2019 ජුනි 01 වන සෙනසුරාදා

සී.අයි.ඩියට ආ රිෂාඩ්ට - හිස්බුල්ලාට එරෙහි පැමිණිලි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත සිදුකළ පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා ඇත. රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන දෙදෙනාට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබුණි. බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමියන් විසින් ආණ්ඩුකාර හිස්බුල්ලාට එරෙහිව තවත් පැමිණිල්ලක් සිදුකර ඇත. අදාළ පැමිණිලි පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට වැඩ බලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදියුදීන් පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 2010 වසරේදී යළිත් පාර්ලිමේන්තුවට පත්වූයේ වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි. එවකට සමස්ත ලංකා මහජන කොංග්‍රසය නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පත්වූ රිෂාඩ් එවකට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකි. එම හිතවත්කම මත උතුරැ වසන්තය සංවර්ධන ක්‍රියාවලියට රිෂාඩ් බදියුදීන් එක්වන අතර ඒ වනවිට යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ මූලිකත්වය ගත්තේ ඔහුය.

නැවත පදිංචි කිරීම හරහා වන විනාශය සිදු කරන බවටත් විල්පත්තුව අභය භූමිය වනසන බවටත් චෝදනා නගමින් පරිසර සංවිධාන හා සිවිල් සංවිධාන රාශියක් පෙනී සිටියේය. ඒ අතර යහපාලන ආණ්ඩුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ බදියුදීන්ට එරෙහි විල්පත්තු විරෝධය අවස්ථා ගණනාවකදී මතුවෙමින් චෝදනා නැගීය. මීට දෙවසරකට ඉහතදී සතොස ගබඩාවකට සීනි ප්‍රවාහනය කළ කන්ටේනරයක කොකේන් තොගයක් තිබී අත්අඩංගුවට ගැනීම අමාත්‍යවරයාට එරෙහි බලපෑ බරපතළ චෝදනාවකි.

මෑත ඉතිහාසයේ වාර්තා වූ සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුම්වලට සෘජුව චෝදනා එල්ල නොවූව ද අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ රිෂාඩ් බදියුදීන්ට එරෙහිව සිවිල් පුරවැසියන් ප්‍රමුඛ සංවිධානවල මෙන්ම පාර්ලිමේන්තුව තුළත් බරපතළ චෝදනා සමඟ විරෝධතා එල්ල කෙරිණ. ඇතැම් කාර්යාලවලට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කෙරුණු අතර තවත් කාරණා කීපයක් අරබයා බදියුදීන්ට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේය. තත්ත්වය එසේ වුවද අමාත්‍යවරයා තවමත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටිති. තත්ත්වය එසේ තිබියදී සියලු චෝදනා සලකා බහුතර ජනතාව තුළ රිෂාඩ් බදියුදීන්ට එරෙහි ආකල්පයක් ගොඩ නැගී ඇත. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට ද වන එකී ආකල්පය වෙනසක් නැත. මේ අනුව අන්තවාදී හා ජාතිවාදී වශයෙන් විශ්වාස කරන මොවුන්ට එරෙහිව බෞද්ධ ජාතික සංවිධාන ක්‍රියාත්මක වෙමින් සිටිති.

පැමිණිලි දෙකක් ලැබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් එක් පැමිණිල්ලක් සහ තවත් පැමිණිල්ලක් අගුරුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමියන් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනාටම එරෙහිව ඉත්තෑකන්දේ හිමියන් පැමිණිලි කර තිබෙනවා. හිස්බුල්ලා මහතාට එරෙහිව අගුරැගල්ලේ හිමියන් පැමිණිලි කර තිබෙනවා. පැමිණිලි දෙක සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර විමර්ශන සිදුවෙමින් පවතිනවා.

උගේ බෙරේ මුන් ගහනවා: මුගේ බෙරේ උන් ගහනවා
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි - රාවණා බලය සංවිධානයේ මහ ලේකම්

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි චෝදනාවලට අදාළව තොරතුරු රාශියක් රාවණා බලය සංවිධානය සතුව තිබෙනවා. ටෙන්ඩර් මගඩි, මූල්‍ය වංචා, කුළුබඩු ජාවාරම සම්බන්ධ වීඩියෝ දර්ශන සහිත බොහෝ තොරතුරු තිබෙනවා. ආණ්ඩුව කියනවා මේ අයට එරෙහිව චෝදනා හෝ පැමිණිලි නෑ කියලා. ඒක නිසා තමයි අපි ඒවා ඉදිරිපත් කරන්න මූලිකත්වය ගන්නේ. සත්‍ය කරුණු වාර්තා කරන ඇතැම් මාධ්‍යවලට ආණ්ඩුව චෝදනා කරනවා. මාධ්‍ය වාරණය කරනවා. අමාත්‍යවරයාගේ පවුලේ ඥාතින්, හිතවතුන්, කාර්ය මණ්ඩලයේ අය අත්අඩංගුවට ගත්තා අන්තවාදී ත්‍රස්ත නායකයා සමඟ සබඳතා තිබූ නිසා. ඒවාට අවශ්‍ය තොරතුරු තිබිලා තියෙනවා.

ඒ සඳහා මොහු සම්බන්ධ නැතිනම් මොහුට තියෙන මූල්‍ය හා වෙනත් චෝදනාවලට අදාළව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේ ප්‍රධාන පෙළේ චෝදනා 20ක පමණ තොරතුරු අප සතුයි. සහල් ගෙන්වීමේදී සිදුකළ වංචා, රටින් ගෙන්වූ සහල් මාස ගණනක් නැවේ තබාගෙන ඉඳලා භාවිතයට නුසුදුසු වුණාම සත්ව ආහාරවලට අලෙවි කිරීම වගේ කරුණු තියෙනවා. මේවාට ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්. අරගෙන ප්‍රශ්න කරන්න අවශ්‍යයි. මේ කරුණු බොරුනම් අදාළ රජයේ නිලධාරීන්ගෙන් අහන්න පුළුවන්. ආණ්ඩුව සැකකාර ඇමැතිවරයා රකිනවා. ඒ නිසා විමර්ශන සිදුවෙන්නේ නෑ. “ඒ නිසා උගේ බෙරේ මුන් ගහනවා. මුගේ බෙරේ උන් ගහනවා” වගේ තමයි.

මේ පිළිබඳ අපේ සාක්ෂිකරුවන් පොලීසියට ඉදිරිපත් කරන්න අපහසුයි. ඔවුන් ආරක්ෂා කිරීම පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. උසස් පොලිස් නිලධාරීන්ට ප්‍රබල දේශපාලනඥයන්ගේ බලපෑම් තියෙනවා. පහළ නිලධාරීන් විසින් නීතිය ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිතයි. නැවත වරක් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිලි කරනවා. එහිදී බරපතළ වංචා 20ක් සම්බන්ධයෙන් පැමිණිලි කරනවා. කැබිනට් අනුමැතියට පිටින් නීති විරෝධී සහල් ආනයනය, ත්‍රස්ත කණ්ඩායම්වල සාමාජිකයන්ට සතොස පරිශ්‍රයේ රැකවරණය දීම, සතොස වාහන මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීම, ව්‍යාජ නම්වලින් සතොසට ආරක්ෂාව සැපයූ බවට දක්වමින් මුදල් වංචා කිරීම, වෙනත් පාර්ශව සඳහා ලංකා සතොස මුදලින් වැටුප් ගෙවීම වැනි චෝදනා තියෙනවා.

 

 

 

හිස්බුල්ලාගේ ආයුධ කතාවල හඬපට තිබෙනවා.
අගුලුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි - බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ

බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මූලකත්වයෙන් ප්‍රධාන වශයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ප්‍රධාන භේද දෙකක මේකට පදනම් වෙනවා. එකක් තමයි හින්දු සංගමයේ සභාපති අරුණ කාන්තන් නැමැත්තා රූපවාහිනී නාළිකාවට කළ ප්‍රකාශය. 

එම හෙළිදරව්වට අනුව කියනවා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා තමුන්ට අවශ්‍ය පරිදි තීන්දු ලබා ගැනීමට අවශ්‍ය පරිදි විනිසුරුවරුන් මාරු කරමින් අවශ්‍ය තීන්දු ලියාගත් බව. මේ සම්බන්ධයෙන් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ වීඩියෝ පටයක් තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හා නීතිය අවභාවිතා කිරීම කියන චෝදනාවලට අදාළව පරීක්ෂණ කරන්න කියලා අපි ඉල්ලා තිබෙනවා. ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අධිකරණයට අපහාස කළා කියලා උන්වහන්සේට සිරදඬුවම් දුන්නා. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා මේ වගේ බරපතළ සිදුවීමකට සම්බන්ධ වෙලා තියෙනවා. එහෙමනම් ඔහුටත් නියමිත දඬුවම ලබාදිය යුතු බව අපි විශ්වාස කරනවා. ඊට අමතරව රිෂාඩ් බදියුදීන් හා අසාද් සාලි ආණ්ඩුකාරවරයාට එරෙහිව අපි පැමිණිල්ලක් කර තිබෙනවා. ආවේශ සහගත ප්‍රකාශ සිදුකිරීම, ජාතිවාදී ගැටුම් ඇති කරන ප්‍රකාශ නිකුත් කිරීම සහ හිස්බුල්ලා විසින් මුස්ලිම් තරුණයන්ට ආයුධ ලබාදුන් බව කියන ඔහුගේ වීඩියෝ පටය පිළිබඳවත් පැමිණිල්ල අදාළ වෙනවා. 2013 වසරේ දවසක් වෙබ් අඩවියකට ප්‍රකාශ කර තිබෙනවා ඔහු මුස්ලිම් ත්‍රස්තවාදීන්ට සහාය වන බව. අවස්ථා කීපයකදී මොවුන් ප්‍රකාශ කර තිබෙනවා. මුස්ලිම් තරුණයන්ට ආයුධ ගන්න වෙයි කියලා. මේ කරුණු නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ඉල්ලුවා. ආයුධ සන්නද්ද අරගලයකට මුස්ලිම් තරුණයන් සූදානම් කරන බවට ඔවුන්ගේම හඬපට තියෙනවා. මොවුන් තිදෙනාට එකී ත්‍රස්තවාදීන් සමඟ ගනුදෙනු සබඳතා ඇති බවට කරුණු හෙළිවී තිබෙනවා. එසේ තිබියදීත් ඔවුන් තවම අත්අඩංගුවට ගෙන නෑ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරලා සැකකරුවන් අධිකරණයට යොමු කරලා නිසි දඬුයම් ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා.

 

 සමන්ත ප්‍රදීප්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00