2019 ජුනි 08 වන සෙනසුරාදා

අස්වීම් උපවාස මැද ගෙවී ගිය සතියක්

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

පසුගිය සතියේ හැමෝම කතා වුණු ප්‍රධානම කාරණය මෙන්ම සිද්ධිය වුණේ අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයයි. මූලික කාරණා තුනක් කේන්ද්‍ර කරගනිමින් සිදුකළ මෙම උපවාසය කාගෙත් කතාබහට ලක්වුණේ රතන හිමියන් දිනෙන් දින ආහාර නොමැතිව දුර්වල වෙමින් සිටි නිසාය. මේ නිසාම රතන හිමියන්ගේ සුවදුක් බැලීම සඳහා අනුනායක හිමිවරු පමණක් නොව කාදිනල් හිමියන් ද පැමිණියහ. එපමණක් නොව රතන හිමියන් සමඟ එකට පාර්ලිමේන්තුවේ කටයුතු කරන මන්ත්‍රී සගයන් පමණක් නොව අතීත සටන් සගයෝ ද එහි දකින්නට වූහ.

කෙසේ වෙතත් මේ අතර වෙනම දේශපාලන මතයක් දැරූ ඥානසාර හිමියන් හදිසියේම පැමිණ රතන හිමියන් වටා රොක්වුණු මහජනතාවට නායකත්වය දුන් ආකාරය ද මෙහිදී දැක ගැනීමට හැකිවිය. අවසානයේ රතන හිමියන් ගෙන ආ මූලික කාරණා තුනෙන් එකක් ඒ ආකාරයෙන්ම සිදුවිය. ඒ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සිය කැමැත්තෙන් තනතුරුවලින් ඉල්ලා අස්වීමය. එහෙත් රතන හිමියන් බලාපොරොත්තු වූ අමාත්‍ය බදියුදීන්ගේ ඉල්ලා අස්වීම කෙළවර වුණේ ආණ්ඩුව නියෝජනය කළ සියලුම මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම හරහාය. එය ඉතිහාසගත සිදුවීමක් වූ අතර බොහෝ දෙනා පැවසුවේ එය එතරම් හොඳ දෙයක් නොවන බවය.

මුස්ලිම් ඇමතිවරු තනතුරු අත් හරිති.

රතන හිමියන්ගේ උපවාසය ආණ්ඩුකාරවරු වන හිස්බුල්ලා, අසාද් සාලි සහ අමාත්‍ය බදියුදීන් ඉවත් කර ඔවුන්ට එරෙහිව පරික්ෂණ ක්‍රියාත්මක කිරීමය. එහෙත් රිෂාඩ්ගේ ඉවත්වීම වෙනුවට ආණ්ඩුවේ තනතුරු දැරූ සියල්ල ඒවා අත්හළේ එකඟත්වයකට පැමිණෙමින්ය. එනම් මුස්ලිම් ප්‍රජාව හමුවේ එල්ලවන බලපෑම් අවම කිරීමටත්, එසේම තමන්ට එරෙහිව සියලු පරීක්ෂණ ක්‍රියාත්මක කරන තමන් වැරදි නම් ඒවාට දඬුවම් කරන ලෙසටත් මෙහිදී ඉල්ලා සිටියෝය. මේ බව කියා සියල්ලෝ සිය තනතුරුවලින් ඉවත් වූහ.

කෙසේ වෙතත් සියලු දෙනා මේ අස්වීම ගැන කතා කළත් එය කළ රඟපෑමක් බව විපක්ෂයේ අය චෝදනා කළහ. එනම් ඔවුන් තවමත් තනතුරු දරන බවත් ඇමති වරප්‍රසාද බුක්ති විඳින බවත් සියලු දෙනා කීහ. එහෙත් ඔවුන් පොදුවේ යැවූ ලිපිය වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එකී ඇමතිවරු එකිනෙකා වෙන වෙනම ලිපි අග්‍රාමාත්‍යවරයාට යොමු කරන්නට පසුගිය බ්‍රහස්පතින්දා සිට පටන් ගත්තේය. එහෙත් ඒ වන විටත් තෛනිකායික මහනාහිමිවරු ප්‍රකාශ කර සිටියේ නැවත පැමිණ  අදාළ තනතුරු බාරගන්න ලෙසය.

අවසානයේ මෙම උපවාසයෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඥානසාර හිමියන් ප්‍රකාශ කරසිටියේ මුස්ලිම් නායකයන් තිදෙනකු කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලද මෙම උපවාසය නිසා ඇත්ත ත්‍රස්තවාදය යට ගිය බවය. එසේම මහනායක හිමිවරුන්ද දළදා මාලිගාව පරිශ්‍රයේ උපවාසයක් සිදු කිරීම ගැන රතන හිමියන්ට විවේචන එල්ල කර තිබූ බවද ප්‍රකාශ විය.

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිගෙන් කැළඹෙන සාක්ෂියක්...

පසුගිය බ්‍රහස්පතින්දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පාර්ලිමේන්තු කමිටුවට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාත් කැඳවා තිබුණි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔවුන් දෙදෙනාම රාජකාරිවලින් ඉවත් කර තිබුණු අතර ඔවුන්ගේ පැත්තේ කතාව අහන්න පුළුවන් එකම අවස්ථාව මේ අවස්ථාව වන නිසා සියලු දෙනාම සිටියේ ඔවුන් කියන කතාව ඇසීමේ අරමුණෙනි.

උදෑසන 11.20ට පමණ කමිටුව හමුවේ පෙනී සිටි හිටපු පොලිස්පතිවරයා කීවේ තමන්ට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබුණේ අප්‍රේල් 9 වැනිදා බවයි. එසේම අප්‍රේල් 9 දා උදෑසන පැවති බුද්ධි මණ්ඩල රැස්වීමේදී පවා ඒ ගැන සාකච්ඡා නොවුණ බව ද කීය.

තමන්ට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකත්, ජාතික බුද්ධි ප්‍රධානියත් එවන ලද ලේඛන එකිනෙක පරස්පර බවද ඔහු කීය. එපණක් නොව මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවද සඳහන් කළේය.

මේ අතර ඔහු අපුරු කතාවක් කීය. එනම් මේ ප්‍රහාරයේ අවදානම් බව 20 වැනිදා සවසත්, 21 වැනිදා උදෑසනත් තමන්ට ආරක්ෂක ලේකම්වරයාත්, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනත් ප්‍රකශ කළ බවය.

මේ අතර ජනාධිපතිවරයා තමන්ව කැඳවා මේ ප්‍රහාරයේ වගකීම ගෙන ඉවත්වන ලෙසටත් ඉන්පසු තානාපතිකමක් ලබාදෙන බව දැනුම් දුන් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊට පසුව පැමිණි ආරක්ෂක ලේකම්වරයා කීවේ තමන්ට ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මේ ගැන පැවසූ බවත් ඒ 8 වැනිදා බවත්ය. ඊට පසු දින පැවති බුද්ධි මණ්ඩල රැස්වීමේදී කිසිවකු ඒ ගැන ප්‍රකාශ නොකළ නිසා තමන් ඒ ගැන විමසූ අවස්ථාවේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන පවසා සිටියේ ඒ ගැන සොයා බලන බව යැයි ද හෙතෙම කීය.

එසේම මේ සිද්ධියෙන් පසුව තමන්ට ඉවත්වන ලෙසට දැන් වූ බවට ජනාධිපතිවරයා කියන කරණා අසත්‍ය බවද ඔහු කීය. තමන් බලවත් ආරක්ෂක ලේකම්වරයකු නොවන බවත් තමන් ආරක්ෂක අමාත්‍යවරයා හමුවීමට පවා පැය ගණන් ඉන්න සිදුවූ බව ද ඔහු පැවසීය.

එම ප්‍රකාශ දෙකෙන් එක් කාරණයක් පැහැදිලිව දැක ගැනීමට හැකිවිය. එනම් මේ ප්‍රාහාරයට වගකිවයුත්තෝ කවුද යන්න තහවුරු වීමය. එහෙත් අප නම් සඳහන් නොකළ ද ඒ බව වටහා ගැනීම අසීරු නැත. එහෙත් එය සමාජය ඉදිරියේ විවෘතව සාකච්ඡා වනු ඇත.

බදියුදීන්, සාලි හා හිස්බුල්ලාට වෙනම පොලිස් කණ්ඩායමක්

බදියුදීන්, හිස්බුල්ලා හා සාලි යන අයට විරුද්ධව පැමිණිලි ලබා ගැනීමට වෙනම පොලිස් කණ්ඩායමක් පත් කරනු ලැබීය. ඒ කණ්ඩායම වෙත ලබන 12 වැනිදා දක්වා පැමිණිලි ලබාදිය හැකි අතර උදෑසන 8 සිය 4 දක්වා එම පැමිණිලි බාරගනු ඇත. කෙසේ වෙතත් මුල්ම පැමිණිල්ල රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ලැබී ඇතැයි වාර්තා විය.

මේ වනවිට මුස්ලිම් මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ට එරෙහිව පැමිණිලි ලැබුණත් නැතත් පරීක්ෂණ සිදුකරන ලෙසය.

කුරණෑගල සාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කන්දක්

මව්වරැන්ගේ ගර්භාෂයේ පැලෝපිය නාලයට හානිකොට කාන්තාවන් වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සාෆි වෛද්‍යවරයාට එරෙහිව මව්වරු 700කට අධික සංඛ්‍යාවක් ඔහු රැකියා කළ සියලුම රෝහල් වෙත පැමිණිලි කර ඇත. එම වෛද්‍යවරයා තවමත් රහස් පොලිස් බාරයේ සිටින අතර අදාළ පරීක්ෂණ  සිදුවෙමින් පවතී.

කෙසේ වෙතත් මේ පරීක්ෂණය සිදුවන ආකාරය යම් මන්දගාමී ස්වරෑපයක් ගෙන ඇති බව බොහෝ දෙනා චෝදනා කරති. මව්වරු වෛද්‍ය පරීක්ෂණවලට ලක්කර නොමැති බවත් එසේම වෛද්‍යවරයාගේ මතයක් එළියට ලබා දී නොමැති නිසාත් බොහෝ දෙනා ඒ ගැන ඇත්තේ සැකයකි. කෙසේ වෙතත් මේ ගැන පරීක්ෂණ කඩිනමින් සිදුකිරීමෙන් අනවශ්‍ය භීතියක් හටගෙන ඇති තත්ත්වය මග හරවා ගත හැකි බව බොහෝ දෙනාගේ අදහස වී ඇත.

වෙනම බුද්ධි සැලසුමක්

පසුගියදා ඇතිවූ තත්ත්ත්වයත් සමඟ වෙන බුද්ධි මෙහෙයුමක් සිදුකිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.ඒ සඳහා අලුත් සැලසුමක් වගේම ඊට ජනතාව සහභාගි කරගන්න ආකාරය ගැනද සාකච්ඡා කර ඇත.ජනාධිපතිවරයාගේ සංකලපයක් මත "ගම රැකුම" වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර එය ග්‍රාමීය ආරක්ෂක කමිටු පිහිටුවීම ප්‍රධාන අරමුණ වී ඇත. එසේ සකසන කමිටු හරහා බුද්ධි තොරතුරු ලබා ගැනීමත් එම බුද්ධි තොරතුරු පොලීසියට පමණක් නොව ත්‍රිවිධ හමුදාවටම බෙදී යන පරිදි සැලසුම් හැදීමටත් කටයුතු කර ඇත.

විශේෂයෙන් පසුගිය කාලයේ බුද්ධි තොරතුරු නිවැරදි ලෙස විශ්ලේෂණ නොවූ නිසා එම තොරතුරු විශ්ලේෂණ කර පරීක්ෂණ පැවැත්වීම අරමුණ වී ඇත.

රටේ ආරක්ෂාව සාමාන්‍ය අතට

21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව හදිසි නිතීය යටතේ සිදුකළ සෝදිසි කිරීම් පරීක්ෂා කිරීම් ප්‍රමාණය අවම තත්වයට පැමිණ තිබේ. ඒ ආරක්ෂාව තහවුරු වී ඇති නිසාය.ඒ අනුව මර්මස්ථානවල ආරක්ෂාවට පමණක් ආරක්ෂකයන් යොදවා ඇති අතර පරීක්ෂා කිරීම් අවම වී ඇත. මේ නිසා බොහොමයක් දෙනා නැවත නිදහස බුක්ති විඳිමින් සිටිති. එහෙත් අවදානම පහව ගියාට අවධානය පැහැර හැරිය නොහැක. ඒ හරහා සිදු වූ විපත සුළු පටු වී නැත.

කෙසේ වෙතත් වර්තමානයේ දේශපාලන තත්ත්වයත් සමඟ රටේ ආරක්ෂාව තව තවත් තර විය යුතු තැනට පැමිණ ඇත. ඒ ඉදිරියේදී ජනාධිපතිවරණය පැමිණෙන නිසාය. මේ සඳහා පක්ෂ විපක්ෂ අය කරට කර සටනකට සූදානම් වී සිටිති. එවන් අවස්ථාවක ජාතික ආරක්ෂාව වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වුවත් රටේ ජනතාවට ආරක්ෂා සම්බන්ධයෙන් සහතිකයක් අවශ්‍ය වනු ඇත.ඒ සහතිකය සැලැස්මක් සමගින් අවශ්‍ය වන අතරම ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුමය.එසේ වු කළ නායකයාගෙන් නායකයාට, පක්ෂයෙන් පක්ෂයට මේ රටේ ආරක්ෂාව වෙනස් නොවනු ඇත. එසේ නොවීමේ ප්‍රතිපල පසුගිය අප්‍රේල් 21 වැනිදා උදෑසන එල්ල වුණු ප්‍රහාරයෙන් දැකිය හැක. ඒ  නිසා රටට අවශ්‍ය වන්නේ නිවැරදි ප්‍රතිපත්තියක් මිස කටින් වැඩ නොවන බව ජනතාවට පවා පසක් වූ යුගයක් බවට පත්ව ඇත.

මොහොමඩ් තස්ලීම් මාධ්‍යයට පැමිණෙයි

මොහොමඩ් තස්ලීම් යනු හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්ය. ඔහු මේ වනවිටත් ඉන්නේ අධික රෝගී තත්ත්වයේය. ඒ ඔහුට සහ්රාන්ලා විසින් එල්ල කරණ ලද වෙඩි ප්‍රහාරයක් නිසාය.
මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩූ අවස්ථාවේ ඒ පිළිබඳව තොරතුරැ සොයා ගන්නේ ඔහුය. මෙම සිද්ධියට ඔහුගේ මිත්‍රයන් ද කිහිපදෙනෙකු සහභාගි වී සිටීම නිසා ඔහු මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ගේ කණ්ඩාමට එකතු වන ලෙසය.
පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් දෙසැම්බර් 26 වැනිදා පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු පැනගොස් ඇත. මේ සිද්ධිය ගැන පොලීසියට ඔත්තු සපයා ඇත්තේ මොහොමඩ් තස්ලීම් බව සහ්රාන්ගේ කණ්ඩායම සැකකර ඇත. මේ නිසාම තස්ලීම් නිවසේ නිදා සිටියදී සහ්රාන්ගේ කණ්ඩායම විසින් වෙඩි තබා ඇත.
ඔහුට තොරතුරැ ලද සැණින් ඒ පිළිබඳ කබීර් හෂීම් අමාත්‍යවරයාට පවසා ඇති අතර ඇමතිවරයා පවසා ඇත්තේ ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසය. පසුව සැකකරැවන් අත්අඩංගුවට ගැනීමට පටන්ගෙන ඇති අතර ඒ හැම සාක්ෂියක්ම සාහිත් හා සාදික් සිටිනා බව ප්‍රකාශ වී ඇත. මේ පිටුපස සහ්රාන් සිටින බව තස්ලීම් දැනගෙන ඇත. කෙසේ වෙතත් සාදික්ගෙන් ඒ ගැන විමසූ විට පවසා ඇත්තේ මේක ආගමේ ප්‍රධාන දෙය කියාය. කෙසේ වෙතත් රහස් පොලීසියේ මාරසිංහ මහතාට මේ ගැන පෙබරවාරි මාසයේදී ඔත්තුව ලබා දී ඇති අතර එහෙත් ක්‍රියත්මක නොවූ බව ඔහු සඳහන් කර ඇත. එසේ ක්‍රියාත්මක වූවා නම් 21 වැනිදා ප්‍රහාරය නතර කරගන්නට තිබූ බව තස්ලිම් පවසා ඇත.
මේ වනවිට තස්ලීම් සිටින්නේ ඇඳක වැතිරී එක තැනය.

 

► ගයාන් ගාල්ලගේ