2019 ජුනි 08 වන සෙනසුරාදා

පුංචි වේදිකාවෙන් ලොරි රථයට බැස්ස සුරංග මාමාගේ අලුත් චරිතය

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 486
 
පාස්කු ඉරිදාවේ රටේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ මුළු රටම පත්වූයේ දැඩි අවිනිශ්චිත කාල පරිච්ඡේදයකටය. මේ කලබලකාරී වාතාවරණයත් සමඟ රටේ සියලු පාසල් දින ගණනාවක්ම වසා දැමීමට සිදුවිය. එමෙන්ම අපේ රටේ සියලු කලාකරුවන් කලාකාරියන්ට තම කලා කටයුතු නිසි පරිදි කරගත නොහැකි වාතාවරණයක් රට තුළ ඇතිවිය. බැංකු ණය පියවා ගැනීමට, වාහනවල වාරික පියවා ගැනීමට නොහැකි වූ කලාකරුවෝ මෙම තත්ත්වය හමුවේ ඉතා අසරණ තත්ත්වයට පත්වූහ.
 
සුරංග මාමා අපිට මුණගැසෙන්නේ ගම්පහ දුම්රියපොළ ඉදිරිපිටදීය. තමන්ගේ නිර්මාණ ඇතුළත් සී.ඩී.පට වාහනයේ තබාගෙන විකුණමින් ගමින් ගමට යන සුරංග මාමා පාසල් දරැවන් වෙනුවෙන් නැවත පාසල් ආරම්භ වේවා යැයි පතමින් ගම් නියම්ගම්වල සැරිසැරවේය.
 
පොලිස් මූලස්ථානයෙන් අවසරය ගත් ඔහු ඇල්පිටිය පිරිවෙණෙන් කුඩා සාමණේර නමක් වඩම්මවමින් යාපනය දක්වාත්, යාපනයේ සිට නැවත රත්නපුරය, තිස්සමහාරාමය හරහා මාතරටත් සදහම් චාරිකාවක් ආරම්භ කළේය. පසුව අවිස්සාවේල්ල දක්වා පැමිණි සුරංග මාමා නැවතත් ඇල්පිටියට ගොස් එතැනින් මාතරට තනිවම තම වාහනයේ නැගී වීදි සංචාරය කළේය. ඒ මැයි මස 24 වැනිදාය. ඔහු මුළු දවස පුරාම තම වාහනයෙන් තුන් සූත්‍රය සජ්ඣායනය කරමින් වාහනය ගම් පුරා ගෙන ගියේය. මඟ දෙපස සිටි සෑම දරුවකුගේම අතේ ඔහු පිරිත්නූල් ගැටගැසුවේය. මෙම ගමනේ අරමුණ වූයේ දරුවන්ට පාසල් යාමට වාසනාව ලැබේවා.. රටේ ඇති මේ භීතිය නැතිවේවා* යන්නය. සමහරැ මග දෙපස හිඳ සාධුකාර දුන්හ.
 
ලංකාවේ බොහෝ දෙනා සුරංග මාමා හඳුනති. එසේ සුරංග මාමා කීවාට ඔහුගේ සැබෑ නම සුරංග නොවේ. උප්පැන්න සහතිකයට අනුව ඔහු ආනන්ද කුමාරගේ ය. උසස් පෙළ සමයේදී සුරංග මාමාත් (ආනන්ද), ඔහුගේ මිතුරු ගුණසේනත් දික්වැල්ල ටවුමේ ඇවිද ගියහ. ඔහුට මාතර දෙස සිට ඈතින් එන පැරැණ ලොරියක් දිස්විය. එහි ඉහළ වීදුරු කොටසේ සුරංග යනුවෙන් සටහනක් තබා තිබුණි. ආනන්ද ඈතින් එන ලොරියට අත දිගු කළේය. අන්න මගේ ලොරිය, ඔහු ගුණසේනට පැවසීය. ආ.. උඹ සුරංගද? ගුණසේන සමච්චල් කළේය. ඔව්.. මම අද ඉඳන් සුරංග යැයි ආනන්ද එකවරම පැවසීය. පසුවදා පාසලට පැමිණි ගුණසේන තම මිතුරාගේ සෑම පොතකම පිටකවරයේ ආනන්දට පෙර සුරංග ලෙස ලොකු අකුරෙන් ලිව්වේය. එතැන් සිට ඔහු සුරංග ආනන්ද කුමාරගේ නම් වූවේය. ටික කාලයක් ගතවන විට සැවොම ඔහු සුරංග නමින් හැඳින්වූහ. ඒ 1973 වසරේදීය.
 
 
සුරංග පාසල් 13ක අධ්‍යාපනය ලැබුවෙකි. ඔහු ගාල්ල යක්කලමුල්ල උපන්නෙකි. මේ නිසාම ඔහුගේ මුල්ම පාසල වූයේ ගමේ පාසලය. සහෝදර සහෝදරියන් 13 දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමහල් සහෝදර සහෝදරියන් රැකියාවල නිරත වෙද්දී, විවාහ වෙද්දී සුරංග පාසල් ගියේය. සුරංග ගාල්ල මහින්ද විදුහලේ ඉගෙනුම ලබද්දී කොළඹ උසස් පාසලකට ඇතුළත් කරනවා යැයි පැවසූ සුරංගගේ එක් සහෝදරියක් ඔහුව පාසලෙන් ඉවත්කොට කොළඹ ගෙන ආවේය. නමුත් අවසානයේදී ඔහුව ඇතුළත් කළේ පුංචිබොරැල්ලේ ඉතා කුඩා පාසලකටය. සහෝදරියගේ අරමුණ වූයේ සුරංග ලවා තම නිවෙසේ වැඩ කරවා ගැනීමය. ගෙදර උයන පිහින කටයුතු, බඩු ගෙන ඒම, පිටි පෝලිමේ යාම (එවකට පිටි ලබාගත හැකිව තිබුණේ පෝලිම් ක්‍රමයට අනුවය.) වැනි බොහෝ දෑ සුරංගට කිරීමට සිදුවූයේ පාසල් අධ්‍යාපනයත් සමඟය. පාසල් වයසේ පසුවන දරුවකුගේ දෑතේ නොතිබුණු කරගැට බොහොමයක් ඔහුගේ දෑතේ තිබිණි.
 
ඔහු නිවෙසින් හතර වතාවක් පැන ගියේය. ඔහුගේ පියා රජයේ මිනින්දෝරුවරයෙකි. මව ඉතා කරැණාවන්ත, පින්වන්ත ගෘහණියකි. සුරංග නවය වසරේ සිටියදී ඔහුගේ පියා දැඩි ලෙස රෝගාතුර විය. දැඩි ලෙස අසාධ්‍ය වී ගාල්ල රෝහලට ඇතුළත් කළ පියාට තනි රැක්කේ සුරංගය. පාසල් ඇරී නිවෙසට ගොස් පසුවදාට අවශ්‍ය පොතපත ද රැගෙන සුරංග ඒ දින කිහිපයේම දිව ආවේ රෝහලේ සිටින පියාගේ ඇඳ මත්තටය. ඔහු පියාගේ කැත කුණු අතගා පිරිසුදු කළේය. තුවාලවලට බෙහෙත් දැම්මේය. දිනක් සුරංග පාසල් ඇරී රෝහලට එන විටදී පියා මෙලොවින් සමුගෙන සිටියේය. ඊට පෙර දිනක රෝහලට පැමිණෙන සුරංගට දැකගත හැකිවූයේ ඇඳෙන් බිමට දමා තිබූ තම පියාවය. ඔහු වහා තම පියාව පිරිසුදු කර නැවත ඇඳට දැම්මේය. වරක් සුරංගගේ පියා මගේ පුතාට මම හින්දා කරදරයි නේද? යනු වෙන් විමසීය. නමුත් ඒ කිසිම මොහොතක එය සුරංගට බරක් නොවීය. පියාගේ වියෝවට වසර ගණනාවක් ගතවුවද අදටත් ඒ අතීතය මතකයට නැගෙද්දී සුරංගගේ දෑස්වලින් කඳුළු කඩාහැලේ.
 
පාසල් 13ක ඉගෙනුම ලැබූ, සිව් වතාවක් නිවෙසින් පැන ගිය සුරංග මාමා අවසානයේදී සියඹලාණ්ඩුවේ කොටං වැඩපොළකට සම්බන්ධ විය. එවිට සුරංග මාමාගේ වයස අවුරුදු 17කි. හේනකින් ගැලවූ මඤ්ඤොක්කා අල පුච්චා, ඉදුණු මිරිස් සමඟ ආහාරයට ගැනීමට සුරංගට එහිදී සිදුවිය. සුරංග මාමාට ඒ රැකියාවද අප්‍රසන්න විය. ඔහුගේ මස්සිනා කෙනෙක්ද එහි සේවය කළේය. තමන් මේ රස්සාවෙන් ඉවත්ව යන බව සුරංග මස්සිනාට සැල කළේය. නමුත් සේවය කළ දින තුන වෙනුවෙන් වැටුපක් හෝ සුරංගට නොලැබුණි. ඔහු ඇඳ සිටියේ තම සහෝදරයාගේ විවාහ උත්සවයට මසන ලද අලුත්ම ෂර්ට් එකකි. ඕක ගලවලා දියන්. කියූ මස්සිනා සුරංග මාමාගේ ෂර්ට් එක විකුණා රුපියල් හැටක් අත මිට මෙලෙව්වේය. ඉතා පැරුණ ෂර්ට් එකක් ඇඳ සුරංග මාමා නැවත ගෙදර ආවේය. පසුව ඔහු පන්සලක නැවතී උසස් පෙළ හැදෑරුවේය. මේ අතරතුර වාර අවසාන විවිධ ප්‍රසංගයේදී සුරංග මාමා තනිවම නාට්‍යයක් නිර්මාණය කර රඟපෑවේය. එම නාට්‍යයට ඉතා ඉහළ පැසසුම් ලැබුණි. 
 
 
උඹ ඔහොම නාට්‍ය කරපං.. හොඳක්ම වෙයි. සිංහල ගුරුතුමා සුරංග මාමාව ධෛර්යමත් කළේය. ඔහුගේ හිතවත් ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ වෙහෙරගම්පිට ඕල්කට් මහා විද්‍යාලයේදී සුරංග මාමාගේ ප්‍රසංගයක් පැවැත්වූවේය. ඒ ශත දහය ගාණේ අය කරමිනි. තොප්පි වෙළෙන්දා, දෙව්දර පෙරහර, සතුන්ගේ සංගීත සංදර්ශනය, කාලගෝල නාට්‍ය යන සියල්ල ඔහු තනිවම රඟපෑවේය. එතැනින් ඇරඹුණු සුරංග මාමා රටේ බොහෝ පාසල්වල නාට්‍ය ප්‍රදර්ශනය කළේය. මේ වනවිට ඔහු පාසල් වාර පන්දාහකටත් වැඩි ප්‍රමාණයක් සහ ළදරැ පාසල් වාර තුන්දහසක තම නාට්‍ය පෙන්වා තිබිණි.
 
මේ කාලයේදී ජාතික රෑපවාහිනිය ඇරුඹිණි. සුරංග මාමා ගුවන්විදුලියේ රුහුණු සේවයේද වැඩ කළේය. හේමජිත් ප්‍රනාන්දු මාර්ගයෙන් සුරංග මාමා රූපවාහිනියට එකතු වූවේය. ශ්‍රීමතී ලියනගේ නිෂ්පාදනය කළ එම වැඩසටහනේ නිවේදන කටයුතු මෙහෙයවූයේ සුමනා නෙල්ලම්පිටියයි. ඔහු වැඩසටහන් 25කට සම්බන්ධ වූවේය.
 
1992 වසරේදී ස්වාධීන රෑපවාහිනී සේවය ළමා වැඩසටහන් ආරම්භ කළේය. එයටද සුරංග මාමා සම්බන්ධ වූවේය. ළමා වැඩසටහන් 117ක් විකාශනය විය. ඒ සුවඳ පද්ම ළමා වැඩසටහනයි. එම වැඩසටහනේ චිත්‍ර පාඩමට එකතු වූයේ සිබිල් වෙත්තසිංහය. ඒ ඔස්සේ සුරංග මාමා ඉතා ජනප්‍රිය විය. එම වැඩසටහනේ නිවේදන කටයුතු ඉඳුනිල් දිසානායක අතින් සිදුකෙරිණි.
 
සුරංග මාමා තමන් නිර්මාණය කළ කතා පොත් ලෙසද නිර්මාණය කළේය. සිබිල් වෙත්තසිංහ කලා ජීවිතයේ 50 වැනි වසරේදී සුරංග මාමා ලියූ සිත්තර නැන්දා නම් ළමා කතාව සිබිල් විසින්ම චිත්‍ර ඇඳ නිකුත් කරන ලදී.
2005 වසරේදී සුරංග මාමා ඔහුගේ ළමා කතා රෑගත කළේය. ඔහු ලියූ බොහෝ ළමා ගීතවලට පාදක වූ සැබෑ සිදුවීමක් විය. කෝච්චියේ මැද පාරේ තාත්තාගේ වඩේ කඩේ* එයට එක් නිදසුනකි.
 
දිනක් සුරංග මාමා තම දියණිය සමඟ කෝච්චියේ ගියේය. තාත්තේ අර වඩේ විකුණන මාමා පව් නේද? කෝච්චියේ වඩේ විකුණන තැනැත්තා ගැන දියණියට දුක සිතුණි. නෑනේ පුතේ.. මම නාට්‍ය පෙන්නලා ඔයාලා පෝෂණය කරනවා. ඒ මාමා වඩේ විකුණලා ඒ දරුවෝ පෝෂණය කරනවා. මේ රස්සාවල් දෙකම එකයිනේ. සුරංග මාමා දියණියට කියා දුන්නේය. ඔහු කොළයක් ගෙන එහි කෝච්චියේ මැද පාරේ තාත්තාගේ වඩේ කඩේ.. ඉස්සෝ වඩේ මසල වඩේ අහුලාලා මිරිස් ගොඩේ... සුවඳ හමන ලුණුමිරිස් සමඟ වඩේ.. උණු උණුවේ වඩේ බෙදයි රිංගාලා සෙනඟ ගොඩේ යැයි පද පෙළ ලිව්වේය. පසුව එය ළමා ගීතයක් වූවේය. එය සංගීතවත් කරන ලද්දේ නවරත්න ගමගේය. සුරංග මාමාට සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවක් නොතිබුණි. නමුත් ඔහු හරි අපූරුවට ගී පද ලිව්වේය.
 
2011 දී සුරංග මාමා ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සූදානම් විය. ඒ උදෑසන අටේ සිට පසුවදා උදෑසන අට දක්වා වේදිකා දොළහකදී වැඩසටහන් ඉදිරිපත් කරමිනි. මේ අතර කාලයේදී ඔහුට ඉතා සුළු විවේකයක් ලැබුණි. ඔහු ගම්මිරිස් සහ රතුලූනු දැමූ පොල් සම්බෝලය සමඟ රතු කැකුළු බත් කා මුළු දවසම වැඩ කළේය. ගිනස් වාර්තාව තැබුවද එම වීඩියෝව යැවීමට ප්‍රමාද වීමෙන් ලැබිය යුතු මුදල සහ සහතිකය සුරංග මාමාට අහිමි විය.
 
ඔහු රංගනයට එකතු වීමෙන් වසර 43ක් ගෙවී අවසානය. ගාල්ලේ හෙද විදුහලේ රඟපෑමට ගිය අවස්ථාවේ දැන හඳුනාගත් හෙද ශිෂ්‍යාවක සමඟ විවාහ වූවේය. ඒ විජිතා මානෙල් රණසිංහ සමඟය. ඔවුන්ට දියණියක සහ පුතෙක් සිටිති. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවය කළ දියණියට සිංහල, දෙමළ, ජපන්, හින්දි, උර්දු සහ ඉංග්‍රීසි භාෂා කතා කිරීමේ හැකියාව ඇත. අද ඇය ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින්නීය. සුරංග මාමාගේ පුතු පරිගණක තාක්ෂණික ඉංජිනේරුවරයෙකි.
 
වසර තුන හමාරක් තිස්සේ සුරංග මාමා තම ජීවිතය ගත කරන්නේ ඔහුගේ කුඩා ලොරි රථයේය. එම රථයේ ඔහුට අවශ්‍ය සියලුම දේ ඇත. නිදාගැනීමට ඇඳක්, ශීතකරණයක්, රෑපවාහිනියක්, කුළුබඩු තබන රාක්කයක්, ගෑස් ළිපක්, සින්ක් එකක්, විදුලි පංකාවක්, ඇඳුම් දැමූ කබඩ් එකක් ආදී සියල්ලම එහි පවතී. සුරංග මාමා රට වටේම යන්නේ මේ &Mobile van Home* රථයෙනි. ලෝකයේ ලස්සනම වර්ණ රුගත් දේදුණු වර්ණ සහිත කමිස ඇඳීමට සුරංග මාමා කැමැතිය.
 
අද සුරංග මාමා තම නිර්මාණ අලෙවි කරන්නේ තම වාහනයේ සිටය. ගම් නියම්ගම් පසුකරමින් යන සුරංග මාමා දවසක ඔබේ නෙත ගැටෙනවාට කිසිදු සැකයක් නැත.
 
 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරෑ - සුමුදු හේවාපතිරණ
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00