2019 ජුනි 01 වන සෙනසුරාදා

ඉන්දීය ඡන්දයෙන් ලෝක් සභාවට තරු වරුසාවක්

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 440

ඉන්දියාවේ පසුගිය සති ගණනාවක් පුරා පැවැති මහ මැතිවරණය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා මැතිවරණයක්ම විය. එහි වඩාත් අපූරුව වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමේ ඉහළ ජයක් අගමැති මෝදි සහ භාරතීය ජනතා පක්ෂය (බී.ජේ.පී., BJP) අයත් කර ගැනීමය. මේ මැතිවරණයේදී මහා බලකණු ඇද වැටුණේය. අලුත් මුහුණු රැසක් ලෝක් සභාවට එක්වුණේය. ඒ අතර භාරතීය ජන හද දිනූ ජනකාන්ත තරු රැසක්ම ලෝක් සභාව ආලෝකවත් කිරීමට එක්වූහ.

ඉන්දීය මැතිවරණයේදී මෙවර වාර්තා වූ ලොකුම ඇද වැටීම ලෙස සඳහන් කළ හැක්කේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානී රාහුල් ගාන්ධිගේ ඇද වැටීමයි. එපමණක් නොව එය නේරු ගාන්ධි පරපුරටම සිදුවූ මහා පරාජයක් වූයේ ඉන්දීය රූපවාහිනී නිළියකට මේ තරම් පරිණත දේශපාලනයේ පතාක යෝධයකු බිම හෙලන්නට හැකිවීම නිසාය. එහිදී රාහුල් සිය පාරම්පරික උරුමය වූ අමෙති අසුනද පරාජය විය. අමෙති අසුනට මෙතෙක් කලකට ඇමැතිවරු යැව්වේ කොංග්‍රසයයි. එය නේරු-ගාන්ධි පරපුරේ සින්නක්කර අයිතියට පැවැරී තිබුණේ 1967 තරම් ඈත කාලයක සිටය. රාහුල්ට අහිමිව ගියේ ඒ අසුනය. මේ අලකලංචිය නිසා තව ඩිංගෙන් ඔහුට පක්ෂයේ සභාපති පුටුවද අහිමි වන්නට යන ලකුණු පහළ විය.

ගාන්ධි පරම්පරාව අමෙති අසුන අහිමි කරගත්තේ මෙයට පෙර අවස්ථා දෙකකදී පමණි. ඒ 1977 සහ 1998 කාලයේදීය. හයවැනි ලෝක් සභාව පත්වූ 1977 මැතිවරණයේදී ජනතා පක්ෂයේ රවීන්ද්‍ර ප්‍රතාප් සිං අමෙති අසුන කොංග්‍රසයෙන් උදුරා ගත්තේය. යළිත් 1989 දී භාරතීය ජනතා පක්ෂයේ සංජේ සිං අමෙති අසුනට හිමිකම් කීය. ඒ දොළොස් වැනි ලෝක් සභාවේය. මෙවර දාහත්වැනි ලෝක් සභාවට අමෙති අසුන දිනා පත්වූයේ ටෙලි නිළියක් ලෙස ප්‍රසිද්ධ ස්මිත්‍රි ඉරානිය. ඇය 2014 දී මුල්වරට රාහුල්ට එරෙහිව ඡන්ද සටනට බැස්සත් එවර වැඩිඡන්ද 107,923කින් ගාන්ධිහට පරාජය වූවාය. නමුත් මෙවර කරට කර ඡන්ද තොගයක්ම පොදි බැඳගත් ඇය රාහුල් ගාන්ධිගේ පාරම්පරික අයිතිය උදුරා ගත්තාය. ඒ වැඩිඡන්ද 55000ක් ලබාගනිමිනි. ඇය ලංකාව තුළද කාලයක් ජනප්‍රියව තිබූ මහගෙදර නමැති මෙගාටෙලියේ (තුල්සි) නමැති චරිතයට පණ පෙවූ නිළියයි. දැන් ඇයට අගමැති මෝදිගේ අලුත් ආණ්ඩුවේ බලවත් චරිතයක් හිමිවන ලකුණු පහළ වී තිබේ.

මෙවර ඉන්දීය මැතිවරණයේ දක්නට ලැබුණු අපූරුවක් වන්නේ වැඩිපුර කාන්තා නියෝජනයක් දක්නට ලැබීමයි. මෙවර ඡන්දයට අපේක්ෂකයන් 8049ක් මුළුමනින්ම ඉදිරිපත්වූ අතර කාන්තාවන් 715ක් ඒ අතර වූහ. මේ කාන්තාවන් අතරින් බහුතරය ඉන්දියාවේ සුපිරි තාරකාවන් වීම විශේෂයකි. මෙවර ඉන්දීය මැතිවරණ ප්‍රතිඵලවලට අනුව සුපිරි නළු නිළියන්, ගායක ගායිකාවන් මෙන්ම ක්‍රීඩා තරැද රුසක් ජය ලබා ලෝක් සභාව ආලෝකමත් කිරීමට සැරසී සිටිති.

බොලිවුඩයේ සිහින කුමරිය ලෙස නමක් දිනූ හේමාමාලිනිය මෙවරද විශිෂ්ට ගණයේ ජයක් අත්කර ගත්තාය. සිය මංගල රඟපෑම ඉදිරිපත් කළ (ෂෝලේ) චිත්‍රපටයේ (බෂාන්ති)ගේ චරිතය හේතුවෙන් ඈ එක් රැයෙන්ම ඉන්දියාවේ සිහින රැජනිය බවට පත්වූවාය. දශක ගණනාවක් ඈ සිය නම අංක 1 ස්ථානයේ රඳවා තබාගන්නට තරම් දක්ෂ වූවාය. මෙවර මතුරා ආසනයෙන් ඈ ජයගත්තේ සිය ප්‍රතිවාදියාට වඩා ලක්ෂ 3ක පමණ වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. ඇය 2013 දී BJP අපේක්ෂිකාවක ලෙස රාජ්‍ය සභාව නියෝජනය කරමින් දේශපාලනයට පැමිණියාය. මතුරා ආසනයට මුල්වරට තරග කළේ 2014 දීය. එදාද ඇය ඉහළම ජයක් ලැබුවාය. මෙවර රාෂ්ට්‍රිය ලෝක් දාල් පක්ෂයේ සිය ප්‍රතිවාදියා වූ කුන්වාර් නරේන්ද්‍ර සිං ලක්ෂ 3ක පමණ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරදවමින් ඇය වාර්තාවක්ද තැබුවාය.

හොලිවුඩයේ සිහින කුමරා ලෙස 60-70 දශකයේ ප්‍රසිද්ධව සිටි ධර්මේන්ද්‍රගේ පුත් සනී ඩියොල් ද මෙවර ලැබුවේ විජයග්‍රහණයකි. ඔහු BJP අපේක්ෂකයකු ලෙස තරගයට ආවේ පන්ජාබ් ප්‍රාන්තයේ ගුර්දාස්පූර් වලිනි. කොංග්‍රසයේ සුනිල් ජතාර් වැඩි ඡන්ද 82459කින් පරදා ජයගන්නට මේ වසරේ අප්‍රේල් මාසයේ දේශපාලනයට නමෝ විත්තියෙන් එක්වූ සනී ඩියෝල් සමත් විය.

මෙවර තරු ජයග්‍රහණ රැසක්ම බටහිර බෙංගාලයෙන් වාර්තා විය. මේ වසරේ මුලදී දේශපාලන පොර පිටියට එක්වූ මිමි චක්‍රබෝති ලක්ෂ 3ක පමණ වැඩි ඡන්ද සංඛ්‍යාවක් වාර්තා කරමින් ජය ගත්තාය. භාරතීය ජනතා පක්ෂයේ මහ ලේකම් සයාන්තන් බාසුහට ලක්ෂ 3කට වැඩි තරගයක් දී ජයගන්නට බටහිර බෙන්ගාලීයේ බසිරනාත් ආසනයට තරග කළ බෙංගාලි සිනමා තරුවක් වන නුස්රන් ජාත්ට හැකිවිය.

සුප්‍රකට නළු දීපක් අධිකාරි ද බටහිර බෙංගාලයේදී ලක්ෂයක පමණ වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගතාල් මන්ත්‍රීධුරය නැවතත් දිනාගන්නට සමත් විය. බෙංගාලි නිළි සතාබ්දි රෝයි, බර්නුම් ආසනය ජයගත්තාය. නමුත් බටහිර බෙංගාලයේදීම සුප්‍රසිද්ධ තරු-තරු අතර ගැටීමක් වාර්තා විය. බටහිර බෙංගාලයේ අසැන්සෝල් ආසනය සුප්‍රකට නිළි මුන්මූන් සෙන් පරාද වූයේ තවත් ජනප්‍රිය ගායකයකු හා නළුවකු වන බාබුල් සුප්‍රියෝ හටය. බාබුල් ලක්ෂයක පමණ වැඩි ඡන්ද හිමිකරගන තිබුණි.

බොලිවුඩයේ තවත් සිහින කුමාරියක් සහ රූපවාහිනියේ පෙරළිකාර වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන කිරන් ක්හේර් ලෝක් සභාවට තේරී පත්වූයේ චන්දිගාර් ආසනය ජය ගැනීමෙනි. උත්තර් ප්‍රදේශ් හී ප්‍රධාන ඇමැති යෝගී ආදිත්‍ය නාදන්ගේ මහා බලාපොරොත්තුවක් වූ අසුනක් ඩැහැ ගැනිමට BJP යෙන් ඉදිරිපත් වූ බෝජ්පූර්හි සුප්‍රකට නළු රවි කීශාත් සමත් විය. ඔහු මේ කියන ගොරක්පූර් ආසනය දිනාගත්තේ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකිනි. දිල්ලියේ තවත් එබඳු තරැ-තරැ අතර ගැටුම් ප්‍රකට විය. එහි වැඩිපුරම තරගය ඇති වූයේ ගායක ගායිකාවන් අතරය.

BJP යේ දිල්ලි කණ්ඩායමේ නායක මනෝජ් තිවාරි වයඹ දිග දිල්ලි ආසනය ඉහළ ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජය ගත්තේය. ඔහුගේ කොංග්‍රස් විරුද්ධවාදියා එසේ මෙසේ කෙනෙකු නොවේ. වාර 3ක්ම දිල්ලියේ මහ ඇමැතිනිය ලෙස කටයුතු කළ ෂෙයිලා දික්සිත්ය.

තවත් BJP ජයග්‍රහණයක් වාර්තා වූයේ ඊසාන දිග දිල්ලියෙනි. කොංග්‍රසය හෝ ආම් අදාම් පක්ෂය යන දෙකටම මේ ජය කිසිසේත් වැළැක්වීමට නොහැකි විය. ජයග්‍රාහකයා පොප් ගායක හාන්ස් රාජ් හාන්ස්ය.

සුප්‍රකට යාදේව්වරු දෙදෙනෙක් අතර තියුණු තරගයක්ද දිල්ලියේ දක්නට ලැබුණි. මේ තරගය ජයගත්තේ සමාජවාදී පක්ෂයේ අකිලේෂ් යාදේව්ය. ඔහුට පරාජය වූයේ දිනේෂ්ලාල් යාදේව්ය. තවත් සුපිරි තරුවක් වන ආර්.කේ. රෝජාද සිය ආසනය ඉහළින්ම දිනාගත්තේය. ඒ නගාර් අසනයයි.

මුලින් නොයෙක් විවේචන තිබුණත් ඒ විවේචන පුස්සක් බවට පත් කරමින් බී.ජේ.පී.ය රටපුරා ජයක් වාර්තා කළේය. වැඩිපුරම ගම්බද සහ ඉහළ උගත්කමක් නැති පිරිස අතරින් අතිවිශාල ජයක් ඔවුනට හිමිව තිබුණි. දේශපාලන විචාරකයන් මෝදි ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ මේ අසිරිමත් ජය විස්තර කරන්නේ රටපුරා පැතිර ගිය BJP ඡන්ද සුනාමියක් ලෙසටය. මේ සුනාමියට බොහෝ ප්‍රබල කොංග්‍රස් බලකණු අසුවිය. රාහුල්ගේ ඇද වැටිම හා සමාන ඇදවැටීමක් වූයේ ෂන්රුගන් සිංගේ ඇදවැටීමයි.

ප්‍රවීණ බොලිවුඩ් තරුව ෂන්රුගන් සිං දෙවරක්ම බිහාර් පැට්නා සහීබ් ආසනය තමන්ට නතුකරගත් අයෙකි. මෙවරත් ඔහු පුරසාරම් දොඩා තිබුණේ කොංග්‍රස් සන්ධානය ඉදිරියේ බී.ජේ.පී.ය බිහාර් සහ උත්තර් ප්‍රදේශ්වලදී හෝදාපාළු වී යන බවටය. නමුත් බී.ජේ.පි. සුනාමිය මේ කියමන උඩු යටිකුරු කළේය. ෂන්රුගන් ඉහළ ඡන්ද සංඛ්‍යාවකින් පරාජය වූයේ රවි ෂංකර් ප්‍රසාද් හටය. මෙයද රාහුල්ගේ පරාජය බඳුම ලොකු කතාබහකට හේතුවූවකි.

මෙහි ඇති වඩාත් කැපී පෙනෙන විශේෂත්වය වන්නේ ෂන්රුගන්ගේ බිරියද බී.ජේ.පී. සුනාමියට අසුව පරාජය ලැබීමය. ප්‍රවීණ නිළියක වන පුනාබ් සිං ඇයයි. ඇය ලක්නව්වලදි පරාජය වූයේ කලින් අභ්‍යන්තර කටයුතු ඇමැති ධුරය හෙබැවූ බී.ජේ.පී.යේ රාජ්නාත් සිං ටය. තවත් මෙබඳු මහා ඇදවැටීමක් හැටියට තෙලිඟු තරුවක් වන පවන් කල්යාන්ගේ පරාජය දැක්විය හැකිය. ගජුවාකා සහ භීම්වරාම් ආසන දෙකටම ඔහු තරග කළේ ජනසේනා පක්ෂය නියෝජනය කරමිනි. නමුත් ඔහුද BJP සුනාමියට හසුවිය. කර්නාටකයේ බෙන්ගලුර් හි ජය වාර්තා කරන්නට සිතා ඉදිරිපත් වූ තවත් ජනකාන්ත චරිතයකටද බී.ජේ.පී. ඡන්ද සුනාමිය ඉදිරියේ පසුබසින්නට සිදුවිය. ඔහු ජනප්‍රිය නළු ප්‍රකාශ් රාජ්ය. ඔහු තරග කළේ ස්වාධීනවය. 
තවත් ප්‍රබල ජනකාන්ත චරිතයක් මේ ඡන්ද සුනාමියට ගොදුරු වූවාය. ඇය ජනප්‍රිය හින්දි නිළියක වන උර්මිලා මතොන්ද්කාර්ය. උතුරු මුම්බායි ආසනය සඳහා කොංග්‍රසයෙන් තරග කළ ඇයටද අත්වූයේ අන්ත පරාජයකි. ඇගේ ප්‍රතිවාදියා වන ගෝපාල් ෂෙට්ටි ජයගත්තේ ලක්ෂ හතර හමාරකටත් වැඩි ඡන්ද තොගයක පරස්පරයක් සහිතවය. උර්මිලා රාහුල් ගාන්ධි මුණගැසී කොංග්‍රස් පක්ෂයට එක්වුණේ මේ පසුගිය මාර්තු මාසයේදීය.

දකුණු ඉන්දියානු තවත් බොලිවුඩ් තරුවක් බෙංගලූර් මධ්‍යම ආසනයේදී ඇද වැටුණේය. ජනකාන්ත චරිතයක් වන ප්‍රකාශ් රාජ් එලෙස බී.ජේ.පී. ඡන්ද සුනාමියට හසුව ඇදවැටුණේ සුපිරි තරුවක් වන සවාරා බාෂ්කර්ගේ ආලෝකයද ඔහුගේ ඡන්ද වේදිකාවට වැටී තිබියදීමය. ඔහු මැතිවරණ ව්‍යාපාරය මහත් උත්කර්ෂවත් අන්දමින් බාල් නටා පැවැත්වූවෙකි. එහෙත් ලක්ෂ තුනහමාරක පමණ ඡන්ද සංඛ්‍යාවක් ඔහුට එරෙහිව ගොනු වී තිබුණි.

ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වන එච්.ඩී. දේව් ගව්දාගේ මුණුපුරා වන නිකිල් කුමාරස්වාමි සහ ස්වාධීන අපේක්ෂිකාවක ලෙස තරග කළ කණ්ණඩ සිනමා තරුව සුමන්ලතා අම්බරේෂ් අතර තරගයද තියුණු වූවකි. අවසානයේදී සුමන්ලතා මන්ධ්‍යා ආසනයට හිමිකම් කියන්නට සමත්වූවාය.

ජයප්‍රදා 70-90 දක්වා දශකවල බොලිවුඩයේ පෙරළිකාර තරුවකි. ඇය 1994 දී එන්.ටී. රාමා රාවෝගේ ඉල්ලීම මත තෙලිඟු දේශම් පක්ෂයට එක්වූවාය. පසුව 2004 දී එම පක්ෂය අතහැර දැමූ ඇය සමාජවාදී පක්ෂයට එක්වූවාය. ඒ යටතේ 2004 සහ 2009 මැතිවරණවලට තරග වැදී ඒවා ජයගත්තාය. 2010 වසරේදී ඇයව සමාජවාදී පක්ෂයෙන් නෙරපා හරින්නට යෙදුණි. එවිට අමාර් සිං සමග එක්වී ඇය අලුත් පක්ෂයක් ගොඩනැගූ අතර 2012 දි තරග කළත් ඔවුන්ගේ RLD පක්ෂයට ජයක් ලැබුණේ නැත. මේ වසර මුලදී මාර්තුවේදී මැතිවරණය ඔන්න මෙන්න කියා ඇය BJP සමඟ එක්වූවාය. රාම්පූර් ආසනයෙන් සිය පැරුණි සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා වූ මොහොමඩ් අසාම් ඛාන්ට එරෙහිව තරග කළ ඇය ජනතාවට කීවේ අගමැති මෝදි නිර්භීතයකු බවය. ඔහු යටතේ මේ රට ආරක්ෂිතව පවතින බවය. නමුත් දෙවරක්ම ලෝක් සභාවට ගිය ජයප්‍රදා හට මෙවර ජය අහිමි විය. ඒ ලක්ෂයක පමණ විශාල ඡන්ද පරතරයකිනි. බී.ජේ.පී. ඡන්ද සුනාමිය මෙහිදී ඇයට වාසිදායක ලෙස බලපෑවේ නැත.

බොලිවුඩයේ සිහින තරු මෙන්ම මහා භාරතය කැළඹූ මේ ඡන්ද සටනට ක්‍රීඩා තරැද එක්ව සිටියහ. එයින් කැපී පෙනුණු චරිතය වූයේ හිටපු ක්‍රිකට් තරුව ගෞතම් ගම්භීර්ය. ඔහු සිය ප්‍රතිවාදීන් පරාජය කළේ ලක්ෂ හතරක පමණ ඉහළ වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. ඔහු තරග කළේ නැගෙනහිර දිල්ලි ආසනයටය. ඡන්ද සටන මැද ඔහුට එරෙහිව මඩ පෝස්ටර් චෝදනාවක්ද මතුව ආවේය. නමුත් ටෙස්ට් ක්‍රිකට් තරුව මේ තරගයද පහසුවෙන් ජයගත්තේය.

දකුණු දිල්ලියට තරග වැදුණු තවත් ක්‍රීඩා තරැවක් වූයේ විජේන්ද්‍ර සිං බෙන්වාලාය. ඔහු සුප්‍රකට බොක්සිං ක්‍රීඩකයෙකි. නමුත් බොක්සිං වළල්ලෙ වික්‍රමය ඔහුට ඡන්ද කරළියේදී දක්වන්නට හැකිවූයේ නැත. ඒ, බී.ජේ.පී. ඡන්ද සුනාමියට ඔහු හසුවීම හේතුවෙනි. ලක්ෂ තුනහමාරක පමණ වැඩි ඡන්ද සංඛ්‍යාවක් ඔහුට එරෙහිව ගොඩගැසී තිබුණි. අන්තිමේදී බී.ජේ.පී. යේ රමේෂ් බිදුරි හට ආසනය හිමිවූයේය.

රාජස්ථානයේ ජායිපූර්වලින් ක්‍රීඩා තරු - තරු අතර ගැටුමක් වාර්තා විය. මළල ක්‍රීඩිකාවක වන ක්‍රිෂ්ණා පූනියා සහ ඉලක්කයට වෙඩි තබන්නකු වන රාජ්‍ය වර්ධන් රතෝරේ අතර තරගය අවසන් වූයේ ක්‍රිෂ්ණා පූනියා ලක්ෂ හතරක පමණ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජය ලැබීමෙනි.

 සුගත් පී. කුලතුංගආරච්චි