2019 ජුනි 01 වන සෙනසුරාදා

ගල්අඟුරු සමාගමේ කළු ගනුදෙනු

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

2019 වසරේ ජනවාරි මාසයේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණකාධිපතිගේ විශේෂ වාර්තාව අනුව නොරොච්චෝලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කර තිබූ ගල් අඟුරු විදුලිබලාගාර සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීමේදී ලංකා ගල් අඟුරු සමාගමට රුපියල් ලක්ෂ 41450ක අලාභයක් සිදුව ඇති බව පෙන්වා දී තිබේ. මෙම ඇස්තමේන්තුගත අලාභය හා අමතර වියදම පිළිබඳ වගකිව යුතු නිලධාරින් හඳුනා ගෙන ඒ අයට එරෙහිව පියවර ගතයුතු අතර අනාගතයේදී යළිත් මෙවැනි සිද්ධි ඇති නොවන පරිදි ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීමේ අවශ්‍යතාව විගණකාධිපති අවධාරණයට ලක්කර තිබේ.

ගල්අඟුරු මිලදී ගැනීමේදී ගල් අඟුරු සමාගම අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය නොසලකා කටයුතු කර ඇති අන්දම මෙම වාර්තාවෙන් පැහැදිලිව පෙන්වා දී ඇත. 2006 රාජ්‍ය ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහයේ අංක 13 ප්‍රකාරව රුපියල් ලක්ෂ 50 ඉක්මවන සෑම කොන්ත්‍රාත්තුවක් පිළිබඳවම 1987 අංක 13 දරන රාජ්‍ය කොන්ත්‍රාත් පනතේ 8 වන වගන්තිය ප්‍රකාරව මුලින් ලියාපදිංචි වීම අවශ්‍ය වෙයි. එසේ වුවද ගල්අඟුරු සමාගම වාර පහක්ම ගල්අඟුරු ගෙන්වීමේදී මෙම අවශ්‍යතාව නොසලකා කටයුතු කර ඇති බව පෙනීයන්නේ යැයි විගණකාධිපති පෙන්වා දී ඇත.

විගණකාධිපති අවධානයට ලක්කර ඇති තවත් සුවිශේෂ ඌනතාවක් වන්නේ මිලදී ගැනීමේදී ගල්අඟුරු කැටයක ප්‍රමාණය හා බර පිළිබඳ ලංසු ලියවිල්ලේ සඳහන් අවශ්‍යතා හය වතාවක් නොසලකා හැර තිබූ අතර එම නිර්ණායක ඉවත් කිරීමට සාධාරණ හේතු  දක්වා නොමැති බවය. එසේම විධිමත් අධ්‍යයනයකින් හෝ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව මෙලෙස කටයුතු කර ඇති බව විගණකාධිපති අනාවරණය කර තිබේ.

මෙහි දක්වා ඇති ප්‍රධානතම අවිධිමත් ගෙවීමක් වන්නේ නොසැපයූ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 7635ක් සඳහා මුදල් ගෙවා තිබීමය. බලාගාරයේ ගල්අඟුරු ගබඩා කිරීමට ප්‍රථම එහි බිමට ඇතිරිය යුතු තාප නොවන ගල්අඟුරු මෙට්‍රික් ටොන් 49,542ක් ඇණවුම් කර ඒ සඳහා රුපියල් 313,348,188 ගෙවා තිබේ. එහෙත් සපයා ඇති සත්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් 41907ක් පමණි. ඒ අනුව තාප නොවන ගල් අඟුරු මෙට්‍රික් ටොන් 7635ක් නොසපයා තිබියදී ඒ වෙනුවෙන් රුපියල් 55,390,920ක් ගෙවා තිබුණද එම ප්‍රමාණය නැව් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත 2016 වසරේ ඔක්තෝබර් මස 31 දින දක්වාම සපයා නැති බව අනාවරණය වී තිබේ. මෙසේ නොසැපයීම නිසා විදුලි බල මණ්ඩලයට පිටතින් ලබාගැනීමට අමතර වියදමක් දැරීමට සිදුව තිබුණු අතර එම වැය විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්ගේ ගණනය කිරීම අනුව රුපියල් 12,500,000,000ක් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිගේ ගණනය කිරීම අනුව රුපියල් 983,230,000 වූ බව විගණකාධිපති පෙන්වා දී තිබේ.

එසේම නැව්වල ප්‍රමාද ගාස්තුව ගෙවීමේදී ද සිදුව ඇති වැඩිපුර ගෙවීමත් පිළිබඳව ද විගණකාධිපති ස්වකීය වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

ගල්අඟුරු නැව් වාර 15ක් සඳහා ගණනය කරන ලද ප්‍රමාද ගාස්තුව එක්සත් ජනපද ඩොලර් 692,412ක් වූ අතර මෙයින් ඩොලර් 256,301ක් හෙවත් රුපියල් 27,435,577ක් ගෙවා ඇත. 2014-15 කාලය තුළ රුපියල් 607,115,773ක ප්‍රමාද ගාස්තුවක් ගෙවා තිබෙන බවද කියයි. එසේම මෙම ගෙවීම් සිදුකර ඇත්තේ ප්‍රමාද ගාස්තු ගෙවීම අනුමත කිරීම සඳහා පත්කර තිබූ කමිටුවේ නිර්දේශ නොමැතිව බවද පෙන්වා දී තිබේ. මේ හැර 2016-10-10 දිනය වනවිට 2015 නොවැම්බර් 2016 අප්‍රේල් අතර කාලය වෙනුවෙන් ගොඩබෑමේ ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 115,070,656ක් ගෙවීමට එකඟ වී තිබී ඇත. කෙසේ වුවද ප්‍රමාද ගාස්තු ගෙවීමේ ව්‍යාකූලතාව නිසා මෙලෙස අවසාන වශයෙන් විශාල බරක් රජයට පැටවී තිබූ බව විගණකාධිපති පෙන්වා දෙයි.

ගල්අඟුරු ගෙන්වීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදය නිසා දිගින් දිගටම අතිරේක මුදලක් ගෙවීමට සිදුව ඇති බව පෙනෙන බැවින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවම පිරිවැයක් දරමින් උපරිම ආර්ථික වාසි සලසාගැනීමේ අපේක්ෂාව අනුව නිවැරදි කළයුතු බවද විගණකාධිපති පෙන්වා දෙයි. නිසි කලට වේලාවට ගුණාත්මක භාවයෙන් යුතු සැපයීම් සිදුකිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

භාණ්ඩ සැපයීමේ නියමිත ප්‍රමිතීන්ට, නීතිරීතිවලට, රෙගුලාසිවලට සහ ජාත්‍යන්තර බැඳිම්වලට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන විගණකාධිපති, සුදුසුකම් ලත් උනන්දුවක් දක්වන පාර්ශවවලට ප්‍රසම්පාදන කටයුතුවලට සහභාගී වීම සඳහා සාධාරණ සමාන හා උපරිම අවස්ථාවක් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. ගල්අඟුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලියේදී අගැයීමේ හා තේරීම් කාර්ය පටිපාටියේ විනිවිධභාවය හා නීත්‍යානුකූල භාවය සහතික වීමට කටයුතු කර නොමැති බවද කියයි.

මෙම වාර්තාවෙන් අනාවරණය වූ කරුණු අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී එවකට පැවැති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ලංකා ගල්අඟුරු සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා නැව් සංස්ථාව යන ආයතන මෙන්ම තාක්ෂණික අගැයුම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය මගින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටු විසින් සිය යුතුකම් ඉටුකිරීමේදී නිසි වෘත්තිමය පරීක්ෂාවකින් කටයුතු කර ඇතිබවත් තහවුරු නොවූ බව විගණකාධිපති නිගමනය කර ඇත.

එසේම ගල්අඟුරු සමාගම තවදුරටත් පවත්වා ගෙන යායුතුද යන්න පිළිබඳ පුළුල් අධ්‍යයනයක් අදාළ පාර්ශව මගින් සිදුකළ යුතු බවට නිගමනය කර ඇත. එයට හේතුව ගල්අඟුරු මිලට ගැනීමේදී මෙම සමාගමේ ක්‍රියාකාරීත්වය මගින් රජයට අවම පිරිවැයක් සහ අවම අවදානමක් ඇති වන පරිදි කටයුතු කරන අත්‍යවශ්‍ය ආයතනයක් බවට තමාට තහවුරු නොවූ නිසා බව විගණකාධිපති පෙන්වා දෙයි. එයින් අපේක්ෂිත අරමුණු ඉටුනොවී ඇති නිසා තවදුරටත් පවත්වාගෙන යාම නිෂ්ප්‍රයෝජනය යන්න විගණකාධිපතිගේ අදහස වේ.

ගල්අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීමේදී විදුලි ඒකකයක පිරිවැය සාපේක්ෂව ඉතාම අඩු අගයක් ගන්නා නිසා පරිසරයට සිදුවන හානියද අවමකර ගෙන සම්මත ක්‍රමවේද අනුගමනය කරමින් මෙයින් සිදුවන ආර්ථිකමය වාසිය තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවද වාර්තාව මගින් පෙන්වා දී ඇත. ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා වැඩිපුර ලාභදායී වන බලශක්ති උත්පාදනය සඳහා ගල් අඟුරු යොදාගෙන ඇති නිසා රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණෙන තෙක් ගල් අඟුරැ යොදාගෙන බලශක්ති උත්පාදනය ප්‍රවර්ධනය කළයුතු බව පෙන්වා දී ඇත.

එසේ වුවද මෙහිදී විගණකාධිපති නිර්දේශ කර ඇත්තේ ගල් අඟුරු මිලදී ගැනීමේදී දැනට පවතින අතරමැදි සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීම වෙනුවට ගල් අඟුරු ආකර හිමියන්ගෙන් ඍජුව මිලදී ගැනීමට උත්සාහ කළයුතු බවය. එසේම දැනට අවුරැද්දේ මාස හයක් පමණ සිදුකරන ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු මුළු වර්ෂය තුළම සිදුකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, ලංකා විදුලිබල මණ්ඩලය සහ ගල් අඟුරු සමාගම අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පෙන්වා දෙන විගණකාධිපති නිතිපතා රැස්වීම පැවැත්වීම සහ එම වාර්තා පාර්ශ්ව අතර විධිමත් ලෙස හුවමාරු කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි.

බලාගාරයේ අපද්‍රව්‍ය ලෙස පිටවන මුළු අළු ප්‍රමාණයම වෙනත් අතුරු නිෂ්පාදනවල අමුද්‍රව්‍ය වශයෙන් යොදාගැනීම පිළිබඳ අවධානය යොමුකළ යුතු අතර, පරිසර හානිය අවම කිරීම සඳහා ලොව වෙනත් රටවල් යොදාගන්නා ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කර ඒවා අනුගමනය කිරීමේ අවශ්‍යතාවයද පවසා තිබේ.

දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති අඩුපාඩු සමහරක් මෙම වාර්තාව මගින් ගෙනහැර දක්වා ඇත.

1. ලංසු ලේඛනවල ඇතුළත් තොරතුරු ප්‍රමාණවත් නොවීම නිසා සංශෝධන ගණනාවක් විටින් විට ඉදිරිපත් කිරීමට සිදුවීම.

2. ලංසුකරැවන් වෙත එම සංශෝධන ප්‍රමාණවත් කාලයක් ඇතිව ලබා නොදීම.

3. තාක්ෂණික අගැයීමේදී යොදාගන්නා නිර්ණායකවල අඩුපාඩු.

4. ලංසු අගැයීමේදී තාක්ෂණික අගැයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව ගන්නා තීරණවල අඩුපාඩු හා දුර්වලතා.

5. ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා අසාමාන්‍ය කාලයක් ගත කිරීම.

6. ලංසු ලේඛනවල විනිවිදභාවය වැඩිදියුණු කර නොගැනීම.

දැනට පවතින මිලට ගැනීමේ ක්‍රියාවලිය අවශ්‍ය සංශෝධන කර ඉදිරියට ගෙනයාමේ වැදගත්කම අවධාරණය කරන විගණකාධිපති හැකි සැමවිටම ගල් අඟුරු සපයන්නන් අතර තරඟකාරී ලංසු තැබීමක් නිර්මාණය කරගත හැකි නම් මිල මට්ටම පහළ යනවාත් හැර මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය ද සනාථ වන බව පවසයි.

මෙම වාර්තාව පිළියෙළ කිරීමේදී විගණකාධිපති තමාට හිමි බලතල හා විෂය සීමාව තුළ කටයුතු කර ඇති අතර, ඉන් ඔබ්බට විගණකාධිපතිට නිගමනය කළ නොහැකි නීති විරෝධී හා සාපරාධී කටයුතු සිදුවී ඇතිද යන්න සොයාබැලීමට අවශ්‍ය නම් ඒ සඳහා සුවිශේෂ වූ ආයතනවල සහය ලබා ගැනීම සුදුසු බවටද නිගමනය කර ඇත.

► යසවර්ධන රුද්රිගු

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00