2019 ජුනි 08 වන සෙනසුරාදා

පාරෙ ලයිට්වලට එන අලුත් නීතිය

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 22

විදුලිය අරපිරිමැස්ම පිළිබඳව අවධානයක් නොමැති පසුබිමක එළිමහන් විදුලි ආලෝක පහන් භාවිතය පිළිබඳව තැකීමක් නැත. විදුලි බලය නිපදවන ජලාශ ආශ්‍රිතව ජල පෝෂක ප්‍රදේශයෙන්ම වර්ෂාව මඳකමින් ජලාශ වියළීමේදී විදුලිය උත්පාදනයට ගැටලු මතුවේ. වරින්වර උද්ගත වූ එම තත්ත්වය රටේ ආර්ථිකයටත් ජන ජීවිතයටත් බාධා ඇති කළේය. මෙම අවදානම අනාගතයේ සිදුනොවීමට නම් එළිමහන් ආලෝක පහන් භාවිතය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පවතී.

මෑතක සිට වාර්ෂිකව මෙරට ඇතිවන විදුලි අර්බුදය අනාගතයට බරපතළ ගැටලුවක් නිර්මාණය කරමින් තිබේ. බටහිර දියුණු රටවල එළිමහන් විදුලි පහන් දැල්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක කටයුතු කිරීම නිසා ඔවුනට එවැනි විදුලි අර්බුද නැත. එවැනි සංවර්ධිත රටවල එළිමහන් හා වීථි ලාම්පු දැල්වීම සහ නිවීම සඳහා පමණක් නොව එම ප්‍රතිපත්තිය තුළම පිහිටා රථවාහනවල පහන් දැල්වීමද සිදුකරයි.

හිරු නැගීම හා බැස යාම එක් එක් රටවල විවිධ අවස්ථාවලදී සිදුවේ. ඒ අනුව පවතින ආලෝක තීව්‍රතාවය මත හිරු බැස ගිය මොහොතේ සිට කොපමණ වෙලාවකින් වීථි පහන් හා රථවාහන පහන් දැල්වීම සිදුකළ යුතුදැයි තීරණය කර තිබේ. එසේම එකී පහන් නිවීම අරුණෝදය උදාවී කොපමණ වෙලාවකින් සිදුකළ යුතුදැයි තීරණය කර ඇත.

එළිමහන් විදුලි ලාම්පු දැල්වීම හා නිවීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අරුණෝදය හා ගොම්මන (Twilight) ආශ්‍රිතව සම්පාදනය කර ඇත. හිරු නැගීමට පෙරාතුව අරුණාලෝකය පැතිරෙන අවස්ථාව අරුණෝදය ලෙසද, හිරු බැස ගිය පසු ඇතිවන මන්දාලෝක අවස්ථාව ගොම්මන වශයෙන්ද හඳුන්වයි. ජනවහරේ පවතින අයුරින් නම් නිදහසේ හැසිරුණු ගොනුන් නැවත ගාල් කරා යන කාලය ගොම්මන වේ. අරුණෝදය හා ගොම්මන යන්නට පොදුවේ Twilight ලෙස ඉංග්‍රීසි භාෂාවේ භාවිත කෙරේ. මේ සඳහා හිරු නැගීමට පෙර හා බැස යාමට පසු හිරු ක්ෂිතිජය සමඟ ඇතිකර ගන්නා වූ කෝණය බලපායි. මෙසේ වෙනස් වන කෝණය අරුණෝදය හා ගොම්මන (Dawn and Dusk) උප කොටස් තුනකින් යුක්තය. ඒවා සිවිල් අරුණෝදය හෝ ගොම්මන (civil twilight), නාවික අරුණෝදය හෝ ගොම්මන (Nautical twilight) හා නක්ෂත්‍ර අරැණෝදය හෝ ගොම්මන (Astronomical twilight) ලෙස හඳුන්වයි.

මේ ක්‍රමවේදය පිළිබඳව ජගත් ගුවන් ගමන් පිළිබඳ සංවිධානය විශේෂ සැලකිල්ලකට බඳුන් කර ඇත. ගොම්මන හා අරැණෝදය ගුවන් පථය ආලෝක කිරීමට, ගුවන් යානාවල විශේෂ පහන් දැල්වීම, ගුවන් නියමුවන්ට යානයක් ගොඩබෑමේදී හා ගුවන්ගත කිරීමේදී සුවිශේෂී නීති හා වගකීම් අදාළ කිරීම මේ යටතේ සිදුකර ඇත. එමෙන්ම ගුවන් ගමන රාත්‍රී හෝ දිවා කාලයේ ගමනක් බව තහවුරු කර ගැනීම සඳහාද සිවිල් ගොම්මන් කාලය භාවිතයට ගනු ලැබේ.

මේ කාලසීමාව නාවික ගමන් සඳහා භාවිතයට ගන්නා අතර හමුදාවන්හි යම් යම් ආචාරවිධි පැවැත්වීම සඳහාද යොදාගනී. එසේම ඇතැම් දියුණු රටවලදී නඩු කටයුතු හා රක්ෂණ කටයුතු සඳහා මෙම කාලයන් සලකා බැලෙයි. ඇතැම් ආගමික භක්තිකයෝ ඔවුනගේ පූජාවිධි පැවැත්වීම සඳහාද මේ කාලසීමාව භාවිතයට ගනිති. විශේෂයෙන් රාමසාන් උපවාස කාලය ආරම්භ කිරීමට හා අවසන් කිරීමට මෙන්ම නව සඳ බැලීම සඳහාද මෙය භාවිත කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන නක්ෂත්‍ර තොරතුරැ ගණනය කිරීමටද අරැණෝදය හා ගොම්මන පවතින කාලයන් විශේෂයෙන් භාවිතයට ගනී.

හිරැ ක්ෂිතිජයට අංශක 18ක් පහළ සිට ක්ෂිතිජය දක්වා පැමිණෙන මොහොත හිරැ නැගීම හෝ අරැණෝදය වශයෙන් දක්වයි. හිරු ක්ෂිතිජයේ සිට අංශක 18ක් පහළට යන කාලය ගොම්මන වශයෙන් හැඳින්වෙයි. මෙම අවස්ථා දෙකේදීම හිරු පියවි ඇසට නොපෙනේ. ක්ෂිතිජයෙන් පහළම ඇති හිරුගේ ආලෝකය මගින් ඉහළ වායුගෝලය දීප්තිමත් කිරීම නිසා පහළ වායුගෝලයේ යම් ආලෝක තත්ත්වයක් ඇති කරයි. එමගින් අරැණෝදයෙහි අඩු ආලෝක මට්ටමක සිට හිරැ නගින තෙක් ආලෝකයේ වැඩිවීමක්ද ගොම්මනදී වැඩි ආලෝක තත්ත්වයක සිට හිරැ ක්ෂිතිජයෙන් අංශක 18ක් පහළට යන තෙක් ආලෝකය අඩුවීමද සිදුවේ.

හිරැ ක්ෂිතිජයේ සිට අංශක 18-12 අතර නැගෙන කාලය නක්ෂත්‍ර අරැණෝදය වේ. මෙය අංශක 12 සිට 6 දක්වා ඉහළට යන කාලය නාවික අරුණෝදයයි. එය අංශක 6 සිට 0 දක්වා ක්ෂිතිජය තෙක් ඉහළට නැගීම සිවිල් අරුණෝදය ලෙස දක්වයි. 

සූර්යයා ක්ෂිතිජයෙන් අංශක 12ක් පහළට ගිය පසුව පෘථිවිය අඳුරට ගොස් අහසට යම් දීප්තියක් ඇතිවේ. නාවික සලකුණු හෝ ගොඩබිම සලකුණු තරමකට පෙනී එය අවසන් වන්නේ සූර්යයා අංශක 18ක් දක්වා පහළ බැස ගිය පසුය. එවිට උදාවන නක්ෂත්‍ර අරුණෝදය මත පැහැදිලිව තරුරටා හඳුනාගත හැකිය. ඒ ඔස්සේ නාවික ගමන් හා වෙනත් කටයුතු සිදුවන්නේ කාලයක සිටය.

මේ පිළිබඳව අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දේශගුණ අංශයේ ප්‍රධානී වජිර ලොකුහෙට්ටි මහතා මෙසේ පැවසීය.

එළිමහන් විදුලි පහන් භාවිතය පිළිබඳ දියුණු රටවල ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. නමුත් අපිට එවැන්නක් නෑ. එය විදුලිය අරපිරිමැස්ම සම්බන්ධයෙන් වැදගත් කාරණයක්. දැනට රටේ පවතින විදුලි අර්බුද හමුවේ එවැන්නක අවශ්‍යතාව මතුවෙනවා. ඉර එළිය තියෙනවා නම් අපට විදුලි බල්බ අවශ්‍ය නෑ. නමුත් කාලගුණික හේතු හා දේශගුණික විපර්යාස මත ආලෝක තත්ත්ව වෙනස් වෙනවා. මේක සූර්ය ගමන් රටාවන් සමඟ වෙනවා. එම නිසා නිවෙස්වලින් පිටත ආලෝක පහන් භාවිතය පිළිබඳ ප්‍රතිපත්තියකට පැමිණීම අනාගතයට සුබදායී වෙනවා. දියුණු රටවල රථවාහන සඳහාත් මේ ක්‍රමය භාවිතයට ගන්නවා. මෙවැනි ජාතික ප්‍රතිපත්තියක් පිහිටුවීම තුළ විශාල වශයෙන් විදුලිය නාස්ති වීම වැළකෙනවා.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30