2019 ජුනි 08 වන සෙනසුරාදා

ජපානෙට - ඉන්දියාවට හොර රහසේම පැවරූ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය

 2019 ජුනි 08 වන සෙනසුරාදා, පෙ.ව. 12:30 124

ඉන්දියාවේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කෙරෙමින් තිබියදී කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට පවරා දෙන ගිවිසුමකට හොර රහසේ ශ්‍රී ලංකාව එළඹ ඇති බවට වෘත්තීය සංගම් සහ දේශපාලන පක්ෂ චෝදනා නගයි. මේ පිළිබඳව පසුගිය 4දා පාර්ලිමේන්තුවේද ප්‍රශ්න කිරීමට ලක්විය. දැනගන්නට ඇති ආරංචි මාර්ගවලට අනුව මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ පසුගිය 28 වැනිදාය.

ගිවිසුම පිළිබඳ කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර නොමැති අතර මාධ්‍ය මගින් හෝ ජනතාවට දැනගන්නට ලැබී නැත. යම්තම් හෝ හෝඩුවාවක් දැනගන්නට ලැබී ඇත්තේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය. මෙය රටට යහපතක් වන්නක් නම් ජනතාව මුලින් දැනුම්වත් කළ යුතුව තිබුණි. එහෙත් බොහෝ දෙනා සැක සිතන්නේ හොර රහසේ අත්සන් කර ඇත්තේ අපට හානිකර, සෙසු පාර්ශ්වකාර රටවලට වාසිසහගත වීම නිසා බවය.

වර්තමානයේදී කොළඹ වරාය ලෝකයේ හොඳම සම්බන්ධිත (Connectivity) වරාය අතර 11 වැනි ස්ථානයට ශ්‍රේණිගත වී තිබේ. එසේම අන්තර්ජාතික වරායවල් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයට අනුව 22 වැනි ස්ථානයට පත්ව ඇත. මෙම තත්ත්වය ඇත්තවශයෙන්ම රටට යහපත ගෙන දෙන සතුටුදායක ප්‍රතිඵලයකි. වරායේ ජයබහලු පර්යන්තය මෙම ජයග්‍රහණ ලබාගැනීමට ඉතාම කාර්යක්ෂමව දායකත්වය සලසන අතර එහි නැව් භාණ්ඩ සම්බන්ධ කටයුතුවලට ඉහළම ප්‍රමුඛතාව හිමිව තිබේ. මෙලෙස දියුණුවෙන් දියුණුවට පත්වන අංශයක් විදේශ රටවලට ලබාදීමට කිසිදු සාධාරණ හේතුවක් රජයට නොමැති බවට වෘත්තීය සමිති චෝදනා කරයි.

මේ පිළිබඳ අදහස් දක්වන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ කියන්නේ මෙය මුළුමනින්ම ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක කොටසක් බවය. ස්ථාපිත කරන THE Terminal operation company හි කොටස්වලින් සියයට 51ක් ශ්‍රී ලංකාවට අයිති අතර ඉතිරි සියයට 49 හවුල්කාර පාර්ශ්ව වන ඉන්දියාව හා ජපානයට අයිතිය. ලේකම්වරයා සැක පහළ කරන්නේ ගිවිසුමට එළඹ මාස දෙකක කෙටි කාලයකදී මුළු නැගෙනහිර පර්යන්තයම ඉන්දියානු සමාගමට පැවරීමේ සැලසුමක් ඇති බවටය. මෙලෙස වරායේ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ගිලිහී ගියහොත් එහි සේවය කරන 10,000කට අධික සේවකයන්ගේ රැකියාවලට කනකොකා හමන දිනය වැඩි ඈතක නොවන බව ඔහු කියයි.

2015 දී අමෙරිකානු ඩොලර් මිලියන 80ක ණය මුදලක් යොදවා ජැටිය නවීකරණය කර තිබේ. ඉදිරි මෙහෙයුම්වලින් ලාභ ලබාගැනීමට ගත යුතු පියවර වෘත්තීය සමිති පෙන්වා දී තිබුණද වගකිවයුත්තන් ඒවා ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් දක්වා නැත. යහපාලන යැයි කියන රජය බලයට පත්වූ පසු 2016 දී එවකට වරාය ඇමැති අර්ජුන රණතුංග මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ගෙන ආ නමුත් වගකිවයුත්තන් එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එයට හේතුව නැගෙනහිර පර්යන්තය මෙලෙස විදේශවලට පැවරීමේ අපේක්ෂාවෙන් සිටි නිසා බව ලේකම්වරයා කියයි. ආණ්ඩුව මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වහාම නැවැත්විය යුතු අතර එසේ නොකළහොත් සියලුම ක්ෂේත්‍රවල සේවකයන් සමඟ දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මේ වනවිට ඉන්දියාවට සහ ජපානයට විකුණා හමාර බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පවසයි. එය කර ඇත්තේ රටේ අවධානය වෙනත් කරුණුවලට යොමුව තිබූ දිනවල ඉතාම ප්‍රයෝගකාරී ලෙස බව ඔහු කියයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මුළු රටම ඉමහත් කම්පනයට පත්ව තිබියදී ජනමතයට පටහැනිව පසුගිය 28දා මෙම ගිවිසුමට හොර රහසේ එළඹ ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කර තිබේ.

“ඉන්දියානු මහ මැතිවරණයේ අවසන් වටය පැවැත්වුණේ මැයි මස 23දායි. මැතිවරණ ප්‍රතිඵල 26දා සිට නිකුත් වන්නට පටන්ගෙන තිබුණා. මෝදි අගමැතිගේ පක්ෂයට බහුතරය ලැබෙමින් තිබූ අවස්ථාවේ, මෝදි අගමැති ලෙස දිවුරුම් දීමට පෙර වරාය අධිකාරිය සතු නැගෙනහිර ජැටිය විකිණීමට අදාළ ගිවිසුමට අත්සන් කරන ලෙස ඉන්දියානු බලධාරීන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබෙන බව අපට දැනගන්න ලැබී තිබෙනවා.

මෙලෙස අත්සන් කිරීමෙන් පසු වරාය අධිකාරියේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක් අනුව බහාලුම් මෙහෙයවීමේ සමාගමක් ස්ථාපිත කර ඇති බවත් එම සමාගමේ කොටස්වලින් සියයට 51ක් ආණ්ඩුවටත් සියයට 49ක් ඉන්දියාවට සහ ජපානයටත් අයිති බවත් සඳහන් කර තිබෙනවා. එයින් අදහස් වන්නේ මෙම ගිවිසුම දැනටමත් අත්සන් කර අවසන් බවයි. ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ජපාන තානාපතිවරයා තමයි අත්සන් කර තිබෙන්නේ.”

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වරාය මේ රට සතු හුදු ආර්ථික සම්පතක් පමණක් නොව ආර්ථික ස්වෛරීත්වය පිළිබඳ සුවිශේෂ ස්ථානයක් වන බවයි. කොළඹ වරාය ආරක්ෂාව අතින්ද අතිශය වැදගත් ස්ථානයක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. වරායන් පෞද්ගලීකරණය කර රටවල් දණගස්වා ඇති අවස්ථා අප කොපමණවත් දැක ඇති අතර මෙයට වසරකට පමණ පෙර ඉන්දියාව, නේපාලයට අදාළව තිබෙන ඉන්දියාවේ වරාය වසා දමා නේපාලයේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ බවද පවසයි. මෙවැනි තත්ත්වවලට අනාගතයේදී අපට මුහුණපාන්නට සිදුවනු ඇතැයි මන්ත්‍රීවරයා සැක පහළ කරයි.

“පසුගිය වසර 15-20ක කාලය ඇතුළත ශ්‍රී.ල.නි.ප. හා එජාප ආණ්ඩු අපේ වරාය සතු සම්පත් විශාල වශයෙන් විටින් විට විකුණා දමා තිබෙනවා. වරාය අධිකාරිය යටතේ ප්‍රධාන සමාගම් හා ජැටි අටක් තිබුණා. මේ වනවිට බහාලුම් මෙහෙයුම් කරන ජයබහාලුම් පර්යන්තය පමණයි වරාය අධිකාරිය යටතේ ඇත්තේ. මෙයට අමතරව මාගම්පුර මැනේජ්මන්ට් කොම්පැනි යනුවෙන්ද සමාගමක් තිබෙනවා. නමුත් එයින් වරායට කිසිදු කළමනාකරණ කටයුත්තක් සිදුකෙරෙන්නේ නැහැ. තවද ගැස්ටර්මිනල් කොම්පැනි යනුවෙන් සමාගමක්ද වරාය සතුව තිබෙනවා. ආයතන 8න් 5ක්, සියයට 50කට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේ විවිධ නම්වලින් විකුණා දමා තිබෙනවා.

පසුගිය වසර තුනක පමණ කාලය තුළ වරාය අධිකාරියේ ආදායම අඩුවෙමින් පවතිනවා. මුදල් අමාත්‍යාංශයම ප්‍රකාශ කර ඇත්තේ මෙයට හේතුව වරාය තුළම සිටින පෞද්ගලික තරගකාරී මෙහෙයුම් සමාගම් බවයි. මෙවැනි තත්ත්වයක් තිබියදී තමා 2015 වසරේ සිටම නැගෙනහිර ජැටිය විකිණීමේ කටයුතු ආරම්භ වන්නේ.”

මන්ත්‍රීවරයා පවසන්නේ 2015 දී නැගෙනහිර ජැටිය ඉදිකරන්නේ විශාල නැව්වලට පැමිණිය හැකි පරිදි නවීන පහසුකම් සහිතව බවයි. එහි වැඩ අවසන් කිරීමට තිබුණේ දොඹකර මිලට ගැනීම පමණකි. රාජපක්ෂ ආණ්ඩුව මගින් දොඹකර ගෙන්වීමට ලබාගත් ටෙන්ඩර්වල මිල ඩොලර් බිලියන 8ක් පමණ අසාමාන්‍ය ලෙස දෙගුණයකින් ඉහළ දමා තිබුණු අතර, එය දූෂිත ටෙන්ඩරයක් බව සනාථ වී ඇත. එයට හේතුව ලෙස දක්වා වත්මන් ආණ්ඩුව එම ටෙන්ඩරය අත්හිටවූ බව මන්ත්‍රීවරයා කියයි. වරාය අධිකාරියට ඩොලර් බිලියන 4-6ක පමණ මිලකට මෙම දොඹකර මිලට ගත හැකිව තිබුණු අතර එවකට වරාය ඇමැති අර්ජුන රණතුංග මේ සඳහා කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කළද ඒවා මිලට ගැනීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේ නැගෙනහිර පර්යන්තය මෙලෙස විකිණීමේ යටි අරමුණින් බව මන්ත්‍රීවරයා කියයි.

“වරාය වෘත්තීය සමිති වරාය විකිණීමෙන් තොරව තමන්ට සංවර්ධනය කළ හැකි බව අවධාරණය කරන අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ 2016 දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය විකුණන බවත් ඒ සඳහා රජයේ ආයතන තරග නොකළ යුතු බවත් පවසලා තිබෙනවා. මෙම විකිණිල්ලෙන් ලැබෙන හානිය අති විශාලයි. මෙය රටේ ආර්ථික ස්වාධීනත්වය පාවාදීමක්. අමෙරිකාව, චීනය හා ඉන්දියාව මේ දිනවල ආණ්ඩුව බිය වද්දමින් තරගකාරී ලෙස විවිධ කොටස් කඩාගනිමින් සිටිනවා. මේකත් සහරාන්ලාගේ බෝම්බය තරම්ම දරුණුයි.”

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය 02දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය අවබෝධතා ගිවිසුමක් යටතේ ඉන්දියාවට හා ජපානයට පවරා ඇතැයි පළවන වාර්තාවල සත්‍ය අසත්‍යතාව ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතු බවය.

කොළඹ වරායේ වැදගත්ම කොටසක් වන විශාල නැව් පැමිණීමට හැකිවන අයුරු නවීකරණය කර තිබූ මෙම පර්යන්තය ඉන්දියාව හා ජපානයට පැවරීම සඳහා පසුගිය 28දා ගිවිසුම් අත්සන් කර ඇති බවද ඔහු අනාවරණය කර ඇත. ඒ සඳහා හදිසියේම ඉන්දියානු මහ කොමසාරිස්වරයා, ජපාන තානාපතිවරයා හා වරාය අමාත්‍යවරයා අත්සන් කළ අවබෝධතා ගිවිසුම යටතේ මේ වනවිට වරායේ පාලනය එම රටවලට පවරා ඇති බවටද ඔහු චෝදනා කළේය.

මේ පිළිබඳ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ගණනාවක් ආණ්ඩුවෙන් විමසා ඇත. ජැටියේ පාලනය මෙම දෙරටට පවරා දීමේ ක්‍රියාවලිය දැනට අවසන් වී තිබේද, විදෙස් රටකට පැවරීමක් නොකර නැගෙනහිර ජැටිය වැඩිදියුණු කළ නොහැකි බවට තීරණය කළේ කවුරුන්ද, මෙලෙස ජැටිය ඉන්දියාවට පැවරීමට විදෙස් රටකින් අපට බලපෑම් එල්ල වූවාද, පසමිතුරු කඳවුරු දෙකකට වරායේ හිමිකම් පැවරීම නිසා වරාය යුදමය වශයෙන් අනාරක්ෂිත නොවන බවට ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක්ද හා රටේ ආර්ථික මර්මස්ථානවල පාලනය රාජ්‍ය අයිතියේ තබාගනිමින් දියුණු කිරීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබේද යන්න වහාම රටට හෙළිකළ යුතුව ඇතැයි ඔහු ප්‍රශ්න කර තිබේ.

මෙම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙනත් රටකට විකුණා නොමැති බවය.

“ඒක පාට්නර්ෂිප් එකක් කරනවා. අපිට ප්‍රාග්ධනය නැහැ. මෙයින් ලැබෙන ආදායම ණය වාරිකයයි පොලියයි ගෙවන්න ප්‍රමාණවත්. ප්‍රාග්ධනය ලබාගැනීමට අපට සිදුවෙලා තියෙනවා.” යනුවෙන් සභානායකවරයා පවසා ඇත.

කෙසේ වුවද මෙම පිළිතුරෙන් ගම්‍ය වන්නේ නැගෙනහිර පර්යන්තය වෙනත් රටවලට අයිති කර දී ණය ගෙවීමට අවශ්‍ය මුදල් පහසුවෙන් ලබාගැනීමට ක්‍රමවේදයක් සකස් වී ඇති බවය. එහෙත් මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ මෙම රටවල් සමඟ සම්බන්ධ නොවී වරාය දියුණු කර ණය සහ වාරික ගෙවීමට අපට නොහැකි ඇයිද යන්නය. පවතින ක්‍රමයේ යම් දුර්වලතා තිබේ නම් ඒවා නිවැරදි කර අපටම අයිති ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යාම නිසා එහි කළමනාකරණය වෙනත් රටවලට පැවරීම අදූරදර්ශී  වැඩපිළිවෙළක් බව කිව යුතුය.

වරායේ නැගෙනහිර බහාලූ පර්යන්තය ඉන්දියාවට පැවරීමේ ගිවිසුම පිළිබඳ පැහැදිලි කරමින් වරාය අධිකාරිය පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණි. එහි දක්වා තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව අතර යෝජිත සහයෝගීතා ගිවිසුම (Memorandum of cooperation) පිළිබඳ මාධ්‍ය වාර්තා හේතුවෙන් වරාය ගනුදෙනුකරුවන් සහ අදාළ පාර්ශ්වයන් වෙත කරුණු පැහැදිලි කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇති බවය.

මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපේක්ෂාව වන්නේ ජාතික අවශ්‍යතා පවත්වා ගැනීම හා තවදුරටත් පුළුල් කිරීම මෙන්ම ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සමඟ මනා සබඳතාවක් ස්ථාපිත කිරීම බව සඳහන් කර තිබේ. වර්තමානයේ කොළඹ වරාය ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට ගොස් ඇත්තේ වරාය අධිකාරියේ හිමිකාරීත්වය දරන ජයබහලු පර්යන්තය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් සමාගම හා සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් සමාගම යන පර්යන්ත එක්ව කොළඹ වරාය තුළ සිදුකරන සාමූහික කාර්යභාරය නිසාය. කලම්බු ඉන්ටර්නැෂනල් සමාගමට සහ සවුත් ඒෂියා ගේට්වේ සමාගමට වරාය පර්යන්තයේ හිමිකාරීත්වය සියයට 15ක් පමණය. එසේ වුවද කොළඹ වරාය වර්තමාන දියුණු තත්ත්වයට පත්වීමට මෙම පාර්ශ්වල දායකත්වය විශාල ලෙස බලපා ඇති බව අධිකාරිය කියයි. ඉදිරියේදී වරායේ දියුණුව අඛණ්ඩව තවත් ඉහළ යන බවට අධිකාරිය විශ්වාසය පළ කරයි.

මෙම සහයෝගීතා ගිවිසුම පහත සඳහන් කරැණු මත පදනම්ව ඇති බවද අධිකාරිය කියයි. නැගෙනහිර පර්යන්තයේ හිමිකාරීත්වය 100%ක්ම වරාය අධිකාරිය සතු වෙයි. පර්යන්ත මෙහෙයුම් සමාගම සියලු මෙහෙයුම් කටයුතු එක්ව සිදුකරයි. ශ්‍රී ලංකාව සතු  හිමිකාරීත්වය සියයට 51ක් සහ හවුල් පාර්ශ්වයේ හිමිකාරීත්වය සියයට 49කි. ලබාගන්නට අපේක්ෂිත ජපාන ණය ශ්‍රී ලංකාව විසින් මෙතෙක් ලබාගෙන ඇති හොඳම ණය කොන්දේසිවලින් යුතුය. තවමත් මේ කොන්දේසි කෙටුම්පත් අවස්ථාවේ පවතී.

වරාය අධිකාරිය සතු අරමුදල් යොදවා සිදුකරන සංවර්ධන කටයුතුවලට වඩා මෙමගින් වේගවත් සංවර්ධනයකට යා හැකිය. එසේම තරගකාරී ලෙස ඉදිරියට යන නැව් බඩු වෙළෙඳාමට සරිලන සේ වරාය ධාරිතාව පුළුල් කළ යුතුය. සේවාවේ ගුණාත්මක තත්ත්වය වැඩි කිරීමද අවශ්‍ය වේ. මෙම අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට යෝජිත ගිවිසුම ඉතා අර්ථාන්විත පියවරක් බව වරාය අධිකාරිය කියයි.

► යසවර්ධන රුද්රිගු