2019 ජුනි 08 වන සෙනසුරාදා

කොළඹ නාගරික කොමසාරිස් පුටුවෙන් බිමට දැම්ම ටෙන්ඩරය

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

කොළඹ නාගරික කොමසාරිස් පුටුවේ “හුටපටය” තවමත් අවසන් නැත. 2015 වසරේ ආණ්ඩු පෙරළියත් සමඟම එතෙක් කොළඹ නාගරික කොමසාරිස් ධූරය දැරූ භද්‍රාණි ජයවර්ධන මහත්මියට ගෙදර යන්නට සිදුවූයේ ලිපිගොනු ටිකද අකුලාගෙනය.

ඒ පෙරළියේ තරම කොතරම් ද යනු ඇයට අදටත් තනතුරක් නැත. නගාතිබූ චෝදනා විභාගය ද අවසන් නැත. වසර හතරක් කිසිසේම බස්නාහිර පළාත් සභාවට අනුයුක්තව පොත අත්සන් කිරීම හැර ඇයට වෙනත් රාජකාරියක් පවරා නැත. එදා ජනවාරි 12 දා දොරගුළු හැරදමා කඩා වැදුණු වත්මන් කොමසාරිස් පී.කේ.ඒ. අනුර මහතා අද සිටිනුයේ අභියෝග රැසකට මැදිවය ඒ දෙවැනි වතාවටත් සිය තනතුර අහිමිවීමේ අවදානම සමඟය. 2017 වසරේදී මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමේ ඛේදවාචකය වනවිට අනුර මහතා සිය තනතුර භාරගෙන වසර දෙකකට අසන්නය. ඒ පිළිබඳව නිකුත් කෙරුණු ජනපති කොමිසමේ වාර්තාවට අනුව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර කේ.සී. යෝගේෂ්වරන් මහතාගේ නියෝගයක් මත අනුර මහතාට සිය තනතුර අහිමි වූයේ අනපේක්ෂිත අයුරිනි. ඒ අනුව 2018 මාර්තුවේ සිට එම වසරේ අගෝස්තු දක්වා හිටපු කොමසාරිස්වරයා බස්නාහිර පළාත් සභාවට අනුයුක්තව මාරුකරනු ලැබුවේ කිසිදු රාජකාරියක් ද නොමැතිවය.

මෙහි වඩාත්ම දෛවෝප ගත සිද්ධිය වන්නේ. ඒ වනවිටත් හිටපු නාගරික කොමසාරිස් භද්‍රණි ජයවර්ධන මහත්මියට මෙන් පළාත් සභාවේ කිසිදු තනතුරක් නොමැති අනුර මහතාට ද පොත් අත්සන් කිරීමට සිදුවීමය. ඒ වනවිටත් භද්‍රාණි ජයවර්ධන මහත්මියට එරෙහිව චෝදනා හතරක් යටතේ විශේෂ පරීක්ෂණයක් පැවත්වූවද අදටත් එය අවසන් නැත. අනුර මහතා තමා ද්වේශ සහගතව මාරුකර යැවූ බවට නීතියේ පිළිසරණ පතන්නට වූයේ ඒ සමඟය. අනුර මහතා මාරුකර යැවීමේ නියෝගයට එරෙහිව නගර සභා සේවක උද්ඝෝෂණ පැවැත්වෙද්දී ඒ හඬ නිහඬ කරන්නට නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු) ලලිත් වික්‍රමරත්න මහතා වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට පත්වන්නේ ද ආණ්ඩුකාරවරයාගේම පිහිටෙනි.

කෙසේ කොයි ආකාරයට හෝ නීතියේ පිළිසරණ ලැබී හෝ මාස 6කින් පසු අනුර මහතාගේ ස්ථාන මාරුව වෙනස් වී නැවතත් 2015 අගෝස්තුවේ සිට නාගරික කොමසාරිස් ධුරය ඔහුට හිමිවන්නේ හාස්කමකට මෙනිය. මෙම තනතුරේ ඊළඟ පෙරළිය පටන්ගන්නේ 2019 සිට බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ පත්වීමත් සමඟය. මීතොටමුල්ල කසළ කඳු ද නායයාම් පිළිබඳ විශේෂ විගණකාධිපති වාර්තාව පදනම් කරගෙන අනුර මහතාට විනකටින්නට ආණ්ඩුකාරවරයා පෙරමුණ ගෙන තිබූ අයුරු හෙළිවූයේ අනුර මහතා නැවත ස්ථාන මාරුකර ඒ වෙනුවට ඉකුත් 28දා සිට ලලිත් වික්‍රමරත්න මහතා පත්කිරීමේ නියෝගයත් සමඟය. අනුර මහතා ද එම නියෝගයට එරෙහිව අවි අමෝරා ගත්තේ නැවතත් සටනට පිවිසෙමිනි. ඒ රාජ්‍ය සේවා කොමිසමේ නියෝගය අභියෝගයට ලක්කරමින් මේ විකල්පය ලෙස අභියාචනාවක් ද ඉදිරිපත් කරමිනි. අනුර මහතා ඒ අනුව තම පුටුව හැර නොගිය අතර ඒ වෙනුවට වික්‍රරත්න මහතා ද වැඩබලමින් සිය නිල කාර්යාලයේම රැඳී සිටියේය.

මේ අතරතුර රෝසි සේනානායක නගරාධිපතිනියද නිසොල්මනේ සිටි බවක් දකින්නට ලැබුණද ඉකුත් 30දා නැවත මාසික මහා සභාවේදී ඇය හඬ අවදි කළාය. ඒ නාගරික මන්ත්‍රී දයාකාන්ත පෙරේරා (පොහොට්ටුව) මහතා නාගරික කොමසාරිස් අනුර මහතා අගයමින් තවදුරටත් නාගරික කොමසාරිස්වරයා ලෙස පිළිගන්නා ලෙසට ගෙනා යෝජනාවට සභාවේ ඒකමතික තීරණය හිමිවීමත් සමඟය. අනුර මහතා සිය ස්ථාන මාරුවට එරෙහිව ඉදිරිපත්කර තිබූ අභියාචනාවට පිළිතුරු ලැබෙන තෙක් හා ඔහු ඉල්ලා ඇති අධිකරණ නියෝගයට බාධා නොවන ලෙස කටයුතු කරන්නැයි ඇය මෙහිදී මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ සිය මූලාසනයේ කතාව ආරම්භ කරමිනි. ඒ සමඟම නගර සභාවේ කොමසාරිස් ධුරයට දක්ෂ පරිපාලන සේවා නිලධාරියකු ඉල්ලා අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාට දන්වා ඇති බවද ඇය මෙහිදී අනාවරණය කළාය.

මන්ත්‍රී දයාකාන්ත පෙරේරා මහතා මෙහිදී හෙළිකළේ තවත් සැඟවූ කතාවකි. අනුර මහතා මාරුකර යවා ලලිත් වික්‍රමරත්න මහතා වැඩබැලීමට පත්කරන ලෙසට ඉල්ලා පොහොට්ටුවේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනකු හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමුවීම ඒ සැඟවුණු රහසය. මෙම ස්ථාන මාරු නියෝගය දැනගත් මොහොතේම එනම් පසුගිය අප්‍රේල් 11 දා නාගරික මන්ත්‍රීවරැන් 104 දෙනකුගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියක දක්වා තිබුණේ අනුර මහතාගේ සේවය තවදුරටත් නගර සභාවට අවශ්‍ය බවත් මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් වගකිවයුතු ඉංජිනේරු තනතුරු දරන්නන් තවමත් සභාවේ යහතින් වැජඹෙන බවත්ය. එබැවින් අනුර මහතාගේ ස්ථාන මාරැව අත්හිටුවා නගරසභාවේ පරිපාලනය ස්ථාපිත කරන ලෙසත් එම ලිපියෙන් ඔවුන් ඉල්ලා තිබුණි.

මේ අතර සිය හදිසි ස්ථාන මාරුව සම්බන්ධයෙන් හිටපු නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා දක්වන්නේ මෙබදු අදහසකි “බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නීතිවිරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙම ධූරයෙන් මා ඉවත් කිරීමට ප්‍රධාන හේතුක්. ඊට ආණ්ඩුකාරවයා කෙළින්ම මැදිහත් වූ බවට එයට මුල්වූ රාජ්‍ය නිලධාරීන් සාක්ෂි දරනවා. ආණ්ඩුකාරවරයා එම තනතුරට පත්වූදා පටන්ම නීතිවිරෝධී ක්‍රියාවන් ඉටුකර ගැනීම සඳහා මට දිගින් දිගටම බලපෑම් කළා. කොළඹ 7 බාන්ස් පෙදෙසේ, පිහිටි රුපියල් කෝටි 800ක් වටිනා අක්කරයක පමණ නගර සභාව සතු ඉඩමට අදළව පවතින නඩු කටයුතුවලින් ඉවත් වී එම ඉඩම දැනට අත්පත්කරගෙන සිටින පුද්ගලයන්ට ලබාදීමට ඔහු විවිධ උත්සාහ දරා ඇති බවටත් නගරයේ මස්කඩ ටෙන්ඩර් ලබාගත් ව්‍යාපාරිකයන්ගෙන් අදාළ ටෙන්ඩර් මුදල් අයකිරීම ප්‍රමාද කරන ලෙසටත් නාගරික කොමසාරිස්වරයාට බලපෑම් කරඇති බවටත් ඇතුළු තවත් කරැණු හෙළිකළේ අතුරලියේ රතන හිමියන් ඉකුත් 29දා රාජගිරිය සඳහම් සෙවනේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට අනුර මහතා ද සහභාගීවීම විශේෂත්වයකි.

මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී. සෝමසිරි මහතාගේ අත්සනින් යුතු GOS/LEG/පොදු හා 2019-04-02 දින දරණ ලිපියෙන් කොළඹ 7, බාන්ස් පෙදෙස වරිපනම් අංක 43 දරණ දේපළෙහි නිසි අයිතිය තහවුරු කරදීම සඳහා වන වාර්තාවක් සතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස නාගරික කොමසාරිස් වෙත දන්වා ඇත. අනුර මහතාගේ හදිසි ස්ථාන මාරුවට එරෙහිව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය 2019-04-18 දින රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා වෙත හා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන අනුර මහතා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට මීතොටමුල්ල සිදුවීම සම්බන්ධ වගඋත්තර බැදිය යුතු නිලධාරියකු වැඩබැලීමට පත්කිරීම උචිත නොවන බවය. විධිමත් පරීක්ෂණයක් මගින් මේ සම්බන්ධ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද මේ වනවිටත් අදාළ කරුණු පැහැදිලිකොට නාගරික කොමසාරිස්වරයා විසින් අභියාචනාවක් ඉදිරිපත්කොට ඇති බවද එම ලිපියෙන් දැනුම්දී තිබේ. නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් තනතුරට පත්කර ඇති ඉංජිනේරු ලලිත් වික්‍රමරත්න මහතා 2007 ජුනි මස 13 වැනි දින කොළඹ මහ නගර සභාවේ කටයුතු පරීක්ෂා කිරීමේ ඒක පුද්ගල පරීක්ෂණ කොමිසමේ වාර්තාවට අනුව එවකට ඝණ අපද්‍රව්‍ය අධ්‍යක්ෂවරයාව සිටියදී චෝදනා එල්ලවී ඇති බවටද සේවකයෝ පෙන්වාදෙති. එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන අමාත්‍යාංශයේ නිරීක්ෂණ අනුව ඉංජිනේරැ ලලිත් වික්‍රමරත්න මහතා විෂමාචාර ක්‍රියාපිළිබඳ මූලික පරීක්ෂණයකට කැඳවා ඇත්තේ 2008.02.22දාය. තවද බස්නාහිර පළාත් එවකට ආණ්ඩුකාර අලවි මව්ලානා මහතාගේ නියෝගයකට අනුව 2008.03.14 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලලිත් වික්‍රමරත්න මහතා අනිවාර්ය නිවාඩු යවා ඇති අතර අධිකරණ තීන්දුවකට අනුව විනය පරීක්ෂණයකට යටත්ව එම වැඩ තහනම ඉවත් කරගෙන තිබුණු බවද සේවකයෝ හෙළිකරති.

මේ අතර ගස් කපන යන්ත්‍රයක් රුපියල් ලක්ෂ 74කට මිලදී ගෙන එය වැඩකට නොගෙන වසර 4ක් තිස්සේ පැත්තකට දැමීමේ චෝදනාවක්ද ඔහුට එල්ලව ඇති අතර හිටපු නාගරික කොමසාරිස් අනුර මහතා ඒ බව 2019.04.17 වනදින බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ. අනුර මහතා මේ අතර ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව පිළිබඳව කරුණු දක්වමින් මීතොටමුල්ල කසල කන්ද පවත්වා ගෙනයාම මෙහෙයවීම යන සියල්ලක්ම සිදුකරනු ලැබුවේ ඝණ අපද්‍රව්‍ය අංශය බවත් නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු) වෙත එහි වගකීම් පවරා තිබූ බවත් සඳහන් කර ඇති බවද අමතක කළ යුතු නැත.

2010 සිට 2018 දක්වා කාලය තුළ කොළඹ මහනගර සභාවේ නාගරික භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ දැනට කර්මාන්ත හා වාණිජ කටයුතු නැවත පදිංචි කිරීම් සමූපකාර හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩී. චිත්‍රපාල මහතා රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා වෙත යවා ඇති ලිපියක දැක්වෙන්නේ මෙවන් කතාවකි. “මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමට හේතුවූ කරුණු හා ඊට වගකිව යුතු නිලධාරියා පී.කේ.ඒ. අනුර මහතා බවට ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ද 2018-03-18 විශේෂ විගණන වාර්තාවේ ද දැක්වෙනවා. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරයා විසින් ද කමිටුවක් පත්කර විමර්ශනයක් සිදුකර ඇති අතර ඔහුට එරෙහිව විනය කටයුතු කිරීමට රාජ්‍ය සේවා කොමිසම වෙත දන්වා තිබෙනවා. මීට අමතරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්ද ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. එහිදී ඔහු වරදකරුව ඇතිබව දැනගැනීමට තිබෙනවා.”

සියලුම හෙයියම්මාරු අස්සේ මේ වනවිට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඉල්ලා අස්වී අවසන්ය. ඒ වෙනුවට පසුගිය 6 වැනිදා එහි නව ආණ්ඩුකාරවයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා වැඩ භාරගෙන සිටී.

1997 වසරේදී කොළඹ මහනගර සභාවේ එජාප නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් දේශපාලනයට පිවිසි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා 2002-2006 කාලය තුළ එහි උපනගරාධිපතිවරයා ලෙසද කටයුතු කර 2018 පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් නැවතත් ශ්‍රී.නි.ප. ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත්ව සිටියදී පසුව එහි විපක්ෂ නායක ධුරයට පවා තරග වැදි පරාජයට පත්වූ පුවත එම පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් අදටත් සිහිපත් කරන්නේ හිරිකිතයකින් යුතුවය.

පසුව 2019 ජනවාරි 8දා ජනපති අනුහසින් බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ධුරයට පත්වූ ඔහුට මාස 06ක් වැනි කෙටි කාලයක් තුළදී සිය ධුරය අහිමිවීමද දෛවයේ සරදමක් බඳුය. මේ සියලුම හෙයියම්මාරු අස්සේ අද වනවිට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් හිස්වූ එම ධුරයට ඉකුත් 4දා සිට ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත්වී අවසන්ය. කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස 2011 – 2015 දක්වා කටයුතු කළේ ඔහුය. එදා මෙදාතුර නගර සභාවේ සියලුම කතා ඔහු නොදන්නවා නොවේ. ඒ අනුව මේ වනවිට අභියෝගයට ලක්ව ඇති ඉහළම පරිපාලන තනතුරේ ඉරණම කෙබඳු වේදැයි කිසිවකුටත් කියන්නට බැරිය. ඒ සඳහා තවමත් කල්වැඩිය.

► ජයන්ත සමරකෝන්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00