2019 ජුනි 01 වන සෙනසුරාදා

මුස්ලිම් විරෝධී ප්‍රහාර නතර කිරීමට සුදුසු පියවර ගෙන නැහැ

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසුව පසුගියදා වයඹ පළාතේ ස්ථාන කීපයකත් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගරයේත් වාර්ගික අරමුණු මුල්කර ගනිමින් එල්ල කෙරැණ ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ප්‍රමුඛ කොමසාරිස්වරැන්, ඉහත කී අපරාධ සිදු කෙරැණ ස්ථානවල සංචාරයක නිරතවීමෙන් අනතුරුව, එම දැනුවත් කිරීම සිදුකරනු ලැබ තිබෙන්නේ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත යොමු කරන ලද ලිපියක් මගිනි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ප්‍රහාර එල්ල කෙරැණ ස්ථානයන්හි සිදු කරන ලද සංචාරයේ දී, එකී ප්‍රහාරවලට ගොදුරු වූ ගම්වැසියන්, ප්‍රජා නායකයන් මෙන්ම පොලීසියේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් මුණගැසුණ බවත්, සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපියෙහි දැක්වෙයි. එම ලිපිය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රශ්නකාරී කරුණු සම්බන්ධයෙන් විසඳුම් ඉදිරිපත් කිරීමෙහිලා අවධානය යොමුකරන ලෙසය.

අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරැව, පලිගැනීමේ අරමුණින් මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා නතර කිරීමට පියවර ගෙන ඇති බවක් දක්නට නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය ලිපිය මගින් වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කරයි.

මුස්ලිම් ජනයා වැඩි වශයෙන් වාසය කරන නගර සහ ගම්මාන පහසුවෙන් හඳුනා ගත හැකි බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, එල්ල වීමට ඉඩකඩ තිබුණ ප්‍රහාර වළක්වාලීමේ පියවරක් වශයෙන් එම ප්‍රදේශයන්ට ඇතුළුවෙන ස්ථානයන්හි මාර්ග බාධක ආදිය ඉදිකිරීමක් සිදු කොට නොතිබුණ බවත් සඳහන් කරයි.

එසේම එම පශ්චාත් පාස්කු මුස්ලිම් විරෝධී ප්‍රහාර එල්ල කෙරුණ ප්‍රදේශයන්හි එකී ප්‍රහාරවලට පෙර පොලිසිය, විශේෂ කාර්ය සාධක බලකාය හෝ ත්‍රිවිධ හමුදාවේ භටයන් නිරත කරවීමක් සිදුකොට නැති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා සිටියි. වැඩබලන පොලිස්පතිවරයාට තවදුරටත් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, විශේෂයෙන්ම පොලිසිය සහ හමුදා මුරපොළක් ආසන්නයේ මිනුවන්ගොඩ නගරයේ ප්‍රහාර එල්ල කොට ඇත්තේ එවැනි පූර්ව ආරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා බවත් පෙන්වා දෙයි.

ප්‍රහාර එල්ල කරනු ලැබීමට පැය කීපයකට පෙර 118 සහ 119 යන පොලිස් ඇමතුම් අංකවලට කථා කරමින්, උද්ගත වෙමින් තිබුණ අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලය සහ හෙට්ටිපොළ, කොස්වත්ත, කුලියාපිටිය සහ නිකවැරටිය පොලිස් මධ්‍යස්ථාන කල්තබාම දැනුවත් කළ බව බොහෝ ගම්වාසීන් තමන්ට කියා සිටි බව පවසන මානව හිමිකම් කොමිසම, එහෙත් එම අනතුර වළක්වාලීමට අවශ්‍ය පියවර ගෙන නොමැති බව වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කරන ලද සිය ලිපිය මගින් කියා සිටියි.

ඇතැම් ගම්මානවලට පැය ගණනාවක් ප්‍රහාර එල්ලකොට ඇතැයි සඳහන් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, එවැනි ප්‍රහාර නතර කිරීමට ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවූ නිසා හෙට්ටිපොළ වැනි ස්ථානයන්හි ගම්බිම් විනාශ වී ඇති බවත් පෙන්වා දෙයි.

එම අඩුපාඩුව පාවිච්චි කරමින් ප්‍රහාරකයන්ට හෙට්ටිපොළ, තුම්මෝදර, මයිකුලම්, බණ්ඩාර කොස්වත්ත, කොටම්පිටිය, මිනුවන්ගොඩ, නිකවැරටිය වැනි ස්ථානවල මුස්ලිම් පල්ලි, රථවාහන සහ වෙනත් දේපොල නිදහසේ විනාශ කරන්නට අවස්ථාව උදා වී ඇත* ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමගේ අත්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියෙහි දැක්වෙයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙන ආකාරයට බණ්ඩාර කොස්වත්තේ ප්‍රධාන මුස්ලිම් පල්ලියට ප්‍රහාරකයන් පහර දී ඇත්තේ පොලීසිය සහ යුද හමුදාව බලා සිටියදීය.

ප්‍රහාරයක් එල්ල විය හැකි හෙයින් ප්‍රධාන මාර්ගයෙන් ඉවත්ව සිටින මෙන් පොලිසිය කොට්ටම්පිටිය ගම්වාසීන්ගෙන් ඉල්ලීමක් කර ඇතත්, ප්‍රහාරකයන් එම ගම්මානයට පහරදීමෙන් වළක්වාලීමට පොලිසිය අසමත්ව ඇත. එහෙත් පසුවදා (මැයි 14) එම ගම්වැසියන්ගෙන් ප්‍රකාශන ලබා ගැනීමට නම් විශාල පොලිස් බලකායක් පැමිණ ඇති බව අපගේ නිරීක්ෂණය වෙයි.

එම තත්වය පිළිගත නොහැකි බවත් අදාළ ලිපිය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම තක්සේරු කරන ආකාරයට කොමිසමේ නිරීක්ෂණයට ලක්වූ ප්‍රදේශයන්හි ආරක්ෂාව සහතික කිරීමට එම ප්‍රදේශයන්හි පවතින පොලිසිවල ශක්තිය ප්‍රමාණවත් නැත.

කෙසේ වුවද, විපතට ගොදුරු වූ ප්‍රදේශ සඳහා පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සහ ත්‍රිවිධ හමුදාවේ අතිරේක භටයන් යෙදවීම ප්‍රමාදව සිදු කොට ඇති අතර, මුස්ලිම් ගම්වැසියන් ඔවුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා පලා යන අතරවාරයේ ලද කාලය ප්‍රයෝජනයට ගත් ප්‍රහාරකයන් එම වැසියන්ගේ ජීවිකා වෘත්තිය සහ ඔවුන්ගේ දේපොල විනාශ කර දැමීමේ සාහසික ක්‍රියාවන්හි නිරතව ඇති බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩ බලන පොලිස්පතිවරයාට පෙන්වා දෙයි.

එපමණක් නොව, මිනුවන්ගොඩ, කුලියාපිටිය කොට්ටාරමුල්ල ප්‍රධාන මාර්ගය වැනි තැන්වල ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ පවා පොලිස් භටයන් බලා සිටියදීම ප්‍රහාරකයන් රංචු ගැසෙමින් සිටි බවට අපට බොහෝ පැමිණිලි ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වැඩබලන පොලිස්පතිවයා දැනුවත් කරන්නීය.

අප දන්නා පරිදි, සැකකරැවන්ට එරෙහි සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත -2007 (ICCPR Act No.56 (Section 3) අනුව වාර්ගික සහ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියාවන් අවුස්සාලීම තහනම් ක්‍රියාවක් වන අතර, එවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඇප නියම කළ හැකිවන්නේ මහාධිකරණයට පමණි.

එම පියවර වුවද ගත හැකි වන්නේ විශේෂ තත්වයන් යටතේ පමණි. එහෙත් අප සඳහන් කරන වාර්ගික ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරැවන් පොලිසිය වට කරන ලද කණ්ඩායම්වල බලපෑම හමුවේ මුදාහරින ලද බව ඇසින් දුටු සාක්ෂි අනුව දැන ගැනීමට ලැබී ඇත. එම ලිපියේ ඇතුළත් වෙයි.

එසේම එම ගැටුම් සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හෙට්ටිපොළ පොලීසියට භාරදීම, ඔවුන් නැවතත් බිංගිරිය පොලිසියට ගෙනයාම සහ අන්තිමේදී එම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැරීම වැනි ඉහත කී පනතට පටහැනි ක්‍රියා සිදුකොට ඇති ආකාරය පිළිබඳවත්, සැකකරුවන් පොලිසි අතර මාරුකිරීමට අදාළ වාර්තා සටහන් කොට නැති ආකාරය ගැනත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දීර්ඝ වශයෙන් වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇත.
එසේම එම ප්‍රශ්නකාරී වාතාවරණය තුළ සිදුව ඇතැයි පැවසෙන දේශපාලන අතපෙවීම් පිළිබඳ චෝදනා සමග තත්වය තවත් සංකීර්ණ අතට හැරුන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අදහස වෙයි.

එපමණක් නොව මැයි 13 වෙනිදා කරන්තිපොළ වෙළෙඳසැල් හතරකට එල්ල කෙරැණ පහරදීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට ගෙනගිය හතර දෙනකු මුදා හරින ලෙස ප්‍රචණ්ඩකාරීව හැසිරැණ කණ්ඩායම් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට පොලිසිය එකඟ වී ඇත. මුදා හරින ලද වහාම එම පුද්ගලයන් ඇඳිරි නීතිය බල පැවැත්වෙද්දී කුලියාපිටියේ මුස්ලිම් ජාතිකයන් සතු වෙළෙඳසැල්වලට පහර දී ,ඉන් අනතුරුව රඹාවැව වෙළෙඳසැල්වලට පහර දීමට ගොස් ඇත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එසේම, කොට්ටාරමුල්ල ප්‍රදේශයේ සිදු කෙරැණ පහරදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් හතර දෙනෙක් පොලිසිය විසින් මැයි 15 වෙනිදා මුදා හරිනු ලැබ ඇති බවත්, වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි එම පියවර ගත් බව පොලිස් ස්ථානාධිතිවරයා (OIC) විසින් වාර්තා කරනු ලැබ ඇති බවත් මානව හිමිකම් කොමිසම වැඩ බලන පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙයි.

රටවැසියන්ට එකසේ හිමිවිය යුතු නීතියේ රුකවරණයට බාධා සිදු කෙරැණ තම අවධානයට ලක්වූ එවැනි අසතුටුදායක තත්වයන් පිළිබඳව සැලකිල්ලට ගනිමින්, තත්ත්වය නිවැරදි කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩ බලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

එසේම මහජන පැමිණිලි සහ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, වාර්ගික නොසන්සුන් තත්වයන් ගැටුම්කාරී තත්වයක් කරා පරිවර්තනය වීම වළක්වාලීමට පොලිසිය විසින් ගත යුතුව ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය ලිපිය මගින් පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර ඇත.

 BBC සිංහල ඇසුරින්
    දිශානි ජයමාලි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00