. අගමැතිවරයා ද මේ සම්බන්ධ ප්‍රකාශ කළේය. එතැන දී ජාතික සමගිය බිඳ වැටීමට පසුගිය දිනවල සිදු වූ සිදුවීම් හේතු වූ බව සඳහන් විය. මංගල සමරවීර මහතාට විශාල විරෝධයක් බෞද්ධ සාමාජයෙන් මතුවෙන් තිබුණ ද ඔහු කිසිදු නම්‍යශීලී ප්‍රතිපත්තියක නොපිහිටි අතර එළඹගත් මතවාදයේ සිට විවිධ ප්‍රකාශ කළේය. භික්ෂූන් වහන්සේලා මෙන්ම විපක්ෂ දේශපාලකයන් ද මංගල සමරවීර ඉලක්ක කරගෙන විශාල විරෝධයක් ගොනු කරන්නට වූයේ ඒ අනුවය.

පසුගිය බ්‍රහස්පතින්දා (6) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පැවසුවේ මහ නා හිමිවරැන් විසින් කරන ලද ඉල්ලීමට අනුව ඉදිරියේදී උන්වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවය. එමෙන්ම සිය ධූරවලින් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ප‍්‍රමාද වූයේ තම කණ්ඩායම රාමසාන් සැමරැම් සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් යැයි ඔහු ප්‍රකාශ කළේය.

එදින පස්වරැවේ ජනාධිපති ලේකම් කාර්යාලය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නවදෙනකුගෙන් අටදෙනකු සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පළවිය. කෙසේ වෙතත් කබීර් හෂීම් මහතා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින්, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී නැතැයිද එහිදී කියැවිණි.

ඇමති ඉල්ලා අස්වීමට අමතරව රතන හිමියන්ගේ උපවාසයට තුඩු දුන් අසාද් සාලි, හිස්බුල්ලා, බදියුදීන්ට යන අයට එරෙහි පරීක්ෂණ පිළිබඳ කතිකාව පසකින් දිගි හැරෙමින් තිබිණි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් එම පැමිණිලි බාර ගැනීමට පොලිස් මූලස්ථානය විසින්  පිහිටුවනු ලැබීය.

මෙම මස 04 දා සිට 12 වැනිදා දක්වා ඊට පැමිණිලි ඉදිරිපත් අවස්ථාව ලබා දෙනු ලැබීය.

හිටපු ආණ්ඩුකාරයා අසාද් සාලී මහතා මධ්‍ය හමුවේ ඉල්ලා අස්වීම පිළිබඳව කතා කළේය. ‘ඉල්ලා අස්වෙන්න කියන්නෙත් නෑ.. මං අස් කරන්නෙත් නෑ කියලා.’ ජනාධිපතිතුමා තමන්ට අතුළු පිරිසට කියූ බව ඔහු සඳහන් කර තිබුණි.  යුතුකමක් ලෙස ජාතික සමගිය ආරක්ෂා කිරීම උදෙසා සාමකාමීව ජීවත් වීමට කැමති 90%ක් සියලු ජාතිවලවලට අයත් ජනතාව වෙනුවෙන් මෙම කැපකිරීම සිදුකළ බව ඔහු පවසා තිබුණි.

මේ අතර පොලිස් මූලස්ථානයේ පිහිටුවා ඇති කමිටුවට විවිධ සංවිධාන විසින් චෝදනා එක දෙක ලබාදීමට  පටන් ගෙන තිබුණි. විවිධ සිවිල් සංවිධාන ජාතික සංවිධාන මෙන්ම භික්ෂූන් වහන්සේලා විසින් ද මෙම පැමිණි ගොනුකරන ලදී. මේ අතර රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඇති සියලු චෝදනා සම්බන්ධයෙන් ලබන සඳුදා පැමිණිලි ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පැවසීය.

මෙම සතියේ දේශපාලනය මෙසේ ඉදිරියට ඇදෙන විට ඉදිරි සතියේ ද ඉහත සංවාද සිද්ධින්වල දිගුවක් අපට දැක ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ නමුත් මේ දේශපාලන උණුසුම් පහව යන දිනයක් පිළිබඳ දිනයක් පිළිබඳ නම් අනාවැකි කීම අපහසුය.

 චමිඳු නිසල්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00