2019 මැයි 25 වන සෙනසුරාදා

මැතිසබේ සහරාන්ගේ හැන්සාඩ් ගෝලයා

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දෙමින් සමීප සබඳතා පැවැත්වූ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වූ මොහොමඩ් නව්ෂාඩ් ජලාල්දීන් නැමැත්තා මාස තුනක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබේ. පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු විමර්ශන කටයුත්තක් සඳහා ඉකුත් 21 වැනිදා පස්වරුවේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ පාර්ලිමේන්තුවට රැගෙන යනු ලැබීය. 

එහිදී සැකකරු සේවය කළ හැන්සාඩ් දෙපාර්තමේන්තුවට කැඳවාගෙන ගොස් ප්‍රශ්න කර ඔහුට අයත් ලිපිගොනු රාශියක් පරීක්ෂාවට ලක්කර ඔහු භාවිත කළ පරිගණකය ඇතුළු ලිපිලේඛන රාශියක් පොලිස් භාරයට ගනු ලැබීය.

අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුව ජාතික තව්හිද් ජමාත් සංවිධානය හා සම්බන්ධ පිරිස් පිළිබඳ විශේෂ විමර්ශන සිදුවෙමින් පැවතිණ. ඒ අතර එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු බව කියන සැකකරුවකු වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ විද්‍යුත් චන්තුරේඛණ නිලධාරියා සමඟ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මීට දින කිහිපයකට ඉහත දී සිදුකළ අත්අඩංගුවට ගැනීමේ දී සැකපිට එම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. 

ඔවුන් අතරින් දෙදෙනෙක් කුරුණෑගල ඉබ්බාගමුව තල්ගොඩපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. අනෙක් පුද්ගලයා කුරුණෑගල දඹුල්ල පාරේ අලකොළදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තල්ගොඩපිටිය පදිංචි එක් සැකකරුවකු තව්හිද් ජමාත් ඇතුළු අන්තවාදී කල්ලි කිහිපයක සම්බන්ධීකාරකවරයකු බවට හඳුනාගෙන ඇත. එම ප්‍රදේශයේම අනෙක් සැකකරු තව්හිද් ජමාත් සංවිධානයේ කුරුණෑගල මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ තැනැත්තා බවද හඳුනාගෙන ඇත. මෙම සැකකරුවන් සිව්දෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මොහොමඩ් නව්ෂාඩ් ජලාල්දීන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.

ඒ අනුව සැකකාර නව්ෂාඩ් ජලාල්දීන් නැමැත්තා පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ මහනුවර, අලවතුගොඩ, මාවතුපොළ අංක 60 දරන ලිපිනයේ ඔහු පදිංචි නිවෙසේ සිටියදීය. මොහු පාර්ලිමේන්තුවේ සේවය කරන අතරතුරදී තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කර ඇති බව හෙළි කරගෙන තිබේ. ඒ අනුව ඔහු රැකියාවට යාම සඳහා තාවකාලිකව නවාතැන් ගෙන සිටි රාජගිරිය නවාතැන්පොළක් හා අලවතුගොඩ සිය නිවස ද දැඩි පරීක්ෂාවකට ලක්කර ඇත. එම නිවෙසේ දී අත්අඩංගුවට ගත් ලිපිලේඛන මගින් අනාවරණය වී ඇත්තේ සැකකරු සහරාන් හෂීම් සමඟ එක්ව මහනුවර අකුරණ ප්‍රදේශයේ තව්හිද් ජමාත් සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ නිරතව ඇති බවය. ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් අලවතුගොඩ පිහිටි ඔහුගේ නිවෙස භාවිත කර ඇති බවද හෙළි වී ඇත. 

හදිසි නීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට පත් සැකකරු 42 හැවිරිදි අයෙකි. මොහු පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක අංශයේ සෝදුපත් බලන්නකු වශයෙන් සේවයට බැඳී ඇත්තේ 2006 වර්ෂයේදීය. මෙම සැකකරු මුස්ලිම් ජාතික මැති ඇමැතිවරුන් ගණනාවක් ළඟින් ඇසුරු කරන්නකු බවට හඳුනාගෙන තිබේ.

රටේ පවත්නා අනාරක්ෂිත තත්ත්වය යටතේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන් මාතලේ මහනුවර මාර්ගයේ අකුරණ ප්‍රදේශයේ නව පොලිස් මාර්ග බාධකයක් ස්ථාපිත කර තිබෙන අතර එය ඉවත් කර ගැනීම සඳහා මුස්ලිම් ජාතික දේශපාලනඥයන් පිරිසක් සමඟ සැකකරැ සාකච්ඡා පවත්වා තිබෙන බවද ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. 

පසුගිය 21 වැනිදා සැකකාර ජලාල්දීන් පාර්ලිමේන්තුවට රැගෙනවිත් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කරමින් විමර්ශනය සිදුකර ඇත. මොහු පසුගිය සමයේ දින ගණනාවක් එකදිගට නිවාඩු ලබා සිට ඇති අතර ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ හිතවතුන් සිදුකළ විමසීමේදී කියා ඇත්තේ ඔහු ඉස්ලාම් ආගම ඉගෙනීමට ගොස් සිටි බවය. ඔහු දන්නා හඳුනන පාර්ලිමේන්තු සේවකයන් ප්‍රකාශ කර තිබුණේ සැකකරු බොහෝවිට හුදෙකලාව කාලය ගෙවූ පුද්ගලයකු බවය.

සැකකරු ආ ගිය ස්ථාන, ආශ්‍රය කළ පිරිස් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පිළිබඳව ද බුද්ධි අංශ විමර්ශනශීලීව කටයුතු කරමින් සිටී. මැතිසබේ හැන්සාඩ් නිලධාරියා ත්‍රස්ත සාමාජිකයකු වශයෙන් සැකපිට කොටුවීමත් සමඟ පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා විය.

 සමන්ත ප්‍රදිප් විල්තෙර