2019 ජුනි 01 වන සෙනසුරාදා

තේරීම් කමිටුවේ ආරක්ෂක හරස් පද!

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 240

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධව සොයා බැලීමට  පාර්ලිමේන්තුව විසින් පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය බදාදා දිනයේ රැස් වූයේය. මෙම විශේෂ කාරක සභාව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව මෙන්ම ඊට අදාළව විවිධ පාර්ශවවලට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තාවක් සපයනු ඇත. 

කාරක සභාව හමුවේ පළමු දිනයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ රාජය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජය පොලිස් සිසිර මැන්ඩිස් මහතා සාක්ෂි ලබා දුන්හ. එම සාක්ෂි ලබාදීම මාධ්‍යට ආවරණ කිරීමට අවස්ථාව ලැබුණු අතර සියලුම ලංකිකයන්ගේ අවධානය ඊට යොමුවිය.

අප ඔබගේ අවධානය ලක් කිරීමට සූදානම් වනුයේ එහිදී සිදු වූ වැදගත් සංවාද කිහිපයකි. කෙසේ නමුත් සාක්ෂි යනු තහවුරු කරගත් යථාර්ථය නොවන බව පළමුව කිවයුත්තකි.

පා.ම රවී කරුණානායක:
නිරන්තරයෙන්ම එක පුද්ගලයෙක්ගේ නමක් එනවා. අබ්දුල් රෂික් කියන පුද්ගලයා. මේ අය යම් රැකවරණයක් ඇතිව තවම අත්අඩංගුවට අරගෙන නැහැයි කියන මතය තියනවා.

ආරක්ෂක ලේකම්:
පොලිස්පති තුමා කියන්නේ එයාගේ තොරතුරු හොයලා බලන එකෙන් අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂියක් නෑ කියලා.

පා.ම රවී කරුණානායක:
මේ 21 වැනිදා ඛේදවාචකය ඇතිවුණේ ඇයි?

ආරක්ෂක ලේකම්:
යම් තැනක අඩුපාඩුකම් තිබිලා තියනවා. මේ චේන් එකේ මැශිනරි එකේ නැත්නම් මේක වෙන්නේ නෑ.

පා.ම සරත් ෆොන්සේකා:
ඔබ තුමා කිව්වනේ සීයට අනූනවයක් මේකේ බලපෑම අඩුවෙලා තියෙන්නේ කියලා. 

ආරක්ෂක ලේකම්:
ඉමීඩියට් සෙට් එක. (ක්ෂණිකව බලපෑම) නම් වශයෙන් අපි දැනගත්තු මේකට සම්බන්ධයක් තියන, විස්තර තියන ඔක්කොමත් එක්ක අනික් අය මැරිලා. අනිත් අය අත්අඩංගුවේ.

පා.ම සරත් ෆොන්සේකා:
නම් දැනගත්තේ නැති අය..

ආරක්ෂක ලේකම්:
ඉන්න පුළුවන්.

පා.ම සරත් ෆොන්සේකා:
බුද්ධි තොරතුරු  නැති අය ඉන්න පුළුවන්..

ආරක්ෂක ලේකම්:
එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්.

මෙම සාක්ෂි විමසීමේදී ආරක්ෂක ලේකම්වරයා හෙළිකළ තවත් තොරතුරු රැසකි. අන්තවාදී මානසිකත්වය නිර්මාණය කරන දේශන පුහුණුවලට සහභාගී වූ පිරිස් තවදුරටත් සාමාජයේ සිටින බවත් ඔවුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් දියත් කළයුතු බවත් මෙහිදී පැහැදිලි විය. ඉස්ලාමීය පාසල් විෂය මාලා පිළිබඳ අධ්‍යන කොට අන්තවාදය නිර්මාණය වැළැක්වීම ද සිදුකළ යුතු යැයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන් අතර රජයේ අනෙකුත් අංශ ද ඊට සහය ලබාදිය යුතුබව අවධාරණය කෙරිණි. මාස තුනකින් පමණ මෙය නිමා නොවන බව සහ දීර්ඝකාලීන වැඩසටහනක් අවශ්‍ය බව ද ලේකම්වරයා පාර්ලිමේන්තු කාරක සභාවට පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජය පොලිස් සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබාදුන්නේය. මේ සතියේ දේශපාලන උණුසුම දෙගුණ තෙගුණ කළේ ඔහුගේ ප්‍රකාශයි. 

පා.ම රවී කරුණානායක:
21 වැනිදා ප්‍රශ්නයට පෙර ආරක්ෂක බුද්ධි මණ්ඩලය හමුවෙන්නේ කවද්ද?

බුද්ධි ප්‍රධානී:
අප්‍රේල් 9 වැනිදා අඟහරුවාදා සාකච්ඡාව පැවැත්වෙනවා.

පා.ම රවී කරුණානායක:
අපි පත්තරෙන් දැනගත්තා ඉන්දියන් තොරතුරු ලැබිලා තියෙන්නේ 4 වැනිදා කියලා. 

බුද්ධි ප්‍රධානී:
ඇත්ත වශයෙන්ම මේ තොරතුරු කොහෙන්ද අවේ කියලා කියන්න මම දැනගෙන හිටියේ නෑ. අද වෙනතුරු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂතුමා මට දන්වලත් නෑ. මේ තොරතුරු ලැබුණේ කොහෙන්ද කියලා.

පා.ම රවී කරුණානායක:
එතුමට ලැබුණාද?

බුද්ධි ප්‍රධානී:
එතුමා තමයි මට මේ ලිපිය.. මගේ ළඟ තියනවා අද මේ ලිපිය. මගේ ළඟ තියෙනවා සත්‍ය පිටපත. එතුමා මගේ නමට එවලා තියනවා. ඉන්ෆොමේශන් ඔෆ් එන් එලේජ්  ප්ලෑන් ඔෆ් ඇටෑක් කියලා.

මෙම සංවාද මෙතැන් පටන් ඉතා උණුසුම් වූ අතර ආරක්ෂක මණ්ඩලය සහ ආරක්ෂක ලේකම් පොලිස්පති ආදී වගකිවයුතු සියලු තැන් ප්‍රහාරය පිළිබඳ කල් තියා යම් දැනුවත් වීමක සිටි බවට තොරතුරු අනාවරණය වන්නට විය. සභාවෙන් දිගින් දිගටම ප්‍රශ්න යොමු වූ අතර බුද්ධි ප්‍රධානී කරුණු රැසක් හෙළි කළේය.

ප්‍රහාර පිළිබඳ  අනතුරු අඟවමින් බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් නිකුත් කරන ලද ලිපියක් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට ඉදිරිපත් කළේ දැයි කාරක සභාව ප්‍රශ්න කළේය.

"මට අප්‍රේල් 7 වැනි ඉරිදා රාජ්‍ය බුද්ධි තොරතුරු අධ්‍යක්ෂකතුමාගෙන් ලියුමක් ලැබුණා. එය මම විවෘත කළේ අප්‍රේල් 8 වැනිදා උදේ 11ට විතර. එයට අමුණා තවත් ලිපියක් තිබුණා ප්‍රහාර ගැන සඳහන් කරලා. ඒක අත්සන් කර නැහැ, මාතෘකාවක් නැහැ, එවලා තියෙන්නේ කවුද කියලත් නැහැ. මේක කොහෙන්ද ආවේ, මේ විස්තර කොහෙන්ද කියලා මම දන්නේ නැහැ" යැයි ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් එයට පිළිතුරු දෙමින් පැවසීය. ඇසූ එම ප්‍රශ්නවලට බුද්ධි ප්‍රධනීයා ලබාදුන් පිළිතුරු මෙසේය.

සභාවෙන්:
“මෙය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර බුද්ධි තොරතුරු යවන විදිය වෙන්න පුළුවන් නේද? පරිනත පුද්ගලයෙක් හැටියට ඔබතුමා මොනවද මේ ගැන කියන්නේ?”

බුද්ධි ප්‍රධානී:
"අපි පිටරට කට්ටිය එක්ක වැඩ කරලා තිබෙනවා. එතකොට ඒගොල්ලෝ බුද්ධි තොරතුරු දෙනකොට අත්සන් කරන්නේ නැතුව එවනවා. එහෙම ලියුම් එවනවා"

මෙහිදී අනාවරණය වූ සුවිශේෂී කරුණක් වූයේ අදාළ ලිපිය සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව වාචිකව දැනුවත් කිරීමට සිසිර මැන්ඩිස් මහතා කටයුතු කර ඇති බවයි. අප්‍රේල් 9 වැනිදා පැවැත්වූ ආරක්ෂක සම්බන්ධීකරණ කමිටු රුස්වීමට මෙම ලිපිය ඉදිරිපත් වී අති මුත් එය එහි ප්‍රධාන කරැණ ලෙස සාකච්ඡා නොවුණු බවද හෙළිවිය. නමුත් අදාළ තොරතුරු ගැන දැඩි ලෙස අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් පොලිස්පතිට ලිපියක් යොමු කිරීමට බුද්ධි ප්‍රධානියා කටයුතු කළ බව ප්‍රකාශ වීම විශේෂය. යුද්ධය පැවති සමයේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට ලබා දී තිබූ බලතල වර්තමානයේ තමන් සතු නොවන බව ද සිසිර මැන්ඩිස් මහතා හෙළිකළ අතර ආරක්ෂක ලේකම්වරුන් අතර සංසන්දනයක් සිදුවිය.

මේ ආදී තොරතුරු රැසක් හෙළි කරමින් බදාදා සාක්ෂි විමසීම නිමාවට පත්විය. එහෙත් විශේෂ කාරක සභාව ජුනි මස 04 වැනි දින නැවත රැස්වීමට නියමිතව ඇත. ප්‍රහාර ගැන තොරතුරු ලබා දුන් බව පවසන කලීල් මවුලවිතුමා මෙන්ම ඥානසාර හිමියන් ද සාක්ෂිකරුවන් ලෙස කාරක සභාව ඉදිරියට කැඳවිය යුතු බව සභාවෙන් යෝජනාවක් ඉදිරිපත් විය ඇත. සිද්ධියට අදාළ යැයි සැලකෙන ඕනෑම පුද්ගලයෙකු කමිටුව ඉදිරියට කැඳවිය හැකි බව සභාපතිවරයා පවසා ඇතියි මාධ්‍ය වාර්තා පළවෙයි. ඒ අනුව විශේෂිත සාක්ෂි රැසක් ඉදිරියේදී රටට අනාවරණය වනු ඇත.

තවද පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් මහජනතාවට ද කාරක සභාව වෙත තොරතුරු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබේ. මේ සඳහා යොමු කෙරෙන ලිපි කාරක සභාවේ ලේකම්වරයා වෙත ජුනි මස 07 වැනි දින හෝ ඊට පෙර යොමු කළ යුතුවේ.

මෙම සාක්ෂි විමසීමෙන් පසු ඇති වූ දේශපාලන සංසිද්ධි විග්‍රහ සංකීර්ණය. ජනාධිපතිවරයා තමන් වෙත කිසිදු ලිපියක් ලැබී නැතැයි අවධාරණය කරමින් ප්‍රකාශක් නිකුත් කළේය. විපක්ෂ නායකවරයා යුද්ධය පැවති සමයේ ආරක්ෂක මණ්ඩලෙයේ ක්‍රියාකාරීත්වය සිහිපත් කර වර්තමාන ක්‍රියාකාරීත්ව පිළිබඳ චෝදනාත්මකව මාධ්‍ය ඇමතුවේය. රවී කරුණානායක වැනි අමාත්‍යවරුන් මෙම විශේෂ කාරක සභාවේ අසුන් ගැනීම සමාජ මාධ්‍යයේ හාස්‍යට ලක්ව තිබේ. ජනතා විමුක්ති පෙරමුණ නියෝජන සම්න්ධයෙන් ද ඒකාබද්ධයෙන් විවේචනයට මතුවේ. කෙසේ වෙතත් ඔවුන් මෙම  කාරක සභාව නියෝජනය වර්ජන කර සිටින්නේ විශ්වාසභංග අර්බුධය නිසාය. මේ සියල්ල එක් තැන් කළ තත්ත්වය ඉතා සංකීර්ණ බව මනා ලෙස පැහැදිලිය. කෙසේ වෙතත් ඉදිරි සතියේ දේශපාලන කරළියේ ගිනියම්ව තැබීමට කාරක සභා සාක්ෂි විමසීම හේතු වනු ඇතැයි අනාවැකියක් නම් අවසානයේ දී අපට කිය හැකිය.

► චමිඳු නිසල් ද සිල්වා

BCC සහ තවත් මාධ්‍ය වර්තා ඇසුරින්.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00